අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සමානාත්මතාවයේ සිට අසමානතාව කරා ගමන් කරන නව අධ්‍යාපන ක්‍රමවේදය !

පෙරුනිලන් 

ලොව පුරා සිටින නූතන සමාජය අධ්‍යාපනය ලබා ගැනීමට හා උපයෝගී කරගැනීමට අන් කවරදාටත් වඩා වැඩි අවධානයක් යොමු කරනු ලැබේ. ඊට හේතුව වන්නේ සමාජ ස්ථරයක පුද්ගලයෙකුගේ තත්වය ඉහළ නැංවීම සඳහා වන ගමනට ‘අධ්‍යාපනය’ විශාල වශයෙන් වැදගත් වීමය. අධ්‍යාපනය මත පදනම් වූ සමානාත්මතාවයෙන් යුතු  ප්‍රවේශයක් සෑම කෙනෙකුටම උදා කරදීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෞරවයෙන් යුතුව නිදහස් අධ්‍යාපනය ලබා දෙයි. 

නමුත් අද මතුව ඇති මෙම වසංගත අර්බුදය හේතුවෙන් අධ්‍යාපන ක්‍රමය තුළ අසමානතාවේ බීජ වැපිරුවාද?

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මෙම අසමානතාවයේ සලකුණු දැන් දැන් පැහැදිලිව දක්නට ලැබේ. නිදහස් අධ්‍යාපනය මඟින් යහපත් හා  සමානාත්මතාවයෙන් යුතු සමාජයක් ගොඩනගා ගැනීමට යම්තාක් දුරකට හැකියාව ලැබිණි. නමුත් කොරෝනා වසංගතය විසින් එහි වර්ධනය අඩාල කරමින් ඇත.

2020-03-12 දින පළමු වතාවට කොරෝනා බිය නිසා පාසල් වලට නිවාඩු ලබන දෙන ලදී. එය මෙතරම් දීර්ඝ කාලීනව පවතිනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැත. පෙර මෙන් නැවතත්  ආහාර, ඇඳුම් පැළඳුම් සහ නවාතැන් මූලික අවශ්‍යතා බවට පත් වී ඇත. නමුත් 21 වන සියවසේදී අධ්‍යාපනය ද මූලික අවශ්‍යතාවයක් බව අද ලොව පුරා සිටින මානව විද්‍යාඥයින් විසින් පිළිගෙන තිබේ. මෙම කොරෝනා වසංගත තත්ත්වය ද නැවත නැවතත් අප හට අවධාරණය කරනු ලබන්නේ අධ්‍යාපනයේ අත්‍යවශ්‍යභාවයයි. 

ශ්‍රී ලංකාවේ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් ඔවුන්ගේ වයස හා අධ්‍යාපනය යන කරණාවලදී එකිනෙකාට බැඳී සිටිති. නමුත් වයස ( කාලය ) ගෙවීයාම වැළැක්විය නොහැකි වේ. එමනිසා ගෙවෙන කාලය සමඟ අධ්‍යාපනය සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න සියලු ප්‍රජාවන් තුළ පැන නැගී ඇති ප්‍රශ්නයකි.

එසේම විශේෂයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල එම කාරණාව විශාල අර්බුදයක් නිර්මාණය කර තිබේ. කොරෝනා වසංගත තත්ත්වය විසින් අධ්‍යාපන ව්‍යූහය විකෘති කිරීම කොරෝනා වසංගත කාලය තුළ මානව වර්ගයාට මුහුණ දීමට සිදුවන ප්‍රබල බලපෑමකි .  

අධ්‍යාපනය සෑමවිටම ලබාදෙන්නේද ලබාගන්නේද සාමූහිකවය . ඒ සඳහා ලොව පුරා විවිධ  විධිවිධාන ක්‍රියාත්මක වේ. සිසුන් සමූහයක් ඉලක්ක කර ගනිමින් අධ්‍යාපනය ක්‍රමානුකූලව ලබා දෙනු ලැබේ. ඊට හේතූන් ලෙස සමාන අධ්‍යාපන අවස්ථාවන් හා ආර්ථික විධිවිධාන සකස් වීම, කුඩා කල සිටම සමූහයක් ලෙස ජීවත්වීමට හුරු කිරීම, ආචාර ධර්මවලට හුරු කිරීම, ඒ සමඟම සම්පත් බෙදී යාමට ඇතිවන පහසුව, කළමනාකරණය කිරීමට ඇති පහසුව, සාරධර්ම ලබාදීමට ඇති පහසුව, ඇගයීමට ඇති පහසුව හා සමාන අවස්ථාවන් ලබා දීමට ඇති හැකියාව වැනි බොහෝ කාරණා ඇත.  

කොරෝනා වසංගතය විසින් සමාජයක් ලෙස ක්‍රියාත්මක වීම අවහිර කරනු ලැබුවේ මෙවැනි අවස්ථාවකදීය. 

පාසල් වර්ග

ශ්‍රී ලංකාවේ පාසල් අවිධිමත් තක්සේරු කිරීමකින් වර්ගීකරණය කරන්නේ නම්,

1.  අධ්‍යාපනය ලැබීම සඳහා ප්‍රමාණවත් සම්පත් නොමැති පාසල් 30% කි. 

2. අධ්‍යාපනය ලැබීම සඳහා සම්පත් සංවර්ධනය කරමින් සිටින පාසල් 40% කි.

3. අධ්‍යාපනය ලැබීම සඳහා අවශ්‍ය සම්පත් ප්‍රමාණවත්ව ඇති පාසල් 25% කි.

4. අධ්‍යාපනය ලැබීම සඳහා අවශ්‍ය සම්පත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ඇති, ස්වයංපෝෂිත පාසල් 5% කි. 

පළමු වර්ගයේ පාසල් සම්පත් අවම වූ, ආර්ථික, ප්‍රවාහන හා සන්නිවේදන වැනි පහසුකම්  ඉතාමත් දුර්වල දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටා ඇති පාසල් වේ.

මෙහි සම්පත් යනුවෙන් අදහස් කෙරෙනුයේ පාසලේ භෞතික සම්පත් පමණක් නොව ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන්ද පාසල සමඟ සම්බන්ධ වන බැවින් ඔවුන්ගේ අධ්‍යාපන සංස්කෘතිය හා ක්‍රියාකාරී මට්ටම ද මීට අදාළ වේ. මෙවැනි වාතාවරණයක් තුළ එය ඉතා  වැදගත් වේ. කොරෝනා වසංගත තත්ත්වය නිසා අධ්‍යාපනික පරිසරය දෙමව්පියන් මත විශ්වාසය තැබූ අධ්‍යාපන ක්‍රමයක් බවට පරිවර්තනය වී ඇත. මෙම කාරණාව අධ්‍යාපන ක්‍රියාදාමයන් වේගවත්ව හා ඵලදායී ලෙස සිදු කරගෙන යෑමේදී  විශාල විෂමතාවන් ඇති කර තිබේ. මෙය සමතුලිත කිරීම, ඒකාබද්ධ කිරීම, ගුණාත්මකභාවය පවත්වා ගැනීම හා ගුණාත්මකභාවය නිර්ණය කිරීම යනු ඉතා දුෂ්කර ක්‍රියාවකි. අධ්‍යාපනයේ සම අවස්ථා පවතිනුයේ අධ්‍යාපනය වෙනුවෙන් සමාජය විසින් අපව කෙතරම් දුරට ඔසවා තබන්නේද යන්න මතය. මෙහිදී පාසල්වල භෞතික සම්පත් වැඩි දියුණු කරනු ලැබුවද, දෙමාපියන්ගේ සහ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ඇති සූදානම, පුහුණුව හා ප්‍රතිඵලය පිලිබඳ දැනුම ඉතා පහළ මට්ටමක පවතී. 

මෙහි ඊළඟ මට්ටමේ ඇති පාසල් අධ්‍යාපනය ලැබීම  සඳහා තමාව සුදානම් කරමින් සිටින,  ක්‍රියාකාරී දෙමාපියන්, ගුරුවරුන් සිටින භෞතික සම්පත් ඇති පාසල් වේ. මෙහිදී සිසුන් 15% කගේ අධ්‍යාපනය දෙමාපියන්ගේ සහයෝගය මත රඳා පවතියි. 

මීළඟට ඇත්තේ අධ්‍යාපනය සඳහා සියලු පහසුකම් සහිත, දෙමාපියන්ගේ පාසල් වේ. එම පාසල් සඳහා අවශ්‍ය වන දායකත්වය දෙමව්පියන් විසින් ලබා දෙනු ලැබේ. මෙහිදී සිසුන් 60% කට අධ්‍යාපනයේදී ජයග්‍රහණය හා සාර්ථකත්වය පවත්වාගෙන යා හැකි වේ. 

මීළඟට ඇති පාසල් සඳහා සියලු සම්පත් තිබෙන අතර හා සමෘද්ධිමත් දෙමාපියන් ද සිටිති. මෙම පාසල් පාසලේ අධ්‍යාපන කටයුතු මඟින් පමණක් නොව වෙනත් විශේෂිත පන්ති ලෙස තමන්ගේම විධිවිධාන මගින් විභාගවලට මුහුණදීමට පහසුකම් ඇති දරුවන් හා දෙමාපියන් සිටින පාසල් වේ. 

පාසල් අධ්‍යාපනයට අභියෝගයක්  

විටින් විට පාසල් විවෘත කළ ද ළමයින් පාසලට යැවීම මහත් අභියෝගයක් වී ඇත. මෙවැනි භයානක වසංගත පරිසරයක් තුළ අධ්‍යාපනය ලැබීම සඳහා තම දරුවන් පාසලට යැවීමේ මානසිකත්වයක් කිසිවෙකුට නැත.

නමුත් අධ්‍යාපන ප්‍රතිඵල පහත වැටීම වළක්වා ගැනීමට කෙසේ හෝ ළමයින්ට ඉගැන්විය යුතුය වැනි තීරණ ශ්‍රී ලංකාව පුරා පාසල්වල බොහෝ අර්බුද ඇති කර තිබේ. එම නිසා පාසල් වර්ගීකරණයන් සැලකිල්ලට ගනිමින් ප්‍රතිපත්තීන් සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය වී ඇත.

වර්ථමානයේ පවතින වාතාවරණය තුළ දරුවන්ගේ අධ්‍යාපනයට වගකිව යුත්තේ ගුරුවරුන්ය යන තත්ත්වය වෙනස් වී නිවස හා දෙමාපියන් එම ස්ථානය ගෙන ඇත. ඒ අනුව එම තත්වයට මුහුණ දිය නොහැකි දෙමව්පියන්ගේ දරුවන් එමඟින් බලපෑමට ලක්වේ.   

මෙමඟින් වැඩි දුර බලපෑමකට ලක්වන්නේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන ළමුන්ය. ඊට හේතුව වන්නේ අන්තර්ජාල මාර්ගගත අධ්‍යාපනය ඔවුන්ගේ අධ්‍යයන ක්‍රියාකාරකම් සඳහා සුදුසු පරිසරයක් නොවීමයි. ගුරුවරයාගේ මගපෙන්විම පාසලේ පරිසරය තුළින් ලබන අධ්‍යාපනය ඒ සඳහා ඉතාමත් වැදගත් වේ. මෙම අවධිය ඔවුන්ගේ පූර්ව මනෝභාවයන් සකස් වෙන අවධියයි. සම වයස් මිතුරන් සමඟ ඉගෙනීම, සහයෝගීව ඉගෙනීම, පාරිසරික ඇගයීම, මඟ පෙන්වීම්, ශාරීරික ක්‍රියාකාරකම් හා  ස්වභාවික පරිසරය තුළ ඉගෙනීම වැනි අධ්‍යාපන අංගයන් ඔවුන්ගේ වයස අනුව වර්ගීකරණය කර ඇත. වර්තමානයේ පවතින තත්ත්වය අනුව මෙලෙස අධ්‍යාපනය ලබා ගැනීම අපහසු වී ඇත. තාක්‍ෂණය තුළින් ඔවුන්ගේ ශරීරය හා මනෝභාවය අධ්‍යාපනයට ඒකාබද්ධ කිරීම විශාල අභියෝගයක් වී ඇත. 

නූතන මානව වර්ගයා සඳහා වන අධ්‍යාපන පරමාර්ථයන් වන්නේ  (යුනෙස්කෝ අධ්‍යාපන පරමාර්ථයන් අනුව ) දැනුම ලබා ගැනීම, ක්‍රියාශීලී වීම, ජීවත් වීම හා අන් අය සමඟ සහයෝගයේ  ජීවත් වීම හුරු වීමය. එබැවින් මෙම සන්දර්භය තුළ ‘ජීවත් වීමට ඉගෙනීම’ ප්‍රශ්නාර්ථයක් නොවීමට වග බල ගත යුතුය. එබැවින් පාසල් අධ්‍යාපනය ක්‍රමය සාර්ථක වන්නට නම් මෙම වසංගත තත්ත්වය සම්පුර්ණයෙන්ම නිම විය යුතුය. මේ අතර, මෙවැනි තත්වයක් තුළ මෙම අධ්‍යාපන ක්‍රමය සිසුන් අතරට ගෙන යන්නේ කෙසේද යන්න සෑම පාසලකටම අභියෝගයක් වී ඇත. මෙය කළ හැක්කේ තාක්ෂණ මාධ්‍යය හරහාය. ඒ සමඟම අධ්‍යාපනය හා කාලය ඒකාබද්ධ කිරීම සඳහා රජයේ පොදු විභාගයන්ද පවත්වනු ලබයි. එබැවින් එම විභාගයන්ට පෙනී සිටීමට නියමිත සිසුන්ට තාක්ෂණය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. සියලුම සිසුන්ට මෙම පහසුකම් සපුරා ගැනීම සඳහා සමාජ විධිවිධාන තිබේද? පොදු අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති රජයේ අරමුදල් මඟින් මේ සඳහා කටයුතු සම්පාදනය කිරීම වැදගත් වේ.

කිලිනොච්චි පරිසරය තුළ අධ්‍යාපනය.

විශාල භූමි ප්‍රමාණයක් සහිත මෙම දිස්ත්‍රික්කය එක අධ්‍යාපන කලාපයකි. මෙහි ඇති පාසල් 104 කින් බොහොමයක් පිහිටා ඇත්තේ නගරයෙන් පිට ඉතා ඈතින්ය. ගමනාගමනය බොහෝ දුෂ්කරය. නගරය ආශ්‍රිතව හෝ නාගරිකව පිහිටා ඇත්තේ ආසන්න වශයෙන් පාසල් 10 ක් පමණි.

එබැවින් ග්‍රාමීය පාසල් වැඩි ප්‍රමාණයක් ඇති මෙම කලාපයේ ප්‍රාථමික අධ්‍යයන අංශයේ ගුරුවරුන්ගෙන් 50% ක් තම පන්තියේ සිසුන්ට ‘වයිබර්’ යෙදුම හරහා අධ්‍යාපනය ලබා දෙති. එහිදී සහභාගී වන දරුවන්ගේ ප්‍රතිශතය ග්‍රාමීය ප්‍රදේශවල 20% ක් වන අතර නාගරික ප්‍රදේශවල 75% කි. තාක්‍ෂණය හරහා යවන ලද අභ්‍යාස ඡායා පිටපත් ගෙන එම අභ්‍යාස සම්පුර්ණ කරන්නටබොහෝ දරුවන්ට පහසුකම් නොමැත. අභ්‍යාස බැලීමම බොහෝ දරුවන්ට අභියෝගයක් වී ඇත. බොහෝ දරුවන්ට දුරකථන පහසුකම්ද නොමැත. එක් පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සමඟ කල සාකච්ඡාවලදී අනාවරණය වූයේ එවැනි පහසුකම් ඇත්තේ 25% ක ප්‍රතිශතයක දරුවන්ට පමණක් බවයි. මෙම තත්ත්වය මත  කුඩා ළමුන්ට එම පහසුකම් සැපයීම ගැන දෙමාපියන් වැඩි සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. එසේ වුවද, ‘ඩේටා’ ලබාගැනිමේදීද ගැටලු රාශියකට මුහුණ දීමට මෙම දරුවන්ට සිදුවේ.

එවැනි ගැටලු සැලකිල්ලට ගනිමින් ප්‍රාථමික අංශයේ ගුරුවරුන් වැඩ පත්‍රිකා සකස් කොට කෙලින්ම ළමයින්ට බෙදා හැරීමට ඉදිරිපත් වුවද එය කළ නොහැකි වූ බැවින් එම වැඩ පත්‍රිකා ගුරුවරුන්, ගම්වැසියන් සහ විදුහල්පතිවරුන් ළඟ එකතු වී ඇත. වැඩ පත්‍රිකා ලබා දීමට හා සම්පුර්ණ කරන ලද වැඩ පත්‍රිකා නැවත ලබා ගැනීමට සෞඛ්‍ය විධිවිධාන ඉඩ නොදෙන බව ද අප සැලකිල්ලට ගත යුතුය. තවද සමහර ප්‍රදේශ හුදෙකලා කර ඇති බැවින් වැඩ පත්‍රිකා බෙදා හැරීම ප්‍රායෝගික නැත. 

පසුබෑමට ලක් වූ පාසල්වල දරුවන්ගෙන් 20%ක් පමණ දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයේදී මිට පෙර සිටම මන්දගාමීව පසුවෙති. එවැනි තත්වයකදී ප්‍රාථමික අධ්‍යාපනය ලබන මෙම දරුවන් මෙම තාක්‍ෂණය හරහා අධ්‍යාපන ක්‍රමයට මුහුණ දීමේ නොහැකියාව නිසා අධ්‍යාපනය අතහැර දැමීමට හෝ  අධ්‍යාපනයට ඇති උනන්දුව අතහැර දැමීමට පෙළඹෙති. 

එබැවින් මෙම සන්දර්භය සැලකිල්ලට ගනිමින් බොහෝ කරුණු පිළිබඳව අවධානය යොමු කිරිමේ අවශ්‍යතාවයක් පවතී.

නව අධ්‍යයන පරිසරය තුළ අවධාරණය කල යුතු කරුණු.

මෙහිදී අපි පාසල් වර්ග හතරක් ගැන සඳහන් කළෙමු. ඒ අනුව මෙම සන්දර්භය තුළ ඉගැන්වීම හා ඉගෙනගැනීමේ කටයුතු ඒකාබද්ධ වීමට නම් පහත සඳහන් කොන්දේසීන්ට අනුකුලව ඒ දෙස බැලිය යුතුය. 

1. පාසල් සිසුන් වාසය කරන ගම්වල සිට තාක්ෂණයට සම්බන්ධ වීමට ඇති අවස්ථාව

2. දෙමාපියන්ගේ තාක්ෂණික නැඹුරුව

3. දෙමාපියන්ගේ ආර්ථික හැකියාව 

4. අධ්‍යාපනය ලැබීමට දරුවන්ට ඇති නැඹුරුව 

5. දෙමාපියන්ගේ ආකල්ප

6. දෙමාපියන්ට කීකරු වෙමින් ජීවත් වන දරුවන් සංඛ්‍යාව

7. දරුවාට අනෙකුත් දරුවන් සමඟ එක්ව ඉගෙනීමට ඇති නැඹුරුව

8. දරුවාට ඇති භෞතික සම්පත් හා දරුවා ජිවත් වන පරිසරය

9. අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මානසික තත්ත්වය

10. පාසලේ විශාල ඉගෙනුම් අවකාශය පටු වන විට ඇතිවන මානසික බිඳවැටීම

11. අනෙකුත් දරුවන් සමඟ සහයෝගයෙන් අධ්‍යාපනය ලැබීමට ඇති නොහැකියාව 

12. අධ්‍යාපන කටයුතු වලට භෞතික ස්ථානයක් නොමැතිවීම, ස්පර්ශ කිරීම් නොමැතිව අධ්‍යාපනය ලැබීමට නොහැකි වීම 

13. දැනුම බෙදා දෙන පන්ති කාමරවල ගුරු මැදිහත්වීමක් නොමැතිවීම හේතුවෙන් අධ්‍යාපන මට්ටම පහත වැටීම 

14. හැකියාව සහ ආකල්ප ප්‍රකාශන සඳහා පන්ති කාමර නොමැතිකම

15. ගුරුවරයා ශිෂ්‍යයා අතර භෞතිකව සම්බන්ධතාවක් නොමැති බැවින් අධ්‍යයන ක්‍රමවේද පෝෂණය නොවීම.

ඉහත කාරණා මෙම තාක්ෂණය හරහා ලබා දෙන අධ්‍යාපන ක්‍රමවේදයේ ඵලදායීතාව අධීක්ෂණය කිරීමට උපකාරී වේ 

පන්ති කාමරයේ සිට අධ්‍යාපනය ලබන විට ගුරුවරු සිසුන් හට තරවටු කරමින් හෝ කරුණාවන්තව හෝ පාඩම වෙත දරුවන්ව යොමු කරති. නමුත් තාක්‍ෂණය හරහා  කෙරෙන අධ්‍යාපනයේදී එසේ කිරීමට අවස්ථාවක් නොමැති නිසා දරුවන් සිටින්නේද, ඉගෙන ගන්නේද යන්න පවා දැනගත නොහැක.

මෙම විකල්ප පරිසරය තමන්ට ලබා දී ඇත්තේ 50% ක සාර්ථකත්වයක් පමණක් බව කොළඹ වඩාත් ජනප්‍රිය පාසලක ගුරුවරියක් පැවසුවාය. 

එය එසේ වන විට, මෙතරම් බාධක පසුකරමින් පැමිණිය යුතු පසුගාමී ග්‍රාමීය හා කුඩා නාගරික පාසල්වල සිසුන්ගේ තත්වය කුමක් වේද?

එතරම් බලතල නොලද අසමානතාවයට ලක් වන අවිධිමත් ක්‍රමයන් පදනම් කරගෙන සමාන අවස්ථාවන් තිබෙන පොදු විභාගයන් පැවැත්වීම අසාධාරණ වේ.මෙය සමස්ත රටේම දරුවන්ට බලපාන තත්වයකි.නොමිලේ පෙළපොත්, නොමිලේ සපත්තු, නොමිලේ පාසල් නිල ඇඳුම් සහ නොමිලේ ගුරුවරුන් යන  ප්‍රතිපත්තීන් අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම සඳහා අපේ රට දරන උත්සාහයන් වේ. එය මෙම වාතාවරණය තුළ බිඳ වැටී ඇත. සැමට සමානාත්මතාවයෙන් යුතු අධ්‍යාපන පරිසරයක් ලැබීමට නම් නොමිලේ අන්තර්ජාල පහසුකම්, අදාළ මෙවලම් සහ වෙනත් ආධාරක විධිවිධාන සැපයීම කළ යුතුමය.  ආර්ථික පහසුකම් හා අනෙක් පහසුකම් ඇති දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පරිසරය පවතින නිසා මෙවැනි වාතාවරණයක් තුළ පොදු විභාගයන් පැවැත්වීම මඟින්  කිසිදු පහසුකමක් නොමැතිව සිටින දරුවන් පිඩාවට පත්වේ.  ක්‍රමානුකුලව අධ්‍යාපන පරිසරය අධීක්ෂණය කිරීමට නොහැකි වුණොත් සමාජ ස්ථරයන්හි අසමානතාවය වඩ වඩාත් උග්‍ර වනු ඇත.      

சமத்துவக் கல்வியில் இருந்து அசமத்துவத்தை நோக்கிச் செல்லும் புதிய கல்விச் சூழல்!

The Leap Of Modern Education From Equality To Inequality

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts