වෛරී ප්‍රකාශ

මළ සිරුරු භූමදානය කිරීමේ කථිකාවත් සමග වර්ධනය වූ වෛරී ප්‍රකාශ සංස්කෘතිය

නෙවිල් උදිත වීරසිංහ

“ජාතිය, ජනවාර්ගිකත්වය, ජාතික සම්භවය, ආගමික අනුග්‍රහය, ලිංගික දිශානතිය, කුලය, ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය සහ බරපතල රෝග හෝ ආබාධිත බව යන පදනම් මත පදනම් වූ පුද්ගලයන්ට එරෙහි සෘජු ප්‍රහාරයක් ලෙස අපි වෛරී කථාව අර්ථ දක්වමු. වයස තවත් ආරක්ෂිත ලක්‍ෂණයක් සමඟ යුගලනය වන විට අපි වයස අනුව පහරදීම් වලින් ආරක්ෂා වන අතර සංක්‍රමණික තත්ත්වය සඳහා යම් ආරක්ෂාවක්ද සපයන්නෙමු. අපි ප්‍රහාරය අර්ථ දක්වන්නේ ප්‍රචණ්ඩකාරී හෝ අමානුෂික කථාවක්, හානිකර ඒකාකෘති, පහත් ප්‍රකාශ හෝ බැහැර කිරීම හෝ වෙන් කිරීම සඳහා වන ඉල්ලීම් ලෙස ය.”

ඉහත දක්වා ඇත්තේ ෆේස්බුක් සමාගම වෛරී කථනය අර්තකථනය අර්ථ කථනය කරඇති ආකාරයයි.

පසුගිය මාස කීපය තුලදී ලංකාවේ සමාජ මාධ්‍ය හා සමහරක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුලද කොවිඩ්-19 ආසාදනය වීමෙන් මිය ගිය  මුස්ලිම් ජනයාගේ දේහයන් භූමදානය කිරීම සම්බන්දයෙන් සමාජය තුළ ඇතිවූ කතාබහ සමග බැදුනු වෛරී ප්‍රකාශනයන් සුලබව දැකගතහැකි විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූලව කොවිඩ්-19 ආසාදනය වීමෙන් මියගිය මුස්ලිම් ජනයාගේ දේහයන් ලංකාව තුල භූමදානය කිරීම රජය විසින් ප්‍රතික්ශේප කිරීමත් සමග ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනයාගේ මූලික ආගමික අයිතියක් උල්ලංඝනය වීම සම්බන්දයෙන්  මුස්ලිම් ප්‍රජාව වෙතින් මතුවූ අදහස් වලට එරෙහිව විවිද මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්වූ වෛරී ප්‍රකාශනයන් දැකිය හැකිය. පසුගිය මාස කිහිපය තුළ මෙම වෛරී ප්‍රකාශයන් ගේ ප්‍රහාරයට ලක්වූ කේන්ද්‍රීය පුද්ගලයා වශයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රී මහතාව හදුනාගත හැකිය.  

2020 නොවැම්බර් 13 මුස්ලිම් ජනයාගේ කොවිඩ් ආසාදිත දේහ භූමදානයට විරුද්ධව දිවයින පුවත්පතේ පල වූ බෙන්ගමුවේ නාලක හිමියන්ගේ ලිපියක බෙන්ගමුවේ නාලක හිමියන් ප්‍රකාශ කරන්නේ  “අලි සබ්රි අධිකරණ ඇමැති වූ පළියට රටේ නීති වෙනස් කරන්න දෙන්න බැහැ” කියාය. 

ලංකාවේ සමාජ මාධ්‍යන්හි වෛරී ප්‍රකාශයන් ප්‍රකාශවීම සම්බන්දයෙන් නිරීක්ෂනය කරනු ලබන කණ්ඩායමක් වන  #පරපුර (හෑෂ්ටැග් පරපුර) දෙසැම්බර් හා ජනවාරී වාර්තාවන්ට අනූව මෙම කාලය අතර තුර කොවිඩ්-19 මුස්ලිම් ජාතිකයින්ගේ දේහ භූමදානය කිරීමේ ප්‍රශ්නය සම්බන්දයෙන් සමාජ මාධ්‍යන් තුළ වැඩි වශයෙන්ම ඉලක්ක වූ පුද්ගලයා වී ඇත්තේ අධිකරණ අමාත්‍ය අලි සබ්රී මහතාය. 

“ඉස්ලාම් භීතිකාව මුස්ලිම් ප්‍රජාව වෙත වඩාත් පොදුවේ යොමු කර ඇති අතර, ෆේස්බුක් සහ යූටියුබ් යන සමාජ මාධ්‍යන් දෙක තුලම මුස්ලිම් විරෝධී වෛරී කථනයේ ප්‍රධාන තනි ඉලක්කය ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාව තෝරා ගෙන ඇත. විශේෂයෙන් ම භූමදානය පිළිබඳ ඔහුගේ ස්ථාවරය හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයාට  2020 නොවැම්බර් මාසයේ සිට මුස්ලිම් විරෝධී වෛරී ප්‍රකාශයන් එල්ල වෙමින් පවතී”(#පරපුර).  

දිවයින ඉරිදා සංග්‍රහය අලි සබ්රී මහතා සමග කරනු ලබන සංවාදයකදී මුස්ලිම් දේහ භූම්දානය ද ආදාහනය ද යන ප‍්‍රශ්නය නිසා ඔහුට එරෙහිව සමාජයෙන් එල්ලවන වෛරී ප්‍රතිචාරයන් සම්බන්දයෙන් සබ්රී මහතා ප්‍රකාශකරසිටියේ “අද ඔබ දන්නවා සිංහල සමාජයේ එක්තරා කොටසක් සමාජ මාධ්‍ය පාවිච්චි කරලා මට මඩ ගහනවා සහ බොරු පතුරවනවා. ඒ අය ඒ චෝදනා නගන්නේ මම මුස්ලිම් ජන සමාජය පැත්තට වාසි වන ලෙස මේ ප‍්‍රශ්නය මෙහෙයවනවා කියලයි…. අනිත් එක ඔබලා දකින්නේ මේ ප‍්‍රශ්නයේ එක් පැත්තක් විතරයි. මුස්ලිම් ජනතාව දෙමළ භාෂාවෙන් ෆේස්බුක් එකේයි සමාජ මාධ්‍ය වලයි ගහන ගැහිල්ල ඔබ දකින්නෙ නැහැනේ….ඒ ගොල්ලො නගන චෝදනාව සිංහල සමාජයෙන් නැගෙන චෝදනාවට හාත්පසින්ම වෙනස්. ඒගොල්ලො කියන්නේ මම මුස්ලිම් සමාජයේ සාධාරණ යෝජනා හා ඉල්ලීම් මෙන්ම සංවේදී කාරනා රාජපක්ෂ ආණ්ඩුවට පාවා දෙනවා කියලා…”

අයිලන්ඩ් පුවත්පතේ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය සබ්රි මහතා ප්‍රකාශකර සිටියේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අදාළ සියලු දෙනාට මේ පිලිබදව ඔහු පැහැදිලි කර ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි වලට අනුකූලව කොවිඩ්-19 ආසාදනය වීමෙන් මිය ගිය මුස්ලිම් ජාතිකයින්ගේ දේහ  භූමදාන කිරීමට අවසර ඉල්ලා සිටින බොහෝ දෙනෙක් සිටින බවත්ය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts