ශ්‍රී ලංකාවේ වාර්ගික සහ ආගමික සංහිඳියාව සහ එහි අභියෝග
ශ්‍රී ලංකාව යනු බහු සංස්කෘතික රටකි. මෙම සංස්කෘතික විවිධත්වය නිසා රට තුළ සාමය ස්ථාවරත්වය සහ සංවර්ධනය පවත්වාගෙන යාම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු වේ. එනම් රටේ අභ්‍යන්තර ආරවුල් සහ බෙදුම් අවම කර, සියලු ජනයා අතර විශ්වාසය, කරුණාව සහ අවබෝධය ගොඩනඟමින්, එක් එක් ජනතා කණ්ඩායම්වලට සමාජයේ නිදහස් හා සාධාරණ සහභාගිත්වයක් තහවුරු කිරීම අවශ්‍ය වේ. ඒ හරහා රටෙහි සමාජීය, ආර්ථික හා සංස්කෘතික ආදී ක්ෂේත්‍ර රැසක සංවර්ධන කාර්යයන් වේගවත් වනු ඇත. ඒ අනුව වාර්ගික හා ආගමික සංහිඳියාව යනු විවිධ ජාතීන් හා ආගම් අතර සන්සුන් සහ යහපත් සබඳතාවයන් නිර්මාණය කිරීමයි.
නිලක්ෂිකා ලක්ෂානි
අතීත ශ්‍රී ලංකාව එකිනෙකට වෙනස් වූ සංස්කෘතික හා ආගමික පසුබිමක් සහිත රටක් විය. එනම් අතීතයේ සිට අද දක්වා ශ්‍රී ලංකාව තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම් යනාදී විවිධ ජන කණ්ඩායම් සහජීවනයෙන් ජීවත් වෙමින් ඇත. ආගමික හා සංස්කෘතික විවිධත්වය පිළිබිඹු කරමින් ශ්‍රී ලංකාවේ ආගමික ස්ථාන, සංස්කෘතික හර පද්ධතීන්, ඓතිහාසික උරුමයන් අතීතයේ සිට රට තුළ සංහිඳියාව ගොඩනැගීම උදෙසා මහඟු කාර්යභාරයක් ඉටු කර ඇත.
මීට අමතරව සාහිත්‍ය හා කලාව, ජාතික හා අන්තර්ජාතික වෙළදාම මෙරට සංහිඳියාත්මක සබඳතා ශක්තිමත් කළේය. නිදසුනක් ලෙස මූර්තියෙන් කලා ක්ෂේත්‍ර සහ භාෂාව ඔස්සේ සිංහල හා දෙමළ ජන කණ්ඩායම් අතර සබඳතා වර්ධනය විය.
ඒ අනුව බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන දළදා මාලිගාව, ශ්‍රී පාදස්ථානය මෙන් ම කතරගම දේවාලය, මඩු දේවස්ථානය ආදී ආගමික සිද්ධස්ථාන සහ සිංහල-දෙමළ අලුත් අවුරුද්ද ආදී සංස්කෘතික වටිනාකම් තුළින් සංහිඳියාවේ පාලම නිර්මාණය වේ.
රට තුළ වාර්ගික හා ආගමික සංහිඳියාව පවත්වා ගැනීමේ වැදගත්කම සලකා බැලීමේදී, එය රටෙහි සංස්කෘතික වටිනාකම්වලට හා සංචාරක ආකර්ෂණයන්ට ප්රමුඛත්වයක් ලබා දෙයි. ලංකාවේ විවිධ ආගමික හා සංස්කෘතික උරුමයන් ලෝක සංචාරකයන්ට ආකර්ශනයක් දක්වයි. එමගින් විදේශ විනිමය රට තුළට ගලාගෙන එන අතර ඒ හරහා දේශීය ආර්ථිකය සංවර්ධනය වේ. ඒ අනුව බහු සංස්කෘතික සමාජයක් සහිත ශ්‍රී ලංකාවේ ජනතාව අතර සාමකාමී සමාජයක් නිර්මාණය කිරීමෙහිලා සංහිඳියාව යනු බලවත් මෙවලමකි.
සංහිඳියාව ගොඩ නැඟීමට අභියෝග තිබේද?
වර්තමාන ශ්‍රී ලංකාවේ වාර්ගික හා ආගමික සංහිඳියාව ගොඩනැගීමෙහිලා අභියෝග කිහිපයක් පැන නැගී ඇත. ඒ අතරින් ප්‍රධාන වන්නේ විවිධ මතභේද සහ දේශපාලන බලපෑම් ය. 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ ප්‍රාස්කු ප්‍රහාරය ඊට හොඳම නිදසුන වේ. ඇතැම් දේශපාලන කණ්ඩායම් ජාතිවාදය හා ආගමික මතභේදයන් යොදා ගනිමින් ප්‍රජාව අතර විරැසකය ගොඩ නැගීමට කටයුතු කරයි.
සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වන අන්තවාදී, වෛරී ප්‍රචාරණයන් සහ අසත්‍ය ප්‍රචාරණ තුළින් ජන කණ්ඩායම් අතර අසමගිය, සැකය වර්ධනය කිරීමට කටයුතු කරයි. මෙය සමාජයේ සාමයට ප්‍රබල තර්ජනයකි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ විවිධ ආගමික හා වාර්ගික කණ්ඩායම් අතර ඇති එකමුතුව සහ සංස්කෘතික, ආගමික සංහිඳියාව රටේ සමාජීය හා ආර්ථික ප්‍රගතියට මූලික කාරණාවක් බවට පත් වී ඇත. සාමය හා විශ්වාසය ශක්තිමත් කර ගැනීම සඳහා අධ්‍යාපන වැඩසටහන් නීතිය ආරක්ෂාව හා බැඳුණු මූලික අයිතිවාසිකම් පිළිබඳ විශ්වාසය ජනතාව තුළ ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකාව තුළ විවිධ ජන කොටස් අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව සාමයෙන් හා සමඟියෙන් විවිධ ආගම් අදහමින් සුහදත්වයෙන් යුතුව ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජීවත් වන අතර එම තත්වය තවදුරටත් වර්ධනය කිරීම හා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ජනතාව අතරට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව තුළ විවිධ රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන කටයුතු කරයි. එම ආයතන අතර රතුකුරුස සංවිධානයේ කාර්යභාරය උචිත නිදසුනකි.
එසේම මෙම වාර්ගික හා ආගමික සංහිඳියාව ගොඩනැගීමේ අරමුණින් විවිධ දාර්ශනික මත සමාජගත වී තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ බොහෝ උගත් වියතුන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සමාජ සංහිඳියාව වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන දාර්ශනික මත උපයෝගී කොටගෙන සිය අදහස් ඉදිරිපත් කරන්නට විය. නිදසුනක් ලෙස කළු- සුදු වාර්ගික ගැටුම් සමනය කළ දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ ක්‍රියා පිළිවෙල ශ්‍රී ලංකාවේ විවිධ වාර්ගික මත ගැටුම් සමනය කිරීම සඳහා භාවිතයට ගත් ආකාරයන් දැක ගත හැක.
මීට අමතරව ජාති ආගම් භේද දුරලා ශ්‍රී ලංකාවේ සමාජය තුළ වාර්ගික හා ආගමික සංහිඳියාව ගොඩනැගීම උදෙසා පාසල, පන්සල හා පල්ලිය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ඉරුදින දහම් පාසල් සිය කාර්යභාරය අදිටනින් ඉටු කිරීම වැදගත් වේ. මෙහිදී පාසලේදී විෂය මාලාවට අනුබද්ධව විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් සමාජ සංහිඳියාව සංවර්ධනය වන ආකාරයට කටයුතු කළ යුතුය. එය පෙර පාසල් අවධියේ සිට සිසුවාට පුරුදු පුහුණු කළ යුතු දෙයකි. එම ක්‍රියාකාරකම් අතර බිත්ති චිත්රණය කිරිම, ශ්‍රමදාන පැවැත්වීම, චිත්‍ර ප්‍රදර්ශනය, විථි නාට්‍ය, කැලිප්සෝ ගීත, වේදිකා ප්‍රසංග ආදිය සිදු කිරීම සමාජය තුළ දැක ගත හැක. මෙවැනි ක්‍රියාකාරකම් හරහා සිසුන් කුඩා කාලයේ සිට ම යහපත් ලෙස සමාජානුයෝජනය වේ. ඒ හරහා ශ්‍රී ලංකාව තුළ වාර්ගික හා ආගමික සංහිඳියාව ගොඩනැගිය හැකි බව නොඅනුමානය.
ඒ අනුව මීට වසර 2000 කට පමණ ඉහත ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධනය පිලිබඳ සංකල්පය ක්‍රියාවට නැංවීමට කටයුතු කළ අතර ඒ හරහා කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන ඇත. නමුත් කලින් කලට ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසන, වසංගත තත්ත්ව හමුවේ එම තිරසර සංවර්ධනය අවම මට්ටමකට පත් වී තිබීම කණුගාටුවට කරුණකි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඉපැරණි රාජධානි විසින් නිර්මාණය කරන ලද කෘෂිකාර්මික ආර්ථිකය, පරිසර කළමනාකරණය, විනයගරුක සමාජය සමඟි දැඩි ලෙස ඒකාබද්ධ වී තිබේ. විශේෂයෙන් ම ලංකාවේ ජීවත් ව සිටි මුතුන් මිත්තන් විසින් අනුගමනය කරන ලද මෙම ක්‍රියාදාමයන් භාවිත කිරීම නිසා අපේ රටේ පාරිසරික හා ආර්ථික තිරසාරත්වය සේ ම සමාජ හා සංස්කෘතික මෙන්ම ආගමික ස්ථාවරත්වය ද ලබා තීබීම විශේෂත්වයකි.
ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි, යන පැරණි සමාජ සංකල්පය හරහා ශ්‍රී ලංකා සමාජය තුළ වාර්ගික හා ආගමික සංහිඳියාවක් හා මනා ක්‍රියාන්විතයක් තහවුරු කර තිබේ. අපේ ජනතාව ගහකොළට සේ ම සියලු ම ජීවීන්ට එනම් මිනිසුන්ට මෙන් ම සත්ත්වයන්ට ද ගරු කිරීමට පුරුදු වූයේ පුරාතන රාජ්‍ය පාලනයෙහි සදාචාරාත්මක නීතියේ සංකේත රට තුළ මුල් බැසගෙන පැවත ආ නිසා බව නොරහසකි. මේ ආකාරයට අතීතය සහ වර්තමානය අධ්‍යයන කිරීම ඇසුරෙන් ශ්‍රී ලංකාවේ අනාගතය පහසුවෙන් ගොඩනඟා ගැනීමට හැකිය.