පිරමීඩ අලෙවිකරණ යෝජනා ක්‍රමය යටතේ ඔබේ මුදල් ඇපයට තබා අවධානමක් නොගන්න.
සචිනි ඩී. පෙරේරා
බොහෝ ජනතාව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් තම ආදායම් මාර්ග හා රැකියා අහිමි කරගෙන සිටින මෙවන් පසුබිමක ඔවුන්ට මුදල් නොමැතිව ජීවත්විය නොහැකි බව පැහැදිලි සත්‍යයකි. එනයින් ඔවුන් විවිධ ව්‍යාපාරික උපක්‍රම හා තෝරා ගන්නා ලද විවිධ සේවාවන් හා නිෂ්පාදන අලුතින් අත්හදා බැලීමට පෙළඹේ. කෙසේ වෙතත් අප අතරින් බහුතරයක්, ජීවන අරගලය ජය ගැනීම උදෙසා ඉක්මනින් මුදල් ඉපයීමේ අරමුණින් අනවබෝධයෙන් යුතුව නානාප්‍රකාර වංචනික ක්‍රියාවලට රැවටීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩිය. විශේෂයෙන්ම මෙවැනි වංචනික කටයුතු ඔබගේ අසල්වැසියන් හා මිතුරන් වැනි අයවලුන් මාර්ගයෙන් ඔබගේ නිවසේ දොරකඩ ලඟටම පැමිණෙන ආකාරයක් හඳුනාගත හැකිය. මහජනයාට මෙවැනි මූල්‍යමය වංචාවල ගොදුරක් නොවී සිටීමට හැකි වන්නේ ඔවුන් එහි සුළ මුල පිළිබඳව පූර්ව අවබෝධයකින් පසු වුවහොත් පමණි.
පිරමීඩ ව්‍යාපාර අලෙවිකරණය යන්න ‘පිරමීඩ අලෙවිකරණය’, ‘ජාලගත අලෙවිකරණය’ හෝ ‘යොමු අලෙවිකරණය’ යනුවෙන් ද හැඳින්වේ. මෙය “ඔබේ අසල්වැසියා සිඟන්නෙකු කරන්න” යන මුලධර්මය අනුගමනය කරයි. වර්ෂ 1988 අංක 30 දරණ බැංකු පනතේ 80 (ඈ) වගන්තිය යටතේ ශ්‍රී ලංකාව තුළ පිරමීඩ ව්‍යාපාර අලෙවිකරණ ක්‍රම නීති විරෝධී බව පෙන්වා දී ඇත. තවද පිරමීඩ අලෙවිකරණ යෝජනා ක්රමයන් භාවිත කරමින් සිදු කරනු ලබන ජාතික හා ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු මූල්‍ය නීතිරීති හා මුදල් විශුද්ධිකරණ විරෝධී පනත මඟින් දැනටමත් දැඩි ලෙස තහනම් කර ඇත. සෘජුවම පිරමීඩ අලෙවිකරණ කරන ක්‍රම ප්‍රවර්ධනය කිරීම, ඒ පිළිබඳව තවත් අයකුට නිර්දේශ කිරීම, පිරමීඩ යෝජනා ක්‍රමයෙන් අලෙවි කිරීම සඳහා එම ව්‍යාපාරයේ මුදල් යොදවන ලෙස තවත් අයකුට අණ කිරීම වැනි ක්‍රියාකාරකම්, දිරිගැන්වීම් හෝ නීති විරෝධීව එම ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යෑමට මෙරට නීතියෙන් අවසර නොලැබේ. පිරමීඩ අලෙවිකරණ ක්‍රමයට සම්බන්ධ බවට යමකුට චෝදනා එල්ල වුවහොත් ඔහු වසර 03 සිර දඬුවමකට, රුපියල් මිලියනයක දඩ මුදලකට යටත් කිරීම හෝ ඔහුට විරුද්ධව එම දඬුවම් දෙකම ක්‍රියාත්මක කළ හැකිය.
අත්හිටුවන ලද නීතිවිරෝධී පිරමීඩ අලෙවිකරණ ක්‍රම බොහොමයක් අදටත් රට තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඒ අතරින් Global Lifestyle Lanka, QNet, Oriflame, Golden Key, GramFree යනාදිය ප්රමුඛ වන බවත්, මෙමගින් ලැබෙන ලාභයෙන් යම් ප්‍රතිශතයක් පාරිභෝගිකයාට ආපසු ගෙවන බවට සහතික වී පාරිභෝගිකයන් විසින් උක්ත ව්‍යාපාරයට ක්‍රම ක්‍රමයෙන් විවිධ සාමාජිකයින් එකතු කල විට කෙටි කාලයක් ඇතුලත සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිය යන පොරොන්දුව මත නිෂ්පාදන පැකේජයන් මිලදී ගැනීමට ජනතාව පෙළඹවීම මගින් මෙම නීති විරෝධී අලෙවිකරණ ක්‍රමය ව්‍යාප්ත කරන බවත්, මෙම ක්‍රමවේදයට අවුල් වන නවකයින් ඔවුන්ට ඉහළින් සිටින ආයෝජකයින්ට වක්‍රව හා අසාමාන්‍ය ලෙස අලෙවි ප්‍රතිඵල ලබා දෙන බවත්, මෙම ව්‍යාපාරයෙන් මුදල් පොම්ප කිරීම හැර වෙනත් කිසිදු මූල්‍ය ඉතිරියක් සිදු නොවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන අලුත්ගේ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ ය.
සමාජ කණ්ඩායම් ඉලක්ක කරගෙන සිදු කරන මෙවැනි මහා පරිමාණ වංචනික ක්රියාවන්හී ප්‍රධානම ඉලක්කගත පිරිස වන්නේ හමුදා සේවකයින්ගේ බිරින්දෑවරුන්, ගර්භනී මාතාවන්, වින්නඹු මාතාවන්, ගෘහණියන්, විශ්‍රාමිකයින්, ආබාධිතයින් හා විශ්ව විද්‍යාල සිසුන්ය. තවද, ඉතා කෙටි කාලයක් ඇතුළත ඉක්මනින් මුදල් ඉපයීමට කැමති කුඩා ප්‍රමාණයේ ස්වයං රැකියාවල නිරත පිරිස් ද මේ අතර සිටී. මුදල් ඉපයීම සඳහා තවත් එක් පහසු ක්‍රමයක් ලෙස මෙම ක්‍රමය සලකන නූගත් මිනිසුන් අදටත් ලංකාවේ සිටී. මෙරට කොරෝනා වෛරසය පැතිර යන කාලය තුළත් අහිංසක මිනිසුන්ගේ මුදල් වංචා කිරීම සඳහා නැවතත් සැලකිය යුතු විභවයක් සහිතව පිරමීඩ යෝජනා ක්‍රම මතුවිය. “ඔබේ අසල්වැසියා සිඟන්නෙකු කරන්න” යන ක්‍රමවේදය යටතේ මුදල් උපයන පිරමීඩ අලෙවිකරණ ක්‍රමය ඔවුන්ගේ පාරිභෝගිකයින් ණයකරුවකු බවට පත් කරන නිසා මෙම වංචනික ජාලය පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර ක්‍රියාත්මක කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පිරමීඩ අලෙවිකරණ නියෝජිතයින් විසින් වෛද්‍ය උපකරණ, රූපලාවණ්‍ය නිෂ්පාදන, රන් කාසි, ගෘහ උපකරණ හා විදුලි උපකරණ වැනි විවිධ නිෂ්පාදනයන් අලෙවි කිරීම සඳහා පිරමීඩ ක්‍රමය බහුලව භාවිත කරන බවත්, උක්ත නිෂ්පාදනයන්ට නිශ්චිත වෙළඳපොළක් නොතිබුණ ද මිනිසුන් තම පෞද්ගලික බලපුළුවන්කාරකම් පෙන්වීම අරමුණු කරගෙන ඒවා මිලදී ගැනීමට පෙළඹෙන බවත්, පාරිභෝගිකයින්ගේ පැමිණිලි ප්‍රතික්ෂේප කිරීම හා ඔවුන්ට ඉහළින් සිටින ආයෝජකයන් දැන හඳුනා ගැනීම වළක්වාලීමේ අරමුණින් මෙම ව්‍යාපාරවල නිවැරදි ලාභ, යාවත්කාලීන කරන ලද දත්ත, වාර්තා හෝ තොරතුරු නියෝජිතයින් සන්තකයේ නොමැති බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් බැංකු ක්ෂේත්රය තුළ ගුණාත්මක බවින් ඉහළ පාරිභෝගික සේවයක් සපයන රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ පසුවන රටක්ව සිටින නමුත් මෙවැනි මුදල් වංචා ක්‍රම තවමත් මෙරටින් තුරන් කළ නොහැක්කේ මන්ද යන්න අපි තවමත් නොදන්නා බව ආචාර්ය අලුත්ගේ මහතා පවසයි.
පිරමීඩ යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කිරීමේදී සමාජ මාධ්‍ය විශාල කාර්යභාරයක් ඉටු කරන බවත්, වර්තමානය වන විට සමාජ මාධ්‍ය භාවිතය එක් එක් පුද්ගලයාගේ ඇඟිලි තුඩු මත ඇති බැවින් මෙවැනි වාංචනික ව්‍යාපාරවලට පාරිභොගිකයින් ගොදුරු නොවීමට නම් ඔවුන් මේ පිළිබඳව මූල්‍ය හා තාක්ෂණික වශයෙන් දැනුවත්ව සිටිය යුතු බවත්, ආදායම් බෙදී යෑමේදී දිගුකාලීන මතභේදයන්ට තුඩු දෙන පිරමීඩ යෝජනා ක්‍රමය එක්තරා ආකාරයකින් ශ්‍රී ලංකාවේ නැඟී එන ධනවාදී ආර්ථිකයට තර්ජනයක් වන බවත් ආචාර්ය අලුත්ගේ මහතා පවසයි.
මහජනයාට තම ජීවන ගමනේ මුහුණ දීමට සිදුවන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට නම් තම කුඩුම්බයේ මූල්‍යමය අවශ්‍යතා සපුරා ගැනීමට තරම් මූල්‍ය දැනුමක් ඔවුන් සතුවිය යුතුය. ඒ සඳහා නීති නියාමනයන් සකස් කර ඒවා බලාත්මක කළ යුත්තන් තවමත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කනගාටුවට කරුණකි. සමාජ ආර්ථික ව්‍යුහයේ ගතික ගැටළු හඳුනා ගැනීම සඳහා ශ්‍රම බලකායේ නිපුණත්වය සහිත පුද්ගලයින් වැඩි කළ යුතු අතර මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරණ වැඩසටහන් ශ්‍රී ලංකා ප්‍රජාව තුළ බිම් මට්ටමින් ආරම්භ කළ යුතුය. මෙම ක්‍රමයෙන් මිදීමට හැක්කේ මීට අනුකූලව ජීවත්වීය හැකි අයට පමණි. නැති නම් ඉතිරි සියල්ලන්ම තරමක් අපහසු ජීවන රටාවක් වෙත ආර්ථිකමය වශයෙන් ඇද වැටෙනු ඇත.