අනාවරණ

කාබනික ගොවිතැන: භයානක පෙරනිමිත්තක්ද ? අත්දැකීම් මඟින් උගත් පාඩම් කිහිපයක් !

යූ.එල්. මබ්රූක්

මේ වන විට යල කන්නයේ වී වගාව ගොයම් පීදෙන අවධියේ පවතින අතර මෙම කාලයේදී වගාවට යෙදිය යුතු රසායනික පොහොර ලබාගත නොහැකිව ජනතාව පීඩාවට පත්ව සිටින බව පෙනේ. පොහොර ලැබුණ ද ඒවා අධික මිල ගණන් යටතේ මිලදී ගැනීමට සිදුවන බව පවසමින් අම්පාර දිස්ත්‍රික්කයේ සමස්ත රටේම ගොවීහු දුක්වෙති. සහනාධාර මිලට රජය ලබා දෙන පොහොර ඔවුන්ට ප්‍රමාණවත් නොවන බැවින් ඔවුන් පොහොර සොයමින් රස්තියාදු වන බව දැකිය හැක. මෙවැනි තත්වයක් උදා වීමට හේතුව කුමක්ද?

කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර හා කෘෂි රසායනික ආනයනය කිරීම තහනම් කිරීමට පසුගිය අප්‍රේල් 27 වනදා  කැබිනට් මණ්ඩලය විසින් තීරණය කරනු ලැබූ අතර ඉදිරියේදී පැමිණෙන මහ කන්නයේ දී රසායනික ගොවිතැනෙහි සිට කාබනික ගොවිතැන සඳහා රට යොමු විය යුතු බවද ප්‍රකාශ කරන ලදී. මේ වන විට වගා කර ඇති බෝග සඳහා ලබාදීමට ප්‍රමාණවත් තරම් රසායනික පොහොර තොගයක් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටි නමුත් ගොවීන් පවසන්නේ තත්වය එසේ නොවන බවයි.

“පොහොර තහනම හේතුවෙන්  ඉතා අර්බුදකාරී තත්වයක් ඇති වී තිබේ. මේ නිසා වී ගොවීන් ඉතා අසරණ වී ඇති අතර ඔවුන් තමන්ට අවශ්‍ය පොහොර ඉල්ලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරිපිට පෙළ ගැසී සිටිති. මීට අමතරව, අර්තාපල් ගොවීන් සහ අනෙකුත් වතු ගොවීන්ද රජයේ මෙම අත්තනෝමතික තීරණයේ ගොදුරු බවට පත්වී සිටිති.” යනුවෙන් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේය.

මෙම තත්වය තුළ කාබනික ගොවිතැන පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති අයට වහාම කාබනික ගොවිතැන සඳහා යොමුවීමට රජය විසින් කරමින් සිටින බල කිරීම පිළිගත නොහැකි බව එම්.අයි. ඉල්මුදීන් පවසන්නේය. ඔහු අම්පාර දිස්ත්‍රික්කයේ වී ගොවිතැනෙහි යෙදෙන ගොවීන් කණ්ඩායමක සාමාජිකයෙකි.

කාබනික ගොවිතැනට යොමු වුවද එමඟින් ලැබෙන අස්වැන්න අඩු වෙනු ඇති බව ඔහු පවසන්නේය. එසේම අස්වැන්න අඩු වූ විට කෘෂිකාර්මික ඉඩම්වල ආදායම පහත වැටෙනු ඇතැයි ඔහු කණස්සල්ලට පත්වන්නේය. 

මේ අතර වර්තමානයේ වී වගාවට වැළඳෙන රෝග පලිබෝධනාශක මඟින් පාලනය කිරීම ඉතාමත් අසීරු බවත්, කාබනික යෙදවුම් භාවිත කරමින් වී ගොවිතැනෙහි යෙදෙන පුද්ගලයෙකු තම කුඹුරේ පලිබෝධකයින් විසින් ඇති කරන ලද රෝග පාලනය කිරීම සඳහා හතර වතාවකට වඩා ගන්නා ලද උත්සාහයන් අසාර්ථක වූ බවත්, කාබනිකව සකස් කරන ලද පලිබෝධනාශක භාවිතා කළද එම උත්සාහය සාර්ථක නොවුණු බවත් කුඹුරු හිමිකරුවෙකු වන එස්. ඒ රමීස් පවසන්නේය.

මෙවැනි ගැටලුකාරී තත්වයක් තුල “ කිසිදු සැලසුම් සහගත ක්‍රමවේදයකින් තොරව කඩිමුඩියේ හා අත්තනෝමතික ලෙස රජය විසින් රසායනික පොහොර තහනම් කිරීමට පියවර ගැනීම නිසා රට තුළ ආහාර හිඟයක් හා සාගතයක් ඇතිවිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අනතුරු අඟවා තිබේ.එසේම එම ක්ෂේත්‍රයට අදාල විද්වතුන්ගේ ද අදහස එය වී ඇත.

කාබනික ගොවිතැනෙහි යෙදීම පිලිබඳ පළපුරුද්ද

මෙවැනි තත්වයක් තුළ, අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් කිහිප දෙනෙකු ස්වකැමැත්තෙන් කාබනික වී වගාවේ යෙදී සිටින බව පෙනේ. අට්ටාලෛචේනෛහි පදිංචි ඒ.ආර්. ෆර්ශාන් එලෙස කාබනික වී වගාවෙහි යෙදෙන පුද්ගලයෙකි. ඔහු පෞද්ගලික වෛද්‍ය ආයතනයක ක්ෂේත්‍ර කළමණාකරුවෙකු ලෙස සේවය කරන අතර සාම්ප්‍රදායික කාබනික ගොවිතැන කෙරෙහි ඇති උනන්දුව හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ ඔහුගේ අක්කර 02 ක භූමියේ කාබනික ගොවිතැනෙහි නිරත විය.

පාරම්පරික වී ප්‍රභේද සංරක්ෂණය කිරීමේ අපේක්ෂාවෙන් කාබනික ගොවිතැනෙහි යෙදීමට ඇති ආශාවද සමඟ කාබනික ක්‍රමවේද අනුගමනය කරමින් වී ගොවිතැනෙහි යෙදෙන ෆර්ශාන් තම අත්දැකීම් අප සමඟ බෙදාගත්තේය.

“මම කාබනික ක්‍රමවේද අනුගමනය කරමින් සම්ප්‍රදායික වී ගොවිතැන් කිරීමට පටන් ගත්තේ රසායනික පොහොර හෝ පලිබෝධනාශක නොමැතිව ගොවිතැන් කළ නොහැකි ය යන මානසිකත්වයෙන්. මේ වන විට අපගේ රජය ද කාබනික ගොවිතැන සඳහා යොමු වීමට තීරණය කර තිබෙනවා. අපි මෙය සාදරයෙන් පිළිගත යුතුයි,“ යැයි පවසන ෆර්ශාන් කාබනික ගොවිතැනට මාරු විය යුත්තේ ඇයිද යන්නට විද්‍යාත්මක හේතූන් මේ වන තෙක්  රජය විසින් විධිමත්ව ජනතාවට පැහැදිලි කර නොමැති බවද පවසයි.

ෆර්ශාන් පවසන්නේ තමා තම කුඹුරුට අවශ්‍ය පොහොර හා පලිබෝධනාශක ස්වභාවිකව තම නිවසේම පිළියෙළ කරන බවයි. “අපි ස්වාභාවික පලිබෝධනාශක පවා භාවිතා කරන්නේ නැහැ. අපි භාවිතා කරන්නේ කෘමි විකර්ෂක පමණයි.”ෆර්ශාන් පවසයි.

එසේම කාබනික ගොවිතැන පරිසරයටද මිනිසාටද ඉතා යහපත් දෙයක් බවත් ඔහු  විශ්වාසයෙන් පවසන්නේය. එත් සමඟම ආර්ථික වශයෙන් අස්වැන්න අඩු වීම පිළිබඳ පහත දැක්වෙන පරිදි විග්‍රහ කළේය. “රසායනික පොහොර හා පලිබෝධනාශක භාවිතා කරමින් සිදු කෙරෙන වී වගාවෙන් සාමාන්‍යයෙන් අක්කරයකට වී ගෝනි 40 ක් පමණ ලබාගත හැකිය. නමුත් කාබනික වී ගොවිතැනෙහි යෙදෙන විට අස්වැන්න ලෙස ලැබෙන්නේ වී ගෝනි  20 ක් හෝ 25 ක් පමණයි. කෙසේ වෙතත්, කාලයත් සමඟ කාබනික වී ගොවිතැනෙහි අස්වැන්න වැඩි කර ගත හැකියි. ඒ අතරම, කාබනික ගොවිතැනෙන් ලබා ගන්නා පාරම්පාරික වී සහ කාබනික සහල් රසායනිකව වගා කරන ලද වී සහ සහල්වලට වඩා වෙළඳපොලේ මිල අධිකයි.” යනුවෙන් ෆර්ශාන් පවසන්නේය. එසේම මෙමඟින් අපගේ පාරම්පරික බීජ වර්ගද සංරක්ෂණය කර ගත හැකි අතර සෑම වතාවකම බිජ ලබාගැනීම සඳහා වෙනත් පාර්ශවයන් හට කන්නලව් කිරීමට සිදු වන්නේද නැත.” ෆර්ශාන් පවසයි.

“ශ්‍රී ලංකාවේ ආසන්න වශයෙන් වී ප්‍රභේද 3,000 ක් පමණ ඇති බවට සඳහන් වී තිබේ. නමුත් ජානමය වශයෙන් වෙනස් කරන ලද වී ප්‍රභේද පැමිණීමත් සමඟ හා රසායනික පොහොර හා පලිබෝධනාශක භාවිතය නිසා පාරම්පරික වී ප්‍රභේද බොහොමයක් වඳ වී ගොස් ඇත. ශ්‍රී ලංකාවට අයත් පාරම්පරික වී ප්‍රභේද දැනට ඉතිරිව ඇත්තේ අටක් හෝ නවයක් පමණි. ඉතිරි වී ඇති එම වී ප්‍රභේදයන් හෝ අප ආරක්ෂා කළ යුතුයි,” යි ෆර්ශාන් පැවසීය.

පාරම්පරික වී ප්‍රභේදයක් වන පට්ටපොලල්ල වගා කරන ෆර්ශාන් “ග්ලූකෝස් දර්ශකයේ පෙන්වන පරිදි මෙම සහල් වර්ගයේ ග්ලුකෝස් ප්‍රතිශතය 49% වඩා අඩුයි. නමුත් වර්තමානයේ වෙනස් කරන ලද සුදු සහල්වල ග්ලූකෝස් සියයට 80% සිට 85% ත් අතර ප්‍රතිශතයකින්  සහ රතු සහල් වල ග්ලූකෝස් සියයට 70% සිට 75% ත් අතර ප්‍රතිශතයකින් පවතිනව,”යැයි පවසන්නේය. එම නිසා ‘පට්ටපොලල්ල ’ හාල් ප්‍රභේදය දියවැඩියා රෝගීන්ට ආහාරයට ගැනීමට වඩාත් උචිත හාල් වර්ගයක් බව ඔහු පවසයි.

මේ අනුව ෆර්ශාන් තම අත්දැකීම හරහා කාබනික ගොවිතැන සහ ඒ තුළින් ලැබෙන ප්‍රතිලාභ ගැන පැවසුවද පුළුල් ප්‍රදේශයක මහා පරිමාණයෙන් සිදු කෙරෙන වගාවන්හිදී මේවා වහාම ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව ගැටලු මතු වේ.

අම්පාර දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් ගත් කල, ඉදිරියේදී පැමිණෙන මහ කන්නයේ වී ගොවිතැන ආසන්න වශයෙන් හෙක්ටයාර්  88,0000 ක භූමි ප්‍රමාණයක සිදු කරනු ලබයි.

එසේම හෙක්ටයාර් 17,000 ක භූමි ප්‍රමාණයක උඩරට බෝග වගා කෙරෙන අතර එළවළු වැනි බෝග වගාවන් හෙක්ටයාර 1,500 ක භූමි ප්‍රමාණයක සිදු කෙරේ. ඒ අනුව වගාවන් සිදු කෙරෙන මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 106,500 කි. මේ සඳහා මහ කන්නයේදී  පමණක් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 532,500 ක් අවශ්‍ය වනු ඇත,”යි අම්පාර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක එම්.එස්.ඒ. කලීස් මහතා පැවසීය.

මෙවැනි තත්වයක් තුළ, මෙම පොහොර ප්‍රමාණය දේශීයව ලබා ගත හැකිද යන්න පිළිබඳ ගැටලු පැනනැගී ඇත.

මෙවැනි විවිධ ගැටලුවලට රජය විසින් විසඳුම් කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇති බව පෙනේ. ඒවා දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තු හරහා ක්‍රියාත්මක කෙරේ. මෙහි ආරම්භක ක්‍රියා මාර්ගයන් ලෙස කාබනික ගොවිතැන් ක්‍රමය පිළිබඳව ප්‍රාදේශීය මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ පොහොර නිෂ්පාදනය කළ හැකි අය පිළිබඳ තොරතුරු රැස්කිරීම යනාදී වැඩ පිළිවෙල ක්‍රියාත්මක වනු ඇති බව පැවසේ. නමුත් වර්තමාන තත්ත්වය තුළ මෙම ක්‍රියාමාර්ගයන්  ආරම්භ වූ බවක් පෙනෙන්නට නැත.

ජනාධිපතිවරයාගේ සහතික වීම

මෙම සන්දර්භය තුළ කාබනික පොහොර භාවිතය මඟින් ගොවීන්ගේ අස්වැන්නේ අඩු වීමක්  සහ ආදායමේ වෙනසක් සිදු වුවහොත් සහතික කළ මිලට වඩා වැඩි මුදලකට ඔවුන්ගේ වී මිලදී ගැනීමට රජය සූදානම් බවත්, පරිභෝගිකයින්ට පවතින මිලටම හාල් ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සඳහා පිරිවැය රජය විසින් දරනු ඇති බවත් ජනාධිපතිවරයා සහතික වී තිබේ. එමඟින් මෙය කාබනික ගොවිතැනට යොමුවීමේදී ගොවීන්ට සිදුවන අලාභයන් සඳහා සහන සැලසීමේ විධිවිධානයක් වේ.

එසේම රසායනික පොහොර ආනයනය කරන සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ආරම්භ කළහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටද රජය සූදානම් බව ජනාධිපතිතුමා පැවසීය.

ඊට අනුව 2021/2022 වර්ෂවලදී මහ කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාර් ලක්ෂ පහකට අවශ්‍ය කාබනික පොහොර ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට අනුව රජය සතු පොහොර සමාගම් හරහා ආනයනය කර ගොවිජන සේවා දෙපාර්තමේන්තු හරහා බෙදා හැරීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලබාගෙන තිබේ. අනෙකුත් භෝග වගාවන් සඳහා වගා ඉඩම් හෙක්ටයාර් ලක්ෂ හයකට අවශ්‍ය වන කාබනික පොහොර ආනයනය කිරීමට ද කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

එබැවින් රජයේ තීරණයට අනුව මාසයක් හෝ දෙකක් තුළ කාබනික ගොවිතැනට යොමු වීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබේ.

කාබනික ගොවිතැන යනු සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අපේක්ෂා කරන අයගේ පළමු තේරීමය යන්න පිළිබඳ විවාදයක් නැත. කෙසේ වෙතත් පූර්ව සූදානමකින් තොරව කාබනික ගොවිතැන් ක්‍රමයට ගොවීන් බලහත්කාරයෙන් යොමු කිරීමට රජය උත්සාහ කරන බවට එල්ල වන විවේචනයන් පුළුල් ලෙස නිරීක්ෂණය කළ හැකිය.

Organic Farming: Is It A Bad Omen? Few Lessons Learned Through Experience

சேதன விவசாயம்: அச்சம் தரும் அறிவிப்பா?அனுபவத்தில் இருந்து சில பாடங்கள்!

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts