අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

කෝවිඩ් – 19 : අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයන් ඵලදායි වේවිද?

කීර්තිකා මහාලිංගම්

කෝවිඩ්-19 වෛරස ව්‍යාප්තිය නිසා ලොව බලපෑමට ලක්වූ විවිධ අංශ අතරින් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. පෙර පාසල් අධ්‍යාපනයේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවල නිරත කිසිදු ශිෂ්‍යයෙකුට තම අධ්‍යයන කටයුතු සඳහා එක්රොක්වීමට නොහැකි වීම මානව සමාජයේ අනාගත පැවැත්මට විශාල තර්ජනයක් වී ඇත. මෙම හදිසි බලපෑම්කාරී තත්ත්වය හමුවේ මානව සමාජය ආරක්ෂා කරගැනීම සඳහා ලොව පුරා රටවල් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය සිදුවීමත් සමගම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධ්‍යන කටයුතු විධිමත් කිරීම සඳහා විවිධ කාලීන තීන්දු තීරණ ගන්නා ලදී. නමුත් ඒවා කොතෙක් දුරට සාර්ථක ද යන්න අද බහුතරය විමසනු ලබන ප්‍රශ්නයකි. නිවසේ සිටින දරුවන් උදෙසා නවීන තාක්ෂණ උපකරණ භාවිතය මගින් ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සිදු කරයි. නමුත් එය සාර්ථක ක්‍රමවේදයක් නොවන බවට අධ්‍යාපන විශේෂඥයින් හා දෙමව්පියන් චෝදනා නගයි.

මම ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටියදී කොරෝනා වෛරස ව්‍යාප්තියේ පළමු රැල්ල හේතුවෙන් පාසල් වසා දැමුණා. මගේ ගුරුවරුන් සෑම දිනකම වට්ස්ඇප් මගින් යොමු කරන ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න මාගේ මව මා ලවා කරවනවා. නමුත් මම වට්ස්ඇප් මගින් යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් පමණක් ඉගෙනීමට කැමැත්තක් දක්වන්නෙ නෑ. මාගේ සොයුරිය 3 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ඇගේ ගුරුවරුන්ද ඇයට මෙලෙස වට්ස්ඇප් මගින්  ප්‍රශ්න යොමු කරනවා. එම නිසා අපි දෙදෙනාගෙන් පළමුවෙන්ම මවගේ දුරකථනය ලබා ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අප අතර හැමවිටම තරගයක් පවතිනවා. නමුත් මම මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින නිසා මාගේ මව මට මූලිකත්වය ලබා දෙනවා.යනුවෙන් ගම්පහ ප්‍රදේශයේ වත්තල නගරයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි වර්ෂා නැමැති ශිෂ්‍යාව පවසයි.

මේ ආකාරයෙන් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගැටලු පිළිබඳව ඔබත් දැනුවත් බවට කිසිදු සැකයක් නැහැ. කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමුණු නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යයන කටයුතු දිගටම කරගෙන යාම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විවිධ තීන්දු තීරණයන් ගනු ලැබුවා. නමුත් එම තීරණයන් නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අලුතින් ගැටලු නිර්මාණය වූවා විනා දැනට පවතින ගැටලුවලට එම තීරණයන් දිගු කාලීන විසදුමක් ලබාදීම අසමත් විය.

අන්තර්ජාල මගින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ ක්‍රමවේදය

පාරම්පරික අධ්‍යාපන ක්‍රමවේදයෙන් මිදී අන්තර්ජාල භාවිත ඔස්සේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයට යොමු වීම වැදගත් තීරණයකි. අන්තර්ජාල භාවිත කරමින් අධ්‍යාපන කටයුතු සිදු කිරීම කොරෝනා ව්‍යාප්තියත් සමග ශ්‍රී ලාංකික සමාජයට අලුතින් හඳුන්වා දුන් ක්‍රමවේදයකි. නමුත් ලොව අනෙකුත් රටවලට මෙම ක්‍රමය අලූත් දෙයක් නොවේ. අන්තර්ජාලය මගින් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම ලෝකයේ විවිධ රටවල කොරෝනා ව්‍යාප්තියටත් පෙර සිටම ක්‍රියාත්මක වූ සාර්ථක ඉගැන්වීම් ක්‍රමවේදයකි. නමුත් ශ්‍රී ලංකාවේ මෙම ක්‍රමය දක්නට හැකි වූයේ විශ්වවිද්‍යාල කේන්ද්‍රීය ඉගැන්වීම් කටයුතුවලදී පමණි. පසුගිය කාලවකවානුවේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සඳහා ඉගෙනුම් කළමනාකරණ ක්‍රමවේදය (LEARNING MANAGEMENT SYSTEM) යටතේ අධ්‍යයන කටයුතු සිදු කිරීමට අමතරව තොරතුරු සෙවීමේ සහයක ක්‍රමවේදයක් ලෙස දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය භාවිත කළ නමුත් පාසල් මට්ටමේ අධ්‍යාපන කටයුතුවලදී මෙම ක්‍රමය නව අත්දැකීමකියනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ මාධ්‍ය අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි ආචාර්ය එස්. රගුරාම්  මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය භෞතිකව මුහුණට මුහුණලා නැතිනම් සම්මුඛව (Face-to-Face) සිදු වන්නකි. එම නිසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කඩිමුඩියේ ගන්නා විවිධ තීරණයන් නිසා ශිෂ්‍ය ප්‍රජාව හා ගුරුවරුන් අතර ව්‍යාකූලත්වයක් උද්ගත වී ඇති බව ඔහු පවසයි. 

  • පවුල් ආර්ථික තත්ත්වයන් මත තාක්ෂණික භාවිතයට අවශ්‍ය උපකරණයන් ලබා ගැනීමට නොහැකි වීම.
  • ක්ෂණික, පහසු හෝ නොමිලේ ලබාදෙන අන්තර්ජාල පහසුකම් නොමැති වීම. (Free Internet Connection)
  • ශ්‍රී ලංකාවේ සෑම ස්ථානයකම එක හා සමාන උසස් මට්ටමින් යුතු අන්තර්ජාල පහසුකම් නොමැති වීම.  (Connection Issues) 
  • සෑම කෙනෙකුටම අධ්‍යාපනය ලැබීමට සුදුසු එක හා සමාන භෞතික පරිසරයක් නොමැති වීම.
  • අන්තර්ජාලය මගින් සිදු කරන ඉගැන්වීම් ක්‍රම පිළිබඳව ශිෂ්‍යයින්ට හා ගුරුවරුන්ට නිවැරදි පුහුණුවක් ලබා නොදීම.
  • තාක්ෂණික ගැටළු හා තාක්ෂණ උපකරණ භාවිතය පිළිබඳව වැටහීම අවම වීම.
  • සිසුන්ගේ අවධානය රඳවා තබා ගැනීමට අපහසු වීම.

වැනි විවිධ අභියෝගයන් අන්තර්ජාලය දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය තුළ දැකගත හැකිය. අන්තර්ජාලය මගින් අලුතින්ම ඉගැන්වීම් ක්‍රියාවලියකට අවතීර්ණ වීමේදී විවිධ ගැටලු හා අභියෝගයන් පැන නැගීම සාමාන්‍ය දෙයකි. එමෙන්ම නිවැරදි යටිතල පහසුකම් ක්‍රමවේදයන් ශක්තිමත් කිරීමකින් තොරව මෙවැනි නව ක්‍රමවේදයන් හඳුන්වාදීමට පෙළබීම අභියෝගාත්මක දෙයකි. අන්තර්ජාල භාවිතය මගින් සිදු කරන අභියෝගාත්මකය දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථකව ජය ගැනීමට හැකි වන්නේ රජයත්, ඊට අදාළ පාර්ශවයනුත් නිසි ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බව ඔහු පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් අන්තර්ජාල අධ්‍යයන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම පිනිස විද්‍යුත් ඉගෙනුම් වෙබ් අඩවියක් වන e – Learning Thaksalawa (https://www.e-thaksalawa.moe.gov.lk/) පහසුකම සලසා ඇත. මෙමගින් සියලූ ශ්‍රේණිවලට අදාළ පාඩම් මාලා භාෂා තුනෙන්ම ලබාගත හැක. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියමයන් පරිදි මෙම වෙබ් අඩවිය භාවිත කිරීම සඳහා පරිශීලකයින්ගෙන් කිසිදු මුදලක් අය නොකෙරේ. නමුත් මෙම වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වය හා භාවිත කිරීමේදී ඇති විය හැකි ගැටලු පිළිබඳව නැවත පරික්ෂාකර බැලීම කාලෝචිතය.

(http://www.colombopage.com/archive_20A/Mar25_1585117046CH.php )

විභාග පැවැත්වීමේ දිනයන් පිළිබඳ කල්තියා දැනුවත් කර නොතිබුණු නිසා කොරෝනා රැල්ලේ පලමු ව්‍යාප්තියත් සමග අගෝස්තු මාසයේ පැවැත්වීම නියමිතව තිබූ ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගයන් දින නියමයකින් තොරව කල්දමා පසුව නැවත පවත්වන ලදී. විභාගයට පෙනී සිටි සමහර සිසුන් කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ පෙන්නුම් කල නමුත් විවිධ අභියෝගයන් මධ්‍යයේ ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය පැවැත්වුණි. නමුත් උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණයන් හා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය නැවත පැවැත්වෙන දිනයන් දින නියමයකින් තොරව කල් දමන ලදී. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හා අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් කල් තියා නියම කිරීමෙන් හා විභාග කාල සටහන් කල් තියා ලබාදීම මගින් විෂය නිර්දේශයේ අඩංගු සියලු විෂය කරුණු කල් තියාම ආවරණය කිරීමට පහසු වන බව  ආචාර්ය එස්. රගුරාම් පවසයි.

ශිෂ්‍යයින්ගේ මානසිකත්වය විභාග ඉලක්ක කරගෙන ගොඩනැගී ඇති නිසා  විභාග දිනයන් කල් දැමීම අනිවාර්යෙන්ම ඔවුන්ට මානසික වශයෙන් බලපෑම් ඇති කරයි. නමුත් විෂය මාලාව නිසි ලෙස සම්පූර්ණ නොකර හෝ කොටස් වශයෙන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විභාග පැවැත්වීම මගින් සිසුන්ට අසාධාරණයක් සිදුවන බව ඔහු පවසයි. මෙම කාලයේදී නොසිතූ ලෙස කොරෝනා ව්‍යාප්තිය අධික වීම, ආසාදිතයින් පොකුරු වශයෙන් හමුවීම වැනි කාලීන ගැටලූන් රාශියක් ඇති විය. තවද විදේශීය රටවලත් විභාග පැවැත්වීම දින නියමයකින් තොරව දීර්ඝ කිරීමේ‍ වාතාවරණයක් දක්නට ලැබූණි. නමුත් නිසි කාල වේලාවට විභාග නොපවත්වා විභාග පැවැත්වීම කල් දැමීම මගින් එය කෙතෙක් ඵලදායි වේද යන්න නැවත සිතා බැලිය යුතුය. විභාග ඉලක්ක කරගෙන අධ්‍යයන කටයුතුවල නිරත වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙය විශාල අභියෝගයකි. කෙසේ වෙතත් විභාග පැවැත්වීමට නොහැකි වීමට බලපාන බාහිර පාරිසරික සාධක පිළිබඳවත් මධ්‍යස්ථව අවධානය යොමු කරමින් පාසල් කේන්ද්‍ර කරගත් විභාග පැවැත්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි.

උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල යුධ සමයේදී විභාග කල් දැමීම සිදුවුණි. එය මිනිසා විසින් නිර්මාණ කරගන්නා ලද ගැටලුවකි. කොරෝනා යනු ස්වාභාවික ආපදාවකි. නමුත් මෙම තත්වයන් දෙකේම බලපෑම එක හා සමානව දක්නට ලැබේ. තවද විෂය නිර්දේශයන් සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමෙන් තොරව විභාග පැවැත්වීම මගින් සිසුන්ට නිවැරදි විෂය දැනුමක් ලැබෙන්නේ නැත. දිගුකාලීන දැක්මකින් යුතුව හොඳින් සිතා බලා විභාග පැවැත්වීමේ දිනයන් දිගු කාලීනව කල් දැමුවහොත් එය සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වේවි යන්න ආචාර්ය එස්. රගුරාම් පවසයි.

පාසල් නැවත ආරම්භ කිරීම 

කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවැනි රැල්ලේ බලපෑම සමඟම වසා දැමුනු පාසල‍් නිවැරදි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් නැවත ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් යනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නමුත් ශ්‍රී ලංක‍ා ගුරු සංගමය පාසල් ආරම්භ කිරීමට එරෙහිව දිගින් දිගටම තම විරෝධය දැක්වූහ. කෙසේ වෙතත් බස්නාහිර පළාත හැරෙන්නට අනෙකුත් සියලු පළාත්වල 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා නොවැම්බර් මස 23 වන දින පාසල් නැවත ආරම්භ කරන ලදී. කෙසේ නමුත් මෙලෙස විවිධ පළාත්වල විවෘත කල පාසල් නැවතත් විටින් විට වසා දැමීමේ සිදුවීම් වාර්තා වේ. කොරෝනා ව්‍යසන සමයේ පාසල් ආරම්භ කරන්නේ නම් එහිදී පිළිපැදිය යුතු සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මාලාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දී ඇති නමුත් ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඒවා කෙතෙක් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන්න සැක සහිතය.

(https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/question-and-answers-hub/q-a-detail/coronavirus-disease-covid-19-schools )

පාසල් නැවත විවෘත කිරීමටත් සාමාන්‍ය තත්වයන් යටතේ පාසල් නැවත පවත්වාගෙන යෑමත් කෙතෙක් දුරට ප්‍රායෝගිකද? ඒ සඳහා අපේ රජය සූදානම්ද? සෞඛ්‍ය අංශය සූදානම්ද?’ වැනි විවිධ ගැටලූ ඇත. වෙනත් රටවල නවීන වෛද්‍ය හා සෞඛ්‍යාරක්ෂණ පහසුකම් භාවිතය මගින් නිතරම ආසාදිතයින් පිළිබඳව අධීක්ෂණයෙන් පසුවන නිසා එහි ජන ජීවිතයෙහි මේවනවිටත් සාමාන්‍ය තත්වයක් දක්නට ලැබේ. නමුත් අපේ රටේ සංස්කෘතික සැකැස්ම හා යටිතල පහසුකම්වල පවත්නා ගැටලු හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා හිඩැස සම්පූර්ණ කල නොහැක. නිවැරදි ප්‍රවාහන ක්‍රමවේදයක් නොමැති වීම, වැසිකිළි පහසුකම් ප්‍රමාණවත් නොවීම හා සීමිත වපසරියක් ඇති පන්ති කාමරයක් තුළ සිසුන් ස්ථානගත කිරීමේදී සිසුන් එකිනෙකා අතර පරතරය තබා ගනිමින් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමේදී ඇතිවන ගැටලු හා යටිතල පහසුකම් අවම පාසල් වැඩි වශයෙන් දක්නට ලැබෙන නිසා රජය ගනු ලබන විවිධ තීන්දු තීරණයන් ඔවුන්ගේ අවශ්‍යතා හමුවේ ඵල රහිත වන බව පැහැදිලිව පෙනේ. කඩිමුඩියේ පාසල් ආරම්භ කර නැවතත් පාසල් වසා දැමීමට තීරණය කිරීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාවක් නොවේ. එමගින් සිසුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය පැවැත්ම අහිතකර ලෙස බලපෑමට ලක්වේ. තවද පාසල් සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අස්ථිර ප්‍රවණතාවයක් ඇති කරයි. එම නිසා මේ පිළිබඳව පුළුල් දැක්මකින් යුතුව විවිධ අංශයන් පිළිබඳව අවධානය යොමු කරමින් කාලීන වැඩසටහන් නව මුහුණුවරකින් ක්‍රියාත්මක විය යුතුය යන්න ආචාර්ය එස්. රගුරාම් මහතා අවධාරණය කරයි.

රූපවාහිනි විකාශයන් මඟින් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම

කොරෝනා පළමු රැල්ලේ ව්‍යාප්තියත් සමග පාසල් වසා දැමීම නිසා අප්‍රේල් මස 20 වන දින ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ මැදිහත්වීමෙන් ‘ගුරු ගෙදර’ (Guru Gedara) යන රූපවාහිනී වැඩසටහන මගින් නිවසේ සිටින සිසුන්ට ඉගෙනුම් හා ඉගැන්වීම් කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලදී. රූපවාහිනිය මගින් අධ්‍යාපන කටයුතු සිදුකිරීම මීට පෙරත් ලංකාවේ පැවතුන නමුත් එහිදී විෂයන් කිහිපයකට පමණක් ඉගැන්වීම් කටයුතු සිදු කර ඇත.  

රූපවාහිනිය මඟින් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සිසුන්ට මුළුමනින්ම ඵලදායි වේද යන්න ප්‍රශ්නාර්ථයකි. මන්දයත් අපේ අධ්‍යාපන ක්‍රමය ද්වී පාර්ශවීය (Interactive) ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගැන්වීම් ක්‍රමවේදයකට අනුව සිදුවන නිසාවෙනි. නමුත් රූපවාහිනී මාධ්‍ය ඔස්සේ සිදු කරන ඒක පාර්ශවීය (One-way) ඉගැන්වීම් කටයුතු හරහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනික ගැටලුවලට ඉක්මනින් පිළිතුරක් ලබා ගැනීම තරමක් අපහසුය. ලොව පුරා මෙවැනි ක්‍රමවේදයන් ක්‍රියාත්මක වුවත් එය තවමත් පසුගාමී තත්වයක් ලෙස පවතියන්න ආචාර්ය එස්. රගුරාම් පවසයි.

පාසල් අධ්‍යාපනය මූලික අධ්‍යාපනයක් ලෙස දක්නට ලැබුනත් ඒ පිළිබඳව ගනු ලබන තීන්දු තීරණයන් සිසුන්ගේ උසස් අධ්‍යාපනය හා අනාගතය පවා ගැටලුකාරී කරයි. සාම්ප්‍රදායික ක්‍රමවේදයක් වන විධිමත් ලෙස විභාග සමත්ව ‍උසස් අධ්‍යාපනයට යොමු වීම ඵල රහිත ක්‍රියාවකි. කෙසේ නමුත් විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයට හුරුවීම මගින් සිසුන්ගේ දැනුම තක්සේරු කිරීම පිළිබඳව අවධානය යොමු වී නැත. එතුලින් නව අභියෝගයන්ට මුහුණ දීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇත. ඒ සඳහා කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව අධ්‍යාපනය (Educational Continuity) ලබාදිය හැකි ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මගින් වත්මන් අධ්‍යාපනික අර්බුදයට විසඳුමක් සෙවිය හැකි බව ආචාර්ය එස්. රගුරාම් පවසයි.තාවකාලික අස්ථාවර  තීන්දු තීරණයන් ගැනීම බොහෝ අවස්ථාවලදී ඵල රහිත විය හැකිය. සීමිත සම්පත් හමුවේ දැඩි තීන්දු තීරණ ගැනීමත් ඵලදායී නොවේ. කෝවිඩ් වසන්ගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දී ඇති අර්බුදයෙන් මිදීමට නම් සිසුන්ගේ මානසිකත්වය, සමාජ භෞතික සාධක, සම්පත්වල ඇති සීමිත බව හා පොදු පහසුකම්වල ඇති විය යුතු සංවර්ධනය වැනි කරුණු පිළිබඳව ගැඔුරින් අවධානය යොමුකර තීන්දු තීරණ ගෙන ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල යුතුය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts