අනාවරණ

රසායනික පොහොර තහනම මහ පොළොවේ යථාර්තය

අරුල්කාර්කි

ශ්‍රී ලංකාවේ වී, එළවළු සහ පළතුරු වගාවට මෙන්ම තේ, රබර් සහ පොල් වගාවන් සඳහා ද මහා පරිමාණ ගොවිබිම්වල රසායනික පොහොර භාවිත කෙරිණි. මේ මඟින් දේශීය හා විදේශීය වෙළෙඳපොළට තම නිෂ්පාදන සැලකිය යුතු මට්ටමකින් සැපයීමට ගොවීන්ට හැකි විය. රසායනික පොහොර සහ කෘමි නාශක අස්වැන්න වැඩි කළේය. එහෙත් රසායනික පොහොර තහනම් කිරීමට රජයෙන් ගත් තීරණය බොහෝ ගොවීන්ගේ මනසේ ගැටලු සහගත භීතියක් ඇති කිරීමට හේතු වී තිබේ.


කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ පැහැදිලි කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනේ අරමුණ වන්නේ වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය බවයි. ඒ මත පදනම්ව මේ රසායනික පොහොර නොයෙදීමේ තීරණය ගැනිණි.


ශ්‍රී ලංකාව තුළ රසායනික පොහොර වාර්ෂිකව ටොන් මිලියන 1-3 දක්වා භාවිත කෙරේ. මීට පෙර අඩු ප්‍රමාණයකින් පැවැති එය රජයේ පොහොර සහනාධාරයෙන් පසු දෙගුණ විය. රජය වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් රසායනික පොහොර ආනයනය සඳහා වැය කරයි. එය රුපියල් බිලියන 40ක් ගොවීන් වෙනුවෙන් පොහොර සහනාධාර ලබාදීම සඳහා වැය කරන අතර පෞද්ගලික පොහොර ආනයනකරුවෝ රුපියල් බිලියන 25ක් වැය කරති. තවදුරටත් පාරිසරික බලපෑම සහ ආනයනික රසායනික පොහොර නිසා ඇතිවන රෝග පිළිබඳ අවධානය යොමු කර මේ තීරණය ගන්නා ලදී.


මෙය රජයට විශාල පිරිවැයක් ලෙස හඳුනාගෙන ඇත. එක් අතකින් එය ආනයන සඳහා වියදම දක්වන අතර අනෙක් අතට රසායනික පොහොර නිසා ඇතිවන පිළිකා සහ වකුගඩු රෝගාබාධ සඳහා ප්‍රතිකාරවලටත් ඖෂධ සඳහාත් වැය කරනු ලබන ඇමෙරිකානු ඩොලර් බිලියන 80ක් දක්වයි.


එසේම, පාංශු හායනය සහ ජල දූෂණය වැනි පාරිසරික හානිවල හදිසියේම වැඩි වීමක් ඇති වී ඇති බව ද සොයා ගැනිණි. මේ හේතු මත රජය කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම ආරම්භ කළේය. එහි පළමු පියවර වන්නේ රසායනික පොහොර තහනමයි. එහෙයින් රසායනික ද්‍රව්‍යවලින් තොර කාබනික පොහොර සැපයීමේ යාන්ත්‍රණයක් රජය විසින් ආරම්භ කරන ලද බව කෘෂිකර්ම ඇමැතිවරයා පැවසීය. කෘෂි සංවිධාන පවසන්නේ එවැනි සූදානමක් දක්නට නැති බවයි.

රසායනික පොහොර තහනම සර්වපාර්ශ්වීය තීරණයක්ද?
කන්දසාමිගේ කතාව
හපුතලේ තඹේතැන්නේ පදිංචි කන්දසාමි අවුරුදු 50ක් වයසැති පූර්ණ කාලීන එළවළු වගාකරුවෙකි. ඔහු හෙක්ටයාරයක ඉඩමක් බද්දට ගෙන එළවළු වගා කරයි. “පසුගිය අවුරුදු 30 පුරාම මම කළේ එළවළු වගා කරන එක. අපේ ප්‍රධාන ආදායම් මාර්ගය මේ බදු ඉඩමේ වගාකරන එළවළුවලින් ලැබෙන්නේ. අපි හුඟක් මුදල් ආයෝජනය කළා. මේ වත්මන් පොහොර තහනම අපව ප්‍රශ්න ගොඩක දැම්මා. රසායනික නොයොදන ආහාර නිෂ්පාදනය හොඳ අදහසක්. ඒත් ඒක එකපාරට කරන්න බැහැ. රසායනික පොහොර දිගු කලක් භාවිත කිරීම නිසා අපේ පසේ සංයුතිය වෙනස් වෙලා. ඒ නිසා මෙයින් ක්ෂණිකව කාබනික පොහොරවලට මාරු වෙන එක ලේසි නැහැ.” ඔහු පැවසීය.

“සාපේක්ෂව ගත්තොත් කාබනික පොහොරවලට වඩා රසායනික පොහොර භාවිතයෙන් අපේ අස්වැන්න වැඩි වෙනවා. එය නිෂ්පාදන වියදම අඩු කරන්න හොඳම ක්‍රමයක්. කෘමීන් සහ වල්පැළ විනාශ කරන්න යොදන ස්වාභාවික ක්‍රමවේද රසායනික ද්‍රව්‍ය තරම් ඵලදායී නැහැ. විකල්ප පිළියමක් සොයන්නේ නැතිව ගත් රජයේ තීරණය නිසා අපි විශාල ආර්ථික හානියනට මුහුණ දෙනවා.”


කන්දසාමිට කැරට්, ලීක්ස් ආදිය සඳහා අවශ්‍ය පොහොර සොයා ගැනීම මහත් අපහසුවක් වී තිබේ. ඔහු මේ වන විට වගාව අරඹා ඇත. ඔහු මේ හොඳින් වැඩුණු අස්වැන්න විනාශ වේ දැයි බියෙන් පසුවෙයි. එහෙත් රජය පවසන්නේ මේ වන විට කර ඇති භෝග වගාවන් සඳහා අවශ්‍ය පොහොර ගබඩාවල ඇති බවයි. ඒ අතරම ප්‍රවෘත්තිවල පවසන්නේ පොහොර සඟවාගෙන වැඩි මිලට අලෙවි කළ අය රටේ බො‌හෝ ප්‍රදේශවලින් හසු වූ බවයි.
“රජය එකපාරටම පොහොර තහනම නිවේදනය කළාම, සල්ලි තිබෙන අය තොග පිටින් ගෙනැත් ගබඩා කර ගත්තා. බොහෝ කඩවල් පොහොර හැංගුවා. මේ නිසා දැන් අපේ වගා කර තිබෙන භෝගවලට පොහොර සොයා ගැනීම ඉතා අපහසු වෙලා” කන්දසාමි පවසයි.


කාබනික පොහොර භාවිතයේ ඇති ගැටලුසහගත තත්ත්වය පිළිබඳ කන්දසාමි විස්තර කළේය.
“අපි දැන් භාවිත කරන්නේ විද්‍යාත්මකව සැකසූ බීජ වර්ග. ඒවාට රසායනික පොහොර අවශ්‍යයි. අනෙක් අත‌ට කාබනික පොහොර භාවිත කරනවා නම් අපට බලාපොරොත්තු වන තරම් අස්වැන්නක් ගන්න බැහැ. ඒ වගේම පස කාබනික පොහොර භාවිතයට හුරු වෙන්න ඕනේ. ඊට පසුවයි බීජ වැපිරීම හෝ පැළ රෝපණය කරන්න පුළුවන් වෙන්නේ. මේ පරිවර්තන ක්‍රියාවලිය සඳහා කාලය ගත වනවා වගේම මුදලුත් වැය වනවා. රසායනික පොහොරවලදි එහෙම නෙවෙයි. අස්වැන්න සහ උවදුර අනුව අවශ්‍ය පොහොර ප්‍රමාණය යොදන්න පුළුවන්. කෙටි කාලයකින් හොඳ අස්වැන්නක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට කලක් යයි”


ඔහුගේ දැක්මට අනුව එය සත්‍යය. බීජවල සිට පසේ ආම්ලිකතාව දක්වා සියල්ල රසායනිකවලට හුරු වීමත් එවන් පරිසරයක් තුළ හදිසියේ කාබනික පොහොර යෙදීමත් අස්වැන්නට බලපාන අතර ගත කළ යුතු කාලයද දිගු වනු ඇත.


රජය නිවේදනය කළේ යල කන්නයට ප්‍රමාණවත් පොහොර ගබඩාවල තිබෙන අතර මහ කන්නයේදී යම් හිඟයක් මතු විය හැකි බවයි. එහෙත් කඳුකර පළාත්වල එළවළු වගාව වසර පුරාම එකදිගට සිදුවෙයි. එනිසා දැන් කන්දසාමි වැනි ගොවීන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දෙනු ඇත්තේ කවුරුන්ද?
පොහොර තොග සඟවාගෙන දෙගුණයක් මිලට විකුණන වෙළෙඳුන් සමඟ අපට කළ හැක්කේ කුමක්ද? වැලිමඩ සහ බණ්ඩාරවෙළ ප්‍රදේශ දෙකෙහිම කෘෂි සංවිධාන ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ප්‍රකාශ කර තිබුණේ එකම අදහසකි. රජය මෙය නියාමනය කළ යුතුය.

කාබනික පොහොර කඩිනමින් ලැබෙයිද?
සැඟ වූ පොහොර වැඩි මිලට අලෙවි කිරීමත් සමඟ, ගොම සහ එළු පොහොර සොයා යන විට ඒවායේ මිලද අධික ලෙස ඉහළ ගොස් ඇත. පෙර ගොම පොහොර යම් නිශ්චිත ප්‍රමාණයක් ( ප්‍රාදේශීය මිනුමක්) අලෙවි වුණේ රුපියල් 30/-ත් 50/-ත් අතරය. එහෙත් දැන් ඇති වී ඇති තත්ත්වය යටතේ එහි මිල රුපියල් 200/- සිට 300/- දක්වා පරාසයක වෙයි. මේ පොහොර විශාල පරිමාණයෙන් භාවිත කිරීමට සිදුව ඇති නිසා කන්දසාමි වැන්නවුන් විශාල අර්බුදයකට මුහුණ පා ඇත. ඔහු පවසන්නේ කාබනික පොහොරවලට නිශ්චිත මිලක් නැති නිසා වෙළෙන්දන් උපරිම ඉහළ මිලකට එවා අලෙවි කරන බවයි. රසායනික පොහොර භාවිතය ක්‍රමාණුකූලව අඩු කළේ නම් ජනතාවට කාබනික පොහොර භාවිතය සඳහා සූදානම් විය හැකිව තිබිණි. ගොවි සංගම් පවසන්නේ මෙය තෝරාගත් ප්‍රදේශවල පර්යේෂණාත්මක මට්ටමින් සිදු කළේ නම්, රජයට අභියෝග හඳුනාගැනීමට සහ අවශ්‍ය පියවර ගැනීමට අවස්ථාව උදාවනු ඇති බවයි.

විසඳුම කුමක්ද?
මේ තීරණාත්මක මොහොතේ රජය පවසන්නේ කාබනික පොහොර ආනයනයට උත්සාහයන් ගනිමින් පවතින බවයි. එවන් පසුබිමක, පොහොරවල ගුණාත්මකබව, මිල සහ එහි බලපෑම යන සියල්ල නිර්ණය කළ යුතුව තිබේ. එසේම කාබනික පොහොර පිටරටින් ආනයනය කරන විට ශ්‍රී ලංකාවේ පාංශු සංයෝජනය, එහි ආම්ලිකතාව සහ දේශගුණය සැලකිල්ලට ගත යුතුව ඇති බව ගොවි සංගම් පවසයි.


කාබනික පොහොර ශ්‍රී ලංකාවේ නිපදවීම මෙයට විසඳුමකි. කාබනික පොහොර නිෂ්පාදනයට අත්‍යවශ්‍ය පොස්පේට්, පොටෑසියම්, සහ ටයිට්‍රජන් ශ්‍රී ලංකාවේ ඕනෑ තරම් තිබේ. උදාහරණයක් ලෙස ප්‍රාදේශීය සභා මඟින් කසළ මෙට්‍රික් ටොන් 800ක් දිනපතා එකතු කරන බවට ගණනය කර ඇත. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය නයිට්‍රජන් මේ කසල නිසි ක්‍රියාවලියකට බඳුන් කිරීමෙන් නිපදවාගත හැකිය. එහෙත් මේ සඳහා උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නට නැත.


මේ වැඩසටහන් පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව දියත් කළ හැකිය. ග්‍රාමීය සහ වතු මට්ටමින් ගොවීන් පුහුණු කිරීමෙන් සහ මේ පොහොර නිෂ්පාදනය කරන්නන්ට සහනාධාර ලබා දීමෙන් මේ තත්ත්වය යම්තාක් දුරකට කළමනාකරණය කර ගත හැකිය. කෙසේ වෙතත් කන්දසාමි වැනි අයගේ බලාපොරොත්තුව නම් දැනට වගාකර ඇති භෝගවල අස්වැන්නට බලපෑමක් ඇති වුවහොත් රජයෙන් වන්දි ගෙවීමක් කළ යුතුය යන්නයි.

The Ban On Chemical Fertiliser

இரசாயன உரத்தடை! பயிர் வளர்த்தவர்கள் அச்சத்தில்!!

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts