සමාජ

බිෂොප් ඥානප්‍රකාශන් සමඟ කළ සංවාදයකි. විවෘත මනසක් ඇත්නම් ඕනෑම දෙයක් කළ හැකි යි.

පී. පොන්නරාසු

විවෘත මනසක් සහ කැප කිරීමේ හැකියාව ඇත්නම් අත්පත් කරගත නොහැකි කිසිවක් නැත. විවිධ ආගම් විශ්වාස කරන්නන්, රිදවන වචන භාවිතාව සහ ප්රාපයෝගිකත්වයන් නතර කර දැමිය යුතු යි. සියළු මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ සංවේදීතාවයන්ට ගරු කළ යුතු යි. මේ සියල්ල කළ හැක්කේ සියලු දෙනාගේ සහයෝගිතාවයෙන් පමණ යි.

අවුරුදු 30 ක යුද්ධයක් අවසන් කර, ඊටත් අවුරුදු 10 කින් පසුව සිදු වූ පාස්කු ප්‍රහාරය නැවතත් අපව අඳුරු යුගයකට රැගෙන ගොස් තිබෙනවා, මේ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?

පාස්කු ප්‍රහාරයෙන් මුළු රටම ව්‍යාකූලත්වයට පත් වූ බව සත්‍යක්. ඒ වගේම මුර පොලවල් නැවත ඇතිවීම සහ ආරක්ෂාව තරකිරීම් නිසා මිනිසුන්ට නැවත යුධ මතකයන් අවදිවෙලා. නමුත්, අවුරුදු 30 ක  යුධ පසුබිම සහ එහි බලපෑම් පාස්කු ප්‍රහාරය සමඟ සසඳන්න බැහැ. පාස්කු ප්‍රහාරයට තියෙන්නේ වෙනස් වූ පසුබිමක්. එම ප්‍රහාරය සැලසුම් කළ අය දැන් හඳුනාගෙන තිබෙනවා. දැනට ලැබී තිබෙන තොරතුරු අනුව, නැවතත් එවැනි ප්‍රහාරයන් සැළසුම් කිරීමට නොහැකි වන ලෙස ආරක්ෂාව තහවුරු කර තියෙනවා.

  මේ ප්‍රහාරයෙන් තහවුරු වන්නේ ක්‍රිස්තියානි බැතිමතුන්ට එරෙහිව පැවති ප්‍රචණ්ඩත්වය යි. ලංකාවේ දී මෙවැනි තත්වයන් ඇතිවුනේ ඇයි?

දහසය වැනි ශත වර්ෂයේ සිට, කුරුස යුද්ධ නොතිබුණත්, ලෝකයේ විවිධ කොටස් වල යුරෝපීය ක්‍රිස්තියානි සහ මුස්ලිම් ජනතාව අතර ව්‍යාපාර පදනම් කරගෙන විවිධ ගැටුම් පැවතුනා. නූතන ලෝකයේ මුස්ලිම්වරුන් කොටසක් “ජිහාද්” මානසිකත්වයෙන් පසුවෙනවා. ඉස්ලාම් සහ මුස්ලිම් බහුතරය සාමකාමීව ජීවත් වෙන්න කැමති පිරිසක්.

නමුත්, ජිහාද් මානසිකත්වය ඇති මුස්ලිම් සුළුතරය තර්ජනයක් බවට පත්වෙලා තියෙනවා. ඉස්ලාමීය රාජ්‍ය සංකල්පය පෙරදැරි කරගත් ISIS සංවිධානය, එවැනි රාජ්‍යයන් බිහිකිරීම සඳහා ප්‍රචණ්ඩත්වය තෝරාගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරය දියත් කළේ ඔවුන්. ලංකාව තෝරාගැනීම අදටත් අභිරහසක්.

  වර්තමානයේ ආරක්ෂා මුරකාවල් සහිතව, යාඥාව පැවැත්වීම පිළිබඳ ඔබගේ අදහස කුමක් ද?

ආගමික ස්ථානවලට පැමිණෙන බැතිමතුන් දැඩි පරික්ෂාවකට ලක්කර ඇතුළත් කිරීමට සිදුවීම සැබවින්ම පිළිගත නොහැකි දෙයක්. මේ නිසා පැමිණෙන අමුත්තන් ප්‍රමාණය අඩු වී තිබෙනවා. කෙසේ නමුත් ප්‍රහාරය එල්ලවන බව දැනගෙනත්, එය වළක්වාලීමට පියවර ගැනීමට ඔවුන්ට නොහැකි වුනා. අශ්වයා ගිය පසු ස්ථාලය ආරක්ෂා කිරීම වගේ දෙයක් තමයි දැන් සිදුවන්නේ.

ඊට අමතරව පාසල් සහ ආගමික ස්ථානවල, හමුදා නිලධාරීන් රැඳවීම ඉතාම සැලකිල්ලෙන් කළ යුතු දෙයක්. එය නොසැලකිල්ලෙන් සිදු වූ ආකාරය මෑතකදී වූ සිද්ධියකින් පැහැදිලි වුනා. තම අසනීප දරුවා, රැගෙන ඒමට පාසලට ගිය පියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් දකුණු පළාතෙන් වාර්තා වුනා. ඒක හුඟක් වේදනාත්මක පුවතක්. කිසිම අයුරකින් සාධාරණීකරණය කරන්න බැහැ. පාසලෙන් එම පියාට දරුවා රැගෙන යන ලෙස ඇමතුමක් දුන්නා නම්, දොරටුවේ රැඳී සිටි සෙබලාට ද ඒ බව දැනුම් දිය යුතුව තිබුනා. නැතිනම් පාසලේ පරිපාලන නිලධාරියෙක්, පියා එනතුරු දොරටුව අසල රැඳී සිටිය යුතුව තිබුනා.

මෙසේ නිසියාකාරයෙන් ආරක්ෂක නිලධාරීන් භාවිතා නොකිරීම සහ ආරක්ෂාව නාමයෙන් පමණක් ඔවුන් රැඳවීම, රජය විසින් මිනිසුන්ට ආරක්ෂාව සලසන බවට කරන පෙන්වීමක් පමණයි.

  සමස්ත සමාජයම, මුස්ලිම් ජනතාව දෙස බලන්නේ වැරදිකරුවන් ලෙස. ඔබට ඒ ගැන දැනෙන්නේ කෙසේ ද?

එක කණ්ඩායමක් කළ වරදකට, සමස්ත මුස්ලිම් සමාජයම වැරදිකරුවන් ලෙස සැලකීම, පිළිගත නොහැක්කක්. එසේම, මුස්ලිම් ජනතාව හුදකලා කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර වර්ජනය කිරීමත් පිළිගත නොහැකි යි. බහුතර මුස්ලිම් ජනතාව මෙම නින්දිත බෝම්බ ප්‍රහාරය හෙළා දකිනවා. ඒක නිසා ඔවුන් වරදකරුවන් යන හැඟීමෙන් නොබැලිය යුතු යි.

  දැනට පවතින ජාතිවාදී සහ ආගම්වාදී දුර්මත නැතිකිරීම සඳහා කුමනාකාරයේ පියවරයන්  ඔබ ගෙන තිබේ ද?

ප්‍රහාරය සිදු වූ අවස්ථාවේම, ක්‍රිස්තියානි නායකත්වය අයැද සිටියේ මුස්ලිම්වරුන්ට එරෙහි කිසිඳු ආකාරයේ ප්‍රචණ්ඩත්වයක් සිදු නොකළ යුතු බව යි. එය ප්‍රසිද්ධ කාරණාවක්. ප්‍රහාරයෙන් පසුදිනම ක්‍රිස්තියානි පූජකවරු යාපනයේ ප්‍රධාන මුස්ලිම් පල්ලින් වෙත ගොස්, සාකච්ඡා පවත්වා ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කළා. එම සාකච්ඡා අඛණ්ඩව සිදුකිරිමටත් එකඟ වුනා. ඒ වගේම යාපනයේ මුස්ලිම් නායකත්වයත් බිපොෂ්තුමා හමු වී අදහස් හුවමාරු කරගත්තා.

යාපනයේ බිපොෂ්තුමා යටතේ පාලනයවන, කිව්ටෙක් – කරිටාස් ආයතනය, මුස්ලිම් ජනතාවට ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් කිසිඳු බාධාවකින් තොරව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මකවෙනවා. ඒ සියළු දේවල් සඳහා ශක්තිය ලබාදෙන්නේ විවෘත මානසිකත්වයකින් යුතුව සහ සහකම්පනයෙන් කටයුතු කිරීම යි. මුලින් සඳහන් කළා වගේ සියළුදෙනාගේ අනන්‍යතාවයන්ට ගරු කළ යුතු යි.

  සමහර බෞද්ධ භික්ෂූන්, විවෘත ලෙස වෛරීත්වය ප්‍රකාශ කරනවා. ඔබගේ අදහස කුමක් ද?

අනෙකුත් ජනතාවගේ ආගමික සංවේදීත්වයන්ට තර්ජනය කරන අය සමාජයෙන් කොන්කල යුතු යි. ඔවුන් කරන දේවල් සහ ඔවුන්ට වාසිදායක දේවල් අප වර්ජනය කළ යුතු යි. ඔවුන්ගේ ප්‍රචාරයන් තුළින් නොමග යන පිරිසක් ද සිටිය හැක. රජය මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු යි. හමුදාව සහ පොලීසිය ආධාර කරගෙන, මෙම තත්වය පාලනය වන්නේ යැයි සිතයි නම් එය අනුවණ වැඩක්. මන්ද සියල්ල සිදු වී අවසාන යි.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts