කෝවිඩ් -19 හමුවේ දෝලනය වන මෙරට ආර්ථිකය හා ජන ජීවිතය
අයි. කේ ප්‍රභා
කෝවිඩ් -19 වසංගත තත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂා කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවල පිළිබඳව විවිධ පරස්පර විරෝධී මතයන් පැන නැගී ඇත. එදිනෙදා ජන ජීවිතයට අවශ්‍යය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් සපයා ගැනීම පිළිබඳ ක්‍රමවත් වැඩ පිළිවෙළක් පවතීද? නිවෙස්ගත නිරෝධායනයට රජයෙන් නිවැරැදි ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත්ද? නිවසේදී කෝවිඩ් රෝගීන් මියයෑම පිළිබඳව නිවැරැදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේද? එසේ හඳුන්වා දී ඇත්නම් එහි පවත්නා විනිවිදභාවය කෙතෙක්ද? ඒ පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේදී ඇතිවන අභියෝගයන් යන මූලික කාරණා පසුගිය කාල වකවානුවේ සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ කතාබහට ලක් විය. මෙවැනි අවස්ථාවලදී රජය විශේෂයෙන්ම සමාජ සේවාවන් වන අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, ආරක්ෂාව, නාගරික සහ ග්‍රාමීය යටිතල පහසුකම් ආදී සේවා ලබාදීම මගින් ජන ජීවිතය පවත්වා ගත යුතුය.
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු හා ඇඳිරි නීතිය පවත්නා කාලය තුළ ජනතාවට එදිනෙදා අවශ්‍ය ආහාර පාන, ඖෂධ හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රජයෙන් නිවැරදි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ ද යන්න තවමත් සැක සහිතය. මන්ද ලාංකිකයින් සියලු දෙනාටම අන්තර්ජාලය මගින් ආහාර පාන හා භාණ්ඩ ඇනවුම් කර තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට අවශ්‍ය අන්තර්ජාලය සාක්ෂරතාවය හෝ මූල්‍යමය හැකියාව නොමැති නිසාවෙනි. රජය පෞද්ගලික ආයෝජනයන් වර්ධනය කිරීම සදහා මුදල් සැපයුම, පොලී අනුපාත සහ බදු අනුපාත පහළ හෙළීමටත් රජය ගන්නා ප්‍රතිපත්ති තීරණ මේ සඳහා සෘජුව හා වක්‍රව බලපායි. මෙම ක්‍රියාවලියේ දී දේශපාලන අභිමතය, ප්‍රමාණවත් දේශපාලන විනයක් නොපැවතීම, දේශපාලනික වශයෙන් ගනු ලබන තීරණයන් ප්‍රායෝගික නොවීම, උසස් මට්ටමේ බදු ප්‍රතිපත්තියක් නොමැති වීම යන කාරණා ප්‍රමුඛ වේ. මෙරට සමස්ත ආනයන වියදමින් ආහාර ආනයනයට වැය කෙරෙන්නේ 20% කට ආසන්න ප්‍රමාණයකි.
(https://divaina.com/daily/index.php/visheshanga3/49249-2020-10-21-13-49-4)
මින් කොපමණ ආහාර ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කළ හැකි ද? ඒ කුමන නිෂ්පාදන ද? ඒ අතර ආහාර වර්ග ආනයනය කිරීම නැවැත්වීම හෝ අවම කිරීම කළ හැකි ද? යන්න අප හමුවේ ඇති ගැටලුය. ආහාර අර්බුදයට විසඳුමක් ලෙස ගෙවතු වගාව සහ කෘෂිකාර්මික කටයුතු දිරිමත් කිරීමට යොජනා හා සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කල යුතුය. පවත්නා තත්ත්වය තුළ දේශීය ආහාරවලින් ස්වයංපෝෂිත වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කල යුතුය. කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මෙරට ආර්ථීක වර්ධන වේගය සෘණ අගයක් ගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව අනුමාන කරයි. එවන් පසුබිමක රටේ කර්මාන්ත අංශ, සේවා අංශ මෙන්ම කෘෂිකාර්මික අංශයද අති විශාල බිඳවැටීමකට ලක්ව තිබේ. මෙවැනි සංදර්භයක් තුළ කොරෝනා වෛරසයෙන් බිදවැටෙන ශ්‍රී ලාංකික ආර්ථීකය නගා සිටුවීම සඳහා රජය මැදිහත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව කල් තියා සැලසුම් දියත් කළ යුතුය.
එමෙන්ම සෞඛ්‍ය පහසුකම් සැලසීමේ ප්‍රමුඛ වගකීම ඇද්තේ ද රජයටයි. එහිදී මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම පිණිස නිවෙස්ගත නිරෝධායන යනු කුමක්ද? කොපමණ කාලයක් නිවෙස් ගත නිරෝධායනට ලක්විය යුතුද? නිවෙස්ගත නිරෝධායනයේ වැදගත් කම කුමක්ද? නිවෙස්ගත නිරෝධායනට ලක්වේ නම් කල යුත්තේ මොනවාද? නිරෝධායනය වීමේදී නිවෙස තුළදී ඔබ පිළිපැදිය යුත්තේ මොනවාද? යන කරුණු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය මගින් තොරතුරු පත්‍රිකා හඳුන්වා දී ඇත. එමෙන්ම නිවෙස් නිරෝධායන ක්‍රමවේදයන් අනුගමනය කරත් කෝවිඩ් -19 රෝගීන් නිවෙස් තුළ මියයෑම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයන් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍යට ප්‍රකාශ කරන ලදී. ඔක්තෝබර් 03 වනදා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර මතුවීමෙන් අනතුරුව මසකට ආසන්න කාලයක් තුළ සිදු වූ මරණ අතරින් මරණ 15 ක් පමණ සිදු වී ඇත්තේ නිවාස තුළදී වීම ඉතා භයානක තත්ත්වයක් බව සෞඛ්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙයි. මෙහිදී සමහර පිරිස් නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්කර සිටි අතරතුරත්, සමහර පිරිස් හුදෙකලා කර සිටි ප්‍රදේශවල තිබූ නිවෙස්වල සිටි බවත් ඔහු පවසයි.
- වැඩිහිටි පුද්ගලයින්
- ස්වසන අපහසුතා ඇති අය
- දියවැඩියාව
- හෘද රෝග වැනි නිදන්ගත රෝග තිබෙන අය
- සංකූලතා සහිත පුද්ගලයින්
- බිය නිසා තම රෝගී තත්ත්ව සඟවාගෙන සිටි අයවලුන්
- සිය රෝගී තත්ත්වය හඳුනා නොගත් පුද්ගලයින්
(https://www.bbc.com/sinhala/sri-lanka-51879125)
“නිවෙස් තුළ හා මහමග රෝගීන් මිය යෑම පිළිබඳව පසුගිය කාල වකවානුව පුරා විවිධ වාර්තාවන් සමාජ මාධ්‍ය හා අනෙකුත් ප්‍රධාන මාධ්‍ය තුළ වාර්තා විය. එලෙස පුද්ගලයන් මිය යන්නේ මන්ද යන්න විමසා බැලීමේදී යම් යම් අවදානම් සහිත අය විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවයන් හා වයසින් වැඩි පුද්ගලයින් හදිසියේම මිය යෑමේ සම්භාවිතාව අධිකය. හෘදයාබාද සහිත රෝගීන් හෝ වෙනත් ආබාධ සහිත පුද්ගලයින් කෝවිඩ් – 19 හේතුව නිසාවෙන්ද, කෝවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් වෙනත් හේතූන් නිසාද ඉන්ද්‍රිය කිහිපයක් එක්වරම අක්‍රිය වීමෙන් මිය යයි. මේ පිළිබඳව නිවැරැදිව පැවසිය හැක්කේ මරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුයි. එලෙස විවිධ අතුරු ආබාධ සහිත පුද්ගලයින් 600/700 අතර ප්‍රමාණයක් මිය යන අතර මිය යන පුද්ගලයින් බහුතරයක් හඳවත් රෝග සහිත පුද්ගලයන් නිසා ඔවුන්ගෙන් පිරිසක් නිසි ප්‍රතිකාර නොලබාම මිය යයි. කෝවිඩ් ව්‍යාසන තත්ත්වය හේතුවෙන් මෙලෙස අවධානම් තත්ත්වයට පත් වී සිටින පුද්ගලයන්ට උදව් උපකාර කිරීමට ද කිසිදු කෙනෙක් ඉදිරිපත් නොවීම නිසා දඹුල්ල හමුදා භටයෙකු මෙලෙස මියගියා” යනුවෙන් ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා ප්‍රකාශ කලේය.
තවද කෝවිඩ් ආසාදිතයන් පිළිබඳව සමාජයේ පැතිර යන මාධ්‍ය වාර්තා හමුවේ මෙවැනි පුද්ගලයන් තම ආසාදිත තත්ත්වය හෙළි නොකර නිවස තුළම අත්බෙහෙත් භාවිතයට යොමු වී ඇත. කෝවිඩ්-19 ආසාදනය වීම නිසා නිව්මෝනියාව වැලඳී හෝ වෙනත් රෝග තත්වයන් උත්සන්න වීමෙන්ද අදාළ මරණවලට කෝවිඩ්-19 තත්ත්වය සෘජුව හෝ වක්‍රව බලපා ඇත. 2020.11.03 දින කොළඹ ජම්පට්ටා වීදියේ පදිංචි වය අවුරුදු 68 ක කාන්තාවක් කොරෝනා වෛරසය ආසාදනය වී නිවසේදීම මිය ගොස් ඇත. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ ඇගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවයි. ඇය මිය යාමට ආසන්නම හේතුව නිවුමෝනියා තත්වයක් බව අදාළ නිවේදනයේ දැක්වෙයි.
කෝව්ඩ් ආසාදනයට බිය වී සමහර පුද්ගලයින් සියදිවි පවා හානිකර කරගෙන ඇත. නමුත් එහිදී කල යුත්තේ යම්කිසි අසනීප තත්ත්වයක් අපහසුතාවයක් තිබේ නම් සංචරණය සීමා කර නිවසට වී සිටීම හෝ රෝහලකට ගොස් ප්‍රතිකාර ලබා ගැනීමයි. නමුත්, මෙහිදී රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන රෝහල් සහ රෝගීන් යළි හරවා යවන රෝහල් පිළිබඳ පැමිණිලි රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී තිබෙන බවත්, අවිස්සාවේල්ල මූලික රෝහලෙන් එවැනි සිද්ධියක් වාර්තා වූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. තවද, කොරෝනා වසංගත තත්ත්වය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වීමත් සමගම එම තත්ත්වයට මුහුණ දීමට හැකි අයුරින් අපගේ සෞඛ්‍ය සේවා අංශ පුළුල් කිරීමට නොහැකි වීම හේතුවෙන් අනාගතයේදී දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි බවත්, ඒ හේතුවෙන් ඉදිරියේ දී කොරෝනා මරණ සැලකිය යුතු සංඛ්‍යාවකින් ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
මෙවැනි වසංගත තත්වයක දී දැඩි අවධානයකින් ආරක්ෂා කළ යුතු ප්‍රජාවන් ලෙස සැලකෙන කම්කරු ප්‍රජාව, නිදහස් වෙළඳ කලාප ආශ්‍රිත සේවක සේවිකාවන්, ධීවර, නාගරික වතු හා මහල් නිවාස සහ වතු ආශ්‍රිත ප්‍රජාවන් වැනි ඉතා කුඩා ඉඩකඩක වාසය කරනු ලබන ජන කණ්ඩායම් බව අවිවාදිතය. දැනටමත් නිදහස් වෙළද කළාප, වරාය ඇතුලු ක්ෂේත්‍ර කිහිපයක් තුළ මෙම වෛරසය පැතිරී ඇති අතර, ධීවර ප්‍රජාව හා කොළඹ නාගරික වතු නිවාස වෙතද මෙම වෛරසය සංක්‍රමණය වී තිබේ.
මෙහි ඊළඟ ඉලක්කය විය හැක්කේ වතු ප්‍රජාවයි. ඔවුන් මෙම රෝගයෙන් ආරක්ෂා කිරීම සියලුම දෙනාගේ වගකීමක් වන අතර, ඒ සදහා සුවිශේෂ වැඩපිළිවෙලක් රජය විසින් සැකසිය යුතුය. නමුත් වතු අධිකාරීවරුන්ගේ මතය වන්නේ වතුකරයේ බහුතරයක් පිරිස් බස්නාහිර පලාත ආශ්‍රිතව විවිධ ක්ෂේත්‍රයන් හී රැකියාවන්වල නියැලෙන නිසා බස්නාහිර පළාත වසා දැමීමත් සමග ඔවුන් මේ වන විට විශාල වශයෙන් වතු ප්‍රදේශයන්ට සංක්‍රමණය වීමට පටන්ගෙන ඇති බවයි.
මෙරට භූමි ප්‍රමාණය එතරම් විශාල නොවීම හේතුවෙන් අපේක්ෂා කරන්නා වූ ප්‍රතිඵල ඒ ආකාරයෙන්ම අත්කරගැනීම අසීරුය. නිවර්තිත කලාපීය රටක් වන මෙරට වසංගතය ව්‍යාප්ති වීමට බලපාන අයුරු සංවර්ධිත කලාපීය රටවලට වඩා වෙනස් වෙනස්විය හැක. මේ ආකාරයට නිවෙස්වල මියයෑම පිළිබඳ සිදුකරන පරීක්ෂණයේදී අදාළ මරණවලට පාදක වන වසංගත විද්‍යාත්මක හේතු හා සෞඛ්‍ය විද්‍යාත්මක හේතු තිබෙනවාද යන්න විමර්ශනය කල යුතුය. නිවෙස් නිරෝධායන ක්‍රමවේදයන්ගේ විනිවිදභාවය පිළිබඳව නිවැරදි දත්තයන් හා තොරතුරු සාම්ප්‍රදායික හා නව මාධ්‍ය මගින් වාර්තා කළ යුතුය. මහජනයාට ජීවත් වීමට අවශ්‍ය ආහාර පාන සපයා ගැනීමේ සැපයුම් ජාලය පුළුල් කළ යුතුය. ජනතාවට මෙහි යථාර්තය සහ කරුණු දැන ගැනීමට අයිතියක් ඇත. උක්ත ගැටලු වලට අදාළව අප රටට විශේෂිත අරමුණු හා ප්‍රතිපත්තීන් රජය මගින් ක්‍රියාවට නැංවෙන බව පොදු ජනයාට හැඟෙන විට ඔවුන්ගේ විශ්වාසය මෙන්ම උපරිම සහාය රජයට ලබා ගත හැකි වනු ඇත.