මොරගහකන්ද ව්‍යාපෘතිය නිසා “ හස්තීන්ගේ මහා හමුව” අවසන් වූ හැටි!
කමන්ති වික්‍රමසිංහ
හෙක්ටයාර 8000 ක් පුරා පැතිරුණු මින්නේරිය ජාතික වනෝද්‍යානය සියවස් ගණනක් තිස්සේ අලින්ගේ වාසභූමියක් ලෙස පවතියි. විශේෂයෙන් වතුර මට්ටම අඩුවු පසු ආහාර හා සත්ත්වාහාර සොයමින් අලි රංචු මින්නේරිය වැවට පැමිණෛති. මැයි සිට සැප්තැම්බර් දක්වා අතර කාලයේදී ලෝකයේ වඩාත්ම දර්ශනීය ස්වාභාවික සංසිද්ධියක් ලෙස හැඳින්වෙන ‘හස්තීන්ගේ මහා හමුව” සිදුවන්නේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේදීය. කෙසේ වෙතත්, 2018 වසරේ සිට මොරගහකන්ද වේල්ල ව්‍යාපෘතිය ඉදිකිරීමත් සමඟ වැව් පත්ලේ සශ්‍රීක තණකොළ භුක්ති විඳීමට අලි ඇතුන්ට නොහැකි විය. මෙම ව්‍යාපෘතිය විසින් අලි ඇතුන්ගේ එකතුවෙහි අවසානයද සනිටුහන් කර ඇති අතර මෙයද තවත් සැලසුම් නොකළ සංවර්ධන ව්‍යාපෘතියක් නිසා සිදුවුණු ආපසු හැරවිය නොහැකි ප්රතිවිපාකයක් බව පරිසර සංරක්ෂයෝ විශ්වාස කරති.
මින්නේරිය වැව හා එහි වැදගත්කම
‘හස්තීන්ගේ මහා හමුව’ සිදුවන මින්නේරිය ජාතික වනෝද්‍යානය ලෝන්ලි ප්ලැනට් විසින් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ විශාලතම වනජීවී ආශ්චර්යයන් 10 න් එකක් ලෙස ජාත්‍යන්තර කීර්තියක් ලබා ඇත. ආසියානු හස්ති පර්යේෂක සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා පෙන්වා දෙන පරිදි,මැයි මාසයේ ආරම්භ වන වියළි කාලය තුළ අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වැව් පතුලේ තණබිම්වලට එක්රැස් වන අතර සැප්තැම්බර් මාසයේදී මේ හමුව උච්චතම ස්ථානයට පත්වෙමින් අලි ඇතුන් 400 ක් පමණ පැමිණේ,
ඔක්තෝබර් අගදී ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමඟ අලි සංඛ්‍යාව අඩු වීමට පටන් ගනී. මෝසම් වැසි සහ ගලා හැලෙන පද්ධතියෙන් නිකුත් වන ජලය මඟින් මින්නේරිය ජලාශය පිරෙන අතර දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ වැව් පත්ලේ තණබිම් ජලයෙන් යට වේ. අප්‍රේල් මාසයේ කෘෂිකර්මාන්තය සඳහා ජලය මුදා හැරීමත් සමඟ මැයි මාසයේදී වැව් පත්ලේ තෘණ බිම් නැවතත් මතුවන අතර ඒ සමඟ අලි ඇතුන් ක්‍රමානුකූලව නැවත පැමිණේ. මෙම සුවිශේෂී ස්වභාවික සංසිද්ධිය මින්නේරිය ජලාශයේ තෘණ බිම්වල වසර සියයකට අධික කාලයක සිට සිදුවෙමින් පවතී.
නියං කාලයේදී ජලය සඳහා අලි ඇතුන් මින්නේරියට පැමිණෙන බවට ජනප්‍රිය විශ්වාසයක් ඇත. මේ පැමිණීම සඳහා විද්‍යාත්මක හේතුව වන්නේ නියං කාලයේදී වැව් පතුලේ ඇතිවන සශ්‍රීක තණකොළ බුදීම සඳහා අලි ඇතුන් නැවත පැමිණීමයි. මාස කිහිපයක් ජලයෙන් යටවීමෙන් පසු තෘණ භූමියේ තණකොළ විනාශ වෙයි. ජලාශයේ ජලය අඩුවීමත් සමඟ වැව් පතුල මත නැවුම් තණකොළ වැඩෙයි. මේරූ තණකොළවලට වඩා නැවුම් තණකොළ ප්‍රෝටීන් ප්‍රමාණයෙන් වැඩි බැවින් ඒවා මින්නේරියට අලින් අද්දවන ප්‍රධාන ආකර්ෂණය වේ. ජලාශයේ ඇති ජලය අලි ඇතුනට අමතර වරප්රසාදයකි. අලි ඇතුන් සඳහා වෙනත් ස්ථානවල ආහාර අවම වන වියළි කාලවලදී ජලය ක්‍රමයෙන් අඩුවීම නිසා මැයි සිට සැප්තැම්බර් දක්වා වියළි මාස පුරා නැවුම් තණකොළ වර්ධනයට ඉඩ සලසයි.
“ආහාර සහ ජලය වැනි සම්පත් බහුල වූ විට, සමාජශීලි සතුන් වන අලි ඇතුන් විශාල රංචු වශයෙන් එක්රැස් වන අතර, අගෝස්තු/සැප්තැම්බර් මාසවල “මහා හස්ති හමුව” එහි උච්චස්ථානය වේ,” ආචාර්ය පිලපිටිය පැහැදිලි කළේය. “විශාල අලි රංචු තිබීමට අමතරව සම්පත් බහුල වීම අලි ඇතුන්ගේ ස්වභාවික ජීව විද්‍යාත්මක හැසිරීම් විකසිත කරයි. බහුල සම්පත් තිබීම අලි ඇතුන්ගේ ලිංගික හෝමෝන උත්තේජනය කරන අතර ගැහැණු හා පිරිමි සතුන් ලිංගික උත්තේජනයට පත් ව ඇති ආකාරය නිරීක්ෂණය වීම සාමාන්‍ය දෙයකි. හස්ති සංසර්ගයේ හා ඒ ආශ්රිත පිරිමි සතුන් අතර තරගකාරිත්වය පිළිබඳ අපූර්ව දසුන් , පිරිමි සතුන්ගේ මඳ කිපුනු ඉරියව්ව සහ අනෙකුත් රසවත් හස්ති හැසිරීම් ලක්ෂණ මේ අවස්ථාවේ නිරීක්ෂණය කළ හැකිය. එබැවින් මින්නේරිය යනු අලි ඇතුන්ගේ විශාල රංචු නිරීක්ෂණය කිරීමට පමණක් නොව, සිත්ගන්නා සුළු අලි සමාජ හැසිරීම් දැකීමට ඇති සුවිශේෂී ස්ථානයකි. ආසියානු අලි ගැවසෙන ප්‍රත්‍යන්ත 13 අතර මෙවැනි වෙනත් ස්ථානයක් නොමැති අතර දහස් ගණන් විදේශීය සහ දේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා කාන්දමක් වී ඇත.
අලි ගහණයේ අඩු වීමක්
මෙම අද්විතීය ස්වභාවික පද්ධතියට සිදු කරන ඕනෑම මානව මැදිහත්වීමක් “හස්තීන්ගේ මහා හමුව ” මත ආපසු හැරවිය නොහැකි අහිතකර බලපෑම් ඇති කරයි. “2018 වසරේ මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් අවසන් වූ දා සිට ජුනි/ජූලි මාසවල පමණ ආරම්භ වන වියළි කාලවලදී මින්නේරිය ජලාශයට අකාලික ලෙස ජලය මුදා හැරීම නිසා ජලාශයේ ජල මට්ටම් උච්චාවචනය වීමට හේතු විය. මින්නේරිය ජලාශයේ ජල මට්ටම් උච්චාවචනය වීමත් සමඟ මින්නේරිය ප්‍රදේශයේ අලි ගහනය අඩුවීමක් දක්නට ලැබේ. 2018, 2019, 2020 සහ 2021 වියළි කාලවලදී අකාලික ජල මුදා හැරීම් නිරීක්ෂණය කර ඇතිබව” ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.
මින්නේරිය ජලාශයට සහ ඉන් පිටතට ජලය මුදා හැරීමට වගකිවයුතු වාරිමාර්ග බලධාරීන් 2019 සහ 2020 දී මින්නේරිය ජලාශය කියුබික් මිටර මිලියන 70-85 (නොහොත් ජලාශයේ ධාරිතාවෙන් 70%) දක්වා පිරවීමට කටයුතු කළ අතර එය මින්නේරියේ ජලය යෝධ ඇළ වෙත “වාන්” දමා ඊසාන දිග ජලාශ වෙත ඉදිරියට සම්ප්‍රේෂණය කිරීම සඳහා අවශ්‍ය ජල මට්ටමයි. මෙම කාලය තුළ සීමිත ලෙස තෘණ බිම් තිබුණද, අලි ඇතුන් ගේ සංචලනය අවුළුවනු ලබන්නේ ඔවුන්ගේ අතීත අත්දැකීම් මගිනි. 2018 වසරේ සිට මින්නේරියට අකාලයේ ජලය මුදාහරින විට, ජල මට්ටමෙහි සුළු වැඩිවීමක් නිසා පවා පවතින තෘණබිම් නොතකා, අලි රංචු කිහිපයක් මින්නේරියෙන් පිටතට සංක්‍රමණය වීමට හේතු වන බව නිරීක්ෂණය විය. මෙම අලි ඇතුන් සංචරණය කිරීමට හේතු වූ ප්‍රේරකය වනුයේ ජල මට්ටම් වැඩිවීම වන අතර, ඔවුන් එය බොහෝ විට එළැඹෙන මෝසම් වැසි සමඟ සම්බන්ධ කර ගනී. මෝසම් වැසි ආරම්භ වන විට අලි ඇතුන් ඓතිහාසිකව මින්නේරියෙන් පිටතට සංක්‍රමණය වී ඇති බැවින්, ජලාශයට පැමිණෙන ජලය සහ ජල මට්ටම ඉහළ යාම ජුනි / ජූලි මාසවල ඔවුන්ගේ චලනය සඳහා ප්‍රේරකයක් විය හැකිය. වියළි මාසවලදී මින්නේරිය ජලාශය අඛණ්ඩව පිරවීමෙන් ජල මට්ටම ඉහළ යාමත් සමඟ අලි සංඛ්‍යාව අඩු වේ.
හිටපු වනජීවී සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසින් සිදු කරන ලද පර්යේෂණ ව්‍යාපෘතියක කොටසක් ලෙස රැස් කර ඇති පහත දත්ත අනුව,
සැප්තැම්බර් මාසයේ “හස්ති හමුවේ ” උච්චතම අවස්ථාව වන විට අලි සංඛ්‍යාව නිරීක්ෂණය කිරීමෙන් රැස්ව සිටින කාලය තුළ අලි ඇතුන්ගේ දැවැන්ත අඩුවීමක් අනාවරණය වේ.
වසර | මාසය | අලින් සංඛ්‍යාව |
2016 | සැප්තැම්බර් | 389 |
2017 | සැප්තැම්බර් | 402 |
2018 | සැප්තැම්බර් | 354 |
2019 | සැප්තැම්බර් | 223 |
2020 | සැප්තැම්බර් | 210 |
2021 | සැප්තැම්බර් | 20 |
2017 වසරේ අලි ඇතුන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව දළ වශයෙන් 95%ක පමණ අඩුවීමක් දක්නට ලැබෙන බැවින් ඉහත අලි ගහන සංඛ්‍යාව අනුව මින්නේරියේ “හස්තින්ගේ මහා හමුව” ක්‍රමක්‍රමයෙන් අපට අහිමි වෙමින් පවතින බව පැහැදිලිවම පෙනී යයි .
මානව සාධක හේතුවෙන් අලි මිනිස් ගැටුම උග්රවීම
එහෙත් මෙහි ඇති උත්ප්රාසය නම් මොරගහකන්ද ජලාශයේ සහ වාරි ව්‍යාපෘතියේ ජලය කිසිවිටෙක මින්නේරිය ජලාශයට යැවීමට අදහස් නොකිරීම බව ආචාර්ය පිලපිටිය මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි. හදිසි තීරණ අවසානයේ බලපා ඇත්තේ අලින්ගේ හැසිරීමටය. “මොරගහකන්ද ජලාශය ඉදිකර ඇත්තේ කිලෝමීටර් 28ක් දිග උමං මාර්ගයක් හරහා වාරි ජලය හුරුළු වැවට ගෙන ඇවිත් කඩාහැලෙන පද්ධතියක් හරහා වයඹ සහ උතුරු මැද පළාත්වලට ජලය ඉදිරියට ගලා යැවීමට. මොරගහකන්ද ජලාශයේ ජලය මින්නේරියට යවන්න අදහසක් තිබුණේ නැහැ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ආණ්ඩු වෙනස්වීම් සමඟ තීරණ ආපසු හැරවීමට ප්‍රසිද්ධයි. ඉතින්, මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබියදී, නව රජයක් බලයට පත්වීමෙන් පසු උමග ඉදිකිරීමේ කටයුතු ඉදිරියට ගෙන යාමේ තීරණය ගැන වාද විවාද වෙමින් බොහෝ වාරයක් තීරණ ආපසු හැරවීමෙන් පසුව, උමග ඉදිකිරීම 2021 ජනවාරි මාසයේදී ආරම්භ වුණා. මොරගහකන්ද ජලාශය 2019 වසරේ නිම කළත් අද රටේ පවතින තත්ත්වය අනුව උමග නිම කිරීමට තවත් වසර 5ක් පමණ ගතවෙනවා. මේ අතර මොරගහකන්ද ජලාශයේ අතිරික්ත ජලය පැවතුණු බැවින් එම ජලය කන්තලේ සහ කවුඩුල්ල ජලාශවලට නිකුත් කිරීම සඳහා ජලය මින්නේරිය ජලාශයට යැවීමට තීරණය කරනු ලැබුවා. ”
යම් කරුණක් මිනිසුන්ට පමණක් සම්බන්ධද නම්, ඒ පිළිබඳ ඇතැම් තීරණ පිළිගත හැකි නමුත් අලි ඇතුන් සමඟ කටයුතු කරන විට, තීරණවලින් යහපතට වඩා අයහපතක් සිදු විය හැකිය. “දුර්වල කළමනාකරණය, සැලසුම් සහ දේශපාලනික ලෙස තීරණයන් ආපසු හැරීවීමේ ප්‍රතිඵලයක් ලෙස මින්නේරියේ අලි ගහනයට අහිතකර ලෙස බලපා තිබේ. ඇතැම් ප්‍රතිපත්ති සම්පාදකයන්ට අනුව මින්නේරිය ජලාශයට අතිරික්ත ජලය යැවීම තාවකාලික සංසිද්ධියක් පමණක් වන අතර උමග නිමවීමෙන් පසු අකාලයේ ජලය මුදා හැරීම නතර වෙයි.එවිට මින්නේරියේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් විය යුතුය. අප ගනුදෙනු කරන්නේ මිනිසුන් සමඟ පමණක් නම්, මෙය පිළිගත හැකි නමුත් අපි ගණුදෙණු කරන්නේ අලි ඇතුන් සමඟ බව මෙහිදී නොසලකා හැර තිබේ. වසර කිහිපයක් මැයි මාසයේදී මින්නේරියට පැමිණි විට ආහාර සඳහා තණබිම් නොමැතිව ජලය පිරී ඇති ජලාශය දැකීමෙන් අලි ඇතුන් විකල්ප තණබිම් සොයා යාමට පෙළඹේ. බොහෝ විට ඔවුන් ආහාරය සඳහා බෝග වගාවන් යොදා ගනු ඇත. 2018 සහ 2020 අතර මින්නේරිය ආශ්රිත ප්‍රදේශවල අලි මිනිස් ගැටුම 6 ගුණයකින් වැඩි වී ඇති බව දත්ත පෙන්වා දෙයි. 2021 දී ජලාශය පිරී තිබූ බැවින්, 2021 දී අලි මිනිස් ගැටුම 6 ගුණයකටත් වඩා සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවට මිනිස් අත්දැකීම් සාක්ෂි දරයි. අලි ඇතුන් විකල්ප තණබිම් සොයාගෙන බෝග වගාවන් විනාශ කිරීමට පුරුදු වූ පසු, මින්නේරියේ තත්ත්වය මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට පෙර තත්ත්වයට පැමිණියද, කරුණු දෙකක් නිසා අලි නැවත මින්නේරියට එනු ඇතැයි සිතිය නොහැකිය.
(i) මින්නේරියේ තණබිම් ඇති බවත් නැවත පැමිණිය යුතු බවත් අලුත් ප්‍රදේශවලට ගිය අලි ඇතුන්ට අපි පණිවිඩ යවන්නේ කෙසේද?
(ii) (ii) අලි ඇතුන් බෝග විනාශ කිරීමට පුරුදු වූ පසු, ස්වභාවික ආහාරවලට වඩා බෝග බොහෝ පෝෂ්‍යදායී බව ඔවුන් වටහාගෙන ඇති බැවින්, ඔවුන් එසේ කිරීමෙන් වැළැක්වීම අතිශයින් දුෂ්කර ය.
වනයේ දැවැන්තයන් මත දිගු කාලීන බලපෑම
ආහාර අඩුවීමත් සමඟ අලි ඇතුන් ආහාර සොයා රට අභ්‍යන්තරයට යන අතර මෙය අලි මිනිස් ගැටුම උග්‍ර කරයි. “අතීත සාක්ෂි මත පදනම්ව, මින්නේරියේ තණබිම් නොමැති වීමෙන් , මින්නේරිය / කවුඩුල්ල ජනගහනයේ අලි ඇතුන් සඳහා වියළි කාලවලදී ආහාර ලබා ගැනීමේ හැකියාව සැලකිය යුතු ලෙස අඩු වීම නිසාත්, ඒ අවට හොඳ අලි වාසභූමි නොමැති නිසා අලි ඇතුනට භෝග විනාශ කිරීමට බල කෙරෙනු ඇතැයි උපකල්පනය කළ හැකිය. සාමාන්‍යයෙන්, බෝග විනාශ කරන්නන් වැඩිහිටි පිරිමි සතුන් වන අතර රංචු වශයෙන් බෝග විනාශ කිරීමට සම්බන්ධ වන්නේ ඉතා කලාතුරකිනි. මක්නිසාදයත් බෝග වැටලීම් අලි ඇතුන් සඳහා ඉහළ අවදානම් ක්‍රියාකාරකමක් වන බැවින් විශේෂයෙන් ඔවුන්ගේ පැටවුන් නිසා රංචු අවදානමට ලක් නොවී සිටීමට තැත් කරයි. එහෙත් 2021 වසරේදී මින්නේරිය සහ කවුඩුල්ල අවට ප්‍රදේශවල වෙඩි වැදී තුවාල ලැබූ සහ හක්ක පටස් (හකු බෝම්බ) වැදී මිය ගිය වැඩිහිටි අලි ඇතුන් 9 දෙනෙක් සිටියහ. අලි ඇතුන් වෙඩි තැබීමට හෝ හක්ක පටස් වලට නිරාවරණය වන්නේ ඔවුන් වගාවට කඩා වැදුණු විට පමණි. මෙම ප්‍රදේශයේ රංචු ද භෝග විනාශ කිරීම ආරම්භ කර ඇති බව මෙයින් පැහැදිලි වේ. එබැවින් අලි ඇතුන්ට කෙටි කාලීන අවදානම වන්නේ අලි මිනිස් ගැටුම නිසා තුවාල ලබන හා මරණයට පත් වන සතුන් සංඛ්‍යාව වැඩි වීම යි. දිගුකාලීන බලපෑම වනුයේ අලි ගහනය ක්‍රමයෙන් ප්‍රදේශයේ “නඩත්තු කළ හැකි ගහනයේ මට්ටම” දක්වා අඩු වීමයි. ආහාර අඩුවීමත් සමඟ අලි ඇතුන්ගේ, විශේෂයෙන්ම ගැහැණු සතුන්ගේ සහ පැටවුන්ගේ ශරීර තත්ත්වය පිරිහෙන අතර දිගුකාලීන පැවැත්ම අවදානමට ලක්වේ. මෙම ප්රවණතාවයේ සාක්ෂි දැනටමත් මතුවෙමින් තිබේ. ඒ නිසා මේ අලි ගහනයේ දිගුකාලීන සංරක්ෂණ අනතුරේ.” ආචාර්ය පිලපිටිය මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
පාරිසරික බලපෑම් ඇගැයීම් නොසලකා හැරීමේ ප්‍රතිවිපාක
එසේම මොරගහකන්ද ව්‍යාපෘතියට සමාන ලෙස තවත් බොහෝ ඊනියා සංවර්ධන ව්‍යාපෘති සිදු කර ඇත්තේ පූර්ව තක්සේරුවකින් හෝ සැලසුම් කිරීමකින් තොරවය. සියලුම නියමිත ව්‍යාපෘති ඉදිකිරීමට පෙර පාරිසරික බලපෑම් ඇගැයීමේ (EIA) ක්‍රියාවලිය අනුගමනය කළ යුතු බවට ජාතික පාරිසරික පනතේ (NEA) ඇතුළත් අනිවාර්ය අවශ්‍යතාවයට පටහැනිව, ශ්‍රී ලංකාව පාරිසරික බලපෑම් ඇගයීම් සිදු කිරීමේ ‘අවශ්‍යතාවය’ සපුරාලීමට අසමත් වී ඇත. කෙසේ වෙතත්, මහා ව්‍යාපෘති ඇතුළු නියමිත ව්‍යාපෘති පරිසරයට අහිතකර ලෙස බලපාන්නේ නැති බවටත්, පරිසර පද්ධති සේවාවන්ට හානියක් නොවන බවටත් සහතික කිරීමට ශ්‍රී ලංකාවේ පවතින යාන්ත්‍රණය මෙයයි.
“පාරිසරික බලපෑම් ඇගැයීම් ඥානවන්තව භාවිතා කරන්නේ නම්, ඒවා සංවර්ධන ව්‍යාපෘතියේ දිගු කාලීන තිරසාර බව සහතික කරමින්, සිදුවිය හැකි සියලුම සෘජු හෝ වක්‍ර පාරිසරික හා සමාජ බලපෑම් හඳුනාගෙන ඒවා අවම කිරීම සඳහා ඉතා ඵලදායී සැලසුම් මෙවලම් බව,” ආචාර්ය පිලපිටිය මහතා වැඩිදුරටත් පවසයි. “කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ අපි පාරිසරික බලපෑම් තක්සේරුව නියාමන අවශ්‍යතාවයක් ලෙස පමණක් දකින අතර බොහෝ ව්‍යාපෘති සිදු කරන්නන් ඔවුන්ගේ ව්‍යාපෘතිය අනුමත කර ගැනීම සඳහා හැකි අවමයම කිරීමට උත්සාහ කරයි. රජය විසින් සිදු කරනු ලබන මෙගා ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම සත්‍ය වේ. පාරිසරික බලපෑම් තක්සේරුව ආරම්භ කිරීමට බොහෝ කලකට පෙර, ව්‍යාපෘතියේ විෂය පථය, ව්‍යාපෘති ස්ථානය සහ සමහර අවස්ථාවල ඉංජිනේරු සැලසුම පවා අවසන් කර ඇත. එබැවින්, ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීම සඳහා පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය අවශ්‍ය පරිදි විකෘති කරනු ලැබේ. මෙය අප මුහුණ දෙන ප්‍රධාන හේතුවක් වන අතර ව්‍යාපෘතියේ සමස්ත ප්රතිලාභ ලබා ගැනීම නිෂේධනය කරන ප්‍රධාන ගැටලු වලින් එකකි. නියාමන අනුමැතිය ලබා ගැනීමට අමතරව ප්‍රයෝජනවත් ව්‍යාපෘති සැලසුම් මෙවලමක් බවට පත්වන පරිදි මුල් සැලසුම් අවධියේදීම පාරිසරික බලපෑම් ඇගයීම් සිදු කළ යුතුය. ශ්‍රීලංකාව පාරිසරික බලපෑම් ඇගයීම් සැබවින්ම සිදු කරන්නේ ඇයිද යන්න පිළිබඳ සැබෑ හැඟීමකින් යුතු ව පාරිසරික බලපෑම් ඇගයීම් සිදු කිරීමට පටන් ගන්නා තුරු, අපගේ පරිසරයට සහ පරිසර පද්ධතිවලට අනපේක්ෂිත අහිතකර බලපෑම් ඇති වනු ඇත.
“මොරගහකන්ද ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගත් කල, මෙම ව්‍යාපෘතිය ජලාශය සහ ජලය සම්ප්‍රේෂණය කරන උමං යන අංශ දෙකේ එකතුවක් වූ බැවින්, මොරගහකන්ද ජලාශය ඉදිකොට උමග ඉදි නොකළේ නම් හෝ එය ඉදිකිරීම ප්‍රමාද වූවා නම් ජලයට කුමක් කරන්නේදැයි යන පාරිසරික බලපෑම් ඇගයීම සොයා බැලිය යුතුව තිබුණි. මෙය සිදු කළේ නම්, අලි ඇතුන්ට සිදුවන අනපේක්ෂිත බලපෑම් අවම වන බව සහතික කිරීම සඳහා ඒවා අවම කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ තිබුණි.”ආචාර්ය පිලපිටිය වැඩිදුරටත් අවධාරණය කළේය.