මිනිස් ස්වභාවය සහ සමාජ මාධ්‍ය භාවිතය පිළිබද බෞද්ධ විග්‍රහයක්
අයි.කේ ප්‍රභා
“අත්තානං උපමං කත්වා, නහනෙයිය නඝාතයේ” – තමා උපමා කොටගෙන අනුන් හිංසා පීඩා කිරීමෙන් වැළකිය යුතුය
මිනිසුන් ලෙස උපත ලැබූ සියලුම දෙනා උපතේ පටන්ම සංස්කෘතික ගති ලක්ෂණවලින් හා හැසිරීම්වලින් සමන්විත වීම ලෝක ධර්මතාවයයි. දරුවෙකු මව් කුස පිළිසිඳගත් දින සිට හැදී වැඩී වියපත්වී මියයන අවසන් මොහොත දක්වා තම ආගමානුකූලව සංස්කෘතික වශයෙන් විවිධ චාරිත්‍ර වාරිත්‍ර විධි අනුගමන කරයි. එය මිනිස් ස්වභාවයයි. මන්ද මිනිසා එවැනි හුරුපුරුදුවලට පාරම්පරිකව සංජානනය වී සිටින නිසාවෙනි. යම් පුද්ගලයෙකු තම ආගමට ජාතියට මුල්තැන දෙමින් කටයුතු කරන්නේ යම්සේද අන්‍යාගමික පුද්ගලයින්ගේ ඇඳහිලි හා විශ්වාසයන් වලටත් ගරු කිරීම කුඩා කල පටන් ඇති කරගත යුතු යහපත් ගුණාංගයකි. කෙසේ නමුත් ඕනෑම පුද්ගලයෙකු තම ආගමේ හෝ ජාතියෙහි පුද්ගලයින් සමග තනිව හෝ කණ්ඩායම් ලෙස කටයුතු කිරීමේදී තවත් ජාතියකට හෝ ආගමට අයත් අයෙකුගේ සිතුම් පැතුම්, ඇඳුම් විලාසිතා, ආහාර පුරුදු හා ආගමික විශ්වාසයන්වලට පටහැනි මත දරමින් ප්‍රචණ්ඩකාරී හැසිරීම් රටා පෙන්නුම් කරයි. ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස සමාජ මාධ්‍ය වේදිකාව පෙන්වා දිය හැකිය. වත්මන් මිනිසා වාග් ප්‍රහාරයන් හා සිත් රිදීම් මධ්‍යයේ තම ආගමික ස්ථාවරත්වය සනිටුහන් කිරීම සඳහා තාක්ෂණය අවියක් කරගෙන සීතල යුද්ධයක නිරතව සිටී.
ලෝක මාධ්‍ය භාවිතය සමග සසදන විට ලාංකිකයින්ට තවමත් සමාජ මාධ්‍ය නැවුම් අත්දැකීමකි. අති නවීන සන්නිවේදනාර්ථ බෙදාහදා ගැනීමට, මානව සංහතියේ සංවර්ධනය හා පැවැත්ම තහවුරු කිරීම පිණිස ලොව පුරා නව සන්නිවේදන තාක්ෂණය පුළුල්ව භාවිත කරන මෙවන් පසුබිමක ලාංකිකයින් බහුතරයක් ආගමික වශයෙන් ප්‍රචණ්ඩකාරී අදහස් ව්‍යාප්ත කිරීමට තාක්ෂණය භාවිත කිරීම කොතරම් අසම්මතද? මෙවැනි අසම්මත චේතනාවක් ඇති වූ මොහොතක ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතු එකම ප්‍රශ්නය වන්නේ,
“බල්ලා බලු කමට කෑවට අපෙ කකුල, අපට සපා කා හැකිද ඒ බල්ලගෙ කකුල” යන්නයි.
ඔබ බෞද්ධයෙක් නම් මදක් සිතන්න, පුද්ගලයෙකුගේ උසස් පහත් බව තීරණය වන්නේ ඔහුගේ ක්‍රියාවෙන් බව වසල සූත්‍රයෙන් පවා පෙන්වා දී ඇත.
‘නජජ්ජා වසලෝ හෝති – නජජ්ජා හෝති බ්‍රහ්මණෝ
කම්මනා වසලෝ හෝතී – කම්මනා හෝති බ්‍රාහ්මණෝ’
මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ දෙවැනි වගන්තිය මගින්,
‘ජාති, වංශ, වර්ණ, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව, ආගම්, දේශපාලනය ආදී කවර බේදයක් හෝ සමාජ, ජාතික, දේපල උපත ආදී කවර තත්ත්වයක විශේෂයක් හෝ නොමැතිව මේ ප්‍රකාශයේ සඳහන් සියලු හිමිකම්වලට හා ස්වාධීනත්වයන්ට සෑම පුද්ගලයෙකුම උරුම වන්නේය. තවද යම් පුද්ගලයෙකු අයත්වන රටේ දේශපාලනය, නීතිමය හෝ ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳ කිසිඳු විශේෂයක්ද එරට ස්වාධීන, භාරකාර, අස්වාධීන ආදී කවර තත්ත්වයක් පිළිබඳව විශේෂයක් ද නොමැතිව මේ හිමිකම් ඔහු සතු වන්නේය’ යනුවෙන් සඳහන්ව ඇත. නමුත් එවැනි කිසිදු දෙයක් පිළිබඳව අවධානය යොමු නොකරමින් තම ස්ථාවරය මත පිහිටා පමණක් කටයුතු කරන, සමාජ මාධ්‍ය භාවිතයේදී එවැනි වසල ගති පැවතුම් පෙන්නුම් කල මෑතකාලීන සිදුවීම් කිහිපයකට උදාහරණ ලෙස,
- LPL (ශ්‍රී ලංකන් ප්‍රීමියලීග්) තරගාවලියේදී උතුරු හා දකුණු පළාත් නියෝජනය කරමින් තරගය සඳහා ඉදිරිපත්වූ කණ්ඩායම් ඉලක්ක කරගෙන හා විවිධ ආගමික උත්සව අවස්ථා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වන විවිධ අදහස් දැක්වීම් හා පෝස්ටු.
- කොරෝනා වෛරස පාලනය කිරීම පිණිස කෑගල්ලේ ධම්මික මහතා විසින් හඳුන්වා දුන් ඖෂධ පැණිය සඳහා දමිළ ජනතාව විශ්වාසයෙන් අදහන ‘කාලි’ මෑණියන්ගේ ඇඳහිලි විශ්වාසයන් ජනප්‍රවාද සමග මුසු කිරීම,
- වර්ෂ කිහිපයක් වෙසක් හා පොසොන් කලාපවල ප්‍රදර්ශණය කිරීමෙන් අනතුරුව කුරුවිට යුධ හමුදා කඳවුරේ තිබී භාවිතයෙන් ඉවත් කරන ලද බුද්ධ අනුරුවක් පුලුස්සා දැමීම පිළිබඳ සිදුවීම,
- මෙරට ප්‍රසිද්ධ රූපවාහිනි මාධ්‍ය ආයතනයක සේවයේ නිරත මාධ්‍යවේදියෙකු තම ට්විටර් ගිණුමෙහි සඳහන් කල ප්‍රකාශය අලලා නිර්මාණය වූ ප්‍රකාශයන්,
- ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදා ගන්නා PT6 ගුවන්යානය ගුවන් නියමුවා සමගම කන්තලේ ප්‍රදේශයේ ජනරංජන වැවට නුදුරින් කඩා වැටීම නිසා එහි සිටි පුහුණු නියමුවා ජීවිතක්ෂයට පත්වීම පිළිබඳ සංවේදී පුවතට බොහෝ දෙනා සිනාසී ප්‍රතිචාර දැක්වීම (Haha Reaction)
සමාජ මාධ්‍ය මගින් මෙවැනි පුවත් මවන්නන් සිහි තබා ගත යුතු සුවිශේෂි කරුණ වන්නේ ධම්ම පදය, භගවත් ගීතාව, බයිබලය හා අල්කුරානය මගින් කිසිදු ආකාරයකින් අන්‍යාගමිකයෙකු තලා පෙලා තෘප්තිමත් වන්න යනුවෙන් සඳහන් කර නොමැති බවය. වසර දෙදහස් පන්සියකටත් අධික ප්‍රෞඩ ඉතිසාසයකට උරුමකම් කියන ලාංකිකයින් මෙවැනි නොහොබිනා ක්‍රියාවලට යොමුවීම මගින් සමස්ථ ජාතියම ආපස්සට ගමන් කිරීමක් නිරූපණය කරයි. එවැනි ක්‍රියා මගින් වැඩිහිටියන් ලෙස අප අනාගත ළමා පරපුරට ලබා දෙන්නේ වැරදි ආදර්ශයකි. තවද එය ජාතික සාමයට හා සංහිදියාවට අහිතකර ලෙස බලපෑම් එල්ල කරයි. එමෙන්ම ඕනෑම ආගමට අයත් තැනැත්තෙකු වෙනත් ආගමික ඇදහිලි හා විශ්වාසයන් වලට පරිභව කිරීම මගින් ලබන ආත්ම තෘප්තිය ඒකාකෘතික මානසික රෝගියෙකුගේ ශරීරි සෞඛ්‍ය තත්වයකට සමාන බව පෙන්වාදිය හැකිය.
මෙහිදී අප සිහි තබා ගත යුතු සුවිශේෂී කරුණක් වන්නේ ඔබ අන්‍යාගමික වත් පිළිවෙත් ඇඳහීම හෝ ඒවාට ගරු නොකලත් කම් නැත. නමුත් කෙනෙකුගේ ජාතිය ආගම හෝ සාංස්කෘතිකත්වය පදනම් කරගනිමින් උසුළු විසුළු කිරීම තනි පුද්ලගයෙකු හෝ පුද්ගල සමූහයක් පීඩාවට පත් කිරීම මිනිසෙකු ලෙස උපතු ලැබූ මෙම දුර්ලබ අවස්ථාව (‘දුර්ලභේන මනුස්සානං’) අවභාවිත කිරීමට සමානය. ඔබ විසින් සිදු කරනු ලබන ද්වේශ සහගත චේතනාවන් හා හැසිරීම් රටාවන්හී ඉක්මන් ප්‍රතිපල දිඨිටධම්මවේදනීය කර්මයක් ලෙස පමණක් නොව ඔබ මරණ මංචකයේ සිහිසුන්ව සිටින අවස්ථාවේදී උපදින ‘චුති සිත’ මගින් පවා චිත්‍රපටයක නිරූපිත දර්ශන පෙළක් මෙන් දිස්වීමෙන් ඔබ අසරණ වේවි.
ජාතික සාමය හා සංහිඳියාව පළුදු කිරීම පිළිබඳ අන්‍යන්ගේ හැසිරීම් පාලනය කිරීමට මත්තෙන් ඔබ ඔබවම පාලනය කර ගන්න. දේශපාලකයින්ගේ හෝ ව්‍යාපාරිකයින්ගේ මුදලට විකිණෙන රූකඩ නොවන්න. අන්‍යගමික මිතුරන් හා අසල්වැසියන් කෙරෙහි ඔබේ සිතේ හීනමානී හෝ අධිමානයෙන් යුතු අදහස් හා ආකල්ප වෙනුවට සහෝදරත්වය හා ජාතිකත්වය උද්දීපනය වන සංවේදී නිහතමානි අදහස් රෝපණය කරගන්න. සමාජ මාධ්‍ය මගින් තම ජාතිය උසස් කොට හෝ අන් ජාතීන් හා ආගම් පහත් කොට සඳහන් කර ඇති පොස්ටුවක්, අදහස් හෝ ජායාරූප දැක්ක පමණින් කලබල නොවන්න, දුර ගමන් යන ඔබේ සිත ඔබ විසින්ම ස්වයංව පාලනය කර ගැනීමට නිතර උත්සහ දරන්න. ඔබේ ක්‍රියාව ජාතික සාමය සමගිය නැති කරයිද යන්න නැවත නැවතත් සිතා බලා තීරණය කරන්න.
‘දුරං ගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සංයමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා’
සිංගප්පූරුව හා මැලේසියාව වැනි බහුජාතික රටවල් කෙටි කාලයක් ඇතුළත තම සංවර්ධන ඉලක්කයන් ලගා කරගෙන ඇත්තේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන පිළිබඳ අදහස් හා ආකල්පයන් පසෙක තබා ජාතික එකමුතුකම ආරක්ෂා කරමින්ය. ලොව අන් සියලු රටවල් මධ්‍යයේ තම ජාතික අවශ්‍යතාවය හා ස්ථාවරත්වය හඬනගා පැවසීම නිසාවෙන්ය. ඒ අනුව සමස්ථ රටේම ආධ්‍යාත්මික හා භෞතික සංවර්ධනයේ පැවැත්ම තනි පුද්ගල හැසිරීම මත රදා පවත්නා බව නිගමනය කල හැකිය.
‘මහනෙල් සුවඳ මය කුඩ මසු පිළී ගඳ මය
දෙකට එක දිය මය හොඳට නරකට දෙකට කට මය’
ජාතික සාමය හා සංහිඳියාව වර්ධනය කිරීම පිණිස හා මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෞද්ගලික හා රාජ්‍ය ආයතන විවිධ පුහුණු වැඩමුළු, සම්මන්ත්‍රණ, පර්යේෂණ සැසි හා දීර්ඝකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එය රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනවලට පමණක් තනිව ඉටු කල නොහැක. එය සමස්ථ පුරවැසියා සතු අභියෝගාත්මක වගකීමකි. තවත් අයෙක් තම ආගමට ප්‍රචණ්ඩකාරී ලෙස බැණවදී නම් තමා කොතරම් අපහසුතාවයට පත්වේද යන්න සිහි තබා ගෙන අනන්‍යන් පිළිබඳවත් සම සාදාරණ සිතින් කරුණාව උපදවාගත යුතුය. ආගමික වශයෙන් ද්වේශ සහගත හැසිරීම් හා සෘණාත්මක ආකල්පයන්ගෙන් මිදී, ජාතික සාමය හා සන්හිඳියාව වෙනුවෙන් ඇපකැප වන පුද්ගලයෙකු ලෙස ඔබට ඔබේ අනන්‍යතාවය සනිටුහන් කිරීමට කැමති නම් අද හෙට නොව මේ මොහොතේම වෙනස් වෙන්න. ආගමික හා ජාතික වශයෙන් පුවතක් බෙදා හැරීමට පෙර, ඔබේ අදහසක් මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීමට පෙර හා කටින් වචනයක් පිට වීමට පෙර දෙතුන් වරක් සිතින් සිතා එය ඵලදායී වේනම් පමණක් භාවිත කරන්න. ජාතීන් හා ආගම් අතර මිත්‍රත්වය වර්ධන වන ආකාරයෙන් පුවත්, අදහස්, පෝස්ටු හා ඡායාරූප වැඩි වශයෙන් සමාජ මාධ්‍ය තුළ මුදා හරින්න.