අනාවරණ

විසංවාදයෙන් තොර ඇදහුමක තෝතැන්න වෙරුගල් කල්ලඩි පන්සල

මංගලනාත් ලියනාරච්චි

එදා කොටි හඩ ගුවන් විදුලිය හරහා වෛරය හා ත්‍රාසය වැපුරු කල්ලඩි කඳු මුදුනේ සංහිඳියා සාම බෝධි ඝරයෙන් අද ගලා යන්නේ, සංහිදියාවේ අපූරු හඬයි, රිද්මයයි. කලකට පෙර කල්ලඩි පංසලට වෛර කළ වඩිවේල්ලා, පාර්වතීලා පමණක් නොව වෙනත් ආගමික ස්ථාන “හරාම්“ යැයි කියමින් පංසලකට පා නොතැබු මහරූෆ්ලාද වෙනසකින් තොරව කල්ලඩි ගල නගින්නේ, සංහිදියාවට නැවුම් ප්‍රවේශයක් එක් කරවමිනි.

ත්‍රීකුණාමලය වෙරුගල් පාෂාණ පබ්බත රජමහා විහාරයේ විහාරාධිපති වෛද්‍ය රත්නපුර දේවානන්ද කිත්ති හිමියන් වැඩි දෙනකු හඳුනන්නේ, “කොටි හඩ පංසලේ හාමුදුරුවෝ“ නමිනි.කොටි සංවිධානය එකල ඔවුන්ගේ නිල ගුවන් විදුලිය වු කොටි හඩ ගුවන් විදුලියේ නැගෙනහිර පළාතේ විකාශන කටයුතු සිදු කරන ලද්දේ, වෙරුගල් කල්ලඩි පිහිටි පුරාණ පාෂාණ පබ්බත විහාර භූමියේ වු ගල් කූටයක් මත ඉදිකළ  කුළුනක් මගිනි. ආරක්ෂක අංශ නැගෙනහිර පළාත මුදා ගැනීමෙන් පසු මෙම භූමියට වැඩම කරවු දේවානන්ද කිත්ති හිමියන් මහත්වු අල්පේච්ඡ දිවියක් ගෙවමින් ඒ අතීත උරුමයන් රැක ගැනීමේ කාර්යයේ නිරතව සිටින්නේ,පත අට එකට සිදුවා පිළියෙළ කර ගන්නා කසායක් මෙන් “සංහිදියාව“ ද ඊට මනා සේ ගලපමිනි. දැඩි මතධාරි ආගමික  හා දේශපාලන මතවාද දරන පිරිස්ද විසං වාදයෙන් තොර ඇදහුමකට කල්ලඩි පංසලට පැමිණෙන්නේ, දේවානන්ද හිමියන්ගේ ඒ දූරදර්ශී  කටයුත්තක ප්‍රතිළුලයක් ලෙසිනි.

බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වු ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දඹදිව සිට දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් මෙරටට වැඩම කරවන ලද්දේ, මෙම ස්ථානයට නුදුරින් වු කප්පල්මලෛ හෙවත් “නැව්ගල“ නැමැති ස්ථානයෙන් බව පුරා වෘත්තයෙහි සදහන්ය. ක්‍රි.පූ. 1 වන සියවසට අයත් මහාධාතික මහා නාග නැමැති රජෙකු කරවු සෙල් ලිපි හයක  හා පුරාණ ධාතු මන්දිරයක නෂ්ඨාවශේෂ අදටත් කල්ලඩි පාෂාණ පබ්බත විහාර භූමියේ දක්නට ඇත.

“මේ භූමිය වසර තිහකට වැඩි කාලයක් විටින් විට ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවති ස්ථානයක්.කොහොම වුණත්,නැගෙනහිර පළාත මුදා ගත්තට පස්සේ අපවත් වුණු අපේ සේරුවිල නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමකට අනුව 2009 වසරේදී  මෙම ස්ථානයට වැඩම කරවලා මේ ස්ථානය නගා සිටුවීමේ කටයුතු ආරම්භ කලා.“

මේ තමයි,ලෝකේ ඉදිවුණු පළමු සංහිදියා සාම බෝධිඝරය

රත්නපුර දේවානන්ද කිත්ති හිමියන්  ගිහි ජීවිතයේ දී හෝමියෝපති වෛද්‍ය වරයෙකි.නමින් සේන ඩී ගමගේය. සෞදි අරාබියේ ඉන්දියන් රෝහලක වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී,  කැබතිගොල්ලෑව යකා වැවදී පුපුරා ගිය බිම් බෝම්බයේ අනුවේදීනීයත්වයෙන් කම්පිත වන සේන ඩී ගමගේ නැමැති මෙම වෙදදුරා යුද්ධයෙන් පීඩිත ජනයාට යම් මෙහෙවරක් කිරීමේ අරමුණින් හා විනාශ වී යන උතුරු නැගෙනහිර බෞද්ධ උරුමයන් රැක ගැනීමේ පරම පවිත්‍ර  චේතනාවෙන් වෛද්‍ය වෘත්තිය ද හැරපියා පැවිදි දිවියට එළබෙන්නේ ය.

“මං කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව විහාරස්ථානයේ ධම්ම රක්කිත නායක හාමුදුරුවෝ යටතේ තමයි පැවිදි දිවියට එලඹුණේ. මම නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමකට අනුව  යුද්ධයෙන් විනාශ වී තිබුණු කැබිතිගොල්ලෑව ඊතල විද්ද වැව පුරාණ රජමහා විහාරස්ථානය අවුරුද්දක් ඇතුළත  ගොඩ නැගුවා. මේක දැකපු එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ මං ගැන සේරුවිල නායක හාමුදුරුවන්ට කියලා තමා මෙම ස්ථානය නැවත ගොඩ නගන්න කියලා මට භාර දෙන්නේ.මට දෙමළ භාෂාවත් හොදට පුළුවන්. මම ලංකාවේ වැඩ කරද්දී,බණ්ඩාරවෙල, ඌව පරණගම, උඩුපුස්සෑල්ලෑව වගේ දිහාවල ඩිස්පෙන්සරි කළා. ඒ නිසා මට හොදට සිංහලට වඩා දෙමළ කථා කරන්න පුළුවන්..“

පංසලේ පියතුමා නමින් හදුන්වන මර්සලීන් ජයකොඩි පියතුමාගේ හට පුද කළ කුටිය

දේවානන්ද කිත්ති  හිමියන් මෙම ස්ථානයට වැඩම කරවන විට එම භූමියේ රැදී සිටියේ,යුධ හමුදාවයි.දේවානන්ද හිමියන් වැඩම කොට ටික කලකින් හමුදාව එම ස්ථානය හැරයාමත් සමග දේවානන්ද හිමියන්ගේ නවාතැන වන්නේ,කොටි හඩ ගුවන් විදුලියේ විකාශන කටයුතු සිදුකල කන්ටේනර් පෙටිටියකි.රස බොජුන් පසෙකලා අනේක දුක් කම්කටොලු වලදමින් කල්ලඩියේ  බිම්ගත වන දේවානන්ද කිත්ති හිමියන්ටද නිරපේක්ෂ ලෙස ගල් පෙරළන දූරිභූත වු දෙව්දත්ලා හමුවන්නේ,ආරක්ෂාවට නොව හිතවත්කමට හෝ වචනයක් දෙඩිය හැකි තම වරිගයේ එකෙකු නොමැති වටපිටාවකය.

“මම මෙතනට ඇවිත් ටික කලකින් හමුදාව යන්න ගියා. මං කල්පනා කලේ,හැම ජාතියකටම ගෞරව කරන්න පුළුවන්,වදින්න පුදන්න පුළුවන් පුදබිමක් ඇති කරන්න ඕනේ කියලා.ඒකෙ අවසාන ප්‍රතිපලේ තමා මේ සංහිදියා සාම බෝධිඝරය ඉදි වෙන්නේ…මේ තමයි,ලෝකේ ඉදිවුණු පළමු සංහිදියා සාම බෝධිඝරය…“

වෙරුගල්,කල්ලඩි යනු  සියයට සියයක්ම  දෙමළ සම්භවයක් සහිත පෙදෙසකි. මෙහි ජනයා වැඩි දෙනකු දෙමළ ආදිවාසීන් හෙවත්,මුහුදු ආදිවාසීන්ය. දුගී බවින් හා නූගත්කමින් පීඩිත වු මෙහි ජනයාගේ හිත් ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් ගිනි තැබීමට බත් පාර්සලයකට හෝ බඩු මල්ලකට වුවද බැරිකමක් නැත.මේ බව හොදින් වටහ ගන්නා දේවානන්ද හිමියන් මොවුන්ගේ නූගත්කම අවම කිරීමේ අරමුණින් කුඩා දරුවන් වෙනුවෙන් ළදරු පාසල් හා වෙනත් වැඩ සටහන් ඇරඹුව ද, ජාතිවාදි දේශපාලඥයන් ඊට අකුල් හෙලුවේ, ඔවුන්ගේ පැවැත්මට එය බාධාවක් බැවිනි.මුල් අවධියේ, ගමේ ජනයාට ලබා දුන් හදිසි වෛද්‍ය පහසුකම් ද නවතා දැමීවට දේවානන්ද හිමියන්ට සිදුවන්නේ,එහි ප්‍රතිළුලයක් ලෙසිනි.

කතරගම දෙව් කුටිය

“මං කරපු හොද වැඩ සටහන් හැම එකක්ම ඒ තරම් දුර යන්න බැරි වුණා.අන්තිමේ මං කල්පනා කළා මේ මිනිස්සුන්ට මේ පංසල දැක්කහම වෛර කරන තැනට නෙවෙයි, පංසල දැක්කහම ආදරේ හිතෙන ගෞරව හිතෙන නැනක් බවට පත්කළ යුතුයි කියලා.ත්‍රීකුණාමලේට   විනෝද ගමන්, අධ්‍යාපන ගමන් යන බොහෝ පිරිස් මේ හරහා යනවා.ඒ අතර දෙමළ හා මුස්ලිම් අය වැඩි වශයෙන් සිටිනවා.අනික මේ ගමට පිටස්තර පැතිවලින් එන අය මේ ගල උඩට නැගලා අවට සිරි විදින්න හරි කැමතියි.ඒත්,ඔවුන් මේක පංසලක් නිසා එන්න මැලිකමක් දක්වනවා.මට ඕන වුණේ,ඒ තත්වය නැති කරලා පොදුවේ මේ පංසල වන්දනාමාන කරන වටපිටාවක් හදන්නත්, ඒ හරහා අපි අතර තිබෙන මේ වෛරී අදහස් නැති කරලා හැම ආගමකටම ගරු කරන පිරිසක් නිර්මාණය කරන්නයි..“

දේවානන්ද කිත්ති හිමියන්ට මේ අපූරු සංහිඳියා සාම බෝධිය පිළිබද සිත් පහළ වන්නේ,ඒ සදහා අවශ්‍ය කෙරෙන බරපැන සතයකදු හෝ නොමැති වටපිටාවක දී වුවද, දේවානන්ද කිත්ති හිමියන් එයින් පසුබට නොවන්නේය.

“මම ගමන් බිමන් යන්න පාවිච්චි කලේ,මගේ පුද්ගලික මුදලින් ගත්තු කුඩා ලොරි රථයක්.මෙහෙ ගමනා ගමන පහසුකම් හරිම දුෂ්කරයි.මං මගේ ගිහි ජීවිතේ තිබුණු රියදුරු බලපත්‍රය තමයි ඒ වාහනේ පදවන්න පාවිච්චි කළේ. කොහොම හරි මට මේ වාහන එළවිල්ලට නීතියෙන් බාධා ආවා. පොලිසිය හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් දානවා.අවසානයේ,මං තීරණය කලා මේ ලොරිය විකුණලා ඒ සල්ලි වලින් මේ සංහිඳියා සාම බෝධිය හදන්න ආරම්භය ගනිමු කියලා.“

විෂ්ණු දෙව් කුටිය

දේවානන්ද හිමියන් අවසානයේ  තම සුඛ විහරණයට නොව,ගමන් පහසුව සැලසු වාහනය විකුණා දමා ඒ මුදලින් මෙරට කිසිදු විහාරස්ථානයක දැකිය නොහැකි ඒ අපූරු සංහිදායා බෝධියට මුල පුරන්නේය. ඒ සදහා යුද හමුදා සෙබළුන්ගේ ශ්‍රමය මෙන්ම විවිධ ධානපතියන්ගේද සහය ලැබෙන්නේ,යහපත් සිතුවිල්ලෙන් කරන ඕනෑම කටයුත්තකට යහපත් ප්‍රතිපල ලැබෙන බව ඔප්පු කරවමිනි.

හිටපු නීතිපති සරත් එන් සිල්වා මහතා විසින් 2008 වසරේ මෙම ස්ථානයේ රෝපණය කරන ලද, ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් වටා ඉදි කෙරෙන මෙම සාම බෝධියේ විශේෂත්වය වනුයේ, ඊට සිංහල බෞද්ධයන්ට පමණක් නොව, හින්දු, ඉස්ලාම්, කතෝලික පමණක් නොව,විවිධ පෙදෙස්වල අදටත් දෙවිවරුන් ලෙස ගෞරව බහුමානයට පාත්‍ර වු ප්‍රාදේශීය දෙවිවරුන් ද මේ බෝධිඝරය තුල විරාජමාන කිරීමයි.

“සාමානයෙන් පංසල් වල විෂ්ණු කතරගම සමන් දැඩි මුණ්ඩ දෙවිවරුන්ට පුද පූජා කරන අමුතු දෙයක් නෙවෙයි.හැබැයි,ඒ දෙවිවරුන් අපේ අටවිසි පිළිම වහන්සේලා සමග වැඩ ඉන්නේ නැහැ. අපිට අපේ ආගම වගේ වෙනත් ජාතීන්ට එයාලගේ ආගම් ඉහලයි. ඒ නිසා මං මේක අටවිසි බෝධිඝරයක් වෙනුවට 56 ක බෝධිඝරයක් ලෙස නිර්මාණය කරන්න කල්පනා කළා. අපේ අටවිසි පිළිමවලට අමතරව, විෂ්ණු, කතරගම, සමන්,දැඩිමුණ්ඩ, ලක්ෂ්මි, සරස්වතී, ගම්බාර, පුල්ලෙයාර් දෙවිවරුන්ටත් කුටි වෙන් කළා… එතකොට මේ ස්ථානය නරඹන්න මෙතනට එන අන්‍ය ආගමිකයන්ටත් මේ ස්ථානයේ වන්දනාමාන කරන්න අවස්ථාව සැලසෙනවා. ඔවුන් ඒ නිසා නැවී සැනහෙනවා…“ දේවානන්ද කිත්ති හිමියන් කියන්නේ, මහත් තෘප්තියකිනි.

ගණ දෙව් කුටිය

එතකින් නොනැවතෙන දේවානන්ද කිත්ති හිමියන් තම සිතේ ඇතිවු තවත් අපූරු අදහසක් මල්පල ගන්වා ගන්නේ, ආගම්වාදයෙන් අන්ධ වූ  අපේම ඇතැමුන්ට ද අතුල් පහරක් එල්ල කරමිනි.

මේ ස්ථානයට දෙමළ – හින්දු  අය විතරක් නෙවෙයි, මුස්ලිම් – කතෝලික අයත් එනවා.හැබැයි,ඔවුන් මේ අවට සිරි නරඹනවා මිසක් ඇතුළට එන්න හිතන්නේ නැහැ. ඒ නිසාම මං කල්පනා කලා  විසදුමක් හැටියට මුස්ලිම් හා කතෝලික අයට හැගීමක් ඇති වෙන දෙයක් නිර්මාණය කරන්න ඕනේ කියලා.  පංසලක මුස්ලිම් හෝ කතෝලික පිළිම හෝ සලකුණු තිබ්බොත්, ඒක අපේ බෞද්ධ අයට හිත් රිදීමක් වැරදි අදහසක් ඇති වෙන එක වලක්වන්න බැහැ. ඒත්,අපි දන්නවා මොහොදීන් බෙග් මහතාට බෞද්ධ හැමෝම එක විධිහට ගරු කරනවා. අදටත්,පංසලක දානේ ගෙදරක අපි දාන්නේ,මොහොදින් බෙග් මහත්තයාගේ සිංදු.. ඒ නිසා මං මේකෙ එක කුටියක් මොහොදින් බෙග් මහතාට වෙන් කරලා ඒකේ මුස්ලිම් අය ගරු කරන ආගමික සලකුණ ස්ථාපිත කළා. ඒ වගේම කතෝලික අය වෙනුවෙන් වෙන් කරපු කුටියේ, අපි කව්රුත් එක සේ ගරු කරන පංසලේ පියතුමා නමින් හදුන්වන මර්සලීන් ජයකොඩි පියතුමාගේ රුවක් ස්ථාපිත කළා.. මේ වෙන කොට ඉස්සර මේ පැත්ත පළාතේ නාපු මුස්ලිම් අයත් හරි සතුටින් ඇවිත් මේක බලලා වැඳලා පුදලා යනවා.මෙහෙ දෙමළ අය වැඩිපුරම අදහන්නේ, පුල්ලෙයාර් දෙවියෝ..දෙමළ අය සවසට ඇවිත්,එයාලගේ පිළිමවලට මල් තියලා කපුරු හදුන්කූරු හරි සතුටින් පත්තු කරලා යනවා. දැන් එයාලට පංසල ගැන වෛරයක් නැති තරම්. වැඩිහිටියෝ නොකළත්, දෙමළ පුංචි ළමයි භේදයකින් තොරව බුදු පිළිම වලටත් හදුන්කූරු පත්තු කරනවා..ඇත්තටම මං ඒකෙන් පුදුමාකාර සතුටක් ලබන්නේ..“ දේවානන්ද කිත්ති හිමියන් විදින්නේ,වෙනත් හිමිනමක් නොලබන සතුටකි. ඒ සතුට අකුරු කිරීමට බැරි තරම් සුන්දර ය.

වෛද්‍ය රත්නපුර දේවානන්ද කිත්ති හිමි

“මං එදා සිංහල ජාතිය ගැන හිතලා බෞද්ධ උරුමය ගැන හිතලා පැවිදි දිවියට ඇතුළු වුණත්, අද මං ඉන්නේ ඊට හාත්පසින්ම වෙනස් තැනක.මේ මිනිස්සුන්ගේ ජිවිතවලින් මං බොහෝ දේ ඉගෙන ගත්තා. අපි ආගමික නායකයන් හැටියට මොනවද මේතාක් කරලා තියෙන්නේ කියලා මෙනෙහි කරන්න කාලය ඇවිත්. අපි ඊළඟ පරම්පරාව හෝ මේ ඉන්න ජාතිවාදි අගාධයෙන් ගොඩ ගන්න දැන්ම ඉදන් කටයුතු කළ යුතුයි. ඒක තමා මගේ පරම පවිත්‍ර චේතනාව..“ යැයි දේවා නන්ද කිත්ති හිමියෝ පවසති.

එදා කොටි හඩ ගුවන් විදුලිය හරහා වෛරය හා ත්‍රාසය වැපුරු කල්ලඩි කදු මුදුනින් අද ගලා යන්නේ,සංහිදියාවේ අපූරු රිද්මයයි. කලකට පෙර කල්ලඩි පංසලට වෛර කල වඩිවේල්ලා, පාර්වතීලා පමණක් නොව වෙනත් ආගමික ස්ථාන “හරාම්“ යැයි කියමින් පංසලකට පා නොතැබු  මහරූෆ්ලාද වෙනසකින් තොරව කල්ලඩි ගල නගින්නේ, සංහිදියාවට නැවුම් ප්‍රවේශයක් වෙන් කරවමිනි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts