වෛරී ප්‍රකාශ

සියලු දෙනාට සුරක්ෂිත අන්තර්ජාලයක් තහවුරු කිරීමට සයිබර් ආරක්ෂකයෝ එති

දිලිනි තන්තිරිමුදලිගේ

සුරක්ෂිත අන්තර්ජාල දිනය (Safer Internet Day-SID) එහි 18 වැනි කලාපය ලොව පුරා සැමරුවේ 2021 වසරේ පෙබරවාරි මස 9 වැනිදා “වඩාත් හොඳ අන්තර්ජාලයක් සඳහා එක්වෙමු” යන තේමා පාඨය පදනම් කර ගනිමිනි. මෙහි අරමුණ වූයේ අන්තර්ජාලය විශේෂයෙන් ළමයින්, තරුණ තරුණියන් සහ කාන්තාවන් සඳහා සුරක්ෂිත ස්ථානයක් කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ට එක් වන ලෙස විවෘත ආරාධනයක් යැවීමය. 

ඔබ දෙමාපියෙකු, ගුරුවරයෙකු, ප්‍රතිපත්ති සම්පාදකයෙකු, තරුණයෙකු හෝ ළමයෙකු වුවත් සියලු දෙනාට සුරක්ෂිත අන්තර්ජාලයක් නිර්මාණය කිරීම සහ පවත්වා ගැනීම සඳහා සැම කෙනකුම සතු භූමිකාවක් ඇත. ලොව පුරා රටවල් 170ක දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ දැනුම්වත් කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරය පවත්වාගෙන යෑමට විවිධ ක්‍රියාකාරකම් මඟින් සහය දැක් වූයේ මහත් උනන්දුවකිනි. 

පවත්නා වසංගත තත්ත්වය තුළ  නිවෙස්වල සිර වී සිටින අපට නව සාමාන්‍යය යටතේ රාජකාරී කටයුතු, අධ්‍යාපනය මෙන්ම විනෝද කටයුතු කිරීම සඳහා අන්තර්ජාලය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් විය. කෙසේ වෙතත් දිනපතා අපට විවිධ ප්‍රෝඩාවන්, අසත්‍ය පුවත්, වෛරී භාෂණය සහ අවමාන තර්ජන වැනි අවකල්ක්‍රියා පිළිබඳව ද අසන්නට ලැබේ. මේ සයිබර් අපරාධ සඳහා ප්‍රධාන වශයෙන් ගොදුරු වන්නේ දරුවන්, තරුණ පිරිස් සහ අවිවාහක කාන්තාවන්ය. සේව් ද චිල්රන් ගෝලීය ළමා සුබ සාධන සංවිධානය මඟින් කරන ලද සමීක්ෂණයකට අනුව, එක්සත් ජනපදය පදනම් වූ තාක්ෂණික ආයතන 164කින් වාර්තා වී ඇති ළමයින් ලිංගික අපචාරයන්ට යොදා ගන්නා ලද  වීඩියෝ සහ ඡායාරූප සංඛ්‍යාව මිලියන 45කි. වැඩිහිටියන් ද පුද්ගලාරූඩණය (වංචනිකව වෙනත් කෙනකු මෙන් පෙනී සිටීම) හෝ පෞද්ගලික තොරතුරු  පතුරුවා හැරීමට හා අපහාස කිරීමට ව්‍යාජ ගිණුම් සැකසීම වැනි මාර්ගගත (ඔන්ලයින්) ක්‍රියාකාරකම් ඔස්සේ මෙයට ගොදුරු වී ඇත. මේ ඇතැම් සයිබර් අපරාධ කෙතරම් හානියක් කරන්නේද යත් ඒවා නිසා ඇතැම් කාන්තාවන් හා තරුණ පිරිස් සිය දිවි නසා ගැනීමට පවා යොමුව තිබේ.

සයිබර් හිංසනය සැහැල්ලුවට ගෙන ඇත්තේ එහි කායික හානියක් පෙනෙන්නට නොතිබීම නිසා මෙන්ම එයින් සිදුවන හිංසාව අවතක්සේරු කිරීම නිසාය.

ශ්‍රී ලංකාවේ 2021 සුරක්ෂිත අන්තර්ජාල දිනය සනිටුහන් කිරීම වෙනුවෙන් තරුණ, නව්‍යකරණයෙන් යුත් මෙන්ම උද්යෝගීවත් පිරිසක් ‘සයිබර් වෝඩර්ස්‘ (අන්නර්ජාල ආරක්ෂකයන්) සහ හැක් අ ඩිව් ටීම් නමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහයෝගය ද ඇතිව අන්තර්ජාල සුරැකුම් යෙදවුමක්  (සයිබර් කෙයා ඇප්) දියත් කළේ සයිබර් හිංසනයට එරෙහිව අන්තර්ජාල භාවිත කරන්නන්ගේ සුරක්ෂිතභාවයට සහාය දීමට සහ සියලු අංශ ඔස්සේ අවශ්‍ය ආරක්ෂිත තොරතුරු සැපයීම සඳහාය. 

මේ යෙදවුම මඟින් හදිසි අවස්ථා සඳහා සහාය ලබා දෙන අතර එයට පොලීසිය, රොහල් සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA), අවශ්‍යතා සහිත කාන්තාවන් සඳහා වන ආයතනය (විමෙන් ඉන් නීඩ් – WIN), ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් සහ සේව් ද චිල්රන් වැනි වැදගත් සංවිධානවල අංක සහිත දුරකථන නාමාවලියක් ඇතුළත් වේ. මේ ආයතන සයිබර් අපරාධ මැඩලීම සඳහා කොන්දේසි විරහිතව සපයන සේවාව වෙනුවෙන් නම් දැරූ ඒවාය. මේ යෙදවුමේ ඇති තවත් විශේෂ අංගයක් වන්නේ සයිබර් හිංසනය සහ මාර්ගගත ආරක්ෂාව සලසාගන්නේ කෙසේද යන්නට අදාළ තොරතුරු ඇතුළත් උපාය පුස්තකාලයයි. මේ දැනුම අපරාධකරු‌ට එරෙහි නෛතික සහාය අවශ්‍ය අවස්ථාවලදී  ප්‍රයෝජනවත් වේ. එසේම මේ යෙදවුමේ මව්පිය රැකවරණය සඳහා වන අංගයක් ඇති අතර එයින් මවුපියන්ට තම දරුවා සිටින ස්ථානය සහ සමාජ මාධ්‍යවල දරුවා ගත කරන කාලය නිරීක්ෂණය කිරීමට සහාය ලැබේ. මේ ආගන්තුක නොවන ප්‍රවේශය දරුවන් සුරක්ෂිතව තැබීම සඳහා වටිනා මඟක් සපයයි. මෙම යෙදවුමේ දරුවන් ආකර්ෂණය කරගැනීම සඳහා ක්‍රීඩා ද ඇතුළත් වන අතර එමඟින් සයිබර් හිංසනය සහ එයට ගොදුරක් බවට පත් වුවහොත් සහාය පැතිය යුත්තේ කොතැනින්ද යන්න කියා දේ.

මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් 2019 වසරේ සයිබර් හිංසනය වැළැක්වීම සහ ලිංගිකත්වය  හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වන හිංසනය වැළැක්වීම යන තේමාව යටතේ මෙහෙය වූ තේමාත්මක අභියෝගයේ ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූවකි. සයිබර් කෙයා යෙදවුම සම්බන්ධව සයිබර් වෝඩර්ස් විසින් ඉදිරිපත් කළ අදහසට සහාය පළ කළේ හැක් අ ඩිව් කණ්ඩායම වන අතර එයට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අන්තර්ගත පාලනය සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවය කණ්ඩායමේ පිටිබලය ලැබිණ. විශාල සංඛ්‍යාවක් තරුණ තරුණියන් නිරන්තර අන්තර්ජාලයේ සැරිසරන අතර සයිබර් හිරිහැරයන්ට ගොදුරු විය හැකි අවස්ථාවක මෙය කාලීන වූ නව නිපැයුමකි. එසේම තරුණ කණ්ඩායමකට යම් වෙනසක් කිරීමට සහ වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය වීම මෙහි සිත් ඇදගන්නාසුළු කරුණයි. මේ සයිබර් කෙයා ජංගම යෙදවුම සූම් ක්‍රමය ඔස්සේ එළිදැක්වුණු අතර ගූග්ල් ප්ලේ ස්ටෝර් ඔස්සේ නොමිලේ බාගත කරගත හැකිය. 

https://play.google.com/store/apps/details?id=co.cyberwarders.cybercare

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts