අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ජිනීවා සහ අපි; ‘ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක්’ ද?

අසංක අබේරත්න

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය සැප්තැම්බර් 13 සිට ඔක්තොම්බර් 08 දක්වා ජිනීවාහීදී පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකාවට අදාළව මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වාර්තාවූ ගැටලු සාකච්ඡා කෙරේ. මෙම තත්ත්වය හමුවේ විදේශ කටයුතු අමාත්‍යය ජී.එල්. පීරිස් මහතා මෙරට එක්සත් ජාතීන්ගේ ප්‍රධානී හනා සිංගර් මහත්මිය වෙත සැප්තැම්බර් 06වන දින පිටු 13කින් යුත් වාර්තාවක් භාරදී තිබේ. වත්මන් රජය එයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? නිසැකවම මෙවර සැසිසවාරය වගවීම හා සංහිදියාව සදහා වන ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැදීම් සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක අවස්ථාවක් වනු ඇත. ශ්‍රී ලංකාව සත්‍යය සෙවීමේ උත්සාහයන් අත්හිටුවා ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කල්තබා කළ නිවේදනය ගැන රජය මීට වඩා සැලකිලිමත් විය යුතුය. සංහිදියාව, වගවීම සහ මානව හිමකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්වූ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 වාර්තාවේ මෙසේ සදහන්ව තිබෙන වග අමතක නොකළ යුතුය. ‘’යුද්ධය අවසන් වී වසර 12 කට ආසන්න කාලයක් ගතවී ඇතත්, වගවීම සහ සංහිඳියාව සඳහා වූ දේශීය මුලපිරීම් ප්‍රතිඵල ලබා දීමට නැවත නැවතත් අසමත් වී ඇත. ශ්‍රී ලංකාව සත්‍යය සෙවීමේ උත්සාහයන් අත්හිටුවා ඇති අතර ඉහළම රාජ්‍ය නිලධාරීන් අතීත අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක පවතී. මෙය වර්තමානයට හා අනාගතයට සෘජුවම බලපායි’’ https://undocs.org/A/HRC/46/1. වගවීම සහ සංහිදියාව පිළිබද අවංකව කැපවීම කෙසේවෙතත් මෙවර සැසිවාරයට පෙර මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරමින් සිටින බවට ඒ්ත්තු ගැන්වීම රජයේ අපේක්ෂාව බව පැහැදිළිය. 

ජිනීවා ප්‍රතිචාර ඉතා තීරණාත්මකයි

මානව හිමිකම් කවුන්සිලය නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ සබදතා ඇතිකර ගැනීම සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවකට පැමිණ සිටී. මීට පෙර අවස්ථා දෙදකදීම දේශීය වගවීම සහ ප්‍රතිසන්ධාන කටයුතු සඳහා සිය සහයෝගය ලබාදීමට ඉදිරිපත් වූවද රජය 30/1 යෝජනාවේ සමදායකත්වයෙන් ඉවත්වීමත් සමග එය අවසන් විය. එය රාජ තාන්ත්‍රික නොවන  ක්‍රියාමාර්ගයකි. යුධ අපරාධ සහ බරපතල මානව හිමිකම් උල්ලංගනයන් සම්බන්ධයෙන් සත්‍යය හෙළි කිරීම සහ යුක්තිය ඉටු කිරීම සම්බන්ධ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ඇති නොහැකියාව සහ අකමැත්ත ඉන් ප්‍රකාශ වේ. එය සත්‍යය සහ යුක්තිය සඳහා වූ වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ පවුලවල අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම පිළිබද මතුව තිබෙන තර්ජනයකි. මෙමගින් තවදුරටත් සංහිදියාවක් හෝ වගවීමක් ඇතිකර ගැනීමට නොහැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග බොහෝවිට තීරණය වන්නේ 30/1 යෝජනාව සම්බන්ධයෙන් ලංකාව කැපවී කටයුතු කරන්නේදැයි යන සාධකය මතයි. ඒ අනුව අතුරුදහන්වූවන් පිළිබදව සොයා බැලීමේ කාර්යාලය, වන්දි කොමිසම, සත්‍යය හෙළි කිරීම හා යුක්තිය ඉටු කිරීමට විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීම සහ නැවත සිදු නොවීමට වගබලා ගැනීම සම්බන්ධ මීට පෙර එකගතා නැවත වටයකින් මෙහිදී සමාලෝචනය කරනු ඇත. මෙම තත්ත්වය හමුවේ සංහිදියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බවට ශ්‍රී ලංකා රජය ජනීවා වෙත දන්වා තිබුණද සැබවින්ම  මානව හිමිකම් කඩවීම් සහ කඩවීමට ආසන්න තත්ත්වයන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන නිසා තත්ත්වය වඩාත් සංකීර්ණ වේ.

බෙදා වෙන් කිරීම හෝ නොසලකා හැරීමේ ක්‍රියාවන් වගවීම හා ප්‍රතිසන්ධානයට හානිකරයි

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි කොමිසම ඵලදායිව හා ස්වාධීනව ක්‍රියාත්මක විය හැකි පරිසරයක් සහතික කිරීම පසුගිය මාර්තුවේ පැවති සමුලුව අවසානයේ ඉදිරිපත්වූ එක් නිර්දේශයකි. නමුත් ගතවුණු සුලු කාලය තුළ අතුරුදහන්වූවන් පිළිබදව සොයා බැලීමට පත්කළ කාර්යාලය පවා අතුරුදහන්වීමේ අවධානමක් තිබුණි. මේ වන විට එම කාර්යාලය සහමුලින්ම ආණ්ඩුවේ දේශපාලන බලපෑමට නතුව තිබේ. මෙම ආණ්ඩුව කාර්යක්ෂම වූ එකම අවස්ථාව වූයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිමින් විධායක බලය කේන්ද්‍රගත කිරීමට පමණක් නව ආණ්ඩුව සමත් විය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ ස්වාධීනත්වයද අහෝසි විය. එම කාර්යාලයේ සභාපති මෙන්ම කොමිෂන් සභාවලවලට සභාපතිවරු පත් කිරීමේ තනි බලයද විධායක ජනාධිපති යටතට ගත්තේය. දූෂණ චෝදනා එල්ලවී තිබූ උපාලි අබේරත්න අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ සභාපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් වින්දිතයින් හා මානව හිමිකම් සංවිධාන විසින් දිගින් දිගටම විරෝධය පළ කළද රජය තවදුරටත් එම හානිකර ක්‍රියාවන්ගේ නිරතව සිටී. මෙවැනි තත්ත්වයක් තුළ වින්දිතයින්ගේ පවුල් දැඩි කනස්සල්ලට පත්ව සිටී.

අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ කටයුතු වින්දිතයින්ගේ පවුල් සාමාජිකයින්ගෙන්  දුරස් වෙමින් තිබේ. සත්‍යය දැන ගැනීමට හා යුක්තිය ඉටු කරවා ගැනීම සම්බන්ධයෙන් වින්දිත පවුල්වලට යම් විශ්වාසයක් තිබූ එකම රාජ්‍ය ආයතනය පවා සිය කටයුතුවලදී පවුල් සාමාජිකයින්ව බැහැර කරමින්  ඇත . අතුරුදහන්වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන්ගේ නාම ලේඛන අතුරුදහන්වූවන්ගේ කාර්යාලෙය් නිළ වෙබ් පිටුවේ http://www.ompsrilanka.org/missing-persons පළ කර තිබුණද මේ වන විට එහි ඇත්තේ යුධ, ගුවන් හා නාවික යන ත්‍රිවිධ හමුදාවේ අතුරුදහන්වූ සාමාජිකයින්ගේ නාම ලේඛන පමණි. 80 දශකයේ දකුණේ සිවිල් කැරලි සහ තිස් අවුරුදු ජාතිවාදී යුද ගැටුමේදී අතුරුදහන්වූ සටන්කාමීන්ගේ සහ දමිළ වින්දිතයින්ගේ නාම ලේඛන ඉන් ඉවත්කර තිබේ. මේ  වන විට හමුදාවට පක්ෂපාතී ආයතනයක් බවට පත්ව තිබෙන අතුරුදහන්වූ තැනැත්තන් පිළිබද කාර්යාලය හමුදා සාමාජිකයින් නොවන අයගේ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් වෙනස්කොට සැලකීමටත් ඔවුන් ආණ්ඩුවට තර්ජනයක් වූ තැනැත්තන් ලෙස සලකා සත්‍ය සහ යුක්තිය සදහා වන ක්‍රියාවලියේදී ඔවුන්ව බැහැර කිරීමේ සාධාරණ නොවන එමෙන්ම මානව හිමිකම් මූලධර්මවලට පටහැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටී. අගෝස්තු මස 30වන දිනට යෙදී තිබුණු අතුරුදහන්වීමට ගොදුරු වූ වින්දිතයින්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අතුරුදහන්වූවන්ගේ කාර්යාලෙයන් Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡා සභාවක් පැවැත්විණ. ඒ සදහා අධිකරණ අමාත්‍යය අලී සබ්රී මහතා, OMP සභාපති උපාලි අෙබ්රත්න සහ එම කාර්යාලයේ සෙසු නිලධාරීන් සහභාගීවී සිටියද වින්දිතයින්ගේ පවුල් සාමාජිකයින් එම සාකච්ඡා සභාවට සම්බන්ධ කරෙගන නොතිබුණි. එයට සම්බන්ධ වී සිටි සෙසු අයටද අදහස් ඉදිරිපත් කිරීමට සභාව විවෘත නොකළ අතර එම අවස්ථාවේ අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා අතුරුදහන්වූවන්ගේ පවුල්වලට හිමිවිය යුතු රුපියල් 6000 අතුරුදීමනාව සහ OMP ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැනනැගී තිබෙන ගැටලු ඉදිරිපත් කළද සභාව මෙහෙයවූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාගවන් මහතා ඒ් සදහා වෙනත් දිනයක අවස්ථාවක් ලබා දෙන බවට පවසා සාකච්ඡා සභාව අවසන් කළේය.


වගවීම පිළිබද රජයේ ආයතන වගකීම්වලින් ලිස්සා යන අවස්ථාවක  වුවත් රජයට මෙම සැසිවාරයේදී ජාත්‍යන්තරය ඉදිරියේ විවිධ හේතු සහ නිර්නායක ඉදිරිපත් කළ හැකිය. රජයේ උත්සාහය වන්නේ රටතුළ වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කරන බවට ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමයි. එහෙත් සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. එක් අතකින් රාජ්‍යයේ බලය විධායකය වටා කේන්ද්‍ර ගතකර ගන්නා අතරේ හමුදාව මැදිහත් කරවමින් සිවිල් ක්‍රියාකාරිත්වයේ අවකාශය සීමා කරමින් තිබේ. එමගින් මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අර්බුදයකට ඇද දැමිම ජාත්‍යන්තර නිරික්ෂනයෙන් බැහැර වේයැයි උපකල්පනය කිරිම දුෂ්කරය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts