නව අර්බුධයකට මග තනන චීන,දෙමළ භාෂා පෙරළිය
සී ජේ අමරතුංග
ශ්‍රී ලංකාව තුළ චීන ආධාර හෝ ණය හෝ යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් ව්‍යාපෘතිවල නාම පුවරු සැකසීමේ දී මෙරට රාජ්‍ය භාෂාවක් වූ දෙමළ බස ඉවත් කොට ඒ වෙනුවට චීන බස යෙදීමේ සිදුවීම් ගණනාවක් පස්සුගිය කාලයේ වාර්තා වී ය.
එක් සිදුවීමක් වාර්තා වුයේ කොළඹ ඉදිවන වරාය නගර ව්‍යපෘතියෙනි. එහි මධ්‍යම උද්‍යාන පෙදෙස නම් කළ නාම පුවරුව සකස් කොට තිබුණේ ඉංග්‍රීසි, සිංහල සහ චීන යන භාෂා තුනෙනි. දෙමළ භාෂාව එහි දක්නට නොවී ය.
ඒ ගැන විරෝධය පල වීමත් සමග අදාළ චීන සමාගම කීවේ එම නාම පුවරුව එහි වැඩ කරන අය සඳහා පමණක් වුවක් බව යි. එවිට සමහරු ප්‍රශ්න කොට තිබුණේ එම ව්‍යාපෘතියේ වැඩට දෙමළ කිසිවෙකු බඳවාගෙන හෝ බඳවාගන්නේ හෝ නැති ද, යනුවෙනි. සිදු කළ වරදට වඩා පිළිතුර හානිකර බවට ද අදහස් පළ වී තිබිණි.
දින ගණනක් තුළ තවත් සිදුවීමකින් මෙය යලිත් වරක් වඩා බරපතළ ලෙස මතු වී ය. මෙවර එය මතු වුයේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතනයක් වන නීතිපති දෙපාර්තමේන්තුවෙනි. එහි චීන ආධාර යටතේ ක්‍රියාත්මක වැඩ සටහනක් විවෘත කළ විට පෙනී ගියේ එහි ප්‍රධාන නාම පුවරුව ඉංග්‍රීසි, සිංහල, සහ චීන බසින් පමණක් සකසා තිබෙන ආකාරය යි. එය විවෘත කරන තෙක් කිසිදු වගකිව යුත්තෙකු එය දැක නොතිබීම ද ප්රශ්නයකි. කෙසේ වෙතත්, එම පුවරුව වහා ම ඉවත් කරනු ලැබී ය.
ඒ අතර මෙබඳු තවත් සිදුවීම් ගැන ද වාර්තා වී ය. එකක් නම් බස්නාහිර පළාතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩ සටහනකි. චීන ආධාර ලැබූ එම ව්‍යාපෘතියේ ද ඉහත කී ප්රශ්නය ම සිදු වී තිබිණි.
ඇතැමුන් මෙය චීන ආක්රමණික අභිලාෂයන්ගේ ප්රකාශනයක් ලෙස සිතනවා විය හැකි ය. ඊට වෙනස් ව සිතන තවත් පිරිසක් කල්පනා කරනවා ඇත්තේ මේවා හුදු අහඹු අත් වැරදීම් වශයෙනි.
ඒ කෙසේ වෙතත්, මෙබඳු වැරදි සුළු කොට සැලකීම අපගේ වැනි සමාජයකට කළ නොහැකි ය. එමෙන් ම එය නොකළ යුත්තේ ය. එයට හේතුව නම් භාෂාව යනු අපට ඉතා ම සංවේදී දේශපාලන මාතෘකාවක් වන නිසා ය. අපගේ දේශපාලන ඉතිහාසය තුළ එය ඉතාමත් විවාදාත්මක මාතෘකාවක් වූ අතර ලේ වැගිරීම්වලට පවා හේතු වී ඇත.
මෙහි දී බොහෝ දෙනාගේ අවධානය යොමු වුයේ චීන භාෂාව යෙදීම පිළිබඳව ය. එසේ වුව ද, ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් වන්නේ දෙමළ භාෂාව නොතකා හැරීම යි. එය මේ වනවිට යම්තාක් දුරකට හෝ සමනය වී ඇති වාර්ගික අර්බුද නැවත මතු කිරීමේ හේතුවක් වීමට් ඉඩ ඇත.
මීට ටික දිනකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා පැමිණිලි කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඔවුන්ට සියලු ලිපි ලේඛන සිංහල භාෂාවෙන් පමණක් ලැබීම පිළිබඳව ය. මෙරට පාලනයේ උත්තරීතර ආයතනයක රටේ භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවීම හෙළිදරව් වුයේ ඒ ආකාරයෙනි. ඒවා පහසුවෙන් නිවැරදි කරගත හැකි ප්‍රශ්න ය. නිවැරදි කරගත යුතු ප්‍රශ්න ය. එවැනි සිදුවීම් වෙනත් තැන්වල ද සිදු වීමට ඉඩ නොතැබිය යුතු ය.
භාෂාව දේශපාලන ප්‍රශ්නයක් ලෙස මතුවීම යටත් විජිත පාලනයත් සමග සිදු වූ බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් ම බ්‍රිතාන්‍ය යුගයේ අධ්‍යාපනය දියුණු වුයේ ඔවුන්ගේ භාෂාව සමග ආගම ද ප්‍රචලිත කිරීම සඳහා ය. ඔවුන්ගේ අධ්‍යාපනයෙන් සිදු වූ යහපතක් නම් අධ්‍යාපනය රජුන්ට, රදලයින්ට, සහ ආගමික ප්රභූන්ට සීමා වී තිබු තත්ත්වයෙන් වෙනස් වී එය සාමාන්‍ය ජනයාට විවෘත වීම යි. එසේ වුව ද, එය ඔවුන්ගේ විජිතවාදී ආකල්ප ප්‍රචලිත කරන්නක් ම වී ය.
එම විජිතවාදී අධ්‍යාපනයට එරෙහිව දේශීය ජනයා ගැසූ පළමු කැරැල්ල නම් තමන්ගේ ම අධ්‍යාපන ආයතන පිහිටුවා ගැනීම යි. කොළඹ ආනන්ද විද්‍යාලය බිහි වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
ආරම්භයේ දී, එය බිහිකිරීමේ දී, සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකයින් එකට සිටි බව ද, මතක තබාගත යුතු වැදගත් කරුණකි. හින්දු විද්‍යාලය, සහිරා විදුහල ලෙස බෙදෙන්නේ පසුව ය. එමෙන් ම, මේ සියල්ලෙන් කළේ දේශීය ප්‍රජාවේ දරුවන්ට, දේශීය ආගමික, සංස්කෘතික පරිසරයක් තුළ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයක් ලබාදීම බව ද වැදගත් කරුණකි.
දේශීය ප්‍රජාවන්ට තමන්ගේ භාෂා නගා සිටුවීමේ උවමනාව මතුවන්නේ ද මෙම ඉංග්‍රීසි ආධිපත්‍යයට එරෙහි වීමේ පියවරක් වශයෙනි. එය ද, දේශපාලන අවශ්‍යතාවයකි. කුමාරතුංග මුනිදාස වැනි පඬිවරුන් ඉටු කරන්නේ එම දේශපාලන කාර්ය භාරය යි.
මෙම කරුණුවලින් පෙනී යන්නේ භාෂාව පිලිබඳ ප්‍රශ්න, දේශපාලනය පිලිබඳ ප්‍රශ්න හා විශේෂයෙන් ම දේශපාලන ආධිපත්‍යය පිලිබඳ ප්‍රශ්න බව යි.
ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු ප්රශ්නය මතුවුයේ ඉංග්‍රීසි භාෂාව මගින් ප්‍රකාශ වූ බ්‍රිතාන්‍ය ආධිපත්‍යය විස්ථාපනය කරන ආකාරය යි. එහි දී, 1954 පමණ දක්වා පිළිගත් මතය වුයේ, සිංහල දෙමළ භාෂා දෙක ම රාජ්‍ය භාෂා විය යුතු බව යි. එසේ වුව ද, එය දේශපාලන අවස්ථාවාදය මගින් විස්ථාපනය කරන ලද්දේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන්නට ය. එයින් සිදු වූ හානි ගැන වෙන ම කතා කළ යුතු වෙයි.
කෙසේ වෙතත්, කළ වරද දැන සිටි එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා දෙමල භාෂා විශේෂ විධිවිධාන පනත මගින් එය යම්තාක් දුරකට නිවැරදි කරන්නට උත්සහ දරුව ද, එයට ඉඩ ලැබුනේ නැත.
දෙමළ ජනයා දිගට ම කිවේ ඉංග්‍රීසින් යටතේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාට මුහුණ දෙන්නට සිදු වූ තත්ත්වයට දැන් දෙමළ භාෂාව කතාකරන ජනතාවට මුහුණ දෙන්නට සිදු වී ඇති බවයි. එදා තම ජනයා නොදන්නා ඉංග්‍රීසියෙන් රජයේ කටයුතු සිදුවෙද්දී එම සේවා ලබාගත නොහැකි වීම දේශීය ප්‍රජාව ට පොදු ප්‍රශ්නයක් වී ය. සිංහල පමණක් රාජ්‍ය භාෂාව වූ විට දෙමළ ජනයාගේ තත්ත්වයේ වෙනසක් නැත. එදා රජය වැඩ කළේ සාමාන්‍ය ජනයාට නොතේරෙන ඉංග්‍රීසියෙනි. දැනුත් සිදුවන්නේ ඔවුන් නොදන්නා සිංහලෙනි.
දෙමළ භාෂාවට රාජ්‍ය භාෂා පිළිගැනීම ලැබෙන්නේ බොහෝ ගැටුම් සිදුවීමෙන් පසුව ය. සම්පුර්ණයෙන් ක්‍රියාත්මක නොවුනත් එය අඩු තරමින් නීතිමය වශයෙන් පිළිගෙන ඇත. දැන් කටයුතු සිදුවිය යුතුව තිබෙන්නේ එය ආපසු හරවන්නට නොව ඉදිරියට ගෙන යන්නට ය.
මේ වනවිට අපේ දරුවෝ පාසල්වල දී දෙවන බස උගනිති. සිංහල දරුවෝ දෙමළ බසත් දෙමළ දරුවෝ සිංහල බසත් උගනිති. එය ඉතා යහපත් වර්ධනයක් නමුත්, තවමත් ප්රශ්නය වන්නේ භාෂා උගන්වන්නට ගුරුවරුන් නැතිකම ය.
කෙසේ වෙතත්, ප්‍රශ්න විසඳි ඇතැයි කිව නොහැකි ය. තවමත් මේ ජනයා අතර ඇත්තේ විශාල දුරස්ථ බවක් බව බොහෝ විට හෙළිවන කරුණකි. සිංහල දකුණේ සිදුවන බොහෝ දේ වාර්තා වන්නේ ද සිංහලෙනි. දෙමළ මාධ්‍යවල පවා ඒවා පළවන්නේ නැත. එබැවින්, දෙමළ ජනයාට දකුණේ සිදුවීම් ගැන එම සමාජය ගැන ප්‍රමාණවත් දැනුමක් නැත. එමෙන් ම, දකුණේ ජනයා උතුරේ ජනජීවිතය ගැන දන්නේ අල්ප වශයෙනි. තවමත් මේ ජනසමාජ දෙක ජීවත් වන්නේ ලෝක දෙකක ය. ඇත්ත තත්ත්වය ඒකය.
එබැවින් දැන් කළ යුතු වන්නේ මෙතෙක් ලබාගත් ජයග්‍රහණ රැක ගෙන වර්ධනය කිරීම යි. ඒ සඳහා ඉතාමත් සංවේදී විය යුතු වන්නේ සුළු අතපසු වීම් පවා වැරදි වැටහීම්වලට මග පැදිය හැකි නිසා ය.
අපගේ ජාතික භාෂා භාවිතය රැක ගැනීම, රට මෙන් ම රටේ එක්සත්භාවය ද, රැකගැනීමක් වන්නේ ඒ නිසා ය.
சீன மற்றும் தமிழ் மொழி குழப்பமும் புதிய நெருக்கடியும்
Chinese And Tamil Language Confusion And The New Crisis