අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සමාජ

මත්පැන් කොරෝනා ඇත්ත සහ බොරුව

අරුණ ලක්ෂමන් ප්‍රනාන්දු

මත්පැන් යනු අද ඊයේ සමාජගත කරන ලද පාරිභෝගික භාණ්ඩයක් නොවේ. එය ප්‍රාග්
ඓතිහාසික යුගයේ සිට විවිධාකාරයෙන් මානව සමාජය හා බැඳී තිබු එකකි. බුද්ධ
ධර්මය තුළ මත් පැන් නොහොත් සුරා පානය පිළිබඳ ශික්ෂා පදයක් පැනවීම අදින්
වසර 2600 කට පෙර යුගයේ පවා මත්පැන් ලොව භාවිතා වූ බවට සාක්ෂියකි .

මත්පැන් සම්බන්ධ කතිකාව කොරෝනා වසංගතයත් සමග යලිත් ඉදිරියට පැමින තිබේ.මත්පැන්
පානය කිරිම ශරිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිදවැටිමට හේතුවන බව වෛදය්‍යවරුන් පවසති.
නමුත් ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම්මට පෙර පවා ඉතා විශාල පිරිසක් මත්පැන්
අලවි හල වටා රොක්වීම තුලින් පැහැදිලි වන්නේ ඊට තිබෙන සමාජ ඉල්ලුමය.එබැවින් මෙම අර්බුදයට
විසදුම් සෙවීමේදි සදාාචාරමය කෝණයෙන් නොව විද්‍යත්මක ප්‍රවේශයක් ඊට ලබාගත යුතුව තිබේ.
වර්තමානයේ සමාජය මත්පැන් පානයෙන් මුදවාලීමට කෙරෙනා යෝජනා සහ ඊට යටිතළ
පහසුකම් සපයන සමාජ ව්‍යාපාර බොහෝය. මේ මොනවා තිබුනත් මත්පැන් ප්‍රමුඛ
සමාජ අවශ්‍ය තාවයක් බවට පත්වෙමින් පවතී. මෙයඅප පිළිගැනිමටඅකමැති භුමියේ
යථාර්තයවේ.


මත්පැන් පිළිබඳ ශ්‍රීලංකාවේ පමණක් නොව ලෝකයේම තත්ත්වය
මෙයයි. පසුගිය වසරේ කොරොනා වසංගතය නිසා ඉන්දියාව වසාදැමූ අවස්ථාවේ එරට
අධිකරණයට මත්පැන් බෙදාහැරීමට විකල්ප ක්‍රම සකසන මෙන නියෝගයක් පැණවීමට
සිදුවූයේ එහෙයිනි. ශ්‍රිලංකාවේද මීට මාස කිහිපයකට පෙර මත්පැන් මාර්ග ගත
ක්‍රමයට අලවි කිරීමට ක්‍රමවේදයක් සැලසූ අතර පසුව ඊට නැගුන සමාජ විරෝධය
නිසා එය අතහැර දමන ලදි. එහෙත් නීත්‍යනූකූල මත්පැන් ලබාගැනීමට අති මං
ඇසිරෙද්දී ජනතාව වැඩිවැඩියෙන් කිසිදු ප්‍රමිතියකින් තොරව නිපදවන නීති
විරෝධි මත්පැන් (කසිප්පු වැනි) වලට ඇබ්බැහි වෙන බව ආණ්ඩුව සහ ඔන් ලයින්
අරක්කු බෙදිල්ලට එරෙහිවූ සමාජ බලවේග නොතකා හරින ලදි.

මත්පැන් පිළිබඳ ඉල්ලීම සහ ඊට එරෙහි විරෝධතා කුමන තලයක තිබුනද ලංකාවේ
මෙතෙක් බලයට පත් සෑම රජයක්ම මත්පැන් භාවිත කළේ රාජ භාණ්ඩාගාරය පුරවන,
අයවැය හිඟය පියවන මෙවලමක් ලෙසය. ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 වසරේ නිකුත්කළ
වාර්තාවකින් (Global status report on alcohol and health 2018)
ශ්‍රීලංකාවේ මත්පැන් භාවිතය 95% ඉහළ ගොස් ඇති බව හෙළිකර තිබුනි . ඊට
අමතරව මෙරට මත්පැන් භාවිතයට වාර්ශිකව එකතුවෙන පිරිස 10.4% කින් ඉහළ යන
බවත් එකී වාර්තාවෙන් ප්‍රකාශකොට තිබුනි. මෙලෙස මත්පැන් භාවිත කරන්නන්
තිදෙනෙකුගෙන් එක් අයෙක් ඊට දැඩිව ඇබ්බැහි වන බව එම වාර්තාව පිරික්සීමේදී
පැහැඳිලි වෙයි. එහෙත් ශ්‍රීලංකාවේ කිසිදු ආණ්ඩුවකට මත්පැන් මගින් සමාජයට
වන බලපෑම අවම කිරීමට සැබෑ උවමන්වක් නොතිබූ බව පසුගිය කාලයේ සිදුවිම්
පිරික්සීමේදී තහවුරු කරගත හැක.

ආණුඩුවට පමණක් නොව මත්පැන් පානය අධෛර්ය කිරීමට මෙරට ක්‍රියාත්මක විවිධ
සාමාජීය සහ ආගමික ව්‍යාපෘතීන් සියල්ලම අසාර්ථක බව පෙර සඳහන් සංඛ්‍යා
ලේඛණ මගින් තහවුරු වේ. ඊට ප්‍රධාන හේතුව එකී සියලු ව්‍යාපාර මත්පැන්
මුලිනුපුටා දැමීම නම් ශාක්සාත් කරගැනීමට අසීරු ඉලක්කය මුල් කර
ක්‍රියාත්මක වීමය. මත්පැන් වලින් සමාජයට හානිවෙන මුත් එය සමාජයෙන් ඉවත්
කිරීම පහසු නැත. එබැවින් කළ යුත්තේ මත්පැන් දුරු කිරීමට උත්සහ ගැනීම නොව
එය සීමා වෙන තැනට කටයුතු කිරීමය. ඒ සඳහා ලෝකයේ වෙනත් රටවල් මත්පැන් වලින්
හානිය අවම කර ගැනීමට ගත් ක්‍රියාමාර්ග කෙරෙහි අවධනය යොමු කිරීමට ‍රටක්
ලෙස ශ්‍රීලංකාවට පුරුදු විය යුතුය.

අතීතයේ පුවත්පත්වල මත්පැන් දැන්වීම් පලවිය. කොටුව දුම්රිය පොලේ පවා
මත්පැන් අලවි සැලක් පවත්වා ගෙන ගිය අතර, එවකට රාත්‍රී තැපැල් දුම්රියේ
පවා බීර අලවි කර තිබේ. මත්පැන් සුලබ වූ ඒ යුගයේ මේ ආකාරයේ ඇබ්බැහිවීම්
වාර්තා නොවුනි. එමෙන්ම පැසවීමෙන් නිපදවන රා වැනි මත්පැන් වර්ග මිස
ආසවනයෙන් නිපදවන කසිප්පු එකල්හී සුලබ නොවීය. එහෙත් වර්තමානයේ ශ්‍රී
ලංකාවේ මත්පැන් යනු රහසිගතව කථා කරනා මාතෘකාවකි. ප්‍රචණ්ඩත්වය එළිපිට
පෙන්වන කලා නිර්මානයන්හී පවා මත්පැන් පානය කරනා දර්ශණ තෝර තෝරා වාරණය
කෙරෙයි. ලංකාවේ අපි උගුරට හොරා බෙහෙත් කමින් මත්පැන් වලට එරෙහිව සටන්
කරද්දී ලෝකයේ බොහෝ දියුණු රටවල් මත්පැන් ගැන ප්‍රසිද්ධියේ සාකච්චා කරති.
එකී විවෘත භාවය මගින් මත්පැන් භාවිතය නිසා මතුවෙන ගැටළු අවම කරගැනීමට එම
රටවල් සමත්ව ඇත. එමෙන්ම එම රටවල් මත්පැන් භාවිතය අධෛර්ය කිරීමට විවිධාකාර
වූ උපක්‍රම භාවිත කරයි.

සැර වැඩි මත් පැන් සහ සැර අඩු මත් පැන් ලෙස මත්පන් වර්ගීකරණයය කිරීමත්,
එකී වර්ගීකරණයට අනුව අලවි කිරීමේ ඉඩ සැල්සීමත් බොහෝරටවල ක්‍රියාත්මක
ක්‍රමය වේ. ඒ අනුව බියර්, ෂැම්පේන්, මාර්ටිනි වැනි බීම වර්ග සැර අඩු බීම
කාණ්ඩයට වැටෙනා අතර ඒවා සුපිරි වෙලඳ සැල්, සහ සාමාන්‍ය වෙලඳ සැල්වල පවා
අලවි වෙයි. එම වෙළඳසැල් දවසේ වැඩි කාලයක් විවෘතව තැබෙන අතර එමගින් මිලදී
ගැනීමද පහසු කරයි. එමෙන්ම ඒවාට අයකරනා බදු අඩු කිරීම කිරීම හෝ ඉවත් කිරීම
මගින් අවම මිලක් පවත්වාගෙන යාමටත්, එමගින් වැඩි පිරිසක් අඩු සැර මත්පැන්
වෙත නැඹුරු කිරීමටත් එම රටවල් සමත්ව ඇත. එමගින් සැර වැඩි මත්පැන් භාවිතය
නිසා මතුවෙන සෞඛ්‍ය ගැටළු සාපේක්ෂව අවම කරගැනීමට එම රටවල් සමත්ව ඇත.

විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා සහ ජින් වැනි මත්පැන් වර්ග සැර වැඩි මත්පැන්
ගනයට වැටෙනා අතර (ලංකාවේ ගල් අරක්කුද {අති විශේෂ} මේ කාණ්ඩයේ ලා සැලකිය හැක) ඒවා අලවි
කිරීම සුරා සැල් සහ අවන්හල් වලට සීමා කිරීම බොහෝ රටවල දැකිය හැක . එවැනි
මත්පැන් වයස 18 අඩු අයට මිලට ගත නොහැකි අතර, ඒවා අලවිකරනා ස්ථානද විවෘතව
තැබීමටද නියමිත කාල වේලාවල් ඇත. ඊට අමතරව සැර වැඩි මත්පැන් ඇසුරුම් සඳහා
නිස්චිත පරිමාවක බෝතල් (බොහෝවිට කුඩාම ඇසුරුම මි.ලි.750) යොදාගැනීම
මගින්ද පාරිභෝගිකයා අධෛර්‍ය කිරීමට එම රටවල් කටයුතු කරයි. එය සුළු මුදලක්
අතැති පාරිභෝගිකයන් සැර අඩු මත්පැන් වෙත යොමු කරනා උපායක් ලෙස
ක්‍රියාත්මක වෙයි. ශ්‍රිලංකාවේ මෙන් කුඩා පරිමාණයේ බෝතල්වල සැර වැඩි
මත්පැන් ඇසිරීම බොහෝ රටවල සිදු නොවනා බව මෙහිලා අවධාරණය කළ යුතුවේ. මේ
කරුනු නිසා සැර වැඩි මත්පැන් වෙත පාරිභෝගිකයන් නැඹුරු වීම සාපේක්ෂව අවම
කර ගැනීමට බොහෝ රටවල් සමත්ව ඇත.

මේ ක්‍රමය ශ්‍රීලංකාවටද අත් හදා බැලීමට හැකියාව තිබේ. එහෙත් ඊට පුළුල්
දැක්මක් සහිතව ප්‍රවේශවීමේ දැඩි අවශ්‍ය තාවයක් ඇත. මෙරට මත්පැන් පානය
කරන්නන්ගෙන් 40% නීති විරෝධීව නිපදවන කසිප්පු, සයිඩර් වැනි මත්පැන් පානය
කරනා බව තහවුරුව ඇත. එහෙයින් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත බවකින් තොරව නිපදවන
නීති විරෝධි මත්පැන් තහනම් කිරීම අමධ්‍යප දේශයක් වෙනුවෙන් පෙනී සිටිනා
කාගේවුව මුල්ම ඉලක්කය විය යුතුය. එහෙත් රජයට බදුගෙවා පවත්වාගෙන යන සුරා
සැල් සහ නීත්‍යානූකූල මත්පැන් සම්බන්ධ විරෝධය පානා බොහෝ පාර්ශව නීති
විරෝධී කසිප්පු තිප්පොල මර්ධනය කිරීමට තවමත් උනන්දු නොවීම බරපතල
ගැටළුවකි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts