අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

වතු පාසල් සහ මාර්ගගත අධ්‍යාපනය

ජීවා සතාසිවම්

රූපවාහිනී නාළිකාවල අධ්‍යාපන වැඩසටහන් තිබුණත් ඒ නාළිකා වහලා නම් දරුවන් ඉගෙන ගන්නේ කොහොමද, ඔවුන් ජංගම දුරකථන මිල දී ගන්න මුදල් සොයා ගන්නේ කොහොමද, ඒ වගේම ජංගම දුරකථන තිබුණත් ඒවායේ සංඥා අල්ලා ගැනීමට වහලවල් උඩට හෝ කඳු මුදුන්වලට නැඟීමට සිදුවෙනවා නම්.

මේ කඳු රට දෙමවුපියෙකුගේ දුක්ගැනවිල්ලයි. එක් මවක් පැවසුවේ ඔවුන්ට ජංගම දුරකථනයක් මෙන්ම දත්ත පත් (ඩේටා කාර්ඩ්) මිලට ගැනීමට අපහසු බවයි. ඒවා ඔවුන්ට තිබුණත් ඇතැම් විට දුරකථන සංඥා ආවරණය නැත. මේ නිසා අපේ දරුවන්ට දිනපතා සූම් ක්‍රමයට කෙරෙන පන්ති සඳහා සහභාගී විය නොහැකියි. සමහර විට මේ පන්තිවලට සහභාගී වන්නේ එකම පන්තියේ ළමයින් දහදෙනකු පමණ එකතු වී එක දුරකථනයක් යොදා ගනිමින්. මෙය අපේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ මහා කනගාටුදායක තත්ත්වයක්. 

මේ තත්ත්වය හිටි හැටියේ හට ගත්තක් නොවේ. කඳුකර ජනතාවගේ දිගු ඉතිහාසයක් සහිත පසුබිම මෙයට හේතුවයි. මේ ලිපියේ අරමුණ වන්නේ ඓතිහාසික සන්දර්භය සහ කොරෝනා ව්‍යසනය තුළ වත්මක් ‘කඳුකර අධ්‍යාපනික පරිසරය එහි අභියෝගවලට මුහුණ දුන් ආකාරය” අධ්‍යයනය කිරීමයි.

කඳුරට ජනතාව සඳහා නිදහස් අධ්‍යාපනය

ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු වසරේදීම කඳුරට ජනතාවට කලින් ලබා දී තිබූ පුරවැසි අයිතයෙන් ඔවුන් ඉවත් කෙරිණ. අනෙක් ප්‍රජාවන් හා සසඳන විට ඔවුන් අන් අයට වඩා පසුබෑමට හේතුව මෙයයි. 

නිදහස් අධ්‍යාපනය 1943දී හඳුන්වා දුන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස ද හඳුන්වන සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර විසිනි. නිදහස් අධ්‍යාපනය වතු පාසල්වලට ලැබුණේ අනෙක් ප්‍රජාව එහි වාසි වසර 40ක් පුරා විඳීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකාව 1972 දී ජනරජයක් වූ පසු වතු පාලනාධිකාරීන් මඟින් පවත්වා ගෙන ගිය පාසල් රජයට ගැනිණි. එහෙත් එය බලාත්මක වූයේ 1980 වසරේ දී පමණි. 

ඒ අනුව පාසල් විෂයය නිර්දේශ, පරිපාලන චක්‍රලේඛ, විදුහල්පති සහ ගුරු පත්වීම් මෙන්ම ඔවුන්ගේ වැටුප් වෙනස් විය. කෙසේ වෙතත් පාසල් ගොඩනැඟිලි, ක්‍රීඩාපිටි සහ යටිතල පහසුකම් ආදි භෞතික සම්පත්වල කිසිදු වෙනසක් සිදු නොවීය. 

මේ අවශ්‍යතාවන් 1990 වසරේ දැනෙන්නට වූ විට ජීටීඉසෙඩ් (GTZ- ජර්මනිය) සහ සිඩා (SIDA- ස්වීඩනය) යන විදේශීය ස්වේච්ඡා සංවිධාන උපකාරයට පැමිණියේය. ඒ වන විට වතු පාසල් ඒකකය මධ්‍යම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වීම ඇරැඹී තිබිණි. 

වසර හතළිහකට පෙර වතු පාසල් රජයට ගැනීම සම්බන්ධව දැන් පවතින ගැටලුව නම් විදේශීය ස්වේච්ඡා සංවිධාන මඟින් බාරගත් ව්‍යාපෘති දැනටමත් සම්පූර්ණ කර ඇති බැවින් මේ පාසල් නියම රජයේ පාසල් බවට පත් කිරීමට මේ වන විට රජය ගෙන ඇති හෝ ගැනීමට නියමිත විශේෂ වැඩපිළිවෙළ කුමක්ද යන්නයි.

රට පුරා වතු ප්‍රදේශවල පාසල් 843ක් ක්‍රියාත්මක වේ. මේ වතු පාසල් කොරෝනා වසංගතයේ කරමුලටම හසු වී ඇත. 

මේ පාසල් පළමුව වැසුණේ 2020 වෛරසයට රට වැසුණු කාලයේය, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව විවෘත වුණේ අදියර වශයෙනි. මේ පාසල් නැවත විවෘත කිරීමේදී යටිතල පහසුකම් සහ පහසුකම් නොමැති වීමෙන් විශාල ප්‍රශ්න මතු විය. භෞතික සම්පත්වල අවශ්‍යතාව ඇරඹුණේ දෑත් සේදීම සඳහා ජල සැපයුම, වැසිකිළි පහසුකම් සහ ඒවායේ නඩත්තුව, සමාජ දුරස්ථභාවය වෙනුවෙන් ඉඩකඩ සහිත පන්ති කාමර ආදි වශයෙනි. 

මෙවැනි වාතාවරණයක ඔවුන් කලබලයකින් තොරව ඔවුන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යන්නේ කෙසේද? මවුපියෝ ඔවුන්ගේ දරුවන් පාසල් එවීමට මැළි වෙති.

කොරෝනාව 2011 දී දරුවන්ගේ අධ්‍යාපනයට තවදුරටත් අහිතකර ලෙස බලපෑවේ ප්‍රධාන වශයෙන් සූම් ක්‍රමයට වූ මාර්ගගත අධ්‍යාපනයත් සමඟය. කොරෝනාව විසින් නිර්මාණය කරන ලද ඊ-අධ්‍යාපන ප්‍රවණතාවට අනුගත වීමේදී කඳුරට වතු පාසල් සිසුන් මුහුණ දුන් අභියෝග අධ්‍යයනය කිරීමට සුදුසු විෂයයකි. 

ගැටලු වන්නේ : ඔවුන්ට නිවෙසේ හා පාසල්වල ආරක්ෂිත විදුලිය සම්බන්ධතාවක් තිබේද? ඔවුන්ට පරිගණක හෝ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන, ටැබ්, අයිපෑඩ් හෝ ලැප්ටොප් වැනි වෙනත් උපාංග තිබේද? ඒවා ඔවුන්ට නොමැති නම් ඒවා සපයන්නේ කවුද?

ලියුම්කරු වන මා සමඟ අදහස් හුවමාරු කරගැනීමේදී මට වටහාගත හැකි වූයේ බොහෝ දුරට දරිද්‍රතාවයෙන් යුතු සමාජයක වෙසෙමින් පැමිණෙන බොහෝ වතු සිසුන් මාර්ගගත පන්ති ඔස්සේ  අධ්‍යාපනය ලැබීමට කැමැති වුවත් එසේ කිරිම සඳහා උපාංග ලබා ගැනීමේ ආශාවෙන් පසුවන බවයි.

“මගේ පන්තියේ යාළුවෝ ස්මාට් ෆෝන්වලින් ඔන්ලයින් පන්තිවලට සහභාගී වෙනවා. මට ෆොන් එකක් නෑ. ගෙදර ටීවී එකේ අදාළ නාළිකාව වැඩ කරන්නෙත් නෑ, මේ අවුරුද්දේ මම අධ්‍යාපන පොදු සහතිකපත්‍ර විභාගයටත් පෙනී සිටිනවා. ඒත් මම විභාගේ ලියන්නේ කොහොමද?” යනුවෙන් සිසුවෙක් අසන අතර තවත් 8 ශ්‍රේණියේ සිසුවකු පවසන්නේ “මගේ පන්තිවල ළමයි අයි ෆෝන්වලින් ඉගෙන ගන්නවා. මට ඒ පහසුකම නෑ. මම ඒකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නෙත් නෑ. මම ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්න හරිම කැමැති වුණත් අවාසනාවකට මම ඒ පහසුකම යොදාගන්න විදිහක් නෑ.”යනුවෙනි.

ශිෂ්‍යත්ව විභාගයට සිසුන් සූදානම් කරන 5 ශ්‍රේණියේ ගුරුවරියක් මේ කරුණ සම්බන්ධව ඇගේ අදහස් මෙසේ දැක්වූවාය. ” මම මේ වසරේ ශිෂ්‍යත්වයට පෙනී සිටින ළමයින් 28 දෙනකුට උගන්වනවා. ඒ 28න් 20 දෙනෙකු පමණයි සූම් පන්තිවලට සහභාගී වන්නේ. මෙහෙ නිතරම ගුවන්විදුලි තරංගවලට බාධා වෙනවා. ඒ නිසා ඒ අයට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මම ප්‍රශ්නයක් ඇහුවාම ඒ අයගේ මවුපියන් හෝ සහෝදරයෙක් ළඟ නැත්නම් ඒ අයට මයික්‍රෆෝනය මෙහෙයවා ගන්නත් අමාරුයි.”

එක් අතකින් දිනපතා දත්ත පැකේජ ප්‍රතිපූරණය කර ගැනීමේ නොහැකියාව මෙන්ම අනෙක් අතින් ඔවුන්ගේ මවුපියන් භාවිත කරන ජංගම දුරකථනවල අධ්‍යාපනයට අදාළ පහසුකම් නොමැති වීම මේ සිසුන් මුහුණ දෙන බාධක වේ. මේ තත්ත්වය දිගටම පැවතුණහොත් සිසුන්ගේ ප්‍රගතියේ මට්ටම පහළ බැසීමට හැකිය. මේ වාතාවරණය ඉහළ පන්තිවල සිසුන්ට පවා සියයට 100ක් වාසිදායක නොවන තත්ත්වයක පහළ පන්තිවල සිසුන්ගේ මට්ටම පිළිබඳ කුමන කතාද?

තොරතුරු ජාල සහ ආවරණය

වතු ක්ෂේත්‍රයේ බොහෝ පාසල් පිහිටා ඇත්තේ ජංගම දුරකථන සහ පුළුල් කලාප (බ්‍රෝඩ්බෑන්ඩ්) ආවරණය ඉතා අඩු කඳු ප්‍රදේශවලය. එහි ප්‍රතිඵලයක් ලෙස සිසුන් මාර්ගගත අධ්‍යාපනයට වෛර කරන ප්‍රවණතාවක් ගොඩනැඟී තිබේ. 

මේ පිළිබඳ 12ශ්‍රේණියේ සිසුවකු අදහස් දැක්වූයේ පහත අයුරිනි:

“ඔන්ලයින් පන්ති පටන් ගන්නේ උදේ 6.00ට. හරි විදිහේ ආවරණයක් නැති නිසා පාඩම්වලට බාධා වෙනවා. අපි උනන්දුවෙන් පන්තිවලට සහභාගී වුණත් ඒ බාධා නිසා පාඩම් තේරුම් ගන්න අපහසුයි. ගුරුතුමිය ප්‍රශ්නයක් ඇහුවත් අපට උත්තර දෙන්න බැහැ. දිගින් දිගටම මේ දේ සිදුවන නිසා මම හරි කලකිරීමකින් ඉන්නේ. කොහොමද මම ලබන අවුරුද්දේ විභාගෙට ලියන්නේ?” බොහෝමයක් කඳුරට වතු සිසුන් මේ අයුරින් කලකිරීමට පත්ව ඇත. 

ඉහළ පන්තිවල විද්‍යා හා ගණිත විෂයයන් උගන්වන්නේ ඉඳහිටය. සාමාන්‍යයෙන් මේ විෂයයන් දෙක ඉගැන්වෙන්නේ උපකාරක පන්තිවලිනි. මෙය පාසල් වේලාවෙන් පසු උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ගේ ආදායම් මාර්ගයකි. ගාස්තු ගෙවීම අනුව වෙනමම පන්ති ද මෙහෙය වේ.

යහ පාලනය සහ නවීන ව්‍යාපෘති

යහපාලන සමයේ ඔවුහු පාසල් සිසුන්ට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ යෙදෙන සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබා දීමට සූදානම් වූහ. ඒ අවස්ථාවේ විරුද්ධ පක්ෂය එයට විරුද්ධ විය. කෙසේ වෙතත් පාසල් කීපයකට උපාංග ලබා දුනි. ඇතැම් පාසල්වලට දැන් ‘සුහුරු පන්ති කාමර’ තිබේ. (දේශපාලන හේතු මත)  බොහෝ පාසල් මෙය ප්‍රතික්ෂේප කළ බව අප සිහිපත් කළ යුතුය. 

තාක්ෂණික ඥානය

කොරෝනා වෛරසය පැතිරීමෙන් අනතුරුව සූම් ජනප්‍රියත්වයට පත් විය. සූම් පන්ති යන වචනය මවුපියන්, ගුරුවරුන් සිසුන් සහ කුඩා දරුවන් අතර පවා බහුලව භාවිත වන්නට විය. එහෙත් හරියටම එය භාවිත කරන්නේ කෙසේද යන්න සියලු දෙනා අසන පැනයයි. 

මේ තොරතුරු යුගයේ ලෝකය ඩිජිටලීකෘතය. එහෙත් සාකච්ඡාවට බඳුන් වන විෂයය වන්නේ : කඳුරට වතු ක්ෂේත්‍රයට කෙතරම් දුරට මේ ඩිජිටල්කරණයට ක්‍රියාකාරී අන්දමින් සම්බන්ධ වීමට හැකිවේද? යන්නය.

අධ්‍යාපන නිලධාරීන්ගේ අදහස්: 

1. අනෙකුත් කලාපවල සිසුන් හා සැසඳීමේදී මාර්ගගත අධ්‍යාපනයට වතු ක්ෂේත්‍රයේ සිසුන්ගේ සහභාගීත්වය 50%ක් තරම් පහළ මට්ටමක පවතී. මෙය ඉස්මතු වූයේ මෑතක මධ්‍යම පළාතේ එක් අධ්‍යාපන කලාපයක මෙහෙයවන ලද සංඛ්‍යාලේඛන අධ්‍යයනයකදීය.

2.අඛණ්ඩව සිදු වුණු රට වැසීම හේතුවෙන් මාර්ගගත පන්තිවලට සහභාගීවන සිසුන්ගේ සංඛ්‍යාව අඩු වී තිබේ.

3.ඇතැම් සිසුන්ට ජංගම දුරකථන පරිශීලනය කළ හැකි වුවත් ඔවුන්ට සූම් ක්‍රමය පරිහරණය කිරීමේ නිපුණත්වයක් නැත. ඒ හේතුව නිසා ඔවුන්ට කැමැත්තක් තිබුණද සූම් පන්තිවලට සහභාගී වීමට නොහැකි වී තිබේ. 

ඇතැම් නිවෙස්වල ප්‍රධාන සන්නිවේදන මාදිලිය වන්නේ ජංගම දුරකථන වන අතර අධ්‍යාපනික අරමුණු වෙනුවෙන් එය භාවිත කිරී‌මට ප්‍රමාණවත් දැනුමක් නොමැති වීම කලකිරීමට හේතුවක් විය හැකිය. 

ගුරුවරුන්

මාර්ගගත පන්ති පවත්වන්නේ ඇතැම් ගුරුවරුන් පමණි. ඔවුන්ගේ තාක්ෂණික දැනුම පසෙක තැබු විට ආවරණය අඩු කඳුකර ප්‍රදේශවල සිසුන් සමඟ සම්බන්ධීකරණය කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ. මේ හේතුවෙන් ගුරුවරුන් හා සිසුන් අතර විශාල පරතරයක් ඇති වී ඇත.

මෙහිදී සඳහන් කළ යුතුව ඇත්තේ ඇතැම් පාසල්වල සූම් ක්‍රමය මඟින් ගුරුවරුන් සඳහා ස්ව-අධ්‍යයන වැඩසටහන් මෙහෙය වූ බවයි.  මේ මාර්ගගත පන්තිවලට සහභාගී වීමට නොහැකි වූ සිසුන්ගෙන් සියයට 50ක් පමණ මේ ක්‍රමයට ඉගෙනීම අතහැර තිබේ.

අමාත්‍යාංශය ඊ- තක්සල, අයි නාළිකාව සහ කුරුන්චි ගුවන්විදුලිය ඔස්සේ රජයේ ගුරුගෙදර ඉගෙනුම් වැඩසටහන් හඳුන්වා දීමට විශේෂයෙන් පියවර ගෙන ඇත. එහෙත් එය රූපවාහිනී යන්ත්‍ර නොමැති හෝ තරංග කලාපවලට ප්‍රවේශ විය නොහැකි සිසුන් හට කළ නොහැක්කකි. මාර්ගගත ඉගැන්වීම් හඳුන්වා දෙනු ලැබූවද එය සියයට 100ක් නිවැරැදිදැයි තක්සේරු කිරීම දුෂ්කරය. මේ ක්‍රමය යටතේ සිසුවකුගේ ප්‍රගති මට්ටම ඍජු ඉගෙනීම් පන්තියක අයුරින් තක්සේරු කළ නොහැකිය.  

විසඳුම

විදුලි සන්දේශ ආයතන සිසුන් වෙනුවෙන් නොමිලේ අන්තර්ජාල සේවා සපයන ප්‍රතිපත්තයක් හඳුන්වා දිය යුතුය. මේ වන විට පාසල් ක්‍රියාත්මක වන්නේ අන්තර්ජාලයේ සූම් තාක්ෂණය ඔස්සේය. දත්ත වෙනුවෙන් මුදල් වැය කළ නොහැකි සිසුන් ඔවුන්ගේ අරමුණු කරා ළඟා වීමට අසමත් වනු ඇත. ඔවුන් අතර දක්ෂ සිසුන් මෙන්ම ඉදිරියට යෑමට කැමැති වුවත් මේ මොහොතේ පසුබැස ඇති අය වෙත්. 

දත්ත වෙනුවෙන් වැයක් දැරිය හැකි සිසුන් වර්තමානයේ තක්සේරු කර ඇත්තේ අධ්‍යාපනයෙන් ඉදිරියට යා හැකි අය ලෙසය.  මේ මඟින් නිසි වැඩපිළිවෙළක් සිසුන් වෙනුවෙන් සංවිධානය කළ යුතුය. අප තොරතුරු යුගයේ ජීවත් වුවද අපේ අනාගත පරපුර වන අපේ සිසු දරුවන්ට අධ්‍යාපනය සඳහා උපකාර කිරීමට අපට නොහැකි වීම ඛේදවාචකයකි. 

කොරෝනා සමඟ ඇරැඹුණු මාර්ගගත අධ්‍යාපන ක්‍රමය සෑම සිසුවකුටම එක හා සමානව ලැබෙන්නේද යන්න සැක සහිත කරුණකි. දුප්පත් හා පොහොසත් සිසුන් අතර පරතරය පුළුල් වීමේ හැකියාවක් පවතී. කඳුරට වතු සිසුන් ඉදිරියේ ඇති මේ අභියෝග සමඟ ඔවුන් ඉදිරියේ යහපත් අනාගතයක් කරා යොමු කළ හැක්කේ කෙසේද? මේ හේතු යටතේ කඳුරට වතුවල අධ්‍යාපනික පරිසරය සංවර්ධනය සඳහා සම්පූර්ණයෙන්ම රජය විසින් ආරම්භ කරන ලද වැඩසටහන් මත  යැපීම අත්වැරැද්දකි.

මේ ප්‍රජාවෙන් මතු වී වඩාත් උසස් තනතුරු හොබවන බොහෝ පිරිස් අනෙක් අය අතර පසු බෑමට ලක්ව සිටින මේ ප්‍රජාවේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා දායක විය යුතුය. එය උපදෙස්, අරමුදල්, පරිත්‍යාග හා සේවා ආදී ඕනෑම ආකාරයකින් විය හැකිය. පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් සහ සංවර්ධන සමිති, ධනවත් ප්‍රජා සාමාජිකයන්, ව්‍යාපාරිකයන්, උසස් තනතුරු හොබවන උගතුන්, විශ්‍රාමික ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ විද්වතුන් එක්ව සම්බන්ධීකරණය කර මේ ඉලක්කය සපුරා ගැනීමට පොදු වැඩසටහනක් ගොඩනැඟිය යුතුය.      

பெருந்தோட்டப் பாடசாலைகளும் இணைய வழி கற்றலும்

Estate Schools And Online Education

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts