සාමය

භාෂාව ජාතීන් අතර පාලමකි

ගයාන් යද්දෙහිගේ

භාෂාවේ උපත පිළිබඳ විවිධ මතිමතාන්තර පැවතියද සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පමණක් නොව සංස්කෘතික ශිෂ්ටාචාරයන් ගොඩනැංවීම සඳහා දැනුම පරම්පරාවෙන් පරම්පරාවට දායාද කිරීම සඳහාද අනාදිමත් කාලයක සිට මානවයෝ එය උපයෝගි කර ගත්හ.මුලින් සංඥා මගින්  සිදුකළ සන්නිවේදනය මානවයාගේ විකාශනයත් සමඟ වචන හා අකුරු ඔස්සේ වාචික හා  ලිඛිත සංනිවේදනයක්  දක්වා භාෂාව පුළුල් වූවේය. මෙලෙස කාලානුරූපීව නව වචන තමන් විසින්ම නිර්මාණය කරමින් වඩා පහසුවෙන් සන්නිවේදනය කළහැකි ලෙස එය විධිමත්ව ගොඩනගන්නට මානවයා සමත් වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස මේවන විට භාෂා 6500 ක් පමණ ලෝකයට එක්ව තිබේ.විදේශීය ආක්‍රමණ,වෙළෙඳ ගනුදෙනු ඇතුළු නොයෙක් හේතූන් නිසා රටක භාෂාවක් තවත් රටක භාෂාවකින් පෝෂණය වූ අවස්ථා සඳහා උදාහරණ ඕනෑ තරම් තිබේ.   

  සිංහල භාෂාවට එක්ව ඇති ඉස්තෝප්පුව,රාක්කය,තෝල්කයා,වෙන්දෙසි,කපිරිඤ්ඤා,අල්මාරිය,අන්නාසි,බාල්දිය,බංකුව,බස්තම,බේබද්දා ඊට උදාහරණ කිහිපයකි.දෙමළ භාෂාව සලකා බැලීමේදී ඔවුන් සන්නිවේදනයේදී භාවිත කරන වචන රැසක් සිංහල භාෂාවට එක්ව තිබේ.ඇතැම් වචන කතා කිරීමේදී පමණක්ද තවත් ඒවා කතනය හා ලිවීම යන දෙකේදීමත් සිංහල ජනතාව භාවිත කරන අවස්ථා බොහොමයක් අපට දැකිය හැකිය.

දෙමළෙන් කප්පි යන්න සිංහලෙන් කප්පිය යි.දෙමළ ජනතාව කොඩිය හඳුන්වන්නේ කොඩි ලෙසිනි.රොටියට දෙගොලේලෝම කියන්නො රෝටී මය.ඉංග්‍රීසියෙන් කොයින් කියන්නේ කාසියටය.දෙමළෙන් ඊට කියන්නේ කාසු ය.කැරපොත්තාට දෙමළ ජනතාව කියන්නේ  කරපත්තාන්ය.ඉරට්ටෙයි යන්න දෙමළෙන් සිංහලට ආවේ ඉරට්ට ලෙසිනි.සිංහල කඩය දෙමළෙන් කඩෛයි යි.කබ්බියද දෙගොල්ලෝම එකලෙස ව්‍යාවහාර කරන වචනයකි.කප්පම හා නාටාමි යන වචනද  එවැන්නකි.තවත් උදාහරණ මේ සඳහා ඕනෑ තරම් තිබේ.මෙලෙස එක් භාෂාවකින්  බිඳී ගිය වචන එක්වී තවත් භාෂාවක් පෝෂණය වෙත්දී තවත් පැත්තකින් අපූරු යමක් සිදුවෙයි.ඒ නම් වෙනත් භාෂාවක වචන අමුඅමුවේම තමන්ගේ මව් බස හා සම්බන්ධකර කතා කිරීමයි.සිංහල භාෂාවේ බොරු කියා වචනයක් තිබේ.එසේ නමුත් සිංහල ජනතාව පොයි කෙලින්ම එපා යනුවෙන් කියන අවස්ථා ඇත.ඒ දෙමළ භාෂාවෙන් පිස්සු යන්නට කියන වචනයයි.ෂෑලූන්,මෝචරි යන්නද ඊට තවත් උදාහරණ කිහිපයකි.

මෙයට අමතරව භාෂාවේ තවත් අමුතු ගුණාංග රැසක් තිබේ.එහිදී වඩාත් වැදගත් වන්නේ හඬ හා උච්චාරණ ස්වරූපයයි.වරෙන් කියා මෘදුව කිවහොත් එහි ආදරයක් ගැබ්ව තිබේ.එය උස් හඬින් පැවසුවහොත් නියෝගයකි.එකම වචනයේ වුවත් කතා කරන නොඑසේනම් උච්චාරණය කරන ස්වරූපය අනුව අර්ථයේ විශාල වෙනසක් සිදුවන බව මින් පැහැදිලිය. තිබේ. එලෙසින්ම අපහාස කිරීම මූලික කරගනිමින් භාෂාවට එක්වූ වචනද තිබේ.දෙමලිච්චා රංචු පිටින් සිට කෑගසන සතෙකි.තොරතෝංචියක් නොමැතිව පිරිසක් කෑගසන විට අපි කියන්නේ දෙමළු පඩි ගත්තා වගේ කියාය.දෙමලිච්චා සහ දෙමළු පඩි ගත්තා වගේ යන වචන සැලකීමේදී ඒවා අපහාසයම මුල්කර ගනිමින් ශබ්ද කෝෂයට එකතුවූ වචන ලෙස සැලකීමට පුළුවන.

මේ පිහිය හොදයි යනුවෙන්  ප්‍රකාශ කළ විට එහි අර්ථය අපට වටහා ගැනීමට සිදුවන්නේ සන්දර්භයට අනුව ය. මෙම ප්‍රකාශය කරන්නේ  ගෘහනියක් නම් පිහිය හොඳ වන්නේ එළවලු කැපීමට හෝ මුලුතැන් ගෙයි වෙනත් කටයුත්තක් සඳහා ය. එනමුත් “මේ පිහිය හොදයි” යැයි මිනිමරුවෙක් ප්‍රකාශ කළ විට එවිට මතුව එන්නේ වෙනත් අර්ථයකි.  ඒ අනුව මෙහි අර්ථය අප වටහා ගත යුත්තේ සන්දර්භය අනුව බව පැහැදිලි ය. මෙය භාෂා ක්‍රීඩාවකි.ලංකා ඉතිහාස තුළ එක් ජාතියක් තවත් ජාතියක් පාගා නැගී සිටීම පිණිස භාෂාව භාවිත වූ අවස්ථා එමටය.සහෝදර තවත් ජාතියක් මත සිය ආධිපතිවාදී අදහස් පතුරුවා හැරීමට ඇතැම්හු භාෂාව යොදා ගත්හ.වචනවල අරුත ක්‍රීඩාවක් ලෙස යොදා ගෙන තිබෙන්නේ ජාතීන් විරසක කරමින් සමාජ දේහය විනාෂකර දැමීමට ය.”හම්බයා, පර දෙමළා” වැනි වචන භාවිත වන සන්දර්භය දෙස බලන විට එහි ජනවාර්ගික අර්බුදයේ වැඩෙන ශෛල සොයා ගැනීම අසීරු නොවන්නේය.

සංස්කෘතිය විසින් මානව සමාජයේ උන්නතිය උදෙසා තීරණාත්මක අයුරින් බලපෑම් කරන යුගයක සංස්කෘතියේ ප්‍රවාහකයා වශයෙන් හඳුනාගත හැකි භාෂාව ඉතා වැදගත් සාධකයකි.ඕනෑම රටක් ලඟාකර ගතයුතු අත්‍යාවශ්‍ය අවසානයක් වශයෙන් හදුනාගත හැකි සංවර්ධනයේ පදනම් සාධකය වන්නේ භාෂාව බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි.මෙය තවත් සුවිශේෂී වන්නේ අප වැනි විවිධ ජාතීන් එක්ව ජීවත් වන රටකටය.සහෝදරත්වයේ අවබෝධය ගොඩනගා ගැනීම උදෙසා ගමන්කළ හැකි කෙටිම මඟ පවතින්නේ භාෂාව තුළය.බහුවාර්ගික රටක එක් ජාතියක් තවත් ජාතියක් කතා කරන භාෂාව ඉගෙන ගැනීම ජාතික හා ආගමික සංහිඳියාව ඇතිකර ගැනීමට මනා පිටුබලයක් වන කාරනයකි.වචන උච්චාරනයේදී සිදුවන දෝෂ උළුප්පා දක්වමින් තවත් ජාතියකට අගෞරව කරමින් සතුටක් ලැබීම සංහිඳියාවට බාධාවකි.සාජන් නල්ලතම්බි වැනි වේදිකා නාට්‍ය ඊට උදාහරණයකි.සිනමා හා ‍ටෙලි නාට්‍ය කලාව තුළ අදද මෙම තත්ත්වය දක්නට ලැබෙයි.වැරදි වැරදි හෝ තවත් භාෂාවක් ඉගෙන ගැනීම ජාතීන් අතර ඇති දුරස්ථ බව තුරන් කිරීමට හේතුවන කාරනයක් බව පැහැදිලිව අවබෝධ කරගත් අයෙකුට මෙවැනි දේ වලින් විනෝදයක් ලැබිය නොහැකිය.ඒ තුළ ඇත්තේ උපහාසයට වඩා අපහාසය බව අප තේරුම්ගත යුතුය.

පාස්කු ඉරුදින අන්තවාදී කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයත් සමඟ ඇවිලී ගිය ගින්න නිවා දැමීම හෝ තව දුරටත් දල්වා පතුරාවා ලීමේ බලය රඳා පැවතුණේ භාෂාව මතය.කෙනෙකු ඇවිලෙන ගින්නට අවෛරී ප්‍රකාශ නැමැති සිසිල් දිය පොදක් එක්කර එය නිවා දැමීමට උත්සහ කරත්දී තවත් අය කළේ වෛරී ප්‍රකාශ කරමින් ඇවිලෙන ගින්නට පිදුරු දැමීමය.මෙම පසුබිම තුළින් අවබෝධ වන එක් ප්‍රධාන කරුණක් වන්නේ ජාතීන් එක් කිරීම හෝ බෙදා වෙන් කිරීමේ මහා බලයක්  භාෂාව සතු බවකි.කතෝලික පල්ලි වලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු කිතුණු ජනතාව සිය ගණනක් මිය ගොස් සිටියදී ඔවුන්ගේ ඥාතින් ඇතුළු ප්‍රජාව කුපිතවී මුස්ලිම් ජනතාවට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි යන බිය බොහෝ දෙනෙකු තුළ ඇතිව තිබිණි.එසේ වුවත් කාදිනල් තුමන් එවැන්ක් සඳහා කිසිදු ඉඩක් නොතබමින් ජාතිය අමතා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ නිකුත් කළේය.එතුමන් මේ සඳහා උපයෝගි කරගනු ලැබුවේ භාෂාව හා ආගමික ඉගැන්වීම්ය.මේ ආකාර අපි නොසිතන ආකාරයේ බලයක් හා ශක්තියක් භාෂාව සතුය.ජාතීන් අතර ගැටුම් ඇතිකර ගැනීමට මෙන්ම ගැටුම් සමනය සඳහාද භාෂාව සතු බලය පසුගිය සති කිහිපය තුළ අපි හොඳින් අත් දුටුවෙමු.

இனங்களுக்கிடையில் பாலமாக அமையும் மொழி

Language Is A Bridge Between Nations

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts