අනාවරණ

ජනපතිවරණයේදී සුළු ජාතික ඡන්දසුළුවෙන් තැකිය නොහැකියි

ගයාන් යද්දෙහිගේ

මෙරට හත්වන විධායක ජනපති තෝරා ගැනීම සඳහා වන ඡන්ද සටන දැන් ආරම්භ වී තිබේ. එම ධූරය අපේක්ෂාවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් පුද්ගලයන් 35 දෙනෙකු නාම යෝජනා බාරදී ඇත. මෙරට ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ජනපතිවරණයකට ඉදිරිපත් වන අවස්ථාව මෙයයි. මෙම මැතිවරණයේදී සුළු ජාතික ඡන්ද සුළුවෙන් තැකිය නොහැකි බව පවසන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ මහචාර්ය උපුල් අබේරත්න,ඔවුන්ගේ මනාපය දිනා ගැනීමට හැකි අපේක්ෂකයා ජයග්‍රහණය කරන්නට වැඩි ඉඩක් පවතින බව දපෙන්වා දෙයි.

මෙවර ජනපතිවරණයට අපේක්ෂකයන් තිස් පස් දෙනකු ඉදිරිපත් වෙනවා. මේ තත්ත්වය පිළිබඳ ඔබ දකින්නේ කෙලෙසින් ද?

අපි තවමත් යල්පැන ගිය නීති සමඟ ගනු දෙනු කිරීමේ ප්‍රතිපලය නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථකතන අනුව ඕනෑම අයෙකුට ජනපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාව තිබෙනවා. ඒත් පරදින බව දැන වෙනත් අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඉදිරිපත් වන අපේක්ෂකයින් නිසා ඉහළ යන මැතිවරණ වියදම්වල බර අවසානයේ දැරීමට සිදුවන්නේ ජනතාවටයි. මේ නිසා මේ ගැන සමාජයක් ලෙස අප මෙයට වඩා කතා කළ යුතුයි. ජනපතිවරණයට ඉදිරිපත් වීමට තිබෙන ඇප මුදල දැන් තියෙන මුදල මෙන් විසි තිස් ගුණයකින් ඉහළ දැමිය යුතුයි.

සෑම මැතිවරණයකදීම වඩාත් වැදගත් වන්නේ පාවෙන ඡන්දයි.මෙවර ඡන්ද දායකයින් ලක්ෂ 15 ක් පමණ අලුතින් එකතුවී සිටිනවා. මේවා දිනා ගැනීම සෑම අපේක්ෂකයෙකුටම අභියෝගයක් නොවේ ද?

අපේ රටේ මිනිස්සු ඡන්දය ලබා දීමේදී බලපාන කරුණු තුනක් තිබෙනවා.එකක් පක්ෂය.අනික අපේක්ෂකයා.තුන්වැනි කාරණය තමයි ප්‍රතිපත්ති. ප්‍රධාන පක්ෂවලට සාම්ප්‍රදායිකව ඡන්දය දෙන අය ප්‍රතිපත්ති හෝ අපේක්ෂකයා කවුරු වුනත් පක්ෂයට ඡන්දය දෙනවා.තවත් පිරිසක් ඉන්නවා ඉදිරිපත් වෙන පුද්ගලයාගේ පියා, පවුලේ උදවිය මීට පෙර කරලා තියෙන සේවාව බලලා ඡන්දය දෙන. පුද්ගලයාගේ චරිතය ගැනත් මෙතනදී අවධානයක් යොමු වෙනවා. මේ දෙපිරිසටම වඩා වැදගත් වන්නේ ප්‍රතිපත්ති බලලා ඡන්දය දෙන අයයි.රටක් ඉදිරියට ගමන් කරන්නේ මේ අය නිසයි.පක්ෂය,පුද්ගලයා කවුරු වුණත් මේ අය ඒවා නොතකා ප්‍රතිපත්ති බලලා ඡන්දය පාවිච්චි කරනවා.මේ කණ්ඩායම පසුගිය අවස්ථාවේ ඡන්දය දීපු පක්ෂයට නොවෙයි සමහර වෙලාවට මේ වතාවේ ඡන්දය දෙන්නේ.ඒ අය රටේ ප්‍රශ්න හඳුනා ගෙන ඒවාට ප්‍රායෝගික විසඳුම් දෙන්න පුළුවන් කාටද කියලා කිරලා මැනලා බලනවා.මෙම පිරිස දිනා ගන්න නම් අපේක්ෂකයින් රටට ගැලපෙන පිළිගත හැකි ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න වෙනවා.මුල්ම වතාවට ඡන්දය දෙන අය අතරිනුත් බහුතරයක් මෙම කණ්ඩායම නියෝජනය කරන නිසා නොහිතන බලයක් ඔවුන් සතු වෙනවා.

මෙවර ජනපතිවරණයේදී සුළු ජාතික ඡන්ද ඉතා තීරණාත්මකයි?

මේක බහුවාර්ගික රටක්.අපේ ඡන්ද දායකයින් ගෙන් අති බහුතරය සිංහල බෞද්ධ වුණත් දෙමළ හා මුස්ලිම් ජනතාවත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා.ඒ ඡන්ද ප්‍රමාණය ලක්ෂ 30 ක් පමණ වෙනවා.මේ ඡන්ද දිනා ගැනීම කාරණා දෙකක් නිසා වැදගත් වෙනවා.එකක් ජයග්‍රහණය කිරීමට ඒක ශක්තියක්.අනිත් කාරණය තමයි පත්වන ජනපතිවරයාට මේ සුළු ජනකොටස් සම්බන්ධ කර නොගෙන පාලනයක් ගෙන යෑමට නොහැකි වීම. සිංහල,දෙමළ මුස්ලිම් කියලා ඡන්ද වෙන් කරන්න ගියොත් අපි ලොකු අර්බුදයකට ලක් වෙනවා. අද ඒ තත්ත්වය පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. සිංහල බෞද්ධ ඡන්දවලින් එක් කණ්ඩායමක් දිනන්න උත්සහ කරනවා.ඔවුන් සිංහල බෞද්ධ ඡන්ද ගොඩ වැඩිකර ගැනීම පිණිස කරන ප්‍රකාශ නිසා දෙමළ හා මුස්ලිම් ජනතාව ඔවුන් ගෙන් ඈත් වෙනවා. සිංහල බෞද්ධ ඡන්දවලින් තමයි මං පත්වුනේ කියලා ජනපතිවරයෙකුට වැඩ කරන්න බැහැ. ඔහු පත්වන්නේ රටේ සියලු ජනතාව වෙනුවෙන්. ඒ නිසා එවැන්නෙකුට සියලු ජාතීන්ගේ කැමැත්ත තිබිය යුතුයි කියන ස්ථාවරයේ තමයි මම ඉන්නේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂාව කියන කාරනය මෙවර මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති බවයි පෙනෙන්නෙ?

ත්‍රස්තවාදය නිමාවට පත්වුණාට පසු රටේ සාමය සමඟිය යම් ප්‍රමාණයකට තහවුරුව තිබියදී තමයි මේ පාස්කු ප්‍රහාරය එල්ල වුණේ.මේ නිසා සමාජය තුළ ලොකු කැළඹීමක් ඒ සිදුවීමත් සමඟ ඇති වුණා. රටක ජාතික ආරක්ෂාව තහවුරු කරන්න හමුදාව,පොලීසිය හා බුද්ධි අංශ සීරුවෙන් හිටියටම බැහැ. ජාතීන් අතර සමඟියක් තියෙන්න ඕන. එක ජාතියක් තවත් ජාතියක් දෙස සැකයෙන් හා බියෙන් බලනවා නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. රටක ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ මුලික පියවර තමයි ජාති හා ආගම් අතර සංහිඳියාව ඇති කිරීම. සිංහල බෞද්ධයින්ගේ ඡන්දවලින් පමණක් යම් අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරන්න උත්සහ කරනවා නම් එතනදී වෙන්නේ සෙසු ජාතීන් ඔහුගෙන් ඈතට යාමයි. මේ ඔස්සේ සැකය,බිය,වෛරය වගේ දේවල් අප නොදැනුවත්වම සමාජය තුළ ගොඩ නැගෙනවා. මා හිතන්නේ ජාතික සමඟිය ඇති නොකර ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැහැ.

අපේ රටේ ජනතාව තම පරමාධිපත්‍ය බලය නිසි අයුරින් පාවිච්චි කරන බවක් ඉතිහාසය පුරා දක්නට නොලැබෙන බවය දේශපාලන විචාරකයන් පවසන්නේ?

ව්‍යවස්ථාව මගින් ජනතාවට ලබාදී තිබෙන පරමාධිපත්‍ය බලය ඉස්මතු වන ප්‍රබලතම අවස්ථාව මැතිවරණයයි.ජනතාවගේ කැමැත්ත නොමැතිව කිසිවකුටත් ජනපති වීමේ පුළුවන්කමක් නැහැ. මේ නිසා තමන් අනාගතයේ රට කරවීමට බාර දෙන්නේ කාටද යන කාරණය ජනතාව ඉතා කල්පනාකාරීව ගතයුතු තීරණයක්. හැඟීම්වලට වඩා ජනතාව මෙවැනි අවස්ථාවක කටයුතු කළ යුත්තේ බුද්ධියෙන්. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහ ඉහළින් කතා කරන අපේක්ෂකයින්ගේ අතීතිය සම්බන්ධව ඡන්දය ලබා දීමට ප්‍රථම ඡන්ද දායකයින් කල්පනා කර බැලිය යුතුයි. ජාතික ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම පිණිස මොවුන් සතු ධාරිතාව වගේම ඔවුන් නියෝජනය කරන පක්ෂ දරන ආකල්පත් බැහැර නොකර ජනතාව තීන්දු තීරණ ගැනීම වැදගත්. නාගරික ප්‍රදේශවලට වඩා ඉතා වේගයෙන් වර්ගවාදී දේශපාලනය ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාප්ත කරමින් ඡන්ද ව්‍යාපාර කරන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා.

ජාති හා ආගම්වාදී අදහස් දරමින් සුළු ජාතික කණ්ඩායම්වලට එරෙහිව සුළු කණ්ඩායමක් අදහස් ප්‍රකාශ කරනවා.එම කණ්ඩායම සහයෝගය ලබාදෙන ජනපති අපේක්ෂක වෙතින් සුළු ජාතීන් ඈත් වීම පුදුමයට කාරණයක් නොවෙයි.

ජාති හා ආගම්වාදී අදහස් දරමින් සුළු ජාතික කණ්ඩායම්වලට එරෙහිව භික්ෂූන් වහන්සේලා සුළු කණ්ඩායමක් අදහස් ප්‍රකාශ කරනවා.එම කණ්ඩායම සහයෝගය ලබාදෙන ජනපති අපේක්ෂක වෙතින් සුළු ජාතීන් ඈත් වීම පුදුමයට කාරණයක් නොවෙයි.අපේ රටේ අකුරු කියවීමේ හා ලිවීමේ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක තිබුණත් දේශපාලන සාක්ෂරතාව පවතින්නේ ඉතා අඩු මට්ටමක. දේශපාලනය,දේශපාලනඥයින් පිළිබඳව ජනතාවට තිබෙන අවබෝධය අඩුයි. ඒ නිසා තමයි ඔවුන්ගේ ඡන්ද පොරොන්දු දේශපාලනය මගින් ඩැහැ ගන්නේ. මේ තත්ත්වය වෙනස් නොවනතාක් ජනතාවගේ ප්‍රශ්න නිසි අයුරින් ආමන්ත්‍රණය කරන ආණ්ඩුවක් බිහිකර ගැනීම අසීරුයි.

අලුතින් ගෙන ඒමට උත්සහ කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මහජන අදහස් ලබා ගැනීමට පත්කළ කමිටුවේ සාමාජිකයෙක් ලෙස ඔබත් කටයුතු කළා.එයට සිදු වුණේ කුමක් ද?

ආණ්ඩු පක්ෂය මොනවා හරි හොඳ දෙයක් කරන්න ගියත් විපක්ෂය ඒකට විරුද්ධ වීම අපේ රටේ විලාසිතාවක්. අලුත් ව්‍යවස්ථාවක් රටට ඕන කියන ස්ථාවරයේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු හිටියා.පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කළේ මන්ත්‍රීවරු හැමෝගෙම ඒකමතික කැමැත්තෙන්. රටේ වටේ ගොස් අපි අලුත් ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබා ගත්තා. රට කඩන,රට බෙදන ව්‍යවස්ථාවක් අපට එපා කියලා විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් මේකට විරුද්ධ වුණා. ඒ අය බැලුවේ දේශපාලන වාසිය මිසක් රටේ අවශ්‍යතාව නොවෙයි. සෑම කාරණයක් දෙසම දේශපාලන වාසි පැත්තෙන් බලන්න හොඳ නැහැ. අපි අවුරුදු 30 ක් තිස්සේ යුද්ධයකින් බැට කෑවා. සිංහල,දෙමළ හා මුස්ලිම් ජනතාව තුළ එකිනෙකා කෙරෙහි සැකය හා බිය පවතිනවා. අපි එක් එක් ජාතීන් ලෙස හිතන්න පෙළඹිලා ඉන්නවා මිසක් පොදුවේ ශ්‍රීලංකිකයින් ලෙස හිතන තැනට තාමත් ගිහින් නැහැ. එතන්ට යන්න නම් අලුත් ව්‍යවස්ථාවක් මගින් ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුමයි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts