අනාවරණ

විද්වත් මත නොතකන ලංකාවේ කොවිඩ් මර්ධනය

අරුණ ලක්ෂමන් ප්‍රනාන්දු

කොරෝනා මර්ධනයේ සියළු කාර්යන් සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අංශයන්ගේ උපදෙස් මත බව ආණ්ඩුවේ මැති ඇමතිවරු නිතර කියති. එහෙත් කොවිඩ් මර්ට්ධනයේදී ගනු ලබන තීන්දු තීරණ දෙස විමසා බැලීමේදී සෞඛ්‍ය අංශ පසෙකලා ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා බවක් දැක ගත හැක.

මෑතක සිට කොවිඩ් මර්ධන කමිටුවේ සාමාජිකත්වය දරණා වෛද්‍යවරු තරගයට මෙන් ඉන් ඉවත්වෙන ප්‍රවනතාවක් දැක ගන්නට හැක. එහි සාමාජික මහාචාර්‍ය ඒ. පත්මේෂ්වරන් ඉන් මුලින්ම  ඉල්ලා අස්වූ වෛද්‍යවරයාය. කැළනිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත උතුරු කොළඹ වෛද්‍ය පීඨයට අනුයුක්ත ප්‍රජා වෛද්‍ය විශේෂඥයකු වූ මහාචාර්ය පත්මේෂ්වරන් ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් කමිටුව නියෝජනය කරන ලද අතර ඔහු ඉන්ද ඉල්ලා අස්වූ බව වාර්තාවේ. ඉන් අනතුරුව කොවිඩ් මර්ධන කාර්යේ සුවිශාල කාර්යක් ඉටුකළ මහාචාර්ය නීලිකා මලවිගේද කොරෝනා කමිටුවෙන් ඉවත් විය. 

මෙකී ආන්දෝලනාත්මක කොවිඩ් කමිටුවෙන් ඊළඟට ඉවත්වූයේ වසංගත රෝග විද්‍යායතනයේ ( අයි.ඩී.එච්. රෝහලේ ) විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමය. ශ්‍රීලංකාවේ මුල්ම කොවිඩ් රෝගියා වර්තාවූ මොහොතේ සිට අද දක්වා ඉතා සක්‍රීය ලෙස කොවිඩ් මර්ධනයට දායකව සිටිනා විශේෂඥ වෛද්‍ය විජෙවික්‍රම වැන්නෙක් කොවිඩ් කමිටුවෙන් ඉවත්වීම බරපතල තත්ත්වයකි.කොවිඩ් පමනක් නොව වසර ගණනාවක සිට මෙරටට පැමිණි වසංගත කිහිපයක්ම මර්ධනය කිරීමෙහිලා ඔහු දක්වා ඇත්තේ සුවිශේෂි සමත් කමකි.  ඔහු කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙමින් යොමුකළ විදුත් තැපැල් පණිවිඩය මාධ්‍යට නිරාවරණය වීමත් සමග කොවිඩ් කමිටුවේ අභ්‍යන්තර අර්බුදය තව දුරටත් සමාජයෙන් වසන් කිරීමට ආණ්ඩුවට නොහැකි විය. එකී විද්‍යුත් තැපැල් පණිවිඩයට අනුව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව එන්නත්කරණ වැඩසටහන විශේෂඥ වෛද්‍ය මතය නොතකා අණ්ඩුවේ හිතූ මනාපයට පවත්වාගෙන යාම බව තහවුරු විය. මහනුවරට ස්පුට්නික් එන්නත ලබදීම සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස 20 – 29 අතර තරුණ කොටස් සඳහා ෆයිසර් එන්නත ලබදීම වැනි කරුණු වෛද්‍ය මතයට පටහැනිව ගත් තීන්දු බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කරයි .

හම්බන්තොටට ෆයිසර් එන්නත ලබාදීමේ ගැටළුව පාර්ලිමේන්තුවෙදී පවා ප්‍රශ්න කරනා කරුණක් වන තරමට දුරදිග යන ලදි. එම අවස්තාවේදී රසවත්ම බොරුව කීවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්තය. ඔහු පවසා සිටියේ එන්නත් ලබාදියයුතු දිස්ත්‍රික්කය තීරණය කරනු ලබනුයේ ඒවා ලබාදෙන රටවල් බවය. එහෙත් ඉන් දෙදිනකට පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මාධ්‍ය හමුවකදී  කියා සිටියේ ෆයිසර් එන්නත හම්බන්තොටට යවනු ලැබුවේ ආණ්ඩුවේ ඉල්ලීමට බවයි. එමතුදු නොව එන්නත් බෙදාහැරීමේ සියළු තීන්දු ගනුලබන්නේ ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන ජාතික බලකාය විසින් බවද ඔහු අවධාරණය කළේය. 

මෙරට කොවිඩ් මර්ධන භූමිකාවේ මහගෙදර බඳු කොවිඩ් මර්ධන කාර්‍ය සාධක බලකායෙන් සහ එහි අනු කමිටු වලින් වෛද්‍යවරු පමනක් නොව වෛද්‍ය සංගම්ද දැන් දැන් ඉවත් වෙමින් සිටී. ඉතා දිගු කලක් රජයට දැඩි පක්ෂපාතීත්වයක් දැක්වූ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවා පසුගිය 9 වැනිදා ඉන් ඉවත් වූ  අතර එය කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ තත්වයක් විය. තම සංගමය කොවිඩ් මර්ධන කමිටුවෙන් ඉවත්වීම ගැන මාධ්‍ය හමුවක්දී කරුණු දැක්වූ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මෙසේ පැවසීය. ” එන්නත් කරණය පිළිබඳ අපි වැඩ පිළිවෙලක් හදලා භාර දුන්නා. ඒක හැදුවේ විශේෂඥ වෛද්‍යවරු එක්ක සාකච්චා කරලා. ඒත් ඒ වැඩසටහන ක්‍රියාත්මක වුනේ නෑ.” (එම ප්‍රකාශය මගින්ද  වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සිය ඉල්ලා අස්වීමෙන් පැවසු කරුණු නැවත සනාත වන බව පැහැදිළි වෙයි)

 කොවිඩ් මර්ධනයේදී සෞඛ්‍ය අංශ නොතකා හමුදාවට ප්‍රමුඛ තැනක් ලබාදීම ගැනද බරපතල චෝදනා රජයට එල්ලවෙයි. එය හුදු කරන්නන් වාලේ කරනා චෝදනාවක් නොවනා බව පසුගියදා මාතර වැලිගම එන්නත්කරන මධ්‍යස්ථනයේදී සිදුවූ ආරවුල සාක්ෂි දරයි. සයිනෝෆාම් දෙවන මාතෘකාව ලබාදීමට පැවැත්වූ එකී සායනයට එන්නත් 11,500 අවශ්‍ය මුත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදි තිබුනේ එන්නත් මාත්‍රා 6500 පමණක් බව ඒ සිදුවීම පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියා සිටී. ” රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල මගින් පවත්වන එන්නත් කඳවුරු වලට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රමාණවත් එන්නත් තොග ලබාදෙන්නේ නෑ. නමුත් හමුදාව විසින් පවත්වාගෙන යන එන්නත් මධ්‍යස්ථාන සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ඇති තරම් එන්නත් තොග සපයනවා.” යයි මාතර වැලිගම සිදුවීම ගැන නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිළධාරී සංගමය පවසයි . 

මේ වූ කලී අළුත් තත්ත්වයක් නොවන බවත්  ආණ්ඩුව කොරෝනා මර්ධනය ආරම්භ කරනා ලද මුල් අවදියේ සිටම පැවත එන තත්ත්වයක් බවත් පසුගිය මාස කිහිපය දෙස විමෙසිල්ලෙන් බලද්දී තහවුරු කරගත හැක. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් හුදකලා කර වසා දැමූ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බලප්‍රදේශය යුද හමුදාපතිවරයාගේ උවමනාවට විවෘත කිරීම ඊට එක උදහරණයකි. තවත් එවැනි උදාහරන ඕන තරම්ය.

ගැටුම් ඇත්තේ ආණ්ඩුවේ කොවිඩ් මර්ධන කමිටුවේ පමනක් නොවේ. සමස්ථ කොවිඩ් මර්ධන වැඩ පිළිවෙලම ගැටළුවකි. පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ පසු හෝ වෛද්‍යවරයෙකුට සෞඛ්‍ය අමාත්‍යංශය බාර දෙනු ඇතැයි මෙරට ජනයා බලාපොරොත්තුවිය . වෛද්‍ය රමේෂ් පතිරණට හෝ විශේෂඥ ප්‍රජා වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේට එකී අවස්ථාව හිමිවනු ඇතැයි ඕවුහු බලාපොරොත්තු වූහ. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය හිමිවූයේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයට කිසිදු සබැදියාවක් නැති කෙහෙළිය රඹුක්වැල්ලටය . එපමණක් නොව ආණ්ඩු පක්ෂය නියෝජනය කරනා වෛරසවේදය පිළිබඳ ජ්‍යේෂ්ට මහාචාර්ය , පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ කිසිම කොවිඩ් කමිටුවකට ඇතුළත් කරගෙන නොතිබීමද අපූරු කාරනාවකි. ලෝක සෞඛ්‍ය සංවිධනයේ වෛරස රෝග පිළිබඳ කමිටුවේ විසි වසරකට අධික කාලයක් සේවය කළ, මෙරට වෛද්‍ය පරයේෂණ ආයතනයේ සභාපති ධූරය පවා ඉසිලූ මහාචාර්‍ය තිස්ස විතාරණ වෛරසවේදය පිළිබඳ ගෝලීය ප්‍රාමාණිකයෙකි. එවැන්නන් ඉවතලා තම දේශපාලන මතයට මුක්කු ගසනා හිතවතුන් සහ හමුදා නිළධාරීන් පමණක් යොදාගෙන ආණ්ඩුව කිරීමෙන් අවදානමට ලක්වන්නේ මේ රටේ ජනතාවගේ ජිවිතය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts