වෛරී ප්‍රකාශ

වෛරී ප්‍රකාශයේ අස්වැන්න- රුවන්ඩාවේ ජන සංහාරය

එම්.එස්.එම්.අයුබ්

දින සියයක් තුළ අට ලක්ෂයක් ටුට්සි ගෝත්‍රිකයින්ට මරු කැඳවූ 1994 රුවන්ඩාවේ සමූහ ඝාතනයට වගකිව යුත්තන් ලෙස ජාත්‍යන්තර විභාගයකදී නම් කනු ලැබූ පුද්ගලයිනගෙන් අයෙක් පසුගිය වසරේ මැයි 16 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. ෆිලීසියන් කබූගා නම් වූ ඔහු රුවන්ඩාවේ සිටි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් මෙන්ම එරට ආර්.ටී.එම්.එල් නම්වූ ගුවන් විදුලි සේවයේ නිර්මාතෘවරයාද විය.
එම ගුවන් විදුලිය ටුට්සි ගෝත්‍රිකයින්ට එරෙහි ප්‍රහාරවලට පෙර හා ප්‍රහාර සිදු වූ මාස තුන තුළ රුවන්ඩාවේ මහ ජාතිය වූ හූටූ ප්‍රහාරකයින්ගේ ප්‍රධාන ප්‍රචාරක ආයුධය විය. ඒ මහා විනාශයෙන් පසු වසර 26ක්ම කබුගා ලෝකයේ බොහෝ රටවල ආරක්ෂක ජාලවල ඇසට වැලි ගසමින් ආරක්ෂා වීමට සමත් විය.
ටුට්සින්ට හා මධ්‍යස්ථ මතධාරී හූටූ වැසියන්ට එරෙහි සමූහ ඝාතනයට ආසන්න හේතුව වශයෙන් 1994 අප්‍රේල් 6 වැනිදා රුවන්ඩාවේ ජනාධිපති ජුවෙනල් හබ්යරිමානා රැගත් ගුවන් යානය එරට අගනුවර වන කිගාලි අසලදී කඩා වැටීම සැලකුණද, ටුට්සි විරෝධි දරුණු වෛරයක් ඒ වනවිටත් ආර්.ටී.එම්.එල් ගුවන් විදුලියෙන් හූටූ වැසියන් තුළ ගොඩ නගනු ලැබ තිබිණි. එම ගුවන් විදුලිය ආරම්භ කෙරුණේද ටුට්සි විරෝධි ප්‍රචාරය සඳහාමය.
ඕනෑම රටක වෛරී ප්‍රකාශ ඉදිරියට යන්නේ ව්‍යාජ පුවත් සමඟ එකට අත්වැල් බැඳගෙනය. ජනකොට්ඨාසවලට එරෙහි වෛරයේ පදනම වන්නේ බොරු ප්‍රචාරයි. “හූටූ ගෝත්‍රිකයින් විනාශ කිරීම හෝ වඳ කර දැමීම සඳහා වූ කුමන්ත්‍රණ” පිළිබඳ වූ වෛරයෙන් පිරුණු බොරු ප්‍රචාරවලින් ආර්.ටී.එම්.එල් ගුවන් විදුලියේ වැඩ සටහන් පිරී පැවතිණි. “ඔවුන්ගේ ජනගහනය අසාමාන්‍ය ලෙස වැඩි වේ, ඔවුන් කවදා හෝ මේ රටේ බහු ජාතිය වනු ඇත, ඔවුහු අපේ සංස්කෘතිය විනාශ කරති” යනාදිය එම ගුවන් විදුලි වැඩ සටහන්වල තේමාවන් විය. ආර්.ටී.එම්.එල් ගුවන් විදුලියේ මෙම තේමා ඉතා ජනප්‍රිය වීම නිසා එම ගුවන් විදුලියට ඉතා පහසුවෙන් තම ජනඝාතක පණිවිඩය රට පුරා සෑම නිවසකටම රුගෙන යාමට හැකි විය.
ඒ අනුව 1994 අප්‍රේල් මාසය වන විට දහස් ගණන් ටුට්සි නිවෙස් දවා අථ කර දමන්නට වාර්ගික බෙදීමේ කුමක් හෝ එක් පැත්තකින් අනෙක් පැත්තට කුඩා ගල් කැටයක් වීසි කිරීම පමණක් වුව ප්‍රමාණවත් වන තත්ත්වයක් නිර්මානය වී තිබිණි. 1994 අප්‍රේල් 6 වැනිදා හබ්යරිමානාගේ ගුවන් යානය කඩා වැටීමෙන් කුඩා ගල් කැටයක් නොව මහා හෙන ගෙඩියක්ම ටුට්සීන්ගේ හිස මත කඩා වැටිණි. අසත්‍ය හා වෛරී ප්‍රකාශ කෙතරම් විනාශකාරීද යන්න පිළිබඳ ලෝක ඉතිහාසයෙන් සොයා ගත හැකි හොඳම උදාහරණයක් වන්නේ රුවන්ඩාවේ මහා ජන සංහාරයයි. මේ අයුරින්ම ඕනෑම රටක වර්ගවාදී ගැටුම් දෙස කරන සමීප නිරීක්ෂණයකදී පෙනෙන්නේ එම අපරාධවලට පූර්වගාමීව එක් ජන කොට්ඨාසයකට එරෙහිව තවත් ජන කොට්ඨාසයක සිත් වෛරයෙන් පුරවා ලන ප්‍රචාරක ව්‍යාපාරයක් පැවැතී ඇති බවය. ශ්‍රී ලංකාවේ 1958 ජාතිවාදී කෝලාහලවලට පෙර සිංහල භාෂා පනත හා ශ්‍රී විරෝධය ඔස්සේ එවන් තත්ත්වයක් ඇති විය. 1976 බෙදුම්වාදී වට්ටුක්කෝට්ටයි යෝජනාව නිසා ඇති වූ ප්‍රතිවිරෝධී ප්‍රචාරයන් 1977 පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඔස්සේ ජාතිවාදී ප්‍රහාරයනට මඟ පෑදීය. 1983 කෝලාහලවලට පෙර පළවූ පුවත්පත් පෙරළා බැලුවහොත් එකලද මෙවැනි ඇවිස්සීම් තිබුණු බව පෙනී යනු ඇත. 2012 සිට හලාල් ප්‍රශ්නය හා ගව ඝාතනය ආදිය පිළිබඳ ඇති වූ අප්‍රසන්න ප්‍රචාරයේ අනිවාර්ය ප්‍රතිඵලය වූයේ 2014 අලුත්ගම, බේරුවල ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියායි. 2019 පාස්කු ඉරිදා කිතුණු දේවස්ථානවලට හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් සති තුනකට පසු මිනුවන්ගොඩ හා ඒ අවට ප්‍රදේශවල මුස්ලිම් ජනතාවගේ දේපළවලට විශාල වශයෙන් හානි කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා ඇති විය. එය ඇතැම් විද්‍යුත් මාධ්‍යවලින් මෙරට මුස්ලිම් ජනතාවට එරෙහිව කෙරුණු ඉතා දරුණු වෛරී ප්‍රචාරයක ප්‍රතිඵලයක් බව ඉතා පැහැදිලිය. මේ සෑම තැනකදීම වගඅත්තරකරු වූයේ සදාචාර විරෝධි මාධ්‍ය භාවිතයයි. එක්තරා දුරකට හෝ මෙම තත්ත්වය සමනය කළ හැක්කේ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ පුථල් කතිකාවක් සමාජගත කිරීමෙන් පමණි

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts