සමාජ

කට කතාවලට වෛරී ප්‍රකාශවලට අපි කෝප වෙන්නෙ නෑ!

දයා නෙත්තසිංහ

පූජාසනය අසල ඇවිලෙන ගිනිදළු සහිත ඉටිපහන් වතුරේ ගිල්වා නිවා දමමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථාන යේ පූජා භූමි සේවක සවුන්දර් රාජ් තමා හඳුන්වා දුන්නේය. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු යළිත් සුපුරුදු පරිදි බැතිමතුන් සමඟ කටයුතු කරන්නට ලැබීමේ සතුටක් ඔහුට තිබේ. එදා මෙදාතුර කාලය සිදු කළ වෙනස ගැන පී. සවුන්දර් රාජ් දැක් වූ අදහස් ය මේ.

” මගේ නම පී.සව්න්දර් රාජ්, ගම හපුතලේ. අවුරුදු පහක් තිස්සේ මං මේ දේවස්ථානයේ සේවකයෙක් විදියට වැඩ කරනවා. එක වැඩක් කියලා නැහැ. මං හැම වැඩක්ම කරනවා. ඒ වගේමයි සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික, ඉස්ලාම්, හින්දු, බෞද්ධ හැමෝම ඇසුරුකරනවා. ඒ අවස්ථාව මට ලැබුණෙ හපුතලෙන් කොළඹ කොච්චිකඩේට ආවට පස්සෙ. “

පූජාසනය අසල ඇවිලෙන ගිනිදළු සහිත ඉටිපහන් වතුරේ ගිල්වා නිවා දමමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථාන යේ පූජා භූමි සේවක සවුන්දර් රාජ් මෙසේ තමා හඳුන්වා දුන්නේය. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු යළිත් සුපුරුදු පරිදි බැතිමතුන් සමඟ කටයුතු කරන්නට ලැබීමේ සතුටක් ඔහුට තිබේ. එදා මෙදාතුර කාලය සිදු කළ වෙනස ගැන පී.සව්න්දර් රාජ් දැක් වූ අදහස් ය මේ.

මේ සිදුවීමෙන් පස්සෙ ඔබ ඇසුරු කළ මිතුරන්, විශේෂයෙන් මුස්ලිම් මිතුරන් කෙරෙහි ඔබට ඇතිවුණේ මොනවගේ අදහසක් ද..?

මං එහෙම විශේෂයෙන් කල්පනා කළේ නැහැ. ඒ වගේම ඒ අයත් මාත් මුණගැසීම, කතා බහ කිරීම අත් හැරියෙත් නැහැ. පාස්කු ඉරිදා අපරාධය ඔවුන් දැඩිසේ පිළිකුල් කළා. අන්තවාදයට, ත්‍රස්තවාදයට එරෙහිව ඔවුන්ගෙ ඇති අවංකභාවයත්, මනුෂ්‍යත්වයත්, විස්වාසය කෙරෙහි අපි දක්වන උනන්දුවත් අපි පළුදු කරගත්තේ නෑ. අවාසනාවන්ත සිදුවීම වෙන්නත් කලින් ඉඳලා ඔවුන් අපි එකට කටයුතු කළ නිසා තමයි මේ කොච්චිකඩේ ප්‍රදේශයේ කිසිම ගැටුමක් ඇති නොවුණේ. ඒ අපි අතර ඊට පෙර සිටම තිබුණු අවබෝධය නිසා.

ඔබේ පවුලේ සාමාජිකයන් මේ සිදුවීම තේරුම් අරගෙන තිබුණෙ කොහොමද? මොන වගේ ප්‍රතිචාරයක් ද ඔබට ඔවුන් ගෙන් ලැබුණේ?

මේ සිද්ධිය වෙනකොට දේවස්ථායේ ඉටි පහන් වැට ළඟ මං හිටියේ. සිද්ධිය දැනගත්ත ගමන් ම ගෙදර අය කලබල වෙලා. මට කතා කරලා කිව්වේ ඉක්මනට ගෙදර එන්න කියලා. මං කිවුවා එහෙම එන්න බෑ. කලබල නොවී ඉන්න. තව ටික දවසකින් මං එන්නම් කියලා. අපි මුලින්ම කළේ තුවාල වුණු අය ඉක්මනට ඉස්පිරිතාලේට යවන එක. ඒ වෙලාවේ මේ අවට සිංහල, මුස්ලිම්, දෙමළ හැමෝම ඒ හදිස්සි කටයුත්තට උදවු කළා. ආරක්ෂක අංශ ආවම ඒ කටයුතුවලට සහාය දක්වන්න අපි පූජා භූමියෙන් ඉවත් වුණා. පූජා භූමියෙන් එළියට ගියාට පස්සෙ මිය ගියපු අය වෙනුවෙන් කරන්නේ මොනවාද කියලා එළියේ අපේ යාළුවොත් එක්ක සාකච්ඡා කරලා ඒ කටයුතු කළා. ඒ, සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙනසක් නැතුව. ඒ දවස්ටිකේ අපි කෑම බීම සපයා ගත්තෙත් එහෙමයි. කට කතා නිසා බියෙන් හිටපු අය මුස්ලිම් කඩවලින් කෑම කන්න එපා කියලත් මට කිවුවා. ඒ අය මේක තේරුම් අරගෙන තිබුණෙ වැරදියට.

එක කුඩා කණ්ඩායමක් කරපු අපරාධයකට මුළු මුස්ලිම් සමාජයම වගකියන්න ඕනේ නැහැ. අපරාධකරුවන් පිළිකුල් කළාට අසල්වැසියා ප්‍රතික්ෂේප කරන්න අපිට බැහැ.

එක කුඩා කණ්ඩායමක් කරපු අපරාධයකට මුළු මුස්ලිම් සමාජයම වගකියන්න ඕනේ නැහැ. අපරාධකරුවන් පිළිකුල් කළාට අසල්වැසියා ප්‍රතික්ෂේප කරන්න අපිට බැහැ. මං ගෙදර අයටත් තේරුම් කරලා දුන්නා. මේක කළේ ත්‍රස්තවාදී කණ්ඩායමක් මිසක් මුළු මුස්ලිම් සමාජයම නෙවෙයි කියලා. ඒ වගේම කටකතාවලට රැවටෙන්නත් එපා කිවුවා. හපුතලේ අපේ ගෙවල් අවට මුස්ලිම් අසල්වැසියන් එක්ක තියෙන හොඳ හිත නැති කරගන්න මේක හේතුවක් කරගන්න එපා කියලත් මං කිවුවා. මම මේ දේවල් කියද්දි ගෙදර අය මං කියපු දේ ඇත්ත කියල හෙමින් හෙමින් තේරුම් ගත්තා.

ඒ දිනවල රටේ විවිධ ප්‍රදේශවල ගැටුම් ඇති වුණා. සමහර ප්‍රදේශවලට ඇඳිරි නීතිය පවා දැම්මා. මොනවද ඒ ගැන ඔබට කියන්න තියෙන්නේ?

කොච්චිකඩේ දේවස්ථානය වටේම ඉන්නේ මුස්ලිම්, දෙමළ, සිංහල මිනිස්සු, ඒ වගේම මේ ප්‍රදේශයේ, පල්ලි, පංසල්, කෝවිල් තියෙනව. පාරට බැස්සම ඒ හැමෝම මට මුණගැහෙනවා. දැකලා පුරුදු මිනිස්සු. අපිට පුළුවන් ද? අපිට අයිතියක් තියෙනව ද අපේ හිතේ තියෙන සැකය, කෝපය, වෛරය බවට පත්කරලා මේ මිනිස්සුන්ට හිරිහැර කරන්න. මේ අවට මිනිස්සු ඇසුරු කළ නිසා අපි දන්නවා ඔවුන් මේ අපරාධයට සම්බන්ධ නෑ කියලා. ඒ නිසා අපි ඔවුන් ඇසුරුකිරීම අත් හැරියේ නැත්තෙ. කතා බස් නොකර හිටියේ නෑ. අපි කවුරුත් එකතුවෙලා මේ ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළා. ඒ නිසා මේ ප්‍රදේශයේ නම් කිසිම ගැටුමක් ඇති වුණේ නෑ. ගැටුම් ඇති කරපු ප්‍රදේශවල අය කොච්චිකඩේ මිනිස්සු හැසිරුණු විදිය දන්නවා නම් ඒ අය ලැජ්ජා වේවි. අපි කල්පනා කළේ මේ වගේ සිදුවීම් නැවතත් සිදු නොවෙන්න කටයුතු කරන විදිය ගැන, වෙළෙඳ සංගමය, ප්‍රජාදායකත්ව කණ්ඩායම්, පල්ලිය, කෝවිල, පංසල, දේවස්ථානය, විපතෙදි මේ හැමෝම එකට එකතු වුණා. ඒ නිසා මියගිය සහෝදර මිනිස්සු වෙනුවෙන් ශෝක වුණා. ඔවුන් ගේ කටයුතු වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා. කැඩුණු බිඳුණු තැන් හදලා ආයිත් සුපුරුදු ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන් වුණේ ඒ එකමුතුව නිසා. අවිශ්වාසය සැකය වෙනුවට මනුෂ්‍යත්වය ආදරය දෙන්න කියලා තමයි. අපිට දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ. ඇසුරුකිරීමෙන් මිනිස්සු තේරුම් ගත් නිසා කට කතාවලට වෛරී ප්‍රකාශවලට අපිව කෝප කරන්න බෑ.

මේ සිදුවීමෙන් පස්සේ ගමේ ගියාද? කොහොමද ගමේ මිනිස්සු මේක තේරුම් අරගෙන තිබුණෙ?

මං ගෙදර ගියාම ගමේ අසල්වැසියෝ ඇවිත් ඇහුවේ මේක වෙච්ච් විදිය. ජීවිතේ බේරුණේ කොහොමද වගේ ප්‍රශ්න. කට කතා ගොඩකට ඒ අය මුළා වෙලා තිබුණු බව අහපු ප්‍රශ්නවලින් මට තේරුණා. මං ගෙදර අයට වගේම අසල්වැසියන්ටත් දැකපු දේ කිවුවා. මේ සිදුවීම නිසා ගෙදරින් එළියට බහින්න බයෙන් හිටපු මුස්ලිම් යාළුවො මුණගැහුණම ඒ අය කෝපයෙන් වගේම වේදනාවෙන් හිටියේ. මේ අපරාධය කරපු අයට ඔවුන් සාප කළා. මේ අපරාධය කරපු කණ්ඩායම ඔවුන්ගෙ ජාතියට සම්බන්ධ නිසා ඔවුන් හිටියේ ලැජ්ජාවෙන්, කෝපයෙන්. දුරස් කිරීම වෙනුවට සමීපවෙලා කතා කළාම ඔවුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න පුළුවන්. ගමේ කාටත් කිව්වේ එක දෙයයි මේ අපරාධය කළ අපරාධකරුවන් ගේ වුවමනාව අපි බෙදා වෙන්කිරීම නම් අපි ඒකට ඉඩතියන්න ඕනේ නැහැ. ආරක්ෂාව වෙනුවෙන් සැකය තියාගන්න. විස්වාසය රකින්න. ආරක්ෂක අංශවලට අවශ්‍ය සහාය දෙන්න ඒ අතර ම අසල්වැසියන් සමඟ සමීපව කටයුතු කරන්න කියලා.

මේ අපරාධය කළේ අන්තවාදී ආගමික කණ්ඩායමක් කියලානේ කියන්නෙ. කවුරු හරි කිව්වොත් ආගම් ඇදහීම නිසා මිනිස්සු මේ වගේ අපරාධ කරන්න පෙලඹෙනවා කියලා, ඔබ කොහොමද ඒකට උත්තර දෙන්නෙ?

ආගම කියන්නෙ පුද්ගලික තේරීමක්. ලෝකේ කිසිම ආගමක් මනුෂ්‍යත්වය විනාශ කරන්න උගන්වනවා කියල මං පිලිගන්නේ නෑ. ආගමේ නාමයෙන් අපරාධ කරනවා නම් ඒක අපරාධය ආගම කරගත්තු නරුම කණ්ඩායම් ක්‍රියාවක්. කවර ආගමක් වුණත් එහි හරය කියා දෙන්නේ ලෝකය යහපත් කරන්න සංසිඳුවන්න මිසක් විනාශ කරන්න කියලා නෙවෙයි. ඒ වගේ ම තමන් අදහන ආගම හොඳ ම ආගම කියලා විස්වාස කරන හැම මනුෂ්‍යයාම අනෙකාට ගරුකරන්න ආදරය කරන්න මනුෂ්‍යත්වය පතුරුවන්න ඕනෑ. ආදරය ,දයාව, කරුණාව, මෛත්‍රිය මේවා පෝෂණය කරන්නේ ආගමෙන්. විස්වාසය පතුරුවන්න, කරුණාව පතුරුවන්න, සාමය පතුරුවන්න කියලා දෙන්නෙ ආගමෙන්. ඒ නිසා ආගම අදහන්නේ කුමක් නිසාද කා වෙනුවෙන් ද කියලා තමන්ම තේරුම්ගත යුතුයි. මගේ ළඟම නෑයන් අදහන්නේ මං අදහන ආගම නෙවෙයි. මගේ පවුලේ අය මං අදහන දෙවියන් ම අදහන්න ඕන කියලා නීතියක් නෑ. මගේ දරුවන් ඔවුන්ට තේරෙන වයසෙදි කැමති ආගමක් තෝරා ගනිවි. අපි හැමෝටම අවිස්වාසෙකින්, පැකිලීමකින්, සැකයකින්,පිළිකුලකින් තොරව පල්ලියට, පංසලට, කෝවිලට, දේවස්ථානයට යන්න පුළුවන් වෙන්න ඕනෑ. මා දෙවියන් වහන්සේට සේවය කරන කෙනෙක් මා මනුෂ්‍යයෙක්. ඔබ කාට සේවය කළත් මට ඔබ මනුෂ්‍යයෙක්. දෙවියන්ගේ නාමයෙන් මගේ සහෝදරත්වයේ, සංහිඳියාවේ, සාමයේ, මනුෂ්‍යත්වයේ ඇදහිල්ල එයයි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts