කීර්තිකා මහාලිංගම්

මෙවර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා බහුතර මනාප 52.25% ලබා නොවැම්බර් මස 18 වන දින ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස බලයට පත්විය. මහජන අභිසෙස් මධ්‍යයේ බලයට පත් අභිනව ආණ්ඩුවේ පාලන කාලයෙන් වර්ෂයක කාලයක් ගෙවී ගියේ ඉක්මනින්ය. පසුගිය සමයේ බලයට පත් යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් හේතුවෙන් මෙරට ආර්ථිකය මූල්‍යමය වශයෙන් මුලුමනින්ම අගාධයකට පත්ව ඇති නිසා ඉන් මිදීමට වත්මන් රජය “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරමින් තම වගකීම් ඉටු කිරීම සඳහා නව වැඩ පිළිවෙලක් හඳුන්වා දෙන ලදී.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය කොරෝනා ව්‍යාප්තියත් සමගම ආරම්භ විය. කොරෝනා ව්‍යාප්තිය සමග ක්‍රියාත්මක ඔහුගේ පාලන සමයේ කෝවිඩ්-19 දෙවන රැල්ලේ සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ජනාධිපතිතුමන් මහජනයා අමතමින් පවසා සිටියේ වගකීම් සහගත ලෙස හැසිරීම ජනතාව සතු යුතුකමක් බවයි. තමා බලයට පත්වීමෙන් අනතුරුව රටේ ජාතික ආරක්ෂාවට මුල්තැන ලබා දෙන බවට පොරොන්දු ලබාදුන් ජනාධිපතිතුමන්ගේ මෙවැනි සෘජු ප්‍රකාශයන් බැලූ බැල්මට බලපැම්කාරී ලෙස පෙනුනත්, එහි ව්‍යාංග්‍යාර්ථය හොඳින් නිරීක්ෂණය කිරීමේදී තම වගකීම්වලින් බැහැරව කටයුතු කරන්නේ වත්මන් රජයද නැතිනම් මහජනතාවද යන්න පහසුවෙන් හඳුනාගත හැකිය.

පසුගිය ජනවාරි මස 27 වන දින ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයා ලෙස වාර්තා වූයේ මෙරට සංචාරයට පැමිණි චීන ජාතික කාන්තාවකි. මාසයක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ඇය සුවය ලැබීමේ පුවත පිළිබඳව විවිධ ප්‍රචාරයන් දියත් කෙරුණු තරම්වත් අනාගතයේදී කොරෝනා රෝගයෙන් ඇති විය හැකි බරපතළකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය මගින් ප්‍රචාරයන් දියත් නොවීම තුළින් රජය තම වගකීමෙන් බැහැරව කටයුතු කර ඇති ආකාරය මනාව අවබෝධ කරගත හැකිය. මාර්තු මස 11 වන දින මෙරට ප්‍රථම දේශීය කොරෝනා ආසාදිතයා හමුවීමෙන් අනතුරුව මාර්තු මස 26 වනදා සිට පළමුවරට ඇදිරිනීතිය පනවන ලදී. තවද රටේ ආර්ථීකය ස්ථායීව පවත්වා ගැනීම පිණිස මැයි මස 11 වන දින පටන් විවි‍ධ පලාත්වලට පමණක් සීමිත වන පරිදි කොටස් වශයෙන් ඇදිරිනීතිය ක්‍රියාත්මක විය. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීම පමණක් ප්‍රමාණවත් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය‍ ප්‍රකාශ කර ඇත. මෙවැනි පසුබිමක සමාජය තුළ තවදුරටත් කොරෝනා ව්‍යාප්ත සිදු නොවන බව පවසමින් ඇදිරි නීතිය ඉවත් කෙරුණු අතර ජනතාවගේ ආරක්ෂාව ජනතාව සතු බව රජය පැවසීය. ඒ හැරෙන්න රජය මගින් නිසි සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මකවේද යන්න අද දක්වා විශාල ප්‍රශ්නාර්ථයක්වී ඇත.

P.C.R. පර්යේෂණයන් සිදු කරනු ලබන පර්යේෂණාගාරවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පිළිබඳව පවත්නා ගැටලු, (lab standardization) පර්යේෂණ වාර්තාවල විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලු, (The reliability of the laboratory report) සමාජයේ අහඹු ලෙස තෝරාගන්නා ලද පිරිසට පමණක් PCR පරීක්ෂණයන් සිදු කිරීම, (random sample PCR test) රට පුරා දිනකට සිදුකරන ලද PCR පරීක්ෂණ ප්‍රමාණය කොපමණද? යන්න, නිවැරදි දත්ත නොමැතිවීම හා PCR පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන්නේ මන්ද? වැනි විවිධ ගැටලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර දැකිය හැකි වුවත්, රජය ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයින් පමණක් කොරෝනා  ආසාදනයට ලක්ව ඇති බව තහවුරු කරන ලදී.

තවද මෙම කාල වකවානුවේ කඩිමුඩියේම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙමින් තිබුණි. එනයින් අගෝස්තු මස පැවැත්වීමට තිබුණු ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගය දින නියමයකින් තොරව කල් දමන ලදී. වර්තමාන රජයේ න්‍යායපත්‍ර 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතු දියත් කිරීම, පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය රජයක් ලෙස සම්මත කර ගැනීමට උත්සාහ කිරීම ආදියේදී සාර්ථක වුවද මහජන ආරක්ෂාව තවමත් විශාල අභියෝගයකට ලක්ව ඇති බව දක්නට ලැබේ.

මෙරට කොරෝනා ව්‍යාප්තිය තිබෙන බවට වන පුවත් අගෝස්තු හා සැප්තැම්බර් යන මාසවලදී මාධ්‍ය මගින් ප්‍රධාන පුවතක් ලෙස වාර්තා කර ඇත්තේ අල්ප වශයෙනි. මෙම තත්ත්වය හමුවේ රජය හා මහජනතාව තමන්ගේ එදිනෙදා ජීවන රටාවට නැවතත් හුරු වෙමින් සිටියහ. ඔක්තෝම්බර් මස 03 දින ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කම්හලකින් වයස අවුරුදු 39 පමණ කාන්තාවකට කෝවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් අනතුරුව, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන පොකුර, නාවික හමුදා පොකුර හා මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් පොකුර ලෙස සමාජය තුළ කොරෝනා ආසාදිතයින් පොකුරු වශයෙන් හඳුනා ගැනිනි. මේ පිළිබඳව රජයට විවිධ දෝෂාරෝපණයන් හා චෝදනාවන් එල්ල විය. නමුත් රජයේ පාර්ශවයෙන් ඒ සඳහා නිවැරදි පැහැදිලි කිරීමක් නොකිරීම නිසා රජය තම වගකීමෙන් බැහැරව ඇති බව අවබෝධ වේ.

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලින් හඳුනා ගන්නා ලද කොරෝනා ආසාධිතයින් හේතුවෙන් සමාජයේ කොරෝනා පැතිරීම පොකුරු වශයෙන් ව්‍යාප්ත වූ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලේ කොරෝනා ආසාදිතයින් පොකුරු වශයෙන් හඳුනාගැනීමෙන් අනතුරුව ඔක්තෝම්බර් මස 22 වන දින සමස්ථ ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණ වන පරිදි ඇඳිරි නීතිය පනවන ලදී. කොරෝනා ආසාදිතයින් බහුලව සිටින ප්‍රදේශවල ඇදිරිනීතිය පැනවීම මගින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ. නමුත් ගම්පහ ප්‍රදේශයේ පසුගිය ඔක්තෝම්බර් මස 26 වන දින අලුයම 5.00 දක්වා පමණක් ක්‍රියාත්මක වන බවට පැවසූ ඇදිරිනීතිය, සති ගණනකින් දීර්ඝ කෙරුණි. ඒ අනුව දින 03 ක ඇදිරි නීති කාලයකට පමණක් සූදානම්ව සිටී මහජනතාවට ඇඳිරි නීතිය පිළිබඳව රජයේ අත්තනෝමතික තීරණයන් නිසා මාස එකහමාරක පමණ කාලයක් නිවසට කොටු වී හුදකලාව කල්ගත කිරීමට සිදුවිය.

කොළඹ දිස්ත්‍රික්කයේ අලුත් මාවත, කොටහෙන හා මෝදර වැනි සමහර ප්‍රදේශවල ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මකයි. කොළඹ හා ගම්පහ ප්‍රදේශයේ වාසය කරන බහුතරයක් පිරිස වෙනත් පළාත්වලට අයත් පුද්ගලයින්ය. කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් ඔවුන්ගේ ආදායම් මාර්ගයන් අහිමි වී ඇති අතර තම එදිනෙදා අවශ්‍යතා ඉටුකර  ගැනීමට හා වාසස්ථානවලට යෑමට නොහැකිව ඔවුන් අහසුතාවයට පත්ව සිටින ආකාරයක් දැකගත හැකිය. මෙවැනි පසුබිමක ජනතාවගේ මනාපයෙන් බලයට පත් දේශපාලකයින් ජනතා ගැටලු කෙරෙහි අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණකි. කොරෝනා පළමු රැල්ලේ ව්‍යාප්තිය හේතුවෙන් රට වසා දැමූ කාලසීමාවේදී පරිප්පු හා සැමන් ටින් වැනි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කර තිබූ නමුත් කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමගම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිළ ගණන් පවා ඉහළ දමා ඇත.

රුපියල් 1000/= රැගෙන වෙළෙඳසලකට ගොස් ලබාගත හැක්කේ එක් සිලිං බෑගයකට පමණක් ප්‍රමාණවත්වන භාණ්ඩ පමණයි

පුද්ගලයන් 05 දෙනෙක් සිටින පවුලක එක් වේලක ආහාර වියඳම පියවා ගැනීමට රුපියල් 5000/= ක් ප්‍රමාණවත් නොවේ

මගේ පුතාට අවශ්‍ය කිරිපිටි මිලදී ගැනීමට පමණක් රුපියල් 1000/= වැය වේ.ඔබ කොළඹ හෝ ගම්පහ වැනි ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයක වාසය කරන පුද්ගලයෙක් නම් ඔබට මෙවැනි ශෝකී විලාපයන් මාධ්‍ය මගින් නිතරම අසන්නට ලැබේ. මෙවැනි වාතාවරණයක රජය විසින් එක් කුටුම්බයක් සඳහා රුපියල් 5000/= ක මුදලක් පමණක් ලබාදීම කටයුතු කර ඇත. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී විවිධ විවාදයන් සිදු කෙරුණු නමුත් ඒ සඳහා නිසි පිළිතුරක් තවමත් ලැබී නැත. වත්මන් රජය පවත්නා යථාර්ථය තේරුම් ගැනීමට උත්සාහ නොකිරීම නිසා රජයේ වගකීම් රහිත ක්‍රියාපිළිවෙත් පිළිබඳව ජනතාවට සැකයක් මතු වේ.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts