Uncategorized

එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන්  තවමත් දැවෙන ශ්‍රි ලංකාව

කමණී හෙට්ටිආරච්චි

සමස්ත ශ්‍රී ලංකාවම ගිලුණු නැවකට සමාන වු සමයක එක්ස්ප්‍රස් පර්ල් නෞකාව රටවැසියන්ටත් රටේ මාධ්‍යයටත් අමතක වීම  සාමාන්‍ය සිදුවීමකි. නමුත් පසුගිය 2021 වසරේ ජුනි මස 02 දා ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේදී පුපුරා ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව විසින් මෙරට ආර්ථිකයට සහ මුහුදට කළ හානිය පරම්පරා කිහිපයකට වන්දි ගෙවීමට වන බරපතල සිදුවිමකි.

සිංගප්පූරු ධජය යටතේ ප්‍රවාහන නෞකාවක් ලෙස රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය රැගෙන පැමිණි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 09 ක් දුරින්  ශ්‍රී ලංකාවට අයත් ගිනිකොණ මුහුදු තීරයේදී පුපුරා ගියේ මෙරට මුහුදට සහ මුහුදු ජීවීන්ට ගණනය කළ නොහැකි අන්දමේ හානියක් කරමිනි.

ශ්‍රී ලංකාවට බරපතල හානියක් කළ ද ඊට අදාළ වන්දි ලබා ගැනීම වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් තවමත් නොහැකි වී ඇති බව හෙළිදරව් වූයේ, බත්තරමුල්ල සෙත්සිරිපායේ පසුගිය අගෝස්තු 23 දා පැවැති රැස්වීමකදීය. එම නෞකාව මුහුදුබත් වීමෙන් මෙරට මුහුදු තීරයට සහ වෙරළ තීරයට සිදු වූ විනාශයට වන්දි ලබා ගැනීම කඩිනමින් කරන ලෙස ද නෞකා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පවතින නීති ප්‍රමාණවත් නැතිනම්, ඒ සඳහා නව නීති සම්පාදනය කරන ලෙස ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට එම රැස්වීමේදී උපදෙස් ලබා දී තිබිණි. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ අමාත්‍යංශයේ සහය ලබා ගන්නා ලෙස ද උපදෙස් ලබා දී තිබිණි.

මෙම රැස්වීමට සහභාගි වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහඳපොල මහත්මිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පුපුරා යාමෙන් ලංකාව මේ වන විටත් ගෙවමින් සිටින වන්දිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කළා ය. ඇයට අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් බැහැර වූ අපද්‍රව්‍යවලින් අපවිත්‍ර වූ වෙරළ තීරයේ පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ වී ඇත්තේ 2021 වසරේ මැයි 20 දා සිට ය. එමගින් කිලෝමීටර් 746 ක වපසරියක් ආවරණය කරනු ලබයි. නැව ගිනිබත් වීමේදී මුහුදට එක්වූ අපද්‍රව්‍යවලින් වැඩිම හානිය වී ඇත්තේ මීගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශයට සහ පමුණුගම පක්කුකන්ද වෙරළ තීරයට ය.

නෞකාවේ ගබඩා කර තිබූ නයිට්‍රික් අම්ලය මගින් එහි ගිනි ගැනීම සිදු වී ඇති අතර එය මුහුදුබත් වීමට පෙර ඇතිවූ පිපිරීමෙන් එහි තිබූ බහාලුම් 1486ක ප්‍රමාණයෙන් කොටසක් මුහුදට එක් වී ඇත. රසායනික ද්‍රව්‍යවලින් සහ බහාලුම්වලින් විසිරුණු පබළු සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය මිශ්‍ර වීමෙන් මන්නාරම සිට හම්බන්තොට කිරින්ඳ දක්වා මුහුදු තීරයට අයත් කිලෝමීටර් 746 ක් සම්පූර්ණයෙන්ම දූෂණයට ලක් වී ඇත. මුහුදට එක් වූ ප්ලාස්ටික් සහ රසායනික ද්‍රව්‍යවලින් මෙට්‍රික්ටොන් 1600 ක ප්‍රමාණයක් ගොඩ ගෙන පමුණුගම ප්‍රදේශයේ කුලියට ලබා ගත් ගබඩාවල දැනටත් තැන්පත් කර තිබේ. ඒවාට කරන්නේ කුමක්ද? යන්න නීතිපතිගේ උපදෙස් මත තීරණය කිරීමට නියමිත ය. 

මන්නාරම සිට හම්බන්තොට දක්වා මුහුදු තීරය පිරිසිදු කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් දරා සිටින වියදම රුපියල් නවකෝටි තිස්අට ලක්ෂ පනස් හත්දහස් දෙසිය අනූ තුනක් වේ. මෙම පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කිරීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇති බව ඉහත තොරතුරු අනාවරණ කළ, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනියගේ මතය වේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පුපුරා යාමෙන් අනතුරුව පරිසයට සිදුවූ හානිය කොටස් දෙකකට බෙදා පරීක්ෂණ ආරම්භ කෙරිණ. ඒ ඇසට පෙනෙන සහ නොපෙනෙන හානිය වශයෙනි. එම පරිසර හානිය ගණනය කිරීම සඳහා ක්ෂේත්‍ර විශේෂඥයින් 40 කගෙන් යුත් කණ්ඩායමක් රජය විසින් පත් කරනු ලැබීය. එහි සම සභාපතිවරුන් ලෙස පත් කෙරුණේ, මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය අජිත් ද අල්විස් මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාරිසරික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන යන අය වේ. මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 14 ක පමණ සහය මෙම විද්වත් කමිටුවට හිමිවිය.එමෙන්ම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය යන රසායනාගාර පරීක්ෂණවලින් ද මේ අය සඳහා පහසුකම් සපයා තිබිණ. 

මෙම පුපුරා යාමෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයට සිදුවූ හානිය මුදලින් තක්සේරු කිරීම දුෂ්කර කටයුත්තක් සේ පෙනී යන්නේ, එම පියවි ඇසින් බලා කිවනොහැකි බැවිනි. 

මෙම නෞකාවේ සිදුවීම සෘජුවම බලපෑ පිරිස ධීවරයන්ය. ඔවුන්ට මුහුදට යාම ද ඒ දිනවල තහනම් කෙරිණ. විවිධ අවස්ථාවල ඔවුන් උද්ඝෝෂණය කරනු ලැබුවේ ද මුහුදට සිදුවන හානිය අවම කරදෙන ලෙස ය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පුපුරා යාම සහ ඉන් අනතුරුව බලධාරීන් ක්‍රියා කරන අන්දම සහ අදාළ නැව් සමාගමේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ෆ්‍රෙන්ඩ් ඔෆ් ද අර්ත් (Friend of the Earth) ජාත්‍යන්තර සංවිධානයේ සභාපති හේමන්ත විතානගේ මහතා ප්‍රකාශ කරනුයේ මෙවැනි අදහසකි. “මේ වන විට නෞකාවේ සිද්ධියෙන් නැව ලියාපදිංචි කළ සමාගම සහ නැවේ ප්‍රවාහන කටයුතු කළ සමාගම ඉවත් වෙලා ඉන්නේ. පී ඇන්ඩ් අයි නැමැති මීට අදාළ රක්ෂණ සමාගම සමග ගනුදෙනු කරන්නේ, අයිටොප් නැමැති සංවිධානය පමණයි. ඔවුන් තමන්ට ඕන විදිහට තමයි, ලංකාවට ඇවිත් කටයුතු කරන්නේ. සාරුක්කුව වෙරළට මිශ්‍රවෙලා තිබෙන ප්ලාස්ටික් ඇතුළු දූෂණකාරක එකතු කිරීම සඳහා ශ්‍රී ලාංකිකයෙකු විසින් නිපදවා ක්‍රියාත්මක කරමින් සිටි යන්ත්‍රයෙන් නැවෙන් සිදු වී ඇති සැබෑ විනාශය හෙළිදරව් වෙමින් තිබෙනවා. මේ නිසා අදාළ සමාගමට සම්බන්ධ ආයතනයේ උවමනාව පරිදි අදාළ පිරිසිදු කිරීමේ කටයුතු අත්හිටුවීමේ නියෝගයක් ලැබී ඇති බවට අපි විශ්වාස කරනවා. මෙහි අරමුණ ගිනිගත් නෞකාවෙන් සිදුවූ සැබෑ විනාශය අඩු තක්සේරුවකින් පෙන්වා ශ්‍රී ලංකාවට ලැබිය යුතු වන්දි මුදල අවම කිරීමයි.”

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ධීවරයින්ට සිදුවූ හානිය, කැස්බෑවන්ට, ඩොල්ෆින් මත්ස්‍යයින්ට හා වෙනත් මුහුදු ජීවීන්ට සිදුවූ හානිය ගණනය කිරීම සිදුවන්නේ මිය ගිය ප්‍රමාණය මෙන් පස්ගුණයක් වැඩි කිරීමෙන් බව පරිසර විශේෂඥයින්ගේ අදහස ය. මැරුණු සතුන්ගෙන් වෙරළට ගොඩ ගසන්නේ සියයට 10 ක ප්‍රමාණයකි. එමෙන්ම මුහුද යට තැන්පත් වූ ප්ලාස්ටික් ද්‍රව්‍යවල ඇල්ගී ශාඛය වර්ධනය වන අතර ප්ලාස්ක් සමග ඒවා ආහාරයට ගන්නා මුහුදු සතුන් විනාශ වීම ඉදිරියටත් සිදු වේ. එලෙස එකතු කරන ලද ප්ලාස්ටික් ද්‍රව්‍ය විනාශ වීමට තවත් වසර 500 ක් 1000 ක් පමණ ගතවන බව පරිසර විද්‍යාඥයින් පෙන්වා දෙති.  එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමට ගත වූයේ කෙටි කාලයකි. නමුත් ඉන් මෙරටට සිදුවූ හානියට වන්දි ගෙවීමට සිදුවන කාලය තවත් අවුරුදු සිය ගණනකි. කෙසේ නමුත් මේවන විට වෙරළ තිරය පිරිසිදු කිරිමේ කටයුතු වෙනුවෙන් නැව අයත් රක්ෂණ සමාගමෙන් රුපියල් බිලියන 1.3 ක මුදල මහා භාන්ඩාගාරය වෙත ලැබි ඇත. මුහුදු පතුලේ ගිලි ඇති නැව ගොඩ ගැනිමේ කටයුතු නැව අයිති සමාගම විසින් චීන සමාගමක් වෙත පවරා තිබෙන බවත් මෙම වසරේ නොවැම්බර් මාසයේ සිට ඔවුන් මුලික කටයුතු ආරම්භ කර ඇති බවත් පවසන සමුද්‍රිය පරිසර ආරක්ෂන අධිකාරියේ සභාපතිනිය වෙරළ තිරයට සිදුවු හානිය ගණනය කර සකස් කල පළමු අතුරු වාර්තාව නැවේ වන්දි ලබාගැනිමට අදාලව කටයුතු කරන ඕස්ට්‍රේලියානු නීති ආයතනය වෙත යවා ඇතිබව සදහන් කළාය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts