ශ්‍රී ලාංකික දේශපාලනයේ කාන්තා නියෝජනය හා ඔවුනට විරුද්ධව පෙළගැසෙන වෛරී ප්‍රකාශයන්
කීර්තිකා මහාලිංගම්
ශ්‍රී ලාංකික සාමාජයේ කාන්තාවක් දේශපාලනයට ප්‍රවේශවීමේදී ඇය ඉදිරිපත් වන පක්ෂයෙන් ඇයට කිසිදු බාධාවක් නොමැති නමුත් කාන්තාවන් දේශපාලනයෙහි නිරත නොවීම පිළිබඳව සමාජයේ විවිධ දුර්මතයන් නිර්මාණය වී ඇත.
18 හා 19 වැනි සියවස්වලට වඩා වර්තමාන වන විට ලොව විවිධ රටවල කාන්තාවන් සතු අයිතිවාසිකම් හා කාන්තා දේශපාලන නියෝජනය සුරක්ෂිත වී ඇති නමුත් විශේෂයෙන් දේශපාලනයේ නිරත කාන්තාවන්ට හා දේශපාලනය පිළිබඳව නිතර කතාබහා කරන කාන්තාවන්ට එරෙහිව ගොඩනැඟී ඇති වෛරී ප්‍රකාශන් හා විරෝධී මතයන් පුරුෂ පාර්ශවයට සාපේක්ෂව අධික බව පෙන්වා දිය හැකිය. එපමණක් නොව කාන්තාවන්ට විරුද්ධව සිදු කරනු ලබන වෛරී ප්‍රකාශයන්, දෙශපාලනයේ නිරතවීමට වෙර දරන කාන්තාවන්ට විශාල අභියෝගයක් හා තර්ජනයක් බවට පත්ව ඇත.
ලොව පළමු කාන්තා අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ දේශපාලන ප්‍රවේශය ලාංකික කාන්තා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයකි. නමුත් ඇයත් තම දේශපාලන ගමනේ සාර්ථකත්වය ලඟාකර ගත්තේ විවිධ අභියෝගයන් හා අවලාදයන් මධ්‍යයේදී ය. “මැතිණියගේ පක්ෂය 1960 වසරේදී පැවති මැතිවරණයෙන් ජයග්‍රහණ කල නමුත්, කාන්තාවකගේ නායකත්වයෙන් පක්ෂයක් නඩත්තු කල හැක්කේ කෙසේද යන්න එවකට පැවති දක්ෂිණාංශික දේශපාලන පක්ෂ විසින් කාන්තාවන්ට අගෞරව කරමින් විවිධ අවලාදයන් හා චෝදනාවන් නගන්නට විය. නමුත් මැතිණිය ඒ සියලු අභියෝගයන් හමුවේ එඩිතරව හා ඉවසීමෙන් කටයුතු කලා” යනුවෙන් සුනේත්‍රා බණ්ඩාරනායක බී.බී.සී. පුවත් සේවයට ලබාදුන් සම්මුඛ සකච්ජාවේදී සඳහන් කර ඇත.
(https://www.youtube.com/watch?v=XB6G2GATZVk )
ලොව පළමු කාන්තා අගමැතිනිය බිහි කළ රට ලෙස අපි අදටත් උදම් අනමින් සිටිමු. නමුත් එදා පටන් අද දක්වා දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ ඇදුම් විලාසිතා, හැසිරීම, පවුල් පසුබිම, අධ්‍යාපන මට්ටම්, හැකියාවන් නොහැකියාවන් හා පෞද්ගලික රුචි අරුචිකම් පිළිබඳව නානාප්‍රකාර වෛරී ප්‍රකාශයක් නිර්මාණය වන බව ප්‍රසිද්ධ රහසකි.
වෛරී ප්‍රකාශයන්ට මුහුණ දුන් කාන්තා දේශපාලනඥයින්ගේ අත්දැකීම්
“2020 දෙසැම්බර් මස 10 වන දින විකාශනය වූ රූපවාහිනි වැඩසටහනක ගීතා කුමාරසිංහ හා මා (හරිනි අමරසූරිය) අතර ඇති වූ විවාදය කරුණු කොටගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අදහස්වල අපේ බාහිර ස්වරූපයන්, අධ්‍යාපන පසුබිම මෙන්ම බුද්ධි මට්ටම් යනාදිය පිළිබඳවත් විමර්ශයට ලක්වූ බව අවධානය කිරීමට හැකිවුණා. මෙවැනි දෑ දේශපාලනයේ නිරත කාන්තාවන් බහුලව අත්දකින අහියෝගයකි” යනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය ඇගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා ඇත.
(https://www.facebook.com/HariniNPP/posts/344478773561132 )
‘මා මාධ්‍ය පසුබිමකින් පැමිණි අයෙක් නිසා මට මෙවැනි අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමේ හැකියාවක් තිබෙනවා. නමුත් සමාජ මාධ්‍ය අවකාශය තුළ කාන්තාවන්ට විරුද්ධව ක්‍රියාත්මක ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් බලපෑමට ලක්වූ තැනැත්තියන්ගෙන් මමත් එක් අයෙක්. මම කොරෝනා අසාදිත රෝගියෙකු බවත් මා සමග ළඟින් ඇසුරුකල පුද්ගලයින්ව නීරෝධායනය කල යුතු බවටත් පාර්ලිමේන්තු මැතිවරණ සමයේ විපක්ෂය විසින් මට අවමන් කරමින් සමාජ මාධ්‍ය තුළ විවිධ ව්‍යාජ පුවත් නිර්මාණය කෙරුණි. මෙවැනි සිදුවීම් මගේ දේශපාලන ගමනට විශාල බලපැමක සිදු කලා’ යනුවෙන් විපක්ෂ නායක සම්බන්ධීකරණ ලේකම් උමා චන්ද්‍රප්‍රකාශ් පවසයි.
‘මා සමග දේශපාලනයේ නිරත අනෙක් සියලු දේශපාලකයින් වහෙන් හොරා ඔවුන්ගේ වෛරී ප්‍රකාශයක් මා කෙරෙහි යොමු කරනවා. මාගේ භාෂාව, ඇදුම් විලාසිතා, මා ඇවිදින ආකාරය, මාගේ වයස පදනම් කරගනිමින් ව්‍යාජ පුවත් නිර්මාණය කර ඒවා සමාජ තුළ හා සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කිරීම මගින් මට බලපෑම කල හැකි යැයි ඔවුන් සිතනවා. මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවත් නිර්මාණය කරන්නේ පෞද්ගලිකව මා පිළිබඳව කිසිදු තොරතුරුක් හෝ නොදන්නා පුද්ගලයින් වීම කනගාටුවට කරුණක්. යම්කිසි කාන්තාවක් දේශපාලනයේ නිරතවීමට නම් ඇය අනිවාර්යයෙන්ම දේශපාලනය පසුබිමක් සහිත තැනැත්තියක් විය යුතුය, නැතහොත් වයසින් වැඩිමහල් ස්ත්‍රීයක් විය යුතුය, එසේත් නොමැති නම් වෙනත් පිරිමි දේශපාලකයෙකුගේ යටතේ පමණක් තම දේශපාලන කටයුතු සිදුකල යුතුයි යන්න වැරදි ආකල්පයන් සමාජයේ බහුතරයක් දෙනා තුල දක්නට ලැබේ. එවැනි හේතූන් නිසාවෙන් කාන්තා දේශපාලන චරිත වටා ව්‍යාජ පුවත් බහුලව නිර්මාණය වේ’ යනුවෙන් කොළඹ මහනගර සභා මන්ත්‍රීනි ගායත්‍රී වික්‍රමසිංහ පවසයි.
‘මට පුත්තලම් නගර සභාවේ පක්ෂ සාමාජිකත්වය ලැබුණේ බෝනස් ආසන ක්‍රමය යටතේ. එමෙන්ම පුත්තලම් නගර සභාවට තේරී පත්වූ ප්‍රථම දේශපාලන කාන්තා නියෝජිතවරිය මමයි. ඒ අනුව මට සාමාජිකත්වය ලබාදුන් පක්ෂය පිළිබඳවත්, අයවැය පිළිබඳව මනාප විමසීමේදී මාගේ තනි තීරණය ප්‍රකාශ කිරීමට උත්සහ කිරීමේදී මාගේ ජාතිය, ආගම වැනි කාරණා පදනම් කරගනිමින් මා කාන්තාවක් බවට හංවඩු ගසමින් මට විරුද්ධව නානාප්‍රකාරයෙන් වෛරී ප්‍රකාශයන් සිදු කරනු ලැබුවා’ යනුවෙන් පුත්තලම් නගර සභා මන්ත්‍රීනි යමීනා පවසයි.
‘මම මැතිවරණයට ඉදිරිපත්වීමට පෙර ඒ සඳහා ශක්තිමත්ව සූදානම්ව සිටියා. නමුත් විපක්ෂය විසින් මා ඉලක්ක කරගෙන සාක්ෂි නොමැති විවිධ චෝදනාවන් එල්ල කිරීම නිසා මැතිවරණ සමයේ ප්‍රචාරණ කටයුතු වලින් මා වටා එක්රොක්ව සිටි දේශපාලනය පිළිබඳව උනන්දු බොහෝ කාන්තාවන්ට මා සමග එක්ව ගමන් කිරීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වුණා. නමුත් මා ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකර මාගේ ගමන දිගටම ගියා. මේ පිළිබඳව අවධානයෙන් පසුවූ විපක්ෂය විසින් මාගේ දේශපාලන ගමනට අවහිර කරනුවස් මාගේ නමේ මාගේ ස්වාමිපුරුෂයාගේ නම අඩංගු නොවන බවට මට විරුද්ධව ප්‍රචාරණ කටයුතු දියත් කලා” යනුවෙන් අන්නා චන්ද්‍රසේකරන් කම්කරු පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතීඥ අනූෂා චන්ද්‍රසේකරන් පවසයි.
සාමාන්‍යයෙන් මැතිවරණ සමයේදී කාන්තාවන්ට විරුද්ධව වෛරී ප්‍රකාශයන් සිදු කිරීම බහුලව දැකගත හැකිය. පාර්ලිමේන්තු මැතිවරණ කාලසීමාවේදී (ජූනි මස 05 සිට අගෝස්තු මස 14 දක්වා) මැතිවරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් සිදු කරන ලද වෛරී ප්‍රකාශයන් නිරීක්ෂණ කිරීමේ රාජ්‍ය නොවන සංවිධානයක් වන “හැෂ්ටැග් ජෙනරේෂන් සංවිධාන” (Hashtag Generation) විසින් නිකුත් කරන ලද නිරීක්ෂණ වාර්තාවට අනුව සිංහල, දමිළ හා මුස්ලිම් යන ජාතීන්ට විරුද්ධව සිදුකර ඇති ද්වේශ සහගත ප්‍රකාශයන්ට සාපේක්ෂව ඉන් 3%ක් කාන්තාවන් ඉලක්ක කරගත් වෛරී ප්‍රකාශයන් බව හඳුනාගෙන ඇත.
(https://drive.google.com/file/d/1qQKubeK1HtAtom3J5v2BKoQ5hToH9ma_/view )
දේශපාලනයේ නිරත කාන්තාවන් වටා වෛරී ප්‍රකාශයන් නිර්මාණය වන්නේ ඇයි?
“සමාජ මාධ්‍ය ඔස්සේ පතුරවා හරිනු ලබන ව්‍යාජ පුවත් බොහොමයක් දේශපාලන පක්ෂ සමග සමීපව කටයුතු කරන පුද්ගලයින් විසින් සැලසුම් සහගතව නිර්මාණය කරනු ලබයි. ඒවායේ යොදා ඇති වචන භාවිතයන් මගිනුත් ප්‍රචණ්ඩත්වය උත්සන්න කරයි. මෙවැනි ද්වේශ සහගත ප්‍රකාශයන් ඇසීම හා සමාජ මාධ්‍ය තුළින් ඒවා කියවන්නන් එම තොරතුරු සත්‍ය බව විශ්වාස කරනවා පමණක් නොව එතුළින් දේශපාලනික වශයෙන් අප කෙරෙහි වැරදි ප්‍රතිරූපයක් ද නිර්මාණය වේ. මෙවැනි වෛරී ප්‍රකාශයන් නිර්මාණය කරන්නන්ගේ හා ඒවා බෙදාහරින්නන්ගේ එක අරමුණ එය බව පෙනේ. එපමණක් නොව මෙය තනි පුද්ගල මානසික නිදහසට සෘජුවම බලපෑම් එල්ල කරයි” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
“කාන්තාවක් දේශපාලනයට අවතීර්ණ වීමේදී සමාජයේ ජීවත්වන අනෙකුත් සාමාජිකයින් ඇයට විරුද්ධව සිදු කරන වෛරී ප්‍රකාශයන් හේතුවෙන් ඇයට විවිධ අභියෝගාත්මක බලපෑම් ඇති වේ. කාන්තාවන් බහුතරයක් දේශපාලන ක්ෂේත්‍රයට යොමු නොවීමට එයත් ප්‍රබල හේතුවකි” යනුවෙන් කොළඹ මහනගර සභා මන්ත්‍රීනි ගායත්‍රී වික්‍රමසිංහ පවසයි.
‘උතුරු නැගෙනහිර ප්‍රදේශයන්වල ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දමිළ ජනතාවගේ උරුමයන් වෙනුවෙන් දේශපාලනයේ නිරතවන්නන්ට මූලිකත්වයක් ලබාදී තිබුණි. එතුලින් මැතිවරණයන්වලදී අනුකම්පා මනාප ලබාගෙන තේරී පත්වූ කාන්තා දේශපාලන නියෝජිතවරියන් නැතහොත් දේශපාලනයට අවතීර්ණ වන කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයා හෝ පිය පාර්ශවය යනුවෙන් ඇය වටා සිටින පුරුෂයින්ගේ හැසිරීම පිළිබඳව පූර්ව නිගමනයකට පැමිණීම මගින් තීරණයන් ගැනීමට බොහොමයක් ජනතාව පෙළඹී සිටියහ. ඒ අනුව කිසිදු දේශපාලනය පසුබිමක් නොමැතිව සාමාන්‍ය පවුල් පසුබිමක් සහිත කාන්තාවක් මන්ත්‍රීවරියක ලෙස ජාතික පක්ෂයකින් හෝ දමිළ දේශපාලන පක්ෂයක් මගින් දේශපාලනයට අවතීර්ණ වීමට උත්සාහ කිරීමේදී මෙවැනි වෛරී ප්‍රකාශයන් ඇයට විශාල තර්ජනයක්” යනුවෙන් විපක්ෂ නායක ප්‍රධාන සම්බන්ධීකරණ ලේකම් උමා චන්ද්‍රප්‍රකාශ් පවසයි.
“වතුකර ප්‍රදේශයේ ජීවත්වන කාන්තාවන්ගෙන් බහුතරයක් එනම් 75% පමණ පිරිස වතු ආශ්‍රිතව තේ දළු නෙලන කම්කරුවන් ලෙසත්, ඉතිරිය වෙනත් රැකියාවල නිරතවන්නන් හා රැකියා විරහිත පිරිස ලෙස විවිධ මට්ටම්වල ජීවත් වන බව හඳුනාගත හැකිය. නමුත් ඕනෑම කම්කරුවෙකු තමන් අයත් කම්කරු සංගම්වල නීතිරීතීන්වලට යටත්ව කටයුතු කරන්නේ යම්සේද මොවුන්ද කුමන හෝ මාර්ගයකින් වතු හිමියන්ගේ හා කම්කරු සමිති සංගම්වල ඉහළ නිලධාරීන්ගේ අණට කීකරුව කටයුතු කිරීමේ වාතාවරණයක් ඔවුන් ජීවත්වන සමජ වටපිටාව විසින්ම ගොඩනංවා ඇත. මෙවැනි ප්‍රදේශයන්වල ජීවත්වන කාන්තාවන් උද්වේගකර හා බලවත් ගති ලක්ෂණයන්ගෙන් යුක්ත වන නමුත් එම කාන්තාවන්ට තමා දැනට ජීවත්වන සමාජ සීමාවෙන් ඔබ්බට ගොස් සමාජයේ වැජඹීමට තරම් සුදුසු වාතාවරණයක් මේ වනතෙක් නිර්මාණය වී නැත. මේ හේතුව නිසාවෙන්ම කාන්තාවන් තමන්ව යම් කිසි රාමුවකට පමණක් සීමා කරගනිමින් ඔවුන් විසින්ම බැදීම් සමුදායක් නිර්මාණය කරගෙන ඒවටා පමණක් ජීවත්වන නිසා ඔවුන්ට සාර්ථකව දේශපාලනයේ අවතීර්ණ වීමට නොහැකි පසුබිමක් නිර්මාණය වී තිබේ. මේ සියලු අභියෝගයන් අතික්‍රමණය කරමින් දේශපාලනයේ නිරතවීමට උත්සාහ කරන කාන්තාවන්ට එරෙහිව විවිධ අවලාදයන්, වෛරී ප්‍රකාශයන් සිදු කිරීම හා ප්‍රචණ්ඩකාරී හැසිරීම් රටා උද්දීපනය කිරීම හේතුවෙන් ඇය කායික හා මානසික වශයෙන් දුර්වල වී දේශපාලනයේ දිගින් දිගටම නිරතවීමට නොහැකිව චකිතයකින් පසුවේ” යනුවෙන් නීතිඥ අනූෂා චන්ද්‍රසේකරන් පවසයි.
ශ්‍රී ලාංකික ජනගහනයෙන් බහුතරයක් (52%) කාන්තාවන්ය. එනමුත් මෙරට දේශපාලනයේ තවමත් කාන්තා නියෝජනය අවමය. මෙරට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය හුදෙක් 5.38% පමණි. වර්ෂ 1931 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දීමත් සමඟම පුරුෂ පාර්ශ්වයට මෙන්ම කාන්තාවන්ටත් සමාන අයිතිවාසිකම් ලබා දෙන ලදී. බොහෝ සංවර්ධිත රටවල්වල පවා එරට කාන්තාවන්ට මැතිවරණවලදී ඡන්ද අයිතිය ලබාදී නොමැති පසුබිමක, විදේශිකයන්ගේ යටතේ විජිතයක්ව පැවති රටවල් අතරින් මැතිවරණවලදී කාන්තාවන්ට සිය මනාපය පල කිරීමට අවස්ථාව ලබා දුන් පළමු රට ශ්‍රී ලංකාවයි. මෙවැනි පැරණි විශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන රටක් වුවත් දකුණු ආසියාවේ අවම කාන්තා දේශපාලන නියෝජනය සහිත රට ලෙස අදටත් ලංකාව සැලකේ.
කාන්තාවක් දේශපාලනයේ නිරත වීම අත්‍යාවශ්‍ය වන බවට මානසිකත්වය ඇය විසින්ම දැනටමත් ඇති කරගෙන බොහෝ කල් ගත වී ඇත. දැන් ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ තම හැකියාව හා ධෛර්යයට ගැලපෙන ඔවුන් සමග එකහා සමානව දේශපාලනයේ නිරත විය හැකි නැතිනම් දේශපාලනය පිළිබඳව විවෘතව කතා කිරීමට සමත් සමාජයකි. එහිදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව බෙදීම් ඇතිවන ආකාරයෙන් වෛරී ප්‍රකාශයන් ව්‍යාප්ත කිරීමෙන් තොරව ඊට සරිලන නීරෝගිමත් දේශපාලනය පසුබිමක් නිර්මාණය කිරීම අප සැමගේ යුතුකමයි.