Uncategorized

මුඛ ආවරණ මීළග පරිසර ප්‍රශ්නයද? 

ප්‍රියන්ත කරුණාරත්න

කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග මුඛ ආවරණ වෙනදාට වඩා වැඩියෙන් භාවිත කරන්න ජනතාව හුරුවි සිටිති. සාමාන්‍යයෙන් එක් වරක් භාවිතයට ගෙන ඉවත දැමිය යුතු මුඛ ආවරණ (Single-use facemask) නිසි ආකාරයට බැහැර නොදැමීම අප අද වන විට මුහුණ දෙන ප්‍රධාන පාරිසරික අභියෝගයකි. ඒවා ජල මූලාශ්‍රවලට, සමුද්‍රීය, හා වනජීවී ප්‍රදේශවලට මුදාහැරීම දැවැන්ත පරිසර ප්‍රශ්නයක් ලෙස ඉස්මතු වෙමින් තිබේ. 

නාගරික ප්‍රදේශවල තැන තැන බැහැර දමා යන මුඛ ආවරණ සුලබ දසුනකි. ග්‍රාමීය ප්‍රදේශවල වුවත් පෙරට වඩා අනවධානයෙන් තැන තැන ගොඩ ගසා ඇති මුහුණු ආවරණ දැකගත හැකිය. නාගරික ප්‍රදේශවල ගොඩගැසෙන මුඛ ආවරණ තොග පිටින් ග්‍රාමීය ප්‍රදේශවලට ගෙන ගොස් දැමීම නිසාම ඒ හරහා දැවැන්ත පාරිසරික ප්‍රශ්නයක් ද මතු වී තිබේ.

ලංකාවේ දිනකට මිලියන 15ක භාවිත කරන ලද මුඛ ආවරණ ප්‍රමාණයක් බැහැර කරති. මෙරට කසළ කළමනාකරණය සදහා යෝදාගන්නා ප්‍රධාන ක්‍රම දෙකෙන් ප්‍රචලිත ක්‍රමය වන්නේ කසළ යෝදාගෙන කරන ගොඩකිරීම්ය. දෙවැන්න, ප්‍රතිචක්‍රීකරණයයි. මෙහිදී භාවිතයට ගත් මුඛ ආවරණ එකතු කර පහත් බිම් ගොඩකිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම තිරසාර පිළියමක් වන අතර දැනට එසේ ක්‍රමවත්ව මෙම වර්ගයේ කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයකට රජය යොමුවී නොතිබීම ප්‍රධාන වශයෙන් මෙරට ගංගා හා සමූද්‍ර ජල මූලාශ්‍රවලට අහිතකර බලපෑමක් එල්ල කිරීමට සමත්ව තිබේ.

හිටපු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධව පවසා සිටියේ “භාවිත කරන ලද මුඛ ආවරණ පරිසරයට එක් කිරීම රටක් හැටියට අප මුහුණ දෙන ඊළග දැවැන්ත පරිසර ප්‍රශ්නය වනු ඇත. මීට පිළියමක් ලෙස විධිමත් කසළ බැහැර කිරීමේ ප්‍රතිකර්ම ඉතා ඉක්මණින් මහජනතාවට හදුන්වාදීමත් නොදිරන/ලෙහෙසියෙන් දිරා නොයන අපද්‍රව්‍ය ගැන ජනතාවගේ අවබෝධය වර්ධනය කිරීමත් ඉතා වැදගත් වේ,” යන්නයි.

විධිමත් ලෙස මුඛ ආවරණ බැහැර නොකිරීම නිසා අපවිත්‍ර වන්නේ ජල මූලාශ්‍ර හෝ සාගර ජල මූලාශ්‍ර පමණක් නොවේ. කැස්බෑවන් වැනි අහිංසක සතුන්ගේ ශරීර කොටස්වල මුඛ ආවරණ පැටලීම නිසා මුහුදු ජීවීන් ද පීඩාවට පත් වන ආකාරය  ජාත්‍යන්තර මාධ්‍ය නිතර වාර්තා කරයි. ඊට අමතරව නිසි පරිදි බැහැර නොදමන මුඛ ආවරණ පක්ෂීන්ගේ ශරීර කොටස්වල පැටලීම නිසා පක්ෂීන් ද පීඩාවට පත් වේ. මින් සමුද්‍රීය හා වෙනත් සතුන් ආරක්ෂා කරගැනීම සදහා අපට ගත හැකි ක්ෂණික පියවරක් නම් මුඛ ආවරණ බැහැර දැමීමේදී දෙපස ඇති කුඩා පටි දෙක කපා ඉවත් කර පරිසරයට බැහැර කිරීමයි. එමගින් සතුන්ගේ ශරීරවල මුඛ ආවරණ පැටලී පීඩාවට ලක්වීමට ඇති ප්‍රවණතාවය අවම කරගැනීමට හැකි වේ.

සාමාන්‍යයෙන් වෙළදපොළේ ඇති අපි භාවිත කරන මුඛ ආවරණ නිපදවන්නේ විවිධාකාර වර්ගයේ පොලිමර් භාවිතා කිරීමෙනි. ඒ අතරට පොලිප්‍රොපයිලේන්, පොලිතිලේන්, පොලිස්ට්‍රින්, පොලිකාබනේට් හා පොලියෙස්ටර් විවිධ ප්‍රමාණවලින් අඩංගුව තිබේ. සාමාන්‍යයෙන් වෙළදපොළේ විවිධ මිළ ගණන් යටතේ හා විවිධ වෙළද නාමයන් යටතේ නිෂ්පාදනය කරන මුඛ ආවරණ සදහා ඉහත සදහන් කළ මූලද්‍රව්‍ය වෙනස් ප්‍රමාණවලින් යොදාගැණුනත් ප්ලාස්ටික් පොලිමර් යනු ඕනෑම මුඛ ආවරණයක් නිෂ්පාදනයේදී යොදාගන්න ප්‍රධාන මූලද්‍රව්‍යයයි. ප්ලාස්ටික් පොලිමර් දිරාපත් වීමට අවම වශයෙන් ශතවර්ශයක පමණ කාලයක් ගනී. මෙහිදී දිරාපත්වීමට ගතවන කාලය වුවද උෂ්ණත්වය, Ultraviolet කිරණ වැටීම ආදී බාහිර සාධක මත තීරණය වේ. කෙසේවෙතත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් කොටස් සෑහෙන කාලයක් මහ පොළොවේ නොදිරා පැවතිය හැකි බව පාරිසරික විශේෂඥයෝ අදහස් කරති.

කොරෝනා වසංගත පැමිණීමට පෙර මෙරට පරිසර සංවිධාන හා පාරිසරික සංරක්ෂකයින් මෙරට සීඝ්‍රයෙන් වර්ධනය් වෙමින් පැවති සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ උවදුරට එරෙහිව ප්‍රබල හඩක් නගමින් සිටියහ. ඔවුන්ගේ යෝජනාව වූයේ දිරාපත් නොවන සායනික අපද්‍රව්‍ය භාවිතය ක්‍රමානුකූලව අඩු කරමින් පරිසරයට හිතකර හා කල්පවත්නා සායනික අපද්‍රව්‍ය බැහැරකිරීමේ ක්‍රම ලංකාවට හදුන්වා දිය යුතු බවයි. කෙසේවෙතත් කොරෝනා වසංගතයට පෙර සායනික අපද්‍රව්‍ය (මුඛ ආවරණ ද ඇතුළුව) බැහැර කිරීමේ ගැටළුවට කොරෝනා සමයේදී මිනිසුන් බහුලව භාවිතා කරන්නට පුරුදු වූ මුඛ ආවරණ ප්‍රමාණය නව අමතර ගැටළු රැසක් නිර්මාණය කර තිබේ.

මෙම ලිපිය සකස් කිරීමේදී ලියුම්කරු විසින් සමුද්‍රීය පරිසර අධිකාරියේ සම්බන්ධීකාරක මුදිත කටුවාවල මහතා සම්බන්ධ කරගත් අතර මුහුදුබඩ ප්‍රදේශ පිරිසිදු කිරීමේ වැඩසටහන් සම්බන්ධීකරණයේදී සිය කණ්ඩායම් හදුනාගත් සිවිශේෂ ගැටළු කිහිපයක් මතු කළේය. “මුහුදට බැහැර කර ඇති මුඛ ආවරණ අතරින් සැළකිය යුතු ප්‍රමාණයක ඇල්ගී වර්ධනය වී ඇති ආකාරය දැකගන්නට ලැබුණා. මේ ආකාරයේ මුඛ ආවරණ මුහුදේ තිබීමෙන් මත්ස්‍යයින් හා වෙනත් මුහුදු ජීවීන් ඒවා ආහාර ලෙස වැරදියට හදුනාගන්නවා. ඇල්ගී වැනි ක්ෂුද්‍ර ජීවීන් තුළ ප්ලාස්ටික් අඩංගු නැති බව අප කවුරුත් දන්නවා. ඒත් මුඛ ආවරණවල තත්වය මීට සපුරා වෙනස්. මත්ස්‍යයින් හා අනෙකුත් ජීවීන් වැරදි ආකාරයට තම ආහාර හදුනාගැනීම නිසා ඔවුන් නොදැනුවත්වම ඔවුන් විසින් ප්ලාස්ටික් අණු ආහාරයට ගැනීම සිදුකරනවා,” කටුවාවල මහතා පැහැදිළි කළේය.   

සමූද්‍ර ජීවයේ තැනුම් ඒකකය කොරල් පරයි. කටුවාවල මහතා සදන් කළ පරිදි මුහුදට බැහැර කරන මුඛ ආවරණ කොරල් පරවල පැටලීම නිසා කාලයක් ගත වන විට කොරල්පර වර්ධනයට ද බලපෑම් එල්ල විය හැකිය. තවත් කරුණක් වන්නේ මුහුදට බැහැර කරන මේ ආකාරයේ මුඛ ආවරණ නිසා මුහුදු ජීවීන් අනුභවයට හුරු වූ පක්ෂීන් හා වෙනත් සතුන්ට ඇතිවන බලපෑමයි. මේ තත්වය කටුවාවල මහතා මෙසේ පැහැදිළි කළේය. “පක්ෂීන් නිතරම පාහේ මුහුදේ පාවෙන මෙවැනි මුඛ ආවරණ මත්ස්‍යයින් ලෙස වැරදියට හදුනාගන්නවා. එමනිසා, මත්ස්‍යයින් අල්ලාගන්න ආකරයට අල්ලාගන්නේ මුඛ ආවරණයක්. මුඛ ආවරණ දෙපස ඇති පටි දෙක බොහෝවිට පක්ෂීන්ගේ බෙල්ල හා කකුල්වල පැටලෙන අවස්ථා අපි දැක තිබෙනවා”. එසේම ඉස්සන්, කකුළුවන් වැනි කබොල සහිත මත්ස්‍යයින් දිගින් දිගටම මුඛ ආවරණ කොටස් ආහරයට ගැනීමට පුරුදු වුවහොත් ආහාර දාම රටා වෙනස් විය හැකියි. එමගින් සමස්ත මානව හා සත්ව ආහාර රටා වෙනස් විය හැකියි.

මේ කරුණ සම්බන්ධයෙන් ලියුම්කරු මධ්‍යම පරිසර අධිකාරියේ අජිත් වීරසුන්දර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ලංකාවේ රෝහල්වලින් ඉවත දමන සායනික අපද්‍රව්‍ය වෙනම පුළුස්සාදැමීමේ ක්‍රමවේදයක් තිබෙනවා. එහෙත් සාමාන්‍ය ජනතාව බැහැර දමන මුඛ ආවරණ පළාත් පාලන ආයතන විසින් සාමාන්‍ය ක්‍රමවේදයකට එකතු කරනවා.”

2014 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සදහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. කෙසේ වෙතත්, මේ වැඩසටහන යටතේ රෝහල්වලින් පිටකරන සායනික අපද්‍රව්‍ය පිළිබදව පමණක් අවධානය යොමු කරන අතර ගෘහාශ්‍රිතව එකතු වන සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් හදුනාගෙන නැත. ඒ නිසා ඊළග වතාවේ මුඛ ආවරණ බැහැර දැමීමේදී ජනතාව එකවරක් නොව කිහිපවරක් කල්පනා කර නිසිපරිදි ඒවා බැහැර කරිමට පියවර ගතයුතුය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts