සාමය

ආරවුලක්? බහුත්වවාදය? වල්ලිගුහාව!

කලාවර්ෂිනි කනකරත්නම්

කිසිදු ආගම් භේදයකින් තොරව විවිධ ජනවර්ගවල ජනයා එක්රැස් වන සුප්‍රසිද්ධ කතරගම දෙවොල පිහිටා ඇත්තේ ඌව පළාතේ මො‌නරාගල දිස්ත්‍රික්කයේ කතරගම කොට්ඨාසයේය. මේ කොට්ඨාසයේ ප්‍රධාන ජනවර්ග තුනට අයත් වූ 26000ක පමණ ජන ගහනයක් වෙයි. දෙවියන් දෙමළ, හින්දු දේවයෙකි. එහෙත් බෞද්ධයෝ මෙන්ම ඇතැම් ඉස්ලාම් භක්තිකයෝ ද මේ දෙවියන් අදහන බැවින් වැඳ පුදා ගැනීමට රාශි වශයෙන් එති. ඒ අසලම වල්ලි මාතාවගේ දෙවොලය.

පුරා වෘත්තයන්ට අනුව දෙවියන් වල්ලි මාතාව විවාහ කරගෙන ඇත්තේ පුල්ලෙයාර්ගේ සහායෙනි. වල්ලි යනු සිංහල ජාතියේ ආදිතමයන් යැයි සැලකෙන වැදි ප්‍රජාවට අයත් වූ තැනැත්තියකි. දෙවියන්ගේ දෙවොල අසල නැඟී සිටින වල්ලි දෙවොල පිහිටන්නේ ඔවුන්ගේ විවාහය සිදු වූ ස්ථානයේය. මැණික් ගඟට සැතපුම් කිහිපයක් ඈතින් පිහිටි සෙල්ල කතරගම වල්ලිගුහාව නමින් සප්ත කඳුවැටිය තෙක් දිවෙන ලෙනක් වෙයි. පුරා වෘත්තවලට අනුව දෙවියන්  පළමු වරට වල්ලි මුණ ගැසෙන්නේ මේ ලෙන අසල ඇය මුවකු සමඟ සෙල්ලම් කරමින් සිටියදීය. 

කතරගම මුස්ලිම් දේවස්ථානයේ මවුලවී ෂහාඩීන් පවසන්නේ දෙවියන් විවාහය සඳහා එන විට එතුමන් සමඟ බාවා ද පැමිණි අතර දෙවියන් ආපසු යන විට ද බාවා ඔහු පසුපසින් සිටි බවයි.  ඔහුගේ සොහොන් ගැබ අදටත් දෙවොල අසල පිහිටා ඇත. ඔහු විසින් පැළ කරන ලද සුගන්ධවත් ශාකයක වියළි අවශේෂ ද එහි සුරක්ෂිතව ඇත. 

සෙල්ල කතරගම සහ සප්ත කඳු අතර වැඩහිටි කන්දේ ද මේ පුරාවෘත්තයට සම්බන්ධ තවත් දෙවොලක් ඇත. එහි පූජක කුමාරසාමි පවසන්නේ මෙහි පැමිණෙන බැතිමතුන්ගෙන් වැඩි පිරිසක් සිංහල වන අතර ඔවුන් පවසන ආකාරයට මේ වැදි තරුණිය වන වල්ලි දෙවියන්ගේ දෙවැනි බිරිය බවයි. මේ දෙවොලට ඉතා සීමිත දෙමළ ජනතාවක් යන්නේ රටේ තත්ත්වය නිසා නොව, ඔවුන් මෙවැනි තැනක් තිබේද යන්න පිළිබඳව හෝ නොදැන සිටීම නිසාය.

වසර 2016 වනතුරු බෞද්ධ භික්ෂුවක් වල්ලිගුහාවේ පූජකවරයාව සිටියේය. දේශපාලන හේතුන් මත උන්වහන්සේ එයින් පිටමං කරවන ලදී. එයට එරෙහිව උන්වහන්සේ විසින් ප්‍රාදේශිය අධිකරණයක නඩුවක් පවරන ලදී. මේ වන විට තවත් බෞද්ධ භික්ෂුවක් එහි නායකවරයා ලෙස කටයතු කරයි. ජයතුංග කපු මහතාට තවත් භික්ෂුවකගේ සහාය ලැබෙයි. ඔවුන් එකතුව වල්ලි මාතාවගේ ආනුභාවය එහි යන බැතිමතුන් වෙනුවෙන් දක්වයි. වල්ලි පිළිබඳ ලියැවුණු පොත පතද එහි අලෙවි කිරීමට ඇත. දිනපතා පෙරවරු 4.00 වල්ලි මාතාවගේ පිළිමය දෝවනය කරනු ලබයි. ඉන්පසු පෙරවරු 6.30ට, 10.30ට සහ පස්වරු 6.30ට පූජා චාරිත්‍ර පැවැත්වෙන්නේ හින්දු සම්ප්‍රදායානුකූලවය.

මුල් කාලයේ මෙහි යෑම ගල් පර්වත ආදිය නිසා අපහසු වුවත් නව මංපෙත් සැකසීමෙන් පසු එහි ළඟා වීම පහසු වී ඇත. දෙවියන් දෙමළ දේවතාවෙකි. එසේ වුවත් භක්තිකයන් අතරින් හින්දු අය ඇත්තේ දස දෙනකුට එක් අයෙක් පමණ වේ. එහෙත් සිංහල ජනයා මේ ස්ථානය ඉතා පූජනීය මෙන්ම බලවත් ලෙස සලකති. ඔවුහු මල් පුදා ගෞරවයෙන් මෙහි වන්දනා මාන කරති.

බැතිමතුන් හට සිසිල් පැන් හා ඔසුපැන් අලෙවි කරන්නියක වන කේ. ජී. රන්ජනී පවසන්නේ මහා ශිවරාත්‍රී දිනය වැනි හින්දු ආගමික උත්සව දිනයන්හිදී මෙහි ද විශේෂ පූජා පවත්වන බවයි. ඒ පූජා සඳහා සෑහෙන පිරිසක් ද සහභාගී වෙති.

වල්ලිගුහාවේ වත්මන් ප්‍රධානී පවසන්නේ දෙවියන් වැදි කෙල්ලක වූ වල්ලි හමු වූ ස්ථානය නැරඹීමට ඉන්දියාවෙන් පවා වන්දනා නඩ පැමිණෙන බවයි. බුදුන්වහන්සේගේ සම්බුද්ධත්වය සැමරීම වෙනුවෙන් විවිධ ස්ථානවල බෝ රුක් රෝපණය කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉතිහාස ග්‍රන්ථය වන මහාවංශය පවසන්නේ අනුරාධපුරයේ බෝධි ශාඛාව රෝපණය කරන විට කතරගමින් ක්ෂත්‍රීය රණශූරයන් එහි පැමිණ එයට ගරු බුහුමන් දැක් වූ බවයි. කතරගම ඇසළ පෙරහැර ජූලි මස පවත්වන්නේ ඒ මාසයේ දී දෙවිඳුන් හා වල්ලි අතර සිදු වූ විවාහය සැමරීමටයි. 

වල්ලි ගුහාවේ ඇති දැන්වීම් පුවරු සහ නාම පුවරු ඇතතේ සිංහලෙන් පමණි.

දෙමළ හින්දු දෙවියකු සිංහල බෞද්ධයන් විසින් යටපත් කර දැමුවාද නැතහොත් ඔවුන් පවා මේ දෙවියන් වඳිනවාදැයි කියන්නට අපි කවුරුන්ද? මේ දේවල් ඔවුන් කරන්නේ මෙම ස්ථානයේ ඔවුන්ගේ බලය තහවුරු කරන්නද? නැතහොත් ඔවුන් ආගමික විශ්වාසයන් හා වෙලී සිටින්නේද? සියල්ල පවතින්නේ ඔවුන් ඒ දෙස බලන ආකාරය අනුවය. ඉතිහාසය ලියැවෙන්නේ සාමකාමී සහ බහුත්වවාදී ජීවන රටාවක් පදනම් කොටගෙන නම් එය අනාගත පරපුරට ප්‍රයෝජනවත් වනු ඇත.

Aggression? Pluralism? The Cave Of Valli!

ஆக்கிரமிப்பா? பன்மைத்துவமா? வள்ளிக்குகை!

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts