සංස්කාරක සටහන් ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය

නුතන කුවේණිය තවමත් කෙළසන පුරුෂාධිපත්‍යයේ අවලස්සන යතාර්තය

ජාත්‍යන්තර කාන්තා දිනය

ලංකාවේ කියැවෙන ඉතිහාස කතාවලට අනුව මෙරටට සංක්‍රමණය වි මෙහි පදිංචි වු මුල්ම පිරිස විජය කුමරු ප්‍රමුක කණ්ඩායමවේ.ඔවුහු පිළිගනු ලැබුයේ යක්ෂ නම් ගෝත්‍රයට අයත් කුවේණි නම් වු කාන්තාවය. මුලදී විජය කුමරු සමග ගැටුණු ඇය ඉන්පසු ඔහු සමග මිත්‍ර වී ඔහු සමග නැවෙන් පැමිණ වෙහෙසට පත්ව සිටි පිරිසට රැකවරණ ලබාදුන්නාය. ඒ අනුව, ලංකාව සම්බන්ධ මූලික ඉතිහාස කතිකාවේදී ද සිදුවී තිබෙන්නේ සාපරාධී පසුබිමක් සහිත පිරිමි සංචාරක පිරිසක් මෙරට පැවති ස්ත්‍රී බලයෙන් හා සමාජ දියුණුවෙන් වාසි ලබාගැනීමයි. ඉතිහාස ග්‍රන්ථවලින් කියැවෙන්නේ, පාවාදීම්, ලිංගික සූරාකෑම් හා සමාජභාවී යටත් කරගැනීම් පිළිබඳ ලාංකික පුරුෂාධිපත්‍යයේ දීර්ඝ,අවලස්සන ඉතිහාසයක් වීම කණගාටුවට කරුණකි.  

ජාත්‍යන්තර කාන්තා දිනය වන අද දින, අපගේ අවධානය යොමුවන කරුණක් වන්නේ, දේශීය කාන්තා ශක්තිය හුදු මිථ්‍යාවක් බවට පත්වීමයි. වඩා නිවැරදිව පවසන්නේ නම්, එය ඒ තත්වයට පිරිහීමට ලක්කර තිබීමයි. අවසානයේදී සිදුවී තිබෙන්නේ, ශ්‍රී ලාංකික ජනගහනයෙන් 51%ක් වන කාන්තාවන් හට ප්‍රාදේශීය සභාවල සිට පාර්ලිමේන්තුව දක්වා වන මහජන නියෝජිත සභාවන්හි හිමිවී තිබෙන ආසන සංඛ්‍යාව 5%ටත් වඩා අඩු වීමයි. කාන්තාවන්ට පළාත් පාලන් මැතිවරණයේදි සියයට විසි පහක කෝටාවක් ලබාදිය යුතු බවට නිති බලාත්මක කෙරුනද එහි සාර්ථකත්වයක් දක්නට ලැබි නැත. 

එහෙත්, ශ්‍රී ලාංකික ස්ත්‍රී ශක්තිය තවමත් විශිෂ්ට තත්වයක පවතී. අපගේ සමාජය නවීකරණය වෙද්දී අලුතින් උදාවූ අවස්ථා කාන්තාවන් විසින් වහා අත්පත්කරගෙන තිබෙන ආකාරයෙන් ඒ බව පැහැදිලි වේ. වර්තමාන විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂක ප්‍රජාවෙන් බහුතරය කාන්තාවන්ය. අතීතයේදී ‘ශක්තිමත්’ පිරිමින්ට පමණක් යෝග්‍ය යයි සලකන ලද රැකියාවල ඔවුහු නිහඬව යෙදී සිටිති. ගුවන් ගමන් පාලක හා වරාය ගැන්ට්‍රි මෙහෙයුම්කරු වැනි රැකියා උදාහරණ වේ. එයට අමතරව වෛද්‍ය, ව්‍යාපාර, මූල්‍ය වැනි ක්ෂේත්‍ර රැසක සැලකියයුතු ප්‍රතිශතයක් වෘත්තිකයෝ කාන්තාවෝ වෙති. අපගේ මෑතකාලීන අභ්‍යන්තර යුද්ධවලදී ඔවුහු සියලු අංශයන් හි ඉදිරි පෙළ භුමිකාවල සිය කාර්‍යභාරය ඉටු  කළහ.

එහෙත්, දරුවන් හා නිවාස රැකබලාගන්නන් ලෙස ඉතිහාසය පුරා ඔවුන් කරනු ලබන වැටුප් නොලබන කාර්යයන් සම්බන්ධයෙන් තත්වය කුමක්ද? අඩු වැටුප් ලබන තේ දළු නෙළන්නියන්, ඇඟලුම් කම්හල් සේවිකාවන් හා ගෘහ සේවිකාවන් ලෙස ඔවුන්ගේ තත්වය කුමක්ද? ඉහත දක්වන ලද වෘත්තීය ක්ෂේත්‍ර තුන ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ විනිමය උත්පාදන මාර්ග ද වේ.  

ඉහත දක්වන ලද විස්තරයෙන් හෙළිදරව් වන තිත්ත ඇත්ත නම්, අපගේ කාන්තාවන් වැදගත් භූමිකාවන් ඉටුකරමින් සිටියදී පවා, ඔවුන් කිසිවිටෙක සැබැවින්ම වගකිවයුතු තනතුරුවලට හෝ වැදගත් තීරණ ගන්නා තත්වයට පත්නොවන බවයි. ඔවුන්ට නායකත්වය හිමිවන්නේ කලාතුරකිනි.  එසේ හිමිවීම ‘ඉතිහාසයේ පළමු වතාවට’ සිදුවන දේ හෝ ‘අසාමාන්‍ය ප්‍රවෘත්ති’ ලෙස සැලකේ. කුවේණිට විජය සමග සමාන තත්වය හිමිවන්නේ කවදාද?

සම්මත සමාජ,ආර්ථික,ක්‍රමය තුල රාමුගත කර ඇති ස්ත්‍රිය එලියට ගතයුතුව ඇත.ඒ සදහා දැනටත් කෙරෙන එහෙත් ප්‍රමාණවත් නොවන අරගලය තවදුරතත් මුවහත් කල යුතුය. 

තීරණ ගැනීමේ මට්ටමේ හා පාලන තනතුරුවල කාන්තාවන්ට ප්‍රමාණවත් අවස්ථා ලබාදීම සඳහා ප්‍රවෘත්ති කර්මාන්තය ද තම උත්සාහයන් අලුත් කළ යුතු බව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ මතයයි. ශ්‍රී ලාංකික වෘත්තීය ජනමාධ්‍ය ප්‍රජාව ප්‍රවෘත්ති සම්පාදනයේදී ස්ත්‍රී විරෝධී අන්තර්ගතයන් බැහැර කිරීමට ප්‍රයත්න දරති. සමාජ මාධ්‍ය වැනි වෙනත් ජනසන්නිවේදන ස්වරූපයන් තුළ ද එවැනි ස්ත්‍රී විරෝධී ප්‍රවෘත්ති නිෂ්පාදනයන් පිටුදැකීම සඳහා කටයුතු කරති.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts