අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ඇගිලිතුඩින් සවනතින් කියවන අපිටත් ඉඩක් දෙන්න 

සත්‍යා නිර්මාණි

කුඩා කළ සිට අප කවුරුත් දැනුම, අවබෝධය ලබාගැනීමට පොතපත පරිශීලනය කරති. අපේ සංස්කෘතියට අනුව කුඩා කළ අකුරු කියවන විට අපට ලබාදෙන හෝඩි පොතෙ සිට පොත්පත් අපට සමීප වේ. ඔබට ඔබ පළමුව දුටු කියවා ඇත් හෝඩි පොත මතකද? එතැන් සිට සාර්ථක අධ්‍යාපනයක් ලබාගැනීමේ දී පොත් පත් අපට ඉතා අවශ්‍ය විය. ඒ විතරක් නොව, විනෝදාංශයක් ලෙසත් බොහෝදෙනා ග්‍රන්ථ පරිෂීලනය කරති.

නමුත් පොත් පත් කියවිමට කොතරම් රැචි වුවත් දෘශ්‍යාබධිත පුද්ගලයන්ට අවකාශය නැත. දෘශ්‍යාබාදිත ජනතාව ලිවීමේ දී හා කියවීමේ දී බ්‍රේල් ක්‍රමය භාවිත කරති. ලිවීමේ දී බ්‍රේල් ක්‍රමය භාවිත කළත්, කියවීමට අවැසි ලෙස බ්‍රේල් ක්‍රමයට නිර්මිත ග්‍රන්ථ ඉතා අල්පය. බ්‍රේල් ක්‍රමයට හෝඩි පොතක් නැත. කුඩා කල දරුවන් කියවන ළමා කතාන්දර පොත් නැත. ඇත්තේ පළමු ක්ෂ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා වූ පාසැල් පෙළ පොත් පමණි. ඔබත්, කුඩා කල ළමා පුවත්පත්, වැඩ පොත් භාවිතා කරන්නට ඇති. අද ඔබේ දරුවන් ද  එම ක්‍රම සහ ඊටත් එහා ගිය විවිධ වූ විශයානුබද්ධ කරුණු සහිත ග්‍රන්ථ මෙන්ම ළමා මනස වර්ධනයට ඇති පොත්පත් භාවිත කරනු ඇති. නමුත් දෘශ්‍යාභාදිත කුඩා දරුවන්ට මේ කිසිදු කියවීමේ ක්‍රමයක් නිර්මාණය වී නැත. එය ඔවුනට දිර්ග කාලීනව ඉගෙණුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා අයහපත් ලෙස බලපෑ හැකි ය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුවත් ඊට අවශ්‍ය ශ්‍රාස්ත්‍රීය කෘති වුවත් ඉතා අල්ප ය. අද වන විට මේ සියල්ලට විසදුමක් ලෙස AUDIO BOOKS – කථන ග්‍රන්ථ ක්‍රමය පැමිණ ඇති අතර එය ඔවුනට මහත් සහනයකි. පැවති ග්‍රන්ථ හිඟය ඉන් බොහෝදුරට අද වන විට අවම වී ඇත. ශ්‍රී ජයවර්දනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජිය විද්‍යා පීඨය මගින් 2016 වර්ශයේ සිට කථන ග්‍රන්ථ සියක් ව්‍යාපෘතියක්  ඇරභු අතර විශේෂයෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථ හිඟය  මෙය හේතු විය. මේ වන විට මෙ ව්‍යාපෘතිය තුල කථන ග්‍රන්ථ 500කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති අත විවිධ විශයන්ට අණුබද්ධ කෘති මෙන්ම ළමා ග්‍රන්ථ ද මේ ඔස්සේ නිර්මාණය වී ඇත.

දෘශ්‍යාබාධිත සිසු දරුවන් මූලික අද්‍යාපනයේ සිට මුහුන දෙන ප්‍රධාන ගැටලුවවන්නේ මෙකී පරිෂීලන ග්‍රන්ථ නොමැති වීමයි. බ්‍රේල් ග්‍රන්ථයක් නිෂ්පාදනයට විශාල පිරිවැයක් යන බැවින් අද වන විට පාසැල් පෙල පොත් හැර වෙනත් අමතර කියවීම් කිසිවක් බ්‍රේල් මාධ්‍යට නිර්මාණයවන්නේ නැත. දැනට විජය පුවත්පත් සමාගම විසින් මුද්‍රණය කරන විජය පුවත්පත පමණක් බ්‍රේල් මාධ්‍යට මුද්‍රණය වේ.

ඒ හැර වෙනත් කිසිදු පුවත්පතක් බ්‍රෙල් මාධ්‍යට නිර්මානයවන්නේ නැත. 

බොහෝ දෙනෙක් මඩොල්දූව, හීන්සැරේ වන් ලාංකේය කෘති වගේම ඉනිබ්ලයිටන් වන් ලෝකප්‍රකට ලේඛිකාවන්ගේ කෘති කුඩා කළම කියවා ඇති. නමුත් මඩොල්දූව මා කියෙවුවේ ද මට වයස 20ත් පසුවී ය. ඊට හේතුව මඩොල් දූව ඕඩියෝ ග්‍රන්ථයක් බවට නිර්මාණය වූයේ මෑතක බැවිනි. ඇතැම් කෘති බ්‍රේල් මාධ්‍යට නිර්මාණය වී තිබුනත් ඒවා ඇත්තේ ඉතා සිමිත ස්ථාන කිහිපයක පමණි. සාමාන්‍ය පොතපත මෙන් සියලු පුස්තකාල තුළ දෘශ්‍යාබාධිත අයෙකුට පවතින බ්‍රේල් ග්‍රන්ථ හෝ ඕඩියෝ ග්‍රන්ථ පහසුකම ලබා ගත නොහැකි ය.

රත්මලාන අන්ද විද්‍යාලය ඇතුලු රට තුළ පවතින විශේෂ අවශ්‍යතා සහිත සිසු දරුවන් ඉගෙනුම ලබන පාසැල් තුළ, කොළඹ, ශ්‍රී ජයවර්දනපුර, පේරාදෙනිය, කැළණිය වැනි විශ්වවිද්‍යාල තුළ සහ කොළඹ මහජනපුස්තකාලය, මහනුවර ලලිත් ඇතුලත්මුදලි පුස්තකාලය, ඇතැම් පලාත් මට්ටමින් පුස්තකාල කිහිපයක පමණක් දෘශ්‍යාබාධිත පාඨක පිරිසට අවස්තාව ලබාගත හැකි අතර සමස්ථ ප්‍රජාවට ම එක සේ මෙම අවස්තාව ලබා ගත නො හැකි ය.

මුලු රට තුළ ග්‍රන්ථ ලක්ෂ ගනණක් හෝ ඊට වඩා තිබීමට පුලුවන. නමුත් ඒ සියල්ල කියවීමේ හැකියාව දෘශ්‍යාබදිත ප්‍රජාවට නැත. ඔවුනට ග්‍රන්ථ පරිෂීලන ආශාව ඇත. අයිතිය ඇත. එහෙත් ඊට අවශ්‍යකරන පහසුකම් රට තුල නැත. දැනට ලංකාවේ දහසක් පමන බ්‍රේල් ග්‍රන්ථ පවතින අතර කතන ග්‍රන්ථ AUDIO ග්‍රන්ථ ඇත්තේ 5000කට ආසන්න ප්‍රමාණයකි. මෙම සංඛ්‍යා දත්ත අනුව රට තුළ දෘශ්‍යාබාධිත සිසුන්ට අවැසි ග්‍රන්ථ හෝ ප්‍රජාවගේ අවශ්‍යතාව අනුව පවතින ග්‍රන්ථ ප්‍රමාණය පිළිබඳව ඔබට යම් අදහසක් ගත හැකිවනු ඇත.

යුරෝපය, ඇමරිකාව ඇතුලු බටහිරරටවල මෙන්ම ඉංදියාවෙ පවා දෘශ්‍යාබාදිත ප්‍රජාව වෙනුවෙන් කතන ග්‍රන්ථ නිෂ්පාදනය විශාල වශයෙන් සිදු වේ. වැදගත්ම කාරණය නම් අප රට තුළ දෘශ්‍යාබදිත ජනතාව පමණක් කථන ග්‍රන්ථ භාවිත කළත් වෙනත් රටවල මෙය සියලු පුරවැසියන් භාවිත කරන ග්‍රන්ථ පරිෂීලන ක්‍රමයකි. එබැවින් මෙම කතන ග්‍රන්ථ නිර්මාණය සාමාණ්‍ය පරිදි සිදු වේ. ඊට ග්‍රන්ථ ප්‍රකාෂකයෝ සහ ලේඛකයෝ ද උනන්දු වෙති.

නමුත් අප රට තුළ අද වන විට මේ පිළිබදව සමාජය ප්‍රමානවත් ලෙස දැනුවත් නැත. වර්තමානයේ දී බොහෝ ලේඛක ලේඛිකාවන් තම කෘති කථන ග්‍රන්ථ බවට නිෂ්පාදනය කිරීමට සිය කැමැත්ත පළකර ඇතත් ඇතැම් ප්‍රකාෂකයන් ඊට විරුද්ධ වෙති. එය කනගාටුදායක තත්තවයකි. නමුත් පවතින කටුක යථාර්තය එයයි. ඇතමුන් සිතන්නේ ග්‍රන්ථයක් කතන ග්‍රන්ථයක් ලෙස නිර්මාණය කල විට එය අළවි කර ගත නොහැකි  බවය. නමුත් සත්‍ය නම් එය නොවේ. කතන ග්‍රන්තයක් ඇසූ විට එය යලි කියවීමට බොහෝ දෙනා එය මිලට ගන්නා ප්‍රවනතාව වැඩි ය. ඒවගේම දෘශ්‍යාබදිත අප උවද අපට කියවා ගත නොහැකි වුවත් සිත් ගත් කෘතියක් නම් අපට කියවිය නො හැකි වුවත් ලඟ තබාගැනීමට හෝ කෘතිය මිලට ගනි. මම ද මට තනිව කෘති පරිශිලනය කල නොහැකි වුවත් දිනක මාගේ දියනියට හෝ වෙනත් ඕනැම කෙනෙකුට කියවීම සදහා කෘති එකතු කරමි. විශාල කෘති එකතුවක් මා සතුව ද ඇත. මාගේ දෘශ්‍යාබදිත මිතුරු මිතුරියන් බොහෝදෙනෙක් තමා කියවූ සිත් ගත් කෘති එසේ තමන් සතු කරගෙන ඇත. එය එසේ නම් බොහෝ දෙනෙක් තුල පවතින්නේ වැරදි මත බව කිව යුතු ය.

දරුවකුගේ දැනුම අවබෝධය පුලුල් වීමට සහ ලිවීම කියවීම වර්ධනය උදෙසා පොතපත අත්‍යවශ්‍ය වේ. නමුත් බ්‍රේල් ක්‍රමයට හෝඩි පොතක් හෝ නැති පසුබිමක උපතින් දෘශ්‍යාබාධිත දරුවන් අධ්‍යපනයෙන් ඉදිරියට යාම සහ ඉදිරියටත් ඉගෙණුම ලැබීම ධනාත්මක තත්වයකි. අද වන විට දරුවන්ට ඉගෙණුම ලැබීමට විවිධාකාර වූ පොතපත ඇත. අත හුරු වීමට සහ වයස අනුව මොලය වර්ධනය සඳහා වැඩ පොත්, ළමා පුවත්පත් සහ වෙනත් ක්‍රියාකාරකම් ඇත. ළමුන්ගේ සිත් ගන්නා ලෙස නිර්මාණය වූ ළමා කතන්දර පොත් ඇත. නමුත් දෘශ්‍යාබාදිත කුඩා දරුවන්ට මේ කිසිවක් නැත. ඔබ ඔබගේ දරුවාගේ වර්ධනයට ලබා දෙන මේ සියල්ල සහ ඊටත් වඩා වූ දෑ පිළිබඳ සිතන්න. නමුත් ඒ කිසිදු පහසුකමක් ඔවුනට හිමි නැත. දෘශ්‍යාබාදිත දරුවකුගේ මූලික අද්‍යාපනයට අවශ්‍ය වන ලෙස බ්‍රේල් ක්‍රමයට හෝ වෙනත් ස්පර්ශ මාද්‍යකට ඔවුනගේ දැනුම අවබෝධය වර්ධනය වන ලෙස කිසිත් රට තුළ භාවිතයට නැත. එය කනගාටුදායක තත්වයකි. මේ පිළිබඳව මෙතෙක් බිහි වූ කිසිදු පාලන තන්ත්‍රයක් තුළ අවධානය යොමු වී නැත. කිසිදු අධ්‍යාපන ඇමතිවරයෙක් අවධානය යොමු කර නැත. මෙවන් පසුබිමක් තුළ පවතින සීමිත සම්පත් තුල දෘශ්‍යාබාදිත දරුවන් අද්‍යාපනය ලැබීම සතුටට කාරණයකි. ඒ වගේම සියලු පහසුකම් ලබන ආබාද නොමැති දරුවන් ඵල නෙලා නොගැනීම කනගාටුවට කාරණයකි. 

අද වන විට පුවත්පත් අන්තර්ජාලය ඔස්සේ දෘශ්‍යාබදිත ජනතාවට වුවද කියවීමට හැකිව ඇත. ලිපි සකසන විට යුනිකෝඩ් තාක්ෂණය භාවිත කරන්නේ නම් ඔවුනට පහසුවෙන් කියවා ගත හැකිවනු ඇත. නමුත් ළමා පුවත්පත් කියවාගැනීමට අනාභාදිත දරුවන්ට මෙන් එහි ක්‍රියාකාරකම් කිරීමට දෘශ්‍යාබදිත දරුවන්ට නොහැකි ය. සංවර්ධනය විය යුතු තැන් ඇත. වෙනස් විය යුතු තැන් ඇත. සාර්ථක අධ්‍යාපනය ලැබීමේ දී අවැසි ග්‍රන්ථ, පුවත්පත් ආදිය දෘශ්‍යාභාත දරුවන්ට, වැඩිහිටියන්ට කියවාගැනීමට තිබේනම්  ඔවුනගේ ද අධ්‍යාපන කටයුතු පහසුවනු ඇත. විශේසම කාරණය නම් මින් ඔවුනගේ ද කියවීමේ අයිතිය තහවුරු වීම ය. (පොත් අපගේ නෙත් වගේ) ලෙස අප සලකන අතර එය දෘශ්‍යාබදිත පුද්ගලයන්ට නම්  අගනාම කියමනකි. එබැවින් මා ඉල්ලා සිටින්නේ රට තුළ වෙසෙන ලේඛක ලෙඛිකාවන් මෙන්ම ප්‍රකාෂකයන්ගේ ද සහය ලබා දී කථන ග්‍රන්ත audio books, බ්‍රේල් ග්‍රන්ථ වැඩි වශයෙන් නිෂ්පාදනය කරමින් දෘශ්‍යාබාදිත දරුවන්ගේ, වැඩිහිටියන්ගේ කියවීමේ රුචිය වර්ධනය කරන ලෙසත්, කියවීමේ අයිතිය තහවුරු කිරිමට සහය දෙන ලෙසත්  ඉල්ලා සිටිමි. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts