වෛරී ප්‍රකාශ

වෙනස්කොට සැලකීම ආයතනගත කළ වෛරසය (1 කොටස)

නෙවිල් උදිත වීරසිංහ 

යුද්ධයෙන් පසු මෑත ඉතිහාසය තුළ ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව පැන නැගුනු වාර්ගික ආතතිය සම්බන්දයෙන් ප්‍රධාන හැරවුම් ලක්ශ තුනක් අපට හදුනාගත හැකිය. 2014 ජූනි 15 දින  අලූත්ගම ප්‍රදේශයේ දී  මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයක් හට ගැනිණි.  අනතුරුව 2018 දී නුවර දිගන ප්‍රදේශයේ ඇතිවූ මුස්ලිම් විරෝධී කලහාකාරී ක්‍රියාකාරකම් සහ 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇතිවූ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩකාරී සිදුවීම් මෙම ප්‍රධාන හැරවුම් ලක්ෂයන් වශයෙන් හදුනාගත හැකිය. ලංකාවේ පැවති සිවිල් යුධ සමයේදී සිංහල බෞද්ධ අන්තවාදී කොටස් විසින් සිංහල සමාජයේ අනෙකා වශයෙන් හදුනා ගැනුනේ දෙමළ ජනයාය, එය යුද්ධය අවසන්වීමත් සමග ක්‍රමානුකූලව  මුස්ලිම් ජනයා වෙතට විතැන් වූ අයුරු ඉහත සිදුවීම් හරහා අපට පැහැදිලිවේ.  ලංකවේ කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය තුලද සිංහල සමාජයේ අන්තවාදී පිරිස් විසින් මුස්ලිම් ප්‍රජාව තම අනෙකා නැතිනම් තම සතුරා වශයෙන් නිර්මාණය කෙරුනු අයුරු අපට නිරීක්ෂනය කළ හැකිය. මෙම ලිපිය තුළ සාකච්ජා කරන්නේ කොවිඩි-19 පළමු රැල්ලත් සමග ලංකාවේ මුස්ලිම් ජනයා අනෙකෙකු වශයෙන් නිර්මාණය කෙරුනු ආකාරයයි. 

2020 මාර්තුමාසයේදී ලංකාව තුළ පළමු කොවිඩ්-19 රැල්ල පැන නැගීමත් සමග මුස්ලිම් ජනයාට එරෙහිව කොවිඩ්-19 තත්වය හා බැදුනු වෛරී ප්‍රකාශයන් සමාජ මාධ්‍යන් තුළත්  ප්‍රධාන ධාරාවේ මාධ්‍යන් තුලත් ප්‍රකාශයට පත්වූ අයුරු අපට නිරීක්ෂනය කළ හැකිය. මෙම තත්වය අපට ජාත්‍යන්තර වශයෙන්ද නිරීක්ෂනය කළ හැකි විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම තහවුරු කරන ලද COVID-19 සිදුවීම 2020 මාර්තු 2 වන දින වාර්තා වූ අතර, 2020 මාර්තු 14 දින “පොලිස් ඇඳිරි නීතිය” පනවන ලදී. කොවිඩ්–19 පැතිරීමේ මුල් අවධියේ සිටම, ලංකාවේ සිවිල් සමාජය, මුස්ලිම්වරුන්ට එරෙහි වෛරී ප්‍රකාශයන් සහ සතුරුභාවය ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යන් තුළ පුළුල් ලෙස පැතිරී යෑම සම්බන්දයෙන් සැලකිලිමත් වූයේ කොවිඩ්-19 ආසාදනය වීමෙන් හෝ වෛරසය ආසාදනය වීම නිසා මෑතදී මියගියා යැයි සැක කරනු ලබන පුද්ගලයින්ගේ ආගමික අනන්‍යතාවය පිළිබඳව ජනතාවගේ අවධානය යොමුවීම නිසා සහ කොරෝනා වෛරසය ව්‍යාප්ත කරන්නන් වශයෙන් ඔවුන්ට චෝදනා එල්ලවූ නිසාය (CPA). 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  44 වන සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් කියා සිටියේ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අපකීර්තියට පත්කරන වාර්ථාවන් සම්බන්දයෙන් ඇය කලකිරීමට පත්ව ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ, සුලුතර මුස්ලිම්  ප්‍රජාවේ සාමාජිකයින්ව COVID-19 සම්බන්දයෙන් අපකීර්තියට පත්කිරීමෙන් හා වෛරී ප්‍රකාශයන් හරහා ඉලක්ක කෙරෙනවා” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා සිය මානව හිමිකම් පිළිබඳ ගෝලීය තත්වය සහ COVID-19 වසංගතයේ බලපෑම පිළිබඳව පැහැදිලිකරමින් ප්‍රකාශ කලේය. 

2020 වසරේදී ආගම හෝ විශ්වාසය මත පදනම් වූ නොඉවසීම සහ වෙනස් කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාගේ වාර්තාවට ඉදිරිපත්කිරීමට පෙර ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට දිගින් දිගටම හිංසා පීඩා කිරීම පිළිබඳ වාර්තාවක් නිකුත් කෙරිනි (Tamil Guardian). 2020 ජුනි 16 වන දින නිකුත් කරන ලද මෙම වාර්තාව මගින් මුස්ලිම්වරුන්ට දිගින් දිගටම සිදුවන ප්‍රචණ්ඩත්වයන් සහ වෙනස් කොට සැලකීම් ඉස්මතු කරන අතර ඒ යටතේ කොවිඩි-19 වසංගතය තුළ ද මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදුකෙරෙන වෙනස්කම් පිළිබඳවද සදහන් කෙරිනි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් 2020 දී ඉදිරිපත්කෙරුනු කොවිඩ්–19 තත්වයෙන් මිදීමේ උපාය මාර්ගයන් තුළ ‘මුස්ලිම් ජනගහනය ඔවුන්ගේ ක්‍රමවේදයෙහි විචල්‍යයක් ලෙස හඳුනාගෙන තිබේ‘ එමෙන්ම ‘වාර්තාව මුස්ලිම් ජනගහනයා ඉහල අවධානමක් සහිත ප්‍රජාවක් වශයෙන් නම් කරයි”. වොච්ඩෝග් සංවිධානය විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යේ වාර්ථාව තුළ මුස්ලිම් ජනයා සම්බන්දයෙන් වන වර්ගවාදී ප්‍රවේශය සම්බන්දයෙන් ඔවුන්ට චෝදනා කෙරිනි. එමෙන්ම සමාජ මාධ්‍යන් හි ක්‍රියාශීලීව සිටින ප්‍රගතිශීලී කොටස් විසින් මෙම වාර්ථාව දැඩිලෙස විවේචනය කරන ලදී.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts