අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සංස්කාරක සටහන්

මානව හිමිකම් දිනයට සීමාවන මානව අයිතිවාසිකම්

සම්පත් දේශප්‍රිය

(අදට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය නිමිත්තෙනි )   

                                

  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය අද(10)ට යෙදී ඇත .සකල ලෝකවාසී ජනතාවට උපතින්ම උරුම වූ මූලික අයිතිවාසිකම් වල ඇති අයිතිය තහවුරු කිරීම පිණිස මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇත .මෙම ඓතිහාසික දිනය විධිමත් ලෙස ස්ථාපිත වූයේ 1950 වර්ෂයේ දෙසැම්බර් 4 වැනි දින ය .එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා මාලාවේ 423(v)යෝජනාව ප්‍රකාරව සාමාජික රටවල් එය සම්මත කරනු ලැබීය .එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස ශ්‍රී ලංකාව 1955 වර්ෂයේ දී මෙම ප්‍රඥප්තිය පිළිගනු ලැබීය .රටේ නීතිය සහ අන්තර්ජාතික නීතිය මගින් නීතිමය අයිතිවාසිකම් ලෙස පිළිගැනෙන ප්‍රතිපත්තීන් මානව හිමිකම් ලෙස අර්ථකථනය කළ හැකි ය .එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර්ථකථනය අනුව පුද්ගලයෙකුගේ ආගම ,පදිංචිය , සමේ  වර්ණය ,වත්කම්  යනාදී කිසිවක් මත වෙනස් කොට නොසැලකිය යුතුය.රටක මානව හිමිකම් තහවුරු කිරීම තුළින් සමානාත්මතාවය ,ගෞරවය ,නීතියේ ආධිපත්‍යය ,සහභාගිත්වය ,වගවීම ,ප්‍රතිපෝෂණය ,වැනි වටිනා සංකල්ප සමාජගත වේ .නමුත් කනගාටුවට කරුණ වන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේදී සහ ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ සැසිවාරයන් ආසන්නයේ දාර්ශනික  තලයේ සාකච්ඡා වලට පමණක්ම මානව හිමිකම් වල වටිනාකම් සීමා සීමා වී තිබීම ය .මානව හිමිකම්වලට  අදාල අනපනත් රාජ්‍යයන්ගේ ප්‍රතිපත්ති වලට පමණක් සීමා වෙමින් තිබේ .ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ප්‍රායෝගික තලයේ මුහුණ දෙමින් සිටින්නේ එකී රාජ්‍යයන්ගේ ප්‍රතිපත්ති වලට ප්‍රතිවිරුද්ධ අත්දැකීම් සමුදායකි

.                                                                   

              ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ යථාර්ථය සාකච්ඡා කිරීමේදී රටේ පැවති තිස් අවුරුදු යුද්ධය ඊට ඓන්ද්‍රීය ලෙස සම්බන්ධ වී තිබීම අනිවාර්ය සාධකයකි .එකිනෙකාට ගරු කිරීම වෙනුවට සැකයෙන් බැලීමටත් මිනිසෙක් ලෙස අනෙකාට ජීවත්වීමට තිබෙන මූලික අයිතිය පැහැර ගැනීම ආශ්වාදනීය කාරණයක් ලෙසත් සලකනු ලබන මනෝභාවයන් අප  සමාජය සතුවීම යුද්ධයේ අනිසි ප්‍රතිඵලයකි .නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම මේ හා හා සිදු වූ අතර යුද්ධය අවසන්ව වසර 12ක් ගත වුවද අප රාජ්‍යයක් ලෙස තවමත් සිටින්නේ පෙර තත්ත්වයේමය.ඊට සරල උදාහරණයක් වනුයේ නීතිය උපයෝගී කරගනිමින් සංවිධානාත්මක අපරාධ කරුවන්ට දඬුවම් ලබාදෙනවා වෙනුවට ඔවුන් ඝාතනය කරන සංස්කෘතිය හුදි  මහජනයාගේ ආශිර්වාදය මත පාලන තන්ත්‍රය තවදුරටත් නඩත්තු කරමින් සිටිමය.         

          නීතියේ ආධිපත්‍යය තහවුරු කරනවා වෙනුවට මාධ්‍ය ත්‍රස්තවාදය ,සමාජ ජාලා ත්‍රස්තවාදය ,දුරකථන ත්‍රස්තවාදය ,පැහැරගැනීමේ ත්‍රස්තවාදය ,පහර දීමේ සහ ගිනි තැබීමේ තස්තවාදය ,නූතන සමාජය පෙර ලෙසම නඩත්තු කරමින් සිටී .ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රට වැසියන් වෙත තහවුරු කර ඇති භාෂණයේ සහ ප්‍රකාශන නිදහස උල්ලංඝනය වීම් ගණනාවක් පසුගිය සමයේ දක්නට ලැබිණ .එමෙන්ම ඉහත සඳහන් මූලික අයිතීන් කඩ වූ අවස්ථාවල ඒවා බල ගන්වනු පිණිස ලාංකීය අධිකරණය විසින් තීන්දු ගණනාවක් ලබා දී ඇත .එසේම චෝදනා ඔප්පු කිරීමකින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර ගණනාවක් තිස්සේ රඳවා තබා ගෙන සිටින රැඳවියන් සම්බන්ධයෙන් ශිෂ්ට සම්පන්න සමාජයකට ඔබින තීන්දුවක් ගැනීමට රාජ්‍යක් ලෙස අප  අසමත්ව සිටිමු.එමෙන්ම යුද්ධය වින්දිතයන්ට සාධාරණයක් ඉටු කිරීමටත් රාශියක් ලෙස මෙතෙක් කටයුතු කර නැත .                                          

    ස්වකීය දේශපාලන පැවැත්ම සුරක්ෂිත කර ගැනීම සඳහා ජාතිවාදය සහ ආගමික අන්තවාදය උපයෝගී කරගනු ලබන පාර්ශවයන් රටේ ප්‍රධාන දේශපාලන ධාරාව අත්පත් කර ගෙන තිබේ .මෙකී අන්තවාදී කරුණු කාරණා උපයෝගී කරගනිමින් තම දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීම සුලභ කරුණක් බවට පත්ව ඇත .සිරගත කිරීම් විවිධ අන්දමේ අඩන්තේට්ටම් ඊට ඇතුළත් ය .මෙවැනි ක්‍රියාමාර්ග වලට එරෙහිව අධිකරණය තීන්දු ලබා ලබා දී තිබියදීත් එවැනි ක්‍රියාමාර්ගවලට විරාමයක් ලබා දෙන සෙයක් දක්නට නැත .        

      මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ස්වකීය දේශපාලන සංස්කෘතිය බවට පත්කරගනු ලැබූයේ රටේ වත්මන් පාලන තන්ත්‍රය පමණක් නොවේ.නමුත් රටක් ලෙස අප මේ ගත කරමින් සිටිනුයේ ඉතා අවාසනාවන්ත කාල කාලපරිච්ඡේදයකි.එබැවින් මේ ගමන් කරමින් සිටින මාර්ගය නිවැරදි පීල්ලට මාරු නොකළහොත් සමස්ත රටේ සහ රට වැසියාගේ තත්ත්වය වඩාත් අඳුරු සහගත වනු ඇත . මන්දයත් ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් රටක් ලෙස අප සිටින්නේ යහපත් තැනක නොවේ .  2021 එනම් මේ වර්ෂය මුලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ඉතා  තදබල එකකි.ඉන් කියැවුණේ නේ වසර 12 කට පෙර ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර යුද ගැටුම් නිමාවට පත්වුවද එසමයෙහි සිදුවූ බවට චෝදනා  කෙරෙන බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්  සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකාව අසමත්ව ඇති බව ය .ඇය විසින් එහිදී සඳහන් කළ එක් කරුණක් කෙරෙහි අවධානය යොමු කළහොත් අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින ප්‍රායෝගික යථාර්ථය ඊට කෙතරම් සමීප දැයි හෘදය සාක්ෂියට එකඟව විමසා බැලිය හැකිය .”පසුගිය කාලයේ සිදු වූ අපරාධ වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවීම වර්තමානයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ අවධානය වැඩි කරන අතරම ඒවා නැවත නැවත සිදු වීමට අනුබලයක් ලැබේ “යැයි ඇය පෙන්වා දෙනු ලැබුවා ය .                                                                               

එමගින් ඇය තව දුරටත් පෙන්වා දෙනු ලැබූයේ “දඬුවම් නොලැබ ගැලවී යාම මෙන්ම රජයේ කටයුතු හමුදා කරණීය වීම,වාර්ගික ජාතිවාදී ප්‍රකාශ සහ සිවිල් සමාජය බිය වැද්දවීම ,වැනි කනස්සලු සහගත ප්‍රවණතාවයන් පසුගිය වසර පුරා “තිබූ බවය .මෙම චෝදනාවන්ට පිළිතුරු ලබාදුන් මෙරට විදේශ ඇමතිවරයා වන දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටිනු ලැබුයේ මහපොළොවලොවෙ තත්ත්වය නොදැන මහකොමසාරිස්වරිය මෙම චෝදනා කරන බවත් විදෙස්  විනිසුරුවන් ගෙන්වා මෙරට පරීක්ෂණ කිරීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ලෝකයේ රටවල් කිහිපයක් ඇතුලට වෙනත් රටවල් ආක්‍රමණය කරද්දී ඒ පිළිබඳ වචනයක් හෝ ප්‍රකාශ නොකළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ඉතිහාසයේ අප දන්නා බවත් ය .මෙරට  විදේශ ඇමතිවරයාගේ චෝදනාවට ලක්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ  ‍යනු 2018 වසරේ සිටම එකී තනතුර හොබවන එම තනතුර දරමින් ම චීනය ,සෞදි අරාබිය ,වෙනිසියුලාව ,හා ශ්‍රී ලංකාව මෙන්ම සිය මව්රට වූ චිලි රාජ්‍යයට ද එරෙහිව මානව හිමිකම් කඩවීම් පිළිබඳ ප්‍රබල වාර්තා ඉදිරිපත් කළ තැනැත්තියකි .         

                           

    මානව හිමිකම් යනු මානව ශිෂ්ටාචාරයේ යහපැවැත්ම උදෙසා ඉතිහාසයේ පටන් මේ දක්වා විකාශනය වූවකි .එබැවින් මූලික අයිතීන් තහවුරු වන සමාජයක් ගොඩනැගීම සහ ඒ සඳහා ස්වකීය පාලන තන්ත්‍රයන්ට බලපෑම් කිරීම සකල ලෝකවාසී දියුණු මානව ප්‍රජාවගේ අත්හළ නොහැකි වගකීමකි.ඒ සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය එන තෙක් බලා සිටිය යුතු නැත .                    

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts