දෙමළ – මුස්ලිම් ජනතා සැකය දුරු කිරීමනව ජනපතිගේ ප්‍රධාන වගකීමයි
ගයාන් යද්දෙහිගේ
මෙරට හත්වන විධායක ජනපති තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වුණු අටවන ජනපතිවරණයේ ප්‍රතිපල විශ්ලේෂණය කිරීමේදී බොහෝ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ජාතිය හා ආගම පදනම් කර ගනිමින් පැහැදිලි බෙදීම් රේඛා රටේ නිර්මාණය වී තිබෙන බවයි. මෙම ප්‍රතිපලයට අනුව මෙරට සුළු ජන කොටස්වල විශ්වාසය දිනා ගැනීමේ අභියෝගය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහචාර්ය දයා අමරසේකර මහතා කියයි.
මෙවර ජනපතිවරණයේ ප්‍රතිපලය සම්බන්ධව ඔබට තිබෙන්නේ කවරාකාර විග්‍රහයක්ද?
මෙම ප්‍රතිපලය තුළ සිංහල බෞද්ධ ජනතාව එක් පැත්තකටත් දෙමළ හා මුස්ලිම් ජනතාව තවත් පැත්තකටත් ගමන් ගෙන තිබෙන බවක් පැහැදිලිව පෙනෙන්න තිබෙනවා.මේ ඈත් වීම රටේ අනාගතය පැත්තෙන් බැලුවොත් එතරම් සුබදායක තත්ත්වයක් නොවෙයි. සුළු ජන කොටස් ප්‍රධාන ප්‍රවාහයෙන් ඈතට ගමන් කිරීම සුළුවෙන් තැකිය හැකි කාරණයක් නොවෙයි. උතුරු නැඟෙනහිර මෙන්ම වතුකරයේ ජනතාව එකම මතයක පිහිටා ඡන්දය පාවිච්චි කර තිබෙනවා.සිංහල බෞද්ධ ජනතාව ඡන්දය පාවිච්චි කර තිබෙන්නේත් එවැනිම මතයක පිහිටලයි. මේ ජනපතිවරණයේදී ජනතාව ඡන්දය පාවිචිච් කර තිබෙන ආකාරය බැලුවම අවබෝධයට වඩා හැඟීම්වලට මුල්තැනක් ලබාදී තිබෙන බවක් පේන්න තිබෙනවා. විශේෂයෙන් වාර්ගික හැඟීම් ප්‍රතිපලය තුළ පැහැදිලිව පෙනෙනවා. සිංහල බෞද්ධ ජනතාව බහුතරයක් ජීවත්වන ප්‍රදේශවල ගෝඨාභය රාජපක්ෂ මහතාට පැහැදිලි ජයග්‍රහණයක් හිමිවෙද්දී සිංහල හා දෙමළ ජනතාව බහුතරයක් ජීවත් වන ප්‍රදේශවල පැහැදිලි ජයග්‍රහණයක් හිමිව තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාටයි.ජනතා කැමැත්ත සාධාරණ ලෙස ඉස්මතු වීම හොඳ දෙයක්
පෙර පැවැති මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණය ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමක පැවැති සාධාරණ හා සාමකාමී එකක් වීම දකින්නේ කෙලෙස ද?
සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට ලැබීම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලුවොත් යහපත් ප්‍රවණතාවක්. ජනතා කැමැත්ත සාධාරණ ලෙස ඉස්මතු වීම ඉතාම හොඳ දෙයක්. ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමක පැවතුණත් මැතිවරණ සමයේ මාධ්‍යය හැසිරුණු ආකාරය ගැන සතුටු වෙන්න බැහැ. රජයේ මාධ්‍යය මෙන්ම පෞද්ගලික මාධ්‍යය ආයතන ගණනාවක් පක්ෂග්‍රාහීව කටයුතු කළා. මේක මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවා ප්‍රකාශ කළා. ඇතැම් මාධ්‍ය ආයතන ජාතිවාදී අයුරින් හැසිරුණා. සිංහල බෞද්ධ ඡන්ද එක් අපේක්ෂකයෙකුට ලබා දීම පිණිස මුස්ලිම් අන්තවාදයක් රටේ ක්‍රියාත්මක වෙන බව පෙන්වීම සඳහා ලොකු උත්සහයක් ගත්තා. මේ නිසා ජනතාව ජාතිය හා ආගම පදනම් කර ගනිමින් විවිධ කොටස් වලට කැඩී ගියා. මතුපිටින් පෙනෙන ආකාරයට මැතිවරණයේදී ප්‍රචණ්ඩත්වයක් දක්නට නොලැබුණත් මාධ්‍යය ඉතා සූක්ෂම ලෙස ප්‍රචණ්ඩත්වය සමාජයට මුදා හැරියා. මැතිවරණ ප්‍රතිපලය ඉතා සාධාරණයි, ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ඉතා ඉහළයි කියන කාරනා වලින් ලබන සතුටට වඩා අප ගැඹුරින් සලකා බලන්න ඕන සිංහල බෞද්ධ ජනතාව එක් අන්තයකටත් දෙමළ හා මුස්ලිම් ජනතාව තවත් අන්තයකටත් යොමු වුණේ ඇයි කියන කාරණයයි.මේක රටකට හොඳ තත්ත්වයක් නොවෙයි. මැතිවරණයකදී ඉතාම පැහැදිලි ලෙස ජනතාව ජන වර්ග අනුව බෙදී ඡන්දය පාවිච්චි කළ ආකාරයක් මෙතරම් පැහැදිලිව ඉස්මතු වුණේ ප්‍රථම වතාවටයි.
මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීමට හේතුවූ කාරණා මොනවාද?
මේ රට විජාතිකයින්ට අයිතිවෙයි කියන මතය යම් යම් බලවේග විසින් ඉතා සූක්ෂම ලෙස මහජනතාව අතරට ගෙන ගියා. සිංහල බෞද්ධ ජනතාවට රටේ තිබූ තත්ත්වය නැති වෙලා සුළු ජාතීන් බලවත් වෙයි කියන හැඟීම සමාජයේ ඇති වුණා. ඇතැම් භික්ෂූන් වහන්සේලා මෙම මතය සමාජ ගත කරන්න ප්‍රබල ලෙස මැදිහත් වුණා. මැතිවරණයේදී ප්‍රතිපත්තිවලට වඩා රට,ජාතිය හා ආගම කියන එක ඉදිරියට ආවා.පාස්කු ප්‍රහාරයත් එක්ක මුස්ලිම් ජාතිකයින් කෙරෙහි සැකයෙන් බලන තත්ත්වයක් සමාජයේ ඇති වුණා. ඒ ප්‍රහාරයත් සමඟ සුළු ජතීන් හා සුළු ආගමික කොටස් කෙරෙයි ලොකු අවධානයක් ලෝක මට්ටමිනුත් යොමු වුණා. මේ සමඟ සිංහල බෞද්ධ ජනතාව තුළට අපිට මේ රට විතරයි තියෙන්නේ කියලා ආකල්පය කාන්දු කරන්න ජාතිවාදී කොටස් උත්සහ කළා.රට රකින්න ආව ජාතියට හා ආගමට ආදරය කරන නායකයෙක් ලෙස තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාව සිංහල බෞද්ධ ජනතාව දැක්කේ. මුස්ලිම් හා දෙමළ ජනතාව ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දරමින් ඔහු බලයට පැමිණිය හොත් තමන්ගේ අයිතිවාසිකම් අහිමි වේයැයි කල්පනා කළා. සිංහල ජාතියේ හා බුද්ධාගමේ ආරක්ෂකයෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමට ඔහු යුද්ධය නිමා කිරීමට දැක්වූ දායකත්වයත් බලපෑවා. සිංහල බෞද්ධ ඡන්ද එකම තැනකට විතැන් වූයේ මේ අනුවයි.
දෙමළ හා මුස්ලිම් ජනතාව ජාතිවාදීව හැසිරුණා කියන්න අමාරුයි
සිංහල බෞද්ධ ඡන්දවලින් අති බහුතරයක් ලබා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත්වූවා. ඔහු නියෝජනය කරන කණ්ඩායම තුළ මේ රට අයිති සිංහල බෞද්ධයින්ට පමණයි කියන අදහස දරන පිරිසක් ද ඉන්නවා.ජාතික සමඟිය ගොඩ නැගීමේ කාර්යයේදී මෙම පිරිස හසුරුවා ගැනීමත් අභියෝගයක් නේද?
භික්ෂුව සහ භික්ෂු ආයතන පසුගිය කාලයේදී දේශපාලනීකරණයට ලක්වුණ ස්වභාවයක් පැහැදිලිව පෙනෙන්න තිබුණා. ජාතිය හා ආගම කියන සංකල්ප දෙක පදනම් කරගෙන තමයි මේ දේශාපලනීකරණය වීමේ ක්‍රියාවලිය සිද්ධ වුණේ.මෙම පිරිස ඇත්තනේම පෙනී සිටියේ ජාතිය හා ආගම වෙනුවෙන් නොවෙයි. ඔවුන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් ජාතිය හා ආගම පාවිච්චි කළා. ප්‍රබල දේශපාලන චරිත හා භික්ෂූන් වහන්සේලා සමීප ඇසුරක් පැවැත්වන අයුරු පසුගිය කාලයේදී දක්නට ලැබුණා. එවැනි කණ්ඩායම් තමයි මේ දේශපාලන බලවේගයේ මුදුන් මල්කඩ ලෙසින් හිටියේ. එවැනි පිරිසක් නිර්මාණය වීමට අවශ්‍ය ඉඩක් දේශපාලන ධාරාව තිබුණා. මේ සිංහල බෞද්ධ පදනම තුළින් ජයග්‍රහණය කළත් ඒ තුළම අඛණ්ඩව රැඳී සිට කටයුතු කිරීමෙන් රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. මේක ජනපතිවරයා තේරුම් ගන්න ඕන. ජනපතිවරයෙක් පත්වන්නේ රටේම ජනතාව වෙනුවෙන් මිසක් එක් ජන කොටසක් නියෝජනය කරන්න නොවෙයි. දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම් කන් දෙන්න ඕන. ඔවුන් ජාතිවාදීව හැසිරුණා කියලා කියන්න අමාරුයි. ජාතිවාදීය හැසිරුණා නම් දෙමළ ජනතාවට ශිවාජිලිංගම් මහතාට ඡන්දය දෙන්න තිබුණා.නැගෙනහිර ඉතාම සුළු පිරිසක් තමයි හිස්බුල්ලා මහතාට ඡන්දය ලබාදී තිබුණේ.දෙමළ හා මුස්ලිම් ජනතාව අති බහුතරයක් තමන්ගේ ඡන්ද ලබා දුන්නේ දකුණේ සිංහල බෞද්ධ නායකයෙකුට බව අප අමතක කරන්න හොඳ නැහැ. එම ජනතාව තමන් ප්‍රතික්ෂේප කරමින් තවත් සිංහල බෞද්ධයෙකු වටා ඒකාරාශි වුණේ ඇයි කියන කාරණය සොයා බැලීම තමයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කල්පනා කර බැලිය යුත්තේ. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේදී තමන් සමඟ දේශපාලනය කළ විශාල පිරිසක් සමඟ අරගලයක් කරන්න ඔහුට සිදුවේවි. බලය තිබුණත් ඒ සඳහා දේශපාලන අවකාශය කොතරම් දුරට තිබේද කියන කාරනය තමයි වැදගත් වන්නේ.
මෙම බෙදීම වලක්වා ගැනීමේ ක්‍රියාවලියේදී ප්‍රමුඛතාව දී ක්‍රියාත්මක කළ යුතු දේ ලෙස ඔබ දකින්නේ මොනවාද?
තමන් කෙරෙහි දෙමළ හා මුස්ලිම් ජනතාව අතර පවත්නා සැකය දුරු කිරීම තමයි ජනපතිවරයාගේ ප්‍රධාන වගකීම වන්නේ. මුලින් එතුමා මෙම ජනකොටස් වල විශ්වාසය දිනාගත යුතුයි. ඒ සඳහා අවංකව ඔවුන්ට දෑත් දිගු කළ යුතුයි. යුද්ධය නිමා වෙලා වසර දහයක් ගත වුණත් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳී නැහැ. උතුරේ ගුවන් තොටුපොළ විවෘත කළාම එහි නාම පුවරුවේ ඉහළින්ම දෙමළ භාෂාවෙන් නම සඳහන්ව කළාම ප්‍රශ්න කරන රටක් මේක. මේ තත්ත්වයෙන් රට මුදා ගැනීමට නම් සිංහල,දෙමළ භාෂා බේදයකින් තොරව අපි හැමෝම ශ්‍රීලාංකිකයෝ කියන හැඟීම හැමෝ තුළම ඇති කරන්න ඕන.ලෝකයට ගියාම අපිව සිංහලද,දෙමළද,මුස්ලිම්ද කියලා නොවේ පිළිගන්නේ.ශ්‍රීලාංකිකයෝ කියලයි.ආපහු රටට ආවම අපි මේ ජාති බේද මතුකර ගන්නවා.සාමය හා සංහිඳියාව පදනම් කර ගනිමින් අපි එකට එකතු වෙන්න නම් හැමෝම කැපවීමක් කරන්න සූදානම් වෙන්න ඕන. අපි දෙගොල්ලන්ටම පොදු තැනකට එන්න පුළුවන් නම් ප්‍රශ්න විසඳන්න පහසුයි. දක්ෂතා ඇති අයට ජාති,ආගම් බේදයකින් තොරව ඉදිරියට එන්න අවස්ථාව ලබා දිය යුතුයි. සංස්කෘතික විවිධත්නය පිළිගැනීමට උනන්දු වන සමාජයක් ගොඩ නැගීම ඉතා වැදගත්.
ජාතික ආරක්ෂාව යනු ජාතීන් අතර සමඟිය හා සහජීවනය ඇති කිරීමයි
ජාතික ආරක්ෂාව සම්බන්ධව පාස්කු ප්‍රහාරයෙන් පසු විශාල සමාජ කතිකාවක් ඇති වුණා.ජනපතිවරණයේදී මෙම කාරණය තීරණාත්මක ලෙස ඉස්මතුවූ බවක් පෙනෙනවා?
ජනපතිවරණය ජය ගැනීමටත් පෙර ආරක්ෂක ලේකම් නම් කිරීමට එක් අපේක්ෂකයෙකු කටයුතු කළා. ඒකෙන්ම පේනවා මේ කාරණය මොන තරම් ප්‍රබල එකක් වුණාද කියලා.ජාතික ආරක්ෂාවට තර්ජනයක් අපිට පේන මානයක නැතත් අපි ඒ ගැන සැක කරනවා. ආරක්ෂාව කියන වචනය දේශපාලනඥයින් තමන්ගේ වාසියට භාවිත කරන තත්ත්වයක් පේන්න තිබෙනවා.මේක ඉතා සංවේදී මාතෘකාවක්. ජාතික ආරක්ෂාව තහවුරු කළ යුත්තේ අවි ගත් සෙබළුන් තැන තැන යොදවලා නොවෙයි. ජාතීන් අතර සමඟිය හා සහජීවනය ඇති කිරීම මගිනුයි. දැන් බලන්න මේ මැතිවරණ ප්‍රතිපලය තුළ දක්නට ලැබෙන ජනවාර්ගික බෙදීම ගැන. මේ තුළ එක් ජාතියක් තවත් ජාතියක් ලෙස සැකයෙන් බලන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා නේද? අපි වලක්වන්න ඕන මේ සැකය පැතිර යන එකයි. ඒක තමයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ.
This article was originally published on the catamaran.com