සමාජ

රාක්ෂයා පැරද වූ කොච්චිකඩේ බැතිමත්තු

සමන් මාණික්ක ආරච්චි

පිළිසකර කළ කොච්චිකඩේ දේවස්ථානය වෙත පිය මනින බැතිමතුන් දෑත් දිගු කරන්නේ සහෝදරත්වයේ දිගු ගමනකට ය. බැතිමතුන් තුළ සැඟව සිටි රාක්ෂයාගෙන් වැඩ ගන්නට අන්තවාදීන් සිතුවත් රාක්ෂයා අවදි වූයේ නැත. ඒ නිසාම අන්තවාදීන් ගේ සිතැඟි සුන්වී හමාර ය.

පිළිසකර කළ කොච්චිකඩේ දේවස්ථානය වෙත පිය මනින බැතිමතුන් දෑත් දිගු කරන්නේ සහෝදරත්වයේ දිගු ගමනකට ය. තෙමසක් ගෙවන මෙහොතේ දැඩි ආරක්ෂාවක් මැද දේවස්ථානයට ඇතුළු වන බැතිමතුන් වෙනදා මෙන්ම දෙවියන් ඉදිරියේ අයදින්නේ අහිංසක ඔවුනට සාමයෙන් දිවි ගෙවන්නට හැකිවේවායි පැතුමින් බව සිතා ගැනීම අසීරු නැත.

බොහෝ දේ සිදුවී හමාරය. බැතිමතුන් තුළ සැඟව සිටින රාක්ෂයාගෙන් වැඩ ගන්නට අන්තවාදීන් සිතුවත් රාක්ෂයා අවදි වූයේ නැත. ඒ නිසාම අන්තවාදීන් අද පරාජය වී ඇත. ඔවුන්ගේ සිතැඟි සුන්වී හමාරය.

කොච්චිකඩේ පල්ලිය වෙත එන බැතිමත්හු මෙන්ම ඒ අවට තම ජිවිකාවන් පවත්වාගෙන යන්නෝ නැවතත් සහෝදරත්වයෙන් දෙවියන් යදිති. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී විවිධ ජාතිකයෝ අද එහි දෙවියන් යදින්නට පැමිණෙන ආකාරය දැකිය හැකි ය. සැකය වෙනුවට මුව තුළ නැඟෙන සිනහව සහෝදරත්වයට ආරාධනා කරන්නාසේ ය.

ප්‍රේමසිරි සහ ක්‍රිස්ටෝපර්

කොච්චිකඩේ දේවස්ථානයේ වැඩපලවලට උදව්කරුවෙකු ලෙස පැමිණි තලවකැලේ ප්‍රදේශයේ පදිංචි ටී.ක්‍රිස්ටෝපර් දේවස්ථානයේ බැතිමතුන්ගේ භාර හාර ඉටුකිරිම සඳහා සහයෝගය ලබා දෙමින් සිටියේ සතුටිනි. ක්‍රිස්ටෝපර් විවිධ ජාතිකයන් සමඟ එකතු වන්නේ අවශ්‍ය  උදව්ව කුමක්දැයි විමසමිනි.

‘අපි මිනිස්සුන්ට උදවු කරන්න ඕන. මට තේරෙන විදිහට දැන් ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂාව තිබෙනවා. දේවස්ථානය තිබුණටත් වඩා තවත් හොඳට හදලා ඉවරයි. අන්තවාදීන් අපේ යාළු මිත්‍රකම් නැති කරන්න ගියා. බෝම්බ කරුවන් එහෙම හිතුවට හැම මුස්ලිම් මනුෂ්‍යයෙක්ම එහෙම හිතන්නේ නැහැ. අපිට මේ රටේ එකට සිටින්න පුළුවන් ‘ යැයි පවසමින් ක්‍රිස්ටෝපර් දෙවියන් වඳින්නට පැමිණි බැතිමතෙකු වෙත ගියේ පඬුරක් ගැට ගැසීම සදහා උදවු කිරිමටය.

කාලයක සිට කොච්චිකඩේ දෙව්මැදුරට එන වත්තල පදිංචි රංජනී සිරිවර්ධන දෙවියන් වැඳ පුදා ගැනීමෙන් පසුව පිටව යන මෙහොතේ අප හා කතා බහ කළා ය.

‘මට හිතෙනවා මෙහෙම ආරක්ෂාවක් යොදා තියෙද්දී තවත් අනතුර පහව ගිහින් නැහැ කියලා. එදා අපි වඳින්න එද්දි මෙතන තිබුණු නිදහස අපිට තවම දැනෙන්නේ නැහැ. ඒත් සතුටුයි, දේවස්ථානය නැවත තිබුණ වගේ ලස්සනට හදලා තිබීම ගැන. ඒ සඳහා දායක වූ සැමට මා ස්තූති කරනවා. දැන් අපිට වඳින්න පුළුවන්. අද අපි පවුලේ සියලු දෙනාම එකට ආවේ. කොච්චර ලස්සන ද අපිට ඇවිත් දෙවියන් නැවත වඳින්න ලැබෙන එක. මේ රටේ සියලු දෙනාට අවශ්‍ය වන්නේ සාමයයි. මට මුස්ලිම් ජතිකයන් ගැන සැකයක් නැහැ. හැම ජන කොටසකම වෙනස් විදිහට හිතන අය ඉන්නවා. කල් ඇතිව ඒ අය හඳුනා ගෙන ආරක්ෂා වෙන්න ඕනෑ‘යි ඇය දේවස්ථානයෙන් පිටව යද්දී පැවසුවා ය.

මල්ෂානි මොරිස් සහ රංජනී සිරිවර්ධන

ඉටි පහන් මිටියක් අතින් ගෙන සිනාමුසු මුහුණින් දේවස්ථානයට ඇතුළු වූ මල්ෂානි මොරිස් මහත්මිය අපට කතා කළා ය.

‘මං වත්තල ඉදල ආවේ. අපේ පවුලේ උදවිය දිගු කලක සිට කොච්චිකඩේට එනවා. මට ලොකු ආශිර්වාදයක් තියෙනවා මේ දේවස්ථානයෙන්. පාස්කු ඉරිදා  සිද්ධියෙන් පස්සේ අද තමයි මං ආවේ. මීට කලින් එන්න ආශාව තිබුණත් ටික කාලයක් එන්න පහසුකම් තිබුණේ නැහැ.දේවස්ථානය වසා තිබු නිසා. මට භයක් තිබුණේ නැහැ. කිහිප දෙනෙක් වැරද්දක් කළාට හැමෝම එහෙම නැහැනේ. මගේ හොඳ යාළුවෝ ඉන්නවා මුස්ලිම් අය. මගේ මහත්තයාටත් හොඳ මුස්ලිම් යාළුවෝ ඉන්නවා. අපි අදත් ඇසුරු කරනවා එදා වගේම වෙනසක් නැහැ. ඒ අය වරදක් කළේ නැහැනේ ‘ යි කියමින් දේවස්ථානය ඇතුළට ගිය ඇය, අත තිබුණු ඉටි පහන්  දල්වන්නට විය.

දේවස්ථානයට පැමිණ දෙවියන් වැඳ පුදා ගෙන මුස්ලිම් ජාතිකයෙකුට අයත් හෝටලයකින් සිය බිරිය සමඟ තේ බොමින් සිටි ප්‍රේමසිරි පෙරේරා අප දුටු සැණින් සිය කතාව ආරම්භ කළේ ය.

‘ මේ සිද්ධිය නිසා අපියි අසරණ වෙලා ඉන්නේ. අපිට ජීවත්වෙන්න විදිහක් නැහැ. ඒව ගැන කවුරුත් බලන්නේ නැහැ. මං ත්‍රීවීලර් හයර් කරනවා. දැන් සෙනඟ එනවා අඩුයි. ඉස්සර කොච්චර සෙනඟ ඉන්නවද? අපිට හයර් දුවලා ඉවරක් නැහැ. දැන් ටික ටික සෙනඟ එනවා. ඒ ගැන සතුටක් දැනෙනවා. දැන් ඉතින් භයෙන් ඉදලා ජීවත් වෙන්න බැහැ. අපි හැමෝම පාරට බහින්න ඕනි. වෙළඳාම් කරන්න ඕන. ගමන් බිමන් යන්න ඕන. සැම මනුෂ්‍යයෙක්ම  ජීවත් වෙන්න ඕන. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙන් වෙලා ජීවත් වෙන්න බැහැ. සමහරු ඉන්නවා පොඩි මිනිස්සුන්ව භේද කරලා ඒ අය සතුටින් ඉන්නවා. අපි ඒක තේරුම් ගන්න ඕන‘ යි තේ බිල ගෙවන ගමන් ප්‍රේමසිරි මහතා පැවසී ය.

කේ.බී.විමලදාස

අවුරුදු තිස් තුනක් පදික වේදිකාවේ සිට මල් මාලා ගොතා අලෙවි කර ජීවත් වන කේ.බී.විමලදාස කොච්චිකඩේ දේවස්ථානයට ආගන්තුකයෙක් නොවේ. පිලියන්දල පදිංචි විමලදාස සැම දිනකම උදෑසන දේවස්ථානයට පැමිණ දෙවියන් වැඳ පුදා ගැනීමෙන් පසුව මල් මාලා ගෙතීම ආරම්භ කරන අයෙකි.

‘මං මේ මල් මාලා ගොතන්නේ පදික වේදිකාවේ. ඔය එහා පැත්තේ කඩේ මුස්ලිම් ජාතිකයෙකුගේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ වුණත් අපි අතර වෙනසක් තිබුණේ නැහැ. අපි වෙනදා වගේම සතුටින් ජීවත් වෙනවා. යම් පිරිසක් වැරද්දක් කළා තමයි. එහෙම කියලා අපිට හැමදාම වෙන් වෙලා ජීවත් වෙන්න බැහැ. දැන් බලන්න දේවස්ථානයට සෙනඟ එනවා අඩුයි. ඉස්සර දවසට රුපියල් දෙදාහක් විතර හම්බ කර ගන්නවා. දැන් එකෙන් බාගයක්වත් නැහැ. ඉතිහාසයේ මීට වඩා භයානක විනශයන් වුණානේ. ඒත් අපි එකට හිටියා. වෛරයක් ඇති කරගෙන වැඩක් නැහැ. දේවස්ථානය දින තිස්පහක් වහලා තිබ්බා. මංගල්ලෙ තිබ්බේ නැහැ. ඒ දවස්වල අපි ජීවත් වුණේ කොහොමද කියලා කවුරුත් බැලුවේ නැහැ. අපි තරහ වෙලා හිටියොත් අපිටම තමා පාඩුව‘ යි විමලදාස මහතා මල් මාලයක් මිලදී ගන්නට පැමිණි තරුණියකට මල් මාලයක් අලෙවි කරන අතරවාරයේ පැවසී ය.

පිළිසකර කළ කොච්චිකඩේ දේවස්ථානය

සාන්ත අන්තෝනි දේවස්ථානයේ ත්‍රී රෝද රථ ගාලේ හයර් දුවන එම්.එස්.සෙල්වරාජ් අවුරුදු විසිපහක පමණ කාලයක් මෙම ස්ථානයේ ත්‍රී රෝද රථ රස්සාව කරන අයෙකි. දේවස්ථානය ආසන්නයේ ජුන්තාපිටිය වීදියේ පදිංචිව සිටින සෙල්වරාජ් අපි ත්‍රී විලරයට කිට්ටු වද්දී ‘කොහෙටද මහත්තයෝ‘ කියමින් හරි බරි ගැසී ත්‍රී විලරයේ වාඩි වුණේ හයර් එකක් යැයි සිතමිනි. ටිකක් කතා කරන්නට වුවමනා බව පැවසීමෙන් පසුව සෙල්වරාජ් කතාව ආරම්භ කළේ ය.

‘ සිද්ධියක් වුණා තමයි. දැන් ඒ සියල්ල නිමා වෙලා කියලා අපිට දැනෙනවා. දැන් මිනිස්සු ටික ටික  පල්ලියට එනවා. ආරක්ෂාවත් තියෙනවනේ. පල්ලියත් ගොඩාක් දුරට අලුත්වැඩියා කරලා අවසනයි. මිනිස්සු ගැන සැකයක් නැහැ. අපි විමසිලිමත්ව තමයි ඉන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැහෝම එකට හිටියොත් අපේ ආර්ථිකය හොද වේවි. පහුගිය දවස්වල මේ හන්දිය පාළු වෙලා තිබුණේ. දැන් දැන් වාහනත් යන්න පටන් අරගෙන තියෙනවා. බැතිමතුනුත් එන්න පටන් අරගෙන තියෙනවා. අපිට කවුරුත් එකයි. වෛරයක් නැහැ. කාටත් අපි සේවය කරනවා‘යි සෙල්වරාජ් පැවසී ය.

ජනතාව දැන් අලුතින් සිතන්නට පටන් ගෙන ය. විවිධ කණ්ඩායම්වලට, නායකයින්ට අතකොළු වන්නට සුදානම් නැති බව ඔවුන්ගේ සිතුවිලි අතර ඇති බව කොච්චිකඩේ දේවස්ථානයේ සිදු කළ සංචාරයෙන් පසුව අපට වැටහිණි. සියලු දෙනා එක්ව ජීවත් විය යුතු බව තේරුම් ගැනීම ජාතියේ ජයග්‍රහණයකි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts