අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සමාජ මාධ්‍ය අවභාවිතය හා නියාමනය

සමේලා රාජපක්ෂ

නව මාධ්‍ය ප්‍රභේදයක් ලෙස සමාජ මාධ්‍ය පැමිණ තිබේ. සමාජ මාධ්‍ය යනුවෙන් අදහස් කරන්නේ අන්තර්ජාලය ප්‍රමුඛ නූතන තාක්ෂණය ඇසුරින් බිහිව තිබෙන පුද්ගල කේන්ද්‍රීය මානයන් සමූහයකි. සයිබර් අවකාශය සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සමාජ මාධ්‍ය විවිධ දිශානතීන් කරා වර්ධනය වෙමින් පවතී.එමෙන්ම එක හා සමාන පෞද්ගලික හා වෘත්තීය අවශ්‍යතා, ක්‍රියාකාරකම්, සමාජ ජීවිතය සම්බන්ධයෙන් අනෙකුත් ජනතාව සමඟ තොරතුරු හුවමාරු කිරීමට භාවිත කරනු ලබන අන්තර්ජාල වේදිකාව සමාජ ජාල නමින් හඳුන්වනු ලබයි.

සමාජ මාධ්‍ය පුළුල් ලෙස මහජනතාව අතර භාවිතයට පැමිණෙන්නේ, විසිවන සියවසේ ආරම්භයත් සමගය. මෙහිදී අදහස්, තොරතුරු පණිවිඩ හුවමාරමාරුවේදී සාම්ප්‍රදායික මාධ්‍ය යාන්ත්‍රණයෙන් වෙනස් වී නව තාක්ෂණය සමඟ මාධ්‍ය භාවිතය වෙනස් විය.
සමාජ මාධ්‍ය තුළ දැකිය හැකි මූලිකම ලක්ෂණයක් වන්නේ අන්තර් ක්‍රියාකාරිත්වය මගින් අදහස් හුවමාරු කර ගැනීමේ කාලීන හැකියාවයි. Twitter, Facebook” Skype” Viber” Linkedin, Youtube, Instagram, Pinterest යනාදිය සමාජ ජාලා ලෙස හඳුනාගන්නා අතලොස්සක් ය.සමාජ මාධ්‍ය මගින් සමාජයට ලැබෙන ප්‍රයෝජන
1. දේශපාලන සන්නිවේදන අවශ්‍ය අවස්ථා පැතිරීම


2. පරිසරය රැකීමට පෙලගැසීම


3. විවිධ කාර්යන්හි තොරතුරු හුවමාරු වීම


4. චාරිකා සංචාරක අවස්ථා පිළිබද දැනුවත් කිරීම්.


5. ඕනෑම තොරතුරක් ක්ෂණිකව සමාජ මාධ්‍ය මගින් දැනගත හැකි වීම.
සමාජ මාධ්‍ය භාවිතය කරන මිලියන ගණන් ජනයා අතරින් ඒවා සමාජ විරෝධී හා නීති විරෝධී ලෙස අවභාවිතා කරන්නේ සාපේක්ෂව සුළු සංඛ්‍යාවක් පමණය. නමුත් එමගින් සමාජයට විශාල බලපෑමක් සිදුවේ. සමාජ මාධ්‍ය අවභාවිතය පහත පරිදි සිදුවේ.
1. වෛරී ප්‍රකාශ (Hate Speech)

තමන්ට රිසි නොවන පුද්ගලයකුට, ආයතනයකට හෝ ජන පිරිසකට එරෙහිව ද්වේශ සහගත ලෙස සන්නිවේදනය කිරීම වෙබ් ගතව මෙන්ම වෙනත් මාර්ග හරහා ද සිදු කරනු දැකිය හැකිය. සමාජ මාධ්‍ය හරහා නිර්නාමිකව නැතහොත් අන්වර්ථ නාම යොදාගෙන පහසුවෙන් වෛරී ප්‍රකාශ පැතිර වීමට අවස්ථාව තිබේ. මෙය මුළුමනින්ම මේ තාක්ෂණයන් අයහපතට භාවිත කිරීමකි. වෛරීය ප්‍රකාශ හේතුවෙන් වාර්ගික සහ ආගමික සහ සහජීවනයට ද තර්ජනයක් එල්ල වේ. එමෙන්ම වෙබ්ගත වෛරී කථන යනු භෞතික ලෝකයේ, ලක් සමාජය තුළ පවතින බෙදීම්, කුලල් කාගැනීම්, ආතතීන් සහ අධිපතිවාදයන් සියල්ලේ අමිහිරි පිළිබිඹුවකි.
2. දුස් තොරතුරු (disinformation)  සහ ව්‍යාජ පුවත්
වැරදි තොරතුරු සහ වැරදි විග්‍රහයන් සිතාමතාම සමාජයේ පතුරුවා හැරීමට සමහරුන් සමාජ මාධ්‍ය යොදා ගනී. දුස් තොරතුරු ජනනය කරන පිරිස් සීමිත වුණත්, ඒවා අවිචාරශීලී ව බෙදා ගන්නා පිරිස වැඩි නිසා ඉක්මනින්ම ප්‍රචලිත වේ.

3. සයිබර් හිරිහැර කිරීම් (Cyber Bullying)
සමාජ මාධ්‍ය වේදිකාවල බොහෝවිට ආරූඪ නම් යොදා ගනිමින් සැඟවී සිටිමින් යම් අයට දිගින් දිගට ම බැණවැදීම, තර්ජනය කිරීම, මුලා කිරීම ආදී දේ කරන යම් පිරිසක් සිටී. විශේෂයෙන්ම කාන්තාවන් වැඩිපුර මෙසේ සයිබර් හිරිහැර වලට ලක්වේ. ඒවා දරාගගත නොහැකිව සමාජ මාධ්‍ය භාවිතය අත්හළ අයද සිටී.

4. වෙබ් අනන්‍යතා පැහැර ගැනීම් (Identity Theft)

සමාජ මාධ්‍ය ගිණුමකට පිවිසීම සඳහා පරිශීලකයාට ම ආවේණික වූ මුරපදයක් පාස්වර්ඩ් අවශ්‍ය වේ. මෙම මුර පදය වෙන කිසිවෙකුට නොකියා රහසිගතව තබා ගත යුත්තකි. එසේ නොකළහොත් සමීපතයන්ට මුරපදය කීම හරහා ඇතැම් විට අනවසරයෙන් ගිණුම් වෙත පිවිසීම, හානි කිරීම සිදු වන අවස්ථා වැඩි වශයෙන් ලංකාවේ වාර්තා වේ. භාවිත කරන්නන්ගේ නොසැලකිලිමත්කම නිසා ඇති වන තත්ත්වයකි. ප්‍රවේසම්කාරී පරිහරණයෙන් බොහෝදුරට මෙය වලක්වා ගත හැක.

5. පෞද්ගලිකත්වය ඉක්මවා යාම (Privacy Issues)

සමාජ මාධ්‍ය හරහා තමන්ගේ පෞද්ගලික තොරතුරු, ඡායාරූප ආදිය බෙදා ගැනීමේදී එය දිස් විය යුත්තේ කාටද යන්න තීරණය කළ හැකි වුවත්, බොහෝ දෙනා ඒ ගැන නිසි අවධානයක් යොමු කරන්නේ නැත. මිනිසා සමීපතයන් හා හිතමිතුරන් අතර පමණක් බෙදා ගත යුතු දේ සැමට පෙනෙන සේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කරයි. මේ හරහා තමන්ගේ රූප දත්ත අවභාවිතය කරන්නන්ගේ අතට ලෙහෙසියෙන් පත්විය හැක. මෙය සමාජ වේදිකාවල වරදක් නොව භාවිත කරන්නන් ගේ නොසැලකිලිමත්කමකි.
නියාමනය යනු නිල වශයෙන් පනවනු ලබන රීතීන් වේ. ඒවා අනුගමනය කළ යුතුය. ග්‍රහණය කළ හැකි හා නොහැකි දේ නියාමනයට යටත් වේ. මානව හා සමාජ හැසිරීම් රීතීන් මගින් පාලනය කිරීමට ද නියාමනය අපේක්ෂා කරයි. නියාමනය යනු කිසිසේත්ම අන්තර්ගතය පාලනය කිරීම හෝ වාරණය කිරීම හෝ නොවේ. එමගින් සිදු වන්නේ, නිසි නීතිමය හා ආචාරධර්ම රාමුවකට නතු කිරීම හා ඒ හරහා පොදු උන්නතියට මුල්තැන දීම පමණි.
මෙකී වූ නියාමයන් මාධ්‍යයට සේම මහජනතාවට අවශ්‍ය වන්නේ, අපි මිනිසුන් ලෙස සතුන්ට වඩා නිදහසක් භුක්ති විඳිමින් ජීවත් වුවද, ඒ නිදහස අපට අවශ්‍ය ආකාරයේ හැසිරීම් රටාවන්ට පරිවර්තනය කර ගැනීම සමාජය තුළ ඇති නොහැකියාව නිසාය.
ගෝලීය සමාජ මාධ්‍ය වේදිකා සිය රට තුළ ඇති කරන අහිතකර බලපෑම් සමනය කර ගැනීමට ප්‍රධානකොටම නියාමන ප්‍රවේශයන් දෙකක් ලොව රටවල මෑත කාලයේ යොදාගෙන ඇත. එනම්, අවභාවිතයන්ගේ වගකීම් ගෝලීය වේදිකාවක් මතට පැවරීම හා එය නීතිගත කිරීම (Social Media Platform Liability) සහ අවභාවිතයන් ගේ වගකීම් මුළුමනින් ම භාවිත කරන්නන් මතට පැවරෙන පරිදි නීති සැකසීමයි (Social Media User Liability)

 
ඉහත දැක්වෙන්නේ වෛරී ප්‍රකාශ සමාජගත වීමට එරෙහිව පුරවැසියන් හා සිවිල් සමාජ සංවිධානවලට ජන සමාජයේ යම් ප්‍රතිරෝධයක් ගොඩනැගීම සිදු වූ අවස්ථාවකි. මෙහිදී “සිංහලේ” නමින් වාර්ගික පදනමකින් යුත් වෛරී සහගත පෙළගැසීමක් මෙරට සිදුවන විට, එයට ප්‍රතිචාර දක්වමින් “එකම ලේ” ලෙසින් සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් ප්‍රතිසංවිධානය කිරීම මෑත උදාහරණයකි.
ශ්‍රී ලංකාව තුළ හිතුවක්කාර සමාජ මාධ්‍ය භාවිතය වළක්වා ගනු පිණිස සමාජ මාධ්‍ය නියාමනය බලවත් අවියක් ලෙස පෙරට ආ යුතුය. සමාජ මාධ්‍ය ආචාරධර්මීය ප්‍රවේශයකින් එහි අයහපත් ප්‍රතිඵල සීමා කිරීම සඳහා නියාමනයට යටත් කිරීම සිදුවේ. සමාජ මාධ්‍ය නියාමයට යටත් කිරීම මඟින් සමාජ ජාලා සමාජ යහපත සඳහා යොදා යොදාගැනීමේ (Social media for social good)  මංපෙත් පාදා ගැනීම සිදුකළ යුතුය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts