අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

රාජ්‍යය මානව හිමිකම්වල මූලික ආරක්ෂකයා විය යුතුද ? (1කොටස)

ධනුෂ්ක සිල්වා

මානව අයිතිවාසිකම් මානවයා සතුල මනුෂ්‍යත්වය නිසා ම ඔවුනට හිමිවන අයිතිවාසිකම් වේ . 1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව මානව අයිතිවාසිකම් විශ්වීය, අන්සතු කළ නොහැකි, වෙන් කළ නොහැකි හා අන්‍යෝන්‍ය පරායත්ත අයිතිවාසිකම් වේ. මානව ආරක්ෂණ පරමාදර්ශයේ ජනප්‍රියත්වය විසින් මානව අයිතිවාසිකම් පිළිබඳ අදහස සහ අන් සියල්ලටමත් වඩා පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීමෙහිලා රාජ්‍යය සතු වගකීම සමාජගත කර ඇත. මානව හිමිකම් ප්‍රවේශය පුළුල් හා බොහෝ විට පමණටත් වඩා සර්වග‍්‍රාහී බවක් පෙන්වයි. මානව හිමිකම් ප්‍රවේශය හරහා සංවාදයට බඳුන් කරන සමහර අදහස්, රාජ්‍යයන් බහුත්වයක් විසින් පිළි නොගෙන සිටිය හැකි විශ්වීය වටිනාකම් විය හැක. එබැවින් සමකාලීන සිදුවීම් බොහෝමයකින් පෙනෙන පරිදි රාජ්‍යය මානව හිමිකම්වල නිසි ආරක්ෂකයා ලෙස නොව ඒවා මූලිකවම උල්ලංඝණය කරන්නා ලෙස මතුවන අවස්ථා දැකිය හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මානව හිමිකම් සුරැකීමට බැඳි සිටින අන්තර්ජාතික සංවිධාන හා ස්වෛරී රාජ්‍යයන් අතර ළබැඳියා අතර ගැටුමක් ඇතිවිය හැක. මානව හිමිකම්වල ප්‍රධාන ආරක්ෂකයා ලෙස රජය සිටිය යුතුය. ඒ සමඟම ලොව පුරා ජනගහනය සඳහා මානව හිමිකම් සහතික කිරීම සඳහා, රාජ්‍යයන් පිළිපැදිය යුතු මානව හිමිකම් බැඳීම් පරීක්ෂා කිරීම හා පවත්වාගෙන යාම සඳහා, අදාල ජාත්‍යන්තර පාර්ශ්වයක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඉස්මතු වේ. ඒ අනුව, මෙම තත්වය හඳුනා ගැනිම පිණිස ප්‍රධාන තර්ක කිහිපයක් සලකා බැලිය යුතුය: මානව හිමිකම් පිළිබඳ අදහස සහ පුද්ගලයන් ආරක්ෂා කිරීමේ අතිශය වැදගත්කම; ජාත්‍යන්තර රාජ්‍ය බහුත්වයක්, සමාජය සහ මානව හිමිකම්වල විශ්වීයත්වය අතර පරස්පරතාව; හා අවසන් වශයෙන් මානව හිමිකම් ආරක්ෂා කරන ප්‍රධාන ක්‍රියාකාරිකයා වන රජය සමඟ එක්ව කටයුතු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කිරීම මෙහිදී සිදුවෙනු ඇත.
පළමුවෙන්ම, වඩා හොඳ ආරක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීමට පෙර මානව හිමිකම් ආරක්ෂා කිරීමේ අතිශය වැදගත්කම ඉස්මතු කළ යුතුය. මානව සුරැකුම් පරමාදර්ශය විසින් රාජ්‍ය, සමාජය සහ ජාත්‍යන්තර පද්ධති පවා ඉක්මවා යන සංකල්පයක් ලෙස මානව හිමිකම් පිළිබිඹු කරයි. හොග් (2008) විසින් සඳහන් කර ඇති පරිදි ආරක්ෂාව යනු මානවයාට ඉතා අවශ්‍ය දෙයකි. මේ අනුව, මානව සංජානනය අනුව ආරක්ෂක ගැටළු සලකා බැලීම වැදගත් වේ. සිය ජාතිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, ජනවාර්ගික සම්භවය, ආගම, භාෂාව, ලිංගික දිශානතිය, සමේ වර්ණය යනාදිය ගැන සැලකීමෙන් තොරව මානව අයිතිවාසිකම් මානුෂ්‍ය වර්ගයාටම අයත් බව මානව ආරක්ෂණ පරමාදර්ශය අවධාරණය කරයි. මේ අනුව, පශ්චාත් නිරවි යුද්ධ ලෝක තත්වය තුළ, පුද්ගල ආරක්ෂාව සහතික කිරීමේදී මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම ඉස්මතු කිරීම සඳහා මානුෂීය මැදිහත්වීමේ (humanitarian intervention) සම්මතය පැන නැගුනි. එපමනක් නොව, පශ්චාත් නිරවි යුද්ධ ලෝකයේ ආරක්ෂක තර්ජන දැන් සංලක්ෂිතව ඇත්තේ රාජ්‍යයන්ට එල්ල වන බාහිර තර්ජනවලට වඩා ජනතාවගේ අභ්‍යන්තර අවතැන්වීම් ලෙසය මානව ආරක්ෂක මධ්‍යස්ථානය (2005) විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, කැනඩාවේ සිට ඉන්දියාව දක්වා විිවිධ රාජ්‍යවල, හඳුනාගෙන ඇති විශාලතම ආරක්ෂක ගැටළු වන්නේ අපරාධ, ත්‍රස්තවාදය, සෞඛ්‍ය සේවා සහ ආර්ථික අනාරක්‍ෂිතතාවය සහ ස්වාභාවික විපත් වේ. එපමණක් නොව, 2006 දී සුඩානය වැනි අසාර්ථක රාජ්‍යයන්හි සිදුවීම්, එනම් ජාතික රජය විසින්ම සිය පුරවැසියන්ට එරෙහිව සමූහ අපරාධ සිදු කිරීම් හා, ඊට පෙර බොස්නියානු යුද්ධයේ (1992-1995), කොසෝවෝ (1999) සහ රුවන්ඩා ජන සංහාරයේ (1994) දක්නට ලැබුණු මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හේතුවෙන් “දේශසීමා හා පාලක ප්‍රභූ පැළැන්තිය අභිභවා” මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම හෙළිදරව් කරයි (ගෝලීය පාලනය පිළිබඳ කොමිෂන් සභාවේ අපගේ ගෝලීය අසල්වැසියෝ වාර්තාව, 1995). එබැවින්, පශ්චාත් නිරවි යුද්ධ ලෝක පරියාය උදාවීම, එම යුගයේ ආරම්භයේ සිටම සිදුවූ අපරාධ අනුව, දශක ගණනාවකට පෙර ප්‍රකාශයට පත් කරන ලද මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කළ බව පෙනේ. මෙතැන් සිට, පශ්චාත්-වෙස්ට්ෆෙලියානු ලෝක තත්වය අනුව මානව හිමිකම් සුරැකීමේ ක්‍රියාකාරී යාන්ත්‍රණයක් අවශ්‍ය බව තහවුරු විය. ඒ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස රාජ්‍යයේ ප්‍රමුඛතාවය අභියෝගයට ලක් කරමින් රාජ්‍යයන් එහි ජනගහනය තුළ මානව හිමිකම් විනාශ කරන ආනුභවික උදාහරණ හේතු කොට ගෙන වේ. මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වගකීම රාජ්‍යයන්ට පමණක් පැවරීම සිදු නොකළ යුතු බවට මෙය නිදසුනකි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts