
වෛරී මානසිකත්වයක් නඩත්තු කිරීම
නෙවිල් උදිත වීරසිංහ
2009 ලංකාවේ පැවති සිවිල් යුද්ධය අවසන්වන තෙක් සිංහල අන්තවාදී කොටස් විසින් සිංහල සමාජය තුළ නිර්මාණය කෙරුනු අනෙකා නැතිනම් සතුරා වූයේ දෙමළ ජනයාය. යුද්ධය අවසන්වීමත් සමග සිංහල අන්තවාදීන් විසින් නිර්මාණය කෙරුනු අනෙකාද ඔවුන්ට අහිමි විය. 2009 යුද්ධය අවසන්වී වසර කිහිපයක් ගතවනවාත් සමග සිංහල අන්තවාදී පිරිස් විසින් නව අනෙනෙකු නැතිනම් සතුරෙකු නිර්මාණය කිරීම ආරම්භ කර තිබිනි. සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ අනෙකා යුද්ධයෙන් පසුව මුස්ලිම් ජනයා වෙතට විතැන් වෙන අයුරු අපට නිරීක්ෂනය කල හැකිය. 2012 වසරේ සිට බොදු බල සේනා වැනි සිංහල බෞද්ධ අන්තවාදී කොටස් විසින් සමාජ මාධ්‍ය සංවාද මණ්ඩප තුළ හා සමාජයේ විවිද සිදුවීම් තුලදීත් මුස්ලිම් විරෝධී වෛරී ප්‍රකාශ පතුරුවා හැරීම ආරම්භ කර තිබිනි(BBC,2014). මෑත ඉතිහාසය තුළ ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව පැන නැගුණු වාර්ගික ආතතිය සම්බන්දයෙන් ප්‍රධාන හැරවුම් ලක්ශ තුනක් අපට හදුනාගත හැකිය. කැපී පෙනෙන මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය හට ගැනුනේ අලූත්ගම ප්‍රදේශයෙහි 2014 ජූනි 15 දිනයේ දීය. 2018 දී නුවර දිගන ප්‍රදේශයේ ඇතිවූ මුස්ලිම් විරෝධී කලහකාරී ක්‍රියාකාරකම් සහ 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇතිවූ මුස්ලිම් විරෝධී කලහකාරී සිදුවීම් මෙම ප්‍රධාන හැරවුම් ලක්ෂයන් වශයෙන් හදුනාගත හැකිය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කෙරුනු ජනාධිපති කොමිසමේ හැසිරීම හරහාත් රිෂාඩ් බද්‍යුදීන් හා විවිද පුද්ගලයින් සම්බන්ද කරමින් විටින් විට ඉදිරියට පැමිනෙන සිදුවීම් හරහාත් තවමත් පාස්කු ප්‍රහාරය හා බැදුනු සමාජය තුළ පවතින මුස්ලිම් විරෝධී මානසිකත්වය යම් ආකාරයකින් සමාජය තුළ නඩත්තු කිරීමක් අපට නිරීක්ෂනය කල හැක. පාස්කු ප්‍රහාරය හා බැදුනු මුස්ලිම් විරෝධී වෛරී මතවාදය විවිධ අවස්ථා වලදී ප්‍රධාන ධාරාවේ සමහරක් මාධ්‍ය එම සිදුවීම් වාර්ථාකිරීමේ ස්වභාවය අනූව නඩත්තු කරන ආකාරය පිළිබඳව සිදුවීම් කිහිපයක් හරහා නිරීක්ෂනය කිරීමට මෙහිදී උත්සහ කරමි.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වවුනියාවේ දී බදියුදීන් මත්‍රීවරයාට අතට අත දෙන ජායාරූපයක් පල කරමින් දිවයින පුවත්පතේ ඔක්තෝබර් 18 2020දින පලවූ ලිපියක සිරස්තලය වූයේ “රට කැලඹූ පාස්කු ප‍්‍රහාරයේ සැකකරු නිදහස් කිරීම සහ වවුනියාවේ අතට අත දීම!” වශයෙනි.
2020ඔක්තෝබර් 08 වෙනි දින අද දෙරණ රාත්‍රී පුවත් විකාශය තුළ සඳහන් වූයේ “සහරාන්ට බදියුදීන් සොහොයුරු කළ උදවු ගැන යළි අනාවරණ වේ” යනුවෙනි. කෙසේ වුවත් පුවත් විකාශය තුළ ඊට අදාළව සඳහන් වූයේ, හිටපු හමුදාපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් සිදුකල කරුණු දැක්වීමකි. නමුත් බදියුදීන්ගේ සොහොයුරා සහරාන් හට උදවු කළ බවක් නීතිය ඉදිරියේ මේවන තෙක් තහවුරු වී නොමැත.
බදියුදීන් මන්ත්‍රීවරයා 2020 අප්‍රේල් මාසයේ පුවත්පත් නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශකර තිබුනේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය අතරතුර බොහොමයක් දේශපාලඥයින්, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මෙම ප්‍රහාරය පිටුපස ඔහු සිටිනවායැයි පවසමින් ඹහුට විරුද්ධව වාර්ගවාදී ප්‍රචාරයන් ගෙනගිය බවයි. නමුත් අවසානයේදී එය තහවුරු වූ බවත්, වැඩබලන පොලිස්පති වරයා පවා පාර්ලිමේන්තු මහලේකම් වරයාට තමන් මෙම ප්‍රහාරයට හෝ වෙනත් කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්දයක් නොමැති බව පරීක්ෂන අනූව සනාතවන බව දන්වා සිටි බවයි. බදියුදීන් මහතා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශකර සිටියේ දැන් ඔහුගේ ප්‍රතිරූපය විනාශ කිරීම සදහා ඊතලය ඔහුගේ සහෝදරයා වෙතට එල්ලකර ඇතිබවයි(TSM WEB DESK).
පාස්කු ප්‍රහාරය හා සම්බන්දයැයි සැකපිට අත්අඩංගුවට ගෙන රහස් පොලිසියේ රඳවා සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ඔහුගේ පියා සහ සහෝදරයා විසින් ගොනු කර තිබූ හබයාස්කෝපුස් පෙත්සම් දෙක ඔවුන් ඉල්ලා අස්කර ගත් බවට 2020 මැයි 28 අරුණ පුවත්පතේ ප්‍රවෘත්තියක් “හිජාස් හිස්බුල්ලා පෙත්සම් අස්කරගනී” යන සිරස්තලය යටතේ පළ වී තිබිණි. කෙසේ නමුත් හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන බව 2020 මැයි 19 දිවයින, මැයි 19 ලංකාදීප, මැයි 23 දිවයින ඇතුළු පුවත්පත් වල පළව තිබිණි. මෙම හබයාස්කෝපුස් පෙත්සම් ඉල්ලා අස්කරගෙන ඇත්තේ වෙනත් කරුණක් නිසා නොව, මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු වී තිබෙනා බැවින් යැයි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති මෝසමේ සඳහන් වේ. නමුත් අරුණ පුවත්පතේ වාර්තාව තුළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කෙරී තිබෙනා බවක් සඳහන් නොවේ. එසේම හබයාස්කෝපුස් පෙත්සම් ඉල්ලා අස්කරගෙන ඇත්තේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු වී තිබෙනා බැවින් යැයිද අරුණ පුවත් වාර්තාව සඳහන් නොකරයි (ETHICS EYE).
2020 දෙසැම්බර් මාසයේදී පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කෙරුනු ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් කුරුණෑගල හිටපු නියෝජ්‍ය පොලිස්පති ජයලත් මහතා ප්‍රකාශකර සිටියේ කාන්තාවන් වද සැත්කමට ලක්කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ශිහාබ්දීන් සම්බන්දයෙන් තමන්ට ලැබුන බුද්ධි අංශ වාර්ථාවන්ට අනූව ඔහුට ජාතික තව්හීඩ් ජමාත් සංවිධානයෙන් මුදල් ලැබුනු බවට අනාවරණය වූ බවයි. නමුත් 2019 මැයි මාසයේදී සිරභාරයට ගනු ලබන වෛද්‍ය සාෆි මහතාට විරුද්දව කිසිදු සාක්ෂියක් නොමැති බව අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණයට දැනුම්දී තිබිණි (BBC,2019).
ඉහත දළ වශයෙන් සාකච්ජා කල සිදුවීම් කිහිපය හරහා විවිධ මාධ්‍ය විසින් හා ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම් හරහා පාස්කු ප්‍රහාරය හා බැදුනු මුස්ලිම් විරෝධී වෛරී මානසිකත්වය සමාජය තුළ නඩත්තු කෙරෙන ආකාරය අපට නිරීක්ෂණය කල හැකිය.