කොරෝනා කාලය තුළ “රැකියා අහිමිවීම”
පී. කිරුභාකරන්
කොරෝනා නම් මාරාන්තික වෛරසයේ බලපෑම කිසිදු පාලනයකින් තොරව ලොව පුරා පැතිරෙමින් ඇති අතර මුළු ලොවම නිවස තුල අගුලු දමා ගෝලීය ආර්ථිකය සමතලා කර දමා ඇත. අධිරාජ්‍යවාදී රටවලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලටද, ධනවත් රටවලට මෙන්ම සාගින්නෙන් පෙළෙන රටවලටද මෙම වෛරසයෙන් ගැලවීමක් නැත. ධනවතුන්ගේ සිට දෛනික වැටුප් මඟින් ජීවනෝපාය ගෙනයන අය දක්වා අර්බුදකාරී තත්වයකට පත් කර ඇති මෙම කොරෝනා වෛරසය, ලක්ෂ 40 කට අධික ජනතාවගේ ජීවිත බිලිගෙන ඇති අතර කෝටි සංඛ්‍යාත පිරිසකගේ ජීවිත කණපිට හරවා තිබේ. කොවිඩ් -19 ගෝලීය වසංගතය ලෝක යුද්ධයෙන් පසු ඇතිවූ දරුණුතම ගෝලීය අර්බුදය බවට පත්වී ඇත. මෙම නිසා ලෝක මට්ටමින් ඇති වූ ආර්ථික අර්බුදය මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයද ව්‍යසනකාරී තත්වයකට මුහුණ දෙමින් සිටී.
ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා රැල්ලේ පළමු වෛරස් ආසාදිතයා 2020 ජනවාරි 27 වන දින හඳුනා ගන්නා ලදී. පළමු ආසාදිතයා බවට පත්වූයේ චීන කාන්තාවකි. මෙයින් පසුව, කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා 2020 පෙබරවාරි 2 වන දින ඉතාලියේදී හඳුනාගත් ගත් බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උප කොන්සල් ජෙනරාල් ප්‍රභාෂිනි පොන්නම්පෙරුම විසින් තහවුරු කරන ලදී. එසේම කොරෝනා අසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා 2020 මාර්තු 11 වන දින ශ්‍රී ලංකාවේදී හඳුනා ගන්නා ලදී. ඔහු සංචාරක මාර්ගෝපදේශකයෙකු ලෙස සේවය කළ 52 හැවිරිදි පුද්ගලයෙකි. එත් සමඟම 2020 මාර්තු 28 වන දින පළමු කොරෝනා මරණය ශ්‍රී ලංකාවේදී වාර්තා විය. ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා රැල්ල 2020 මාර්තු 11 වන දින ආරම්භ වූ අතර 2020 ඔක්තෝබර් 4 දක්වා මාස 9 ක කාලයක් පැවතුනි.
මෙම සන්දර්භය තුළ, 2020 ඔක්තෝබර් 4 වන දින මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආරම්භ වූ කොරෝනා දෙවන රැල්ල අප්‍රේල් 21 වනදා දක්වා පැවතුනි. එසේම ශ්‍රී ලංකාවේ කොරෝනා තුන්වන රැල්ල පසුගිය අප්‍රේල් 21 වනදා ආරම්භ වූ අතර එමඟින් ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපෑම් එල්ල වෙමින් ඇත. 2020 වර්ෂයේ ආරම්භයේ සිට අද දක්වා අපට අසන්නට ලැබෙන ප්‍රවෘත්ති වන්නේ ආසාදනය වීම්, මරණ, රට වසා දැමීම, නගර හා ගම් වසා දැමීම, සංචාරණ සීමා පැනවීම, හුදෙකලා කිරීම, රැකියා අහිමි වීම්, එබැවින් ආදායම් අහිමිවීම, ජීවනෝපාය සඳහා අරගලය හා සාගින්නෙන් පෙළීම වැනි දෑය.
ශ්‍රී ලංකාවට බලපෑ කොරෝනා පළමු රැල්ල, දෙවන රැල්ල සහ වර්තමානයේ පවතින තුන්වන රැල්ල හේතුකොටගෙන රට තුල පෞද්ගලික අංශයට, පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට, රටේ මධ්‍යම පාංතික හා දරිද්‍රතා මට්ටමේ සිටින ජනතාවට දරුණු ලෙස අහිමිවීම් හා බලපෑම් ඇති වෙමින් ඇත. මෙහිදී අප අවධානය යොමු කරන්නේ පෞද්ගලික අංශය මුහුණ දෙන රැකියා අහිමිවීම් හා අනාරක්‍ෂිතතාවයන් පිළිබඳව පමණි.
සංවර්ධනය වෙමින් පවතින රටවල ජනගහනය හා අධ්‍යාපන අවස්ථා වැඩි වන විට විරැකියාව ඉහළ යයි. විද්‍යාවේ දියුණුව නිසා මෙවලම් හා යන්ත්‍රෝපකරණවල ධාරිතාව සහ භාවිතය වැඩි වීම නිසා මිනිස් ශ්‍රමයක අවශ්‍යතාවය අඩු වන හෙයින් රැකියා අවස්ථාද අඩු වේ. නමුත්, වර්තමානය වන විට කොරෝනා වෛරසයේ පැතිරීම හේතුකොටගෙන සියලු රටවල් ඇඳිරි නීතිය සහ සංචාරණ සීමා පැනවීම මඟින් නව රැකියා අවස්ථා පමණක් නොව බොහෝ පිරිසකට කරමින් සිටි රැකියාවද අහිමි වන තත්ත්වයකට පත් වී ඇත.
ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ මුළු රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.1 ඉක්මවයි. මේ අතර, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයින් මිලියන 3.4 ක් පමණ සිටිති. එසේම මිලියන 2.7ක් ස්වයං රැකියාවන්හි නිරත වන අතර සහ පෞද්ගලික අංශයේ සේවා යෝජකයින් ලක්ෂ 2කට වැඩි සංඛ්‍යාවක් සිටිති. කෙටියෙන් කියන්නේ නම්, ශ්‍රී ලාංකික කම්කරුවන්ගෙන් සියයට 60 කට වැඩි ප්‍රමාණයක් දෛනික වැටුප් උපයන්නන් ය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, පෞද්ගලික අංශයට ඇඟලුම් කර්මාන්තශාලා, නිදහස් වෙළඳ කලාප, ව්‍යාපාර ක්ෂේත්‍රය, වැවිලි කර්මාන්තය , මාධ්‍ය ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය, පෞද්ගලික ප්‍රවාහන සේවා ක්ෂේත්‍රය හා ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළත් වේ. ඉහත සඳහන් කළ ක්ෂේත්‍රයන් හැරුණු විට සියලුම පෞද්ගලික අංශවලට ඒවායේ ව්‍යුහයන්ට අනුව විවිධ ලෙස බලපෑම් එල්ල වී ඇත. මේවායේ සේවය කරන සේවකයින් ලක්ෂ ගණනකගේ රැකියා හා ආදායම් අහිමි වී ඇති අතර ඔවුන් ඉතා අසරණ තත්ත්වයකට පත් වී සිටිති.
“ආයතනයක සේවය කරනා පිරිස අඩු කරන අවස්ථාවකදී ඔබ අවසාන පුද්ගලයා විය යුතුය. ආයතනයක සේවකයින් උසස්වීම් සඳහා සලකා බලන විට ඔබ පළමු පුද්ගලයා විය යුතුය.” ආයතන කළමනාකරුවන් සේවකයින්ට ලබා දෙන වැදගත්ම උපදෙස මෙයයි. අද වන විට සියලුම පෞද්ගලික අංශයේ සේවකයින්ට මෙම උපදෙසෙහි වැදගත්කම වැටහෙමින් ඇත.
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියත්මක කරන ලද සංචරණ සිමා සහ ලොක් ඩවුන් කිරීම් නිසා පෞද්ගලික අංශයේ ආයතන දැඩි පීඩනයට ලක් වී තිබේ. කොරෝනා වෛරසයේ බලපෑම සහ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා පෞද්ගලික අංශයේ ආයතන විසින් සේවකයින් සේවයෙන් ඉවත් කිරීම, ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම, මූලික වැටුප් අඩු කිරීම හා විශේෂ ප්‍රතිලාභ ලබා දීම අහෝසි කිරීම වැනි පියවර ගනිමින් සිටී. අනාගතයේදී අවශ්‍ය වන්නේ නම් පමණක් අඩු වැටුපකට නවකයින් බඳවා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇත. එසේම කොරෝනා වසංගත කාලය තුළ ක්‍රියාත්මක වන “නිවසේ සිට වැඩ කිරීම” පියවර යටතේ සේවය කරනු ලබන සේවකයින්ගෙන් අඩක් සේවයෙන් පහ කොට එම කාර්යයන් ඉතුරු සේවකයින්ගේ හිස මත පටවා මිනිස් ශ්‍රමය සුරාකෑමේ පිළිවෙතක් පෞද්ගලික අංශයේ ආයතන විසින් ක්‍රියාත්මක කොට ඇත.
මෙම අනපේක්ෂිත ආර්ථික අලාභය පියවා ගැනීම සහ ඔවුන්ගේ ලාභය පවත්වා ගැනීම සඳහා පෞද්ගලික ආයතන විසින් සේවකයින් අඩු කිරීමට හා වැටුප් කප්පාදු කිරීමට පටන් ගෙන තිබේ. මීට හේතූන් වන්නේ කොරෝනා වෛරසයේ බලපෑම හා රජය විසින් පනවා ඇති සංචරණ සීමා, ලොක් ඩවුන් කිරීම් යනාදිය පමණක් නොවේ. මේ සඳහා තවත් වක්‍ර හේතුවක්ද තිබේ. කොරෝනා වසංගතයට පෙර සිටම බොහෝ පෞද්ගලික ආයතන විසින් තම සේවකයින් අඩු කිරීමේ අපේක්ෂාවෙන් සිටි අතර ඊට සුදුසු අවස්ථාවක් නොතිබිණි. එබැවින් වර්තමානයේ එම ආයතනවලට තම බලාපොරොත්තු ඉටු කරගැනීම සඳහා කොරෝනා වසංගතය උපකාරී වී ඇත. එම නිසා මෙම ආයතන විසින් කිසිදු අපහසුතාවයකින් තොරව ගිවිසුම් මඟින් බඳවා ගත් සේවකයින් හා ස්ථිර සේවකයින් නොවන අය හැකි ඉක්මනින් රැකියාවෙන් පහ කරන අතර ස්ථිර සේවකයින්ගේ වැටුපද 10%, 20%, 50% කින් යනාදී ලෙස අඩු කරතී.
ඊට අමතරව කොරෝනා හේතුවෙන් කාන්තාවන්ට රැකියා අහිමිවීමේ ඉඩකඩ ඉතා වැඩිය. කොරෝනා කාලය තුල සිදුවන සේවයෙන් පහ කිරීම්වලදී පුද්ගලයින් 10 දෙනෙකු සේවයෙන් පහ කරනු ලබන්නේ නම් ඔවුන්ගෙන් 6 දෙනෙකු කාන්තාවන් ය. බොහෝ පෞද්ගලික ආයතනයන්හි වැඩි වැඩියෙන් කාන්තාවන් සේවයට බඳවා ගනු ලැබුවේ අඩු වැටුපකට කාන්තාවන් සේවයේ යෙදවිය හැකි යැයි යන අදහසිනි. එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයේ කාන්තා සේවිකාවන්ගේ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින අතර සේවයෙන් පහ කිරීම්වලදී විට වැඩිපුරම පීඩාවට පත්වන්නේ කාන්තාවන්ය.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය වළක්වාගැනීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ලෙස පනවා ඇති සංචරණ සීමා සහ ලොක් ඩවුන් කිරීම් හේතුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට පමණක් නොව කලාකරුවන්, ව්‍යවසායකයන්, ගොවීන්, සිල්ලර වෙළෙන්දන් සහ තවත් බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී තිබේ. විශේෂයෙන් සංචරණ සීමා හේතුකොටගෙන ජනතාව ඒක රාශි වන උත්සව අවස්ථා, මංගල උත්සව, කෝවිලේ පැවැත්වෙන උත්සව යනාදිය පැවත්වීම තහනම් කර ඇති නිසා මෙම අවස්ථා මත ජීවනෝපාය පවත්වාගෙන යන සංගීතඥයින් , ඡායාරූප ශිල්පීන්, වීඩියෝ ශිල්පීන්, සූපවේදීන්, රුපලාවන්‍ය ශිල්පීන්, පූජකවරුන් සහ මල් සැරසිලි ශිල්පීන් හට ජීවනෝපායන් අහිමි වී ඇති අතර ඔවුන්ගේ අදායම් මාර්ග දැඩි ලෙස බලපෑමට ලක් වී ඇත.
සාමාන්‍ය කාල වකවානුවක් තුළ ඔබේ රැකියාව අහිමි වුවහොත් ඔබට නව රැකියාවක් සොයා ගත හැකිය. නමුත් වර්තමානයේ පවතින තත්වය එසේ නොවේ. සාමාන්‍ය කාල වකවානුවකදීද රැකියාව අහිමිවීම විශාල ආර්ථික අර්බුදයකට හා මානසික පීඩාවට පත්වෙන කාලයකි. කොරෝනා වසංගත තර්ජනය ඇති මෙවැනි වාතාවරණයකදී රැකියා අහිමිවීම නිසා සේවකයින්ගේ අදායම් මාර්ග අහිමි වන අතරම ඔවුන් විශාල මානසික ආතතියකටද ලක් වෙති. මේ නිසා බොහෝ දෙනෙක් දැඩි මානසික බලපෑමට ලක් වී ඇත. සියලුම පෞද්ගලික අංශයේ ආයතන සේවයෙන් පහ කිරීමේ වැඩපිළිවෙලක යෙදී සිටින අවස්ථාවක නව රැකියා අවස්ථා සොයා ගැනීම ද අභියෝගයකි. මේ අනුව රැකියා අහිමිවූ සෑම කෙනෙකුගේම හා ඔවුන්ගේ පවුල්වල අනාගතය ප්‍රශ්නාර්ථයක් වී ඇත.
මේ වන විට කොරෝනා වසංගතය හේතුකොටගෙන මුළු ශ්‍රී ලංකාවම අක්‍රීය වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්, ස්වයං රැකියාලාභීන් සහ දෛනික වැටුපෙන් දිවි ගෙවන අයට රැකියා අහිමි වී ඇති අතර ඔවුන් කිසිදු අදායම් මාර්ගයක් නොමැතිව නිවෙස් වල සිරවී සිටිති. දෛනික ආදායමක් නොමැති මෙවැනි වාතාවරණයකදී දෛනික අවශ්‍යතා සඳහා තමන් ඉතුරු කරගත් මුදල් ක්ෂයවීමේ තත්වයකට ඔවුන් පත්වී සිටිති. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුල කොරෝනා රැලි දිගින් දිගටම පවතිද්දී ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය අඛණ්ඩව ඉහළයමින් තිබේ. ඒ අතරම, තවත් වසර කිහිපයක් සඳහා නව රැකියා අවස්ථාද උත්පාදනය නොවනු ඇත. මේ හේතුව නිසා ලෝක අර්බුධය තුළ නිසි ආර්ථික කළමණාකරමයකට නොයන්නේ නම් ශ්‍රී ලංකාවේ විරැකියාව අනාගතයේදී විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි උපකල්පනය කළ හැකිය.
இலட்சக் கணக்கானோரை பாதிக்கும் கொரோனா கால ”வேலையிழப்புகள்”