Uncategorized

බොන්නේ බොර දියයි  මිණි කැට රැඳි පවට

චම්පිකා මුතුකුඩ

ශ්‍රී ලංකාවේ ජල සම්පත සොබාදහමේ මහඟු දායාදයකි. රට වටා විහිදුණු ඉන්දියානු මහා සාගරයත්, රට මැද ගණනින්  103ක් වූ ගංගා සහ 27,000ක් වූ වෙනත් ජලාශ ස්වයංපෝෂිත ආර්ථිකයකට අප ලද ආශිර්වාදයන්ය. 

කැලණි ගඟ, අපේ රටේ ප්‍රධානතම ගංගා අතරින් එකකි. සමනල කඳු මුදුනින් උපදින එය, කිතුල්ගල, බෝපත් ඇල්ල, එගොඩ කැලණිය ආදී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා සබැඳි බොහෝ සොඳුරු දසුන් මවමින්,  කිලෝ මීටර් 145ක් දුර ගෙවා කොළඹ මට්ටක්කුලිය පිහිටි කදිරාන පාලම යටින් ගොස් සයුරට එක් වෙයි. ලංකාවේ පළලින් වැඩිම ගංගාව වන එය ඉන්දියානු මහා සාගරයට එක්වන ස්ථානයට  ආසන්නයේදී පළල මීටර් 120 ඉක්මවයි. මෝය අසල දී එහි ඉවුරු දෙක කොළඹ දිස්ත්‍රික්කය හා ගම්පහ දිස්ත්‍රික්කයේ සීමා  සලකුණු කරයි.

ශ්‍රී ලංකාවේ ගංගා අතරින් දිගින් හතරවන ස්ථානය ගන්නේ කැලණි ගඟයි. හෝටන්තැන්නෙන් උපත ලබන කෙසෙල්ගමු ඔයද, ගවරවිල කඳුවැටිය හා සමනල කන්දේ දිය දහරාවලින් බිහිවන මස්කෙළිය ඔයද පොල් පිටියේදී එකතු වීමෙන් කැලණි නදිය නිර්මාණය වේ. කෙසෙල්ගමු ඔය ආශ්‍රිතව කාසල්රි, නෝර්ටන් ජල විදුලි බලාගාරද,  මස්කෙළි ඔය ආශ්‍රිතව කැනියොන්, ලක්ෂපාන ජල විදුලි බලාගාරද ඉදිවී ඇත. නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගම්පහ, කොළඹ දිස්ත්‍රික්කව ඔස්සේ ගලා යන කැලණි නදියට, පහළ අතු ගංගා ලෙස යටියන්තොට වී ඔය, රුවන්වැල්ල ගුරුගොඩ ඔය හා අවිස්සාවේල්ල සීතාවක ගඟ එක් වේ.

සීතාවක අතු ගංගාව

සීතාවක ගඟ ඇරඹෙන්නේ, සමනල අඩවියේ උඩ මාලිබොඩ දික්ඇල්ල කන්දෙන් පැන නගින ජල උල්පත්වලිනි. එය කැලණි ගගේ පහළ අතු ගංගා අතරින් ප්‍රමුඛස්ථානය ගන්නා ගංගාවයි. සබරගමු ප්‍රදේශයේ පවතින කඳු සහිත භූ පිහිටුම නිසාම ඉතා මනස්කාන්ත දසුන් රැසක් මවමින් නදිය ගලා යයි. දැරණියගල ආශ්‍රිත ප්‍රදේශවලදී මෙම ගංගාව මාගල් ගඟ ලෙසින්ද හැඳින්වේ. අවිස්සාවේල්ලට කිලෝමීටර් තුනක් පමණ උතුරින් පිහිටි කුඩා ගම දී කැලණි ගඟට එක්වන සීතාවක ගඟ පරිවාර ගංගා රැසකට උරුමකම් කියයි. යායෙ ගඟ, හලතුරේ ගඟ, කදිරන් ඔය, පනාකුරේ ඔය, මියෙනවිටි ඔය, මොන්දගල්  ඔය, කඹුරුගම් ඔය එම අතු ගංගා වේ.  සීතාවක ගඟ ප්‍රදේශයේ කෘෂි අවශ්‍යතා මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ජල අවශ්‍යතාද සපුරයි.

සබරගමු පළාතේ මෙන්ම අවිස්සාවේල්ල ප්‍රදේශයේ ද වැඩි වර්ෂාපතන සහිත කාලගුණයෙන්  පෝෂණය වන සීතාවක ගඟ, කෝටි ප්‍රකෝටි ගණනක වටිනාකම් සිය ජල ගැබ තුළ සඟවාගත් ගංගාවකි. එම වටිනාකම් සීතාවක ගඟට අගයක් එකතු කිරීමට වෙනුවට එහි අගය විනාශ කිරීමට හේතු වී තිබේ. රාත්‍රිය පුරා සබරගමු සීතලට තුරුළු වී නිදා සිටින ගං කොමළිය අවදිවන්නේ පළිඟුවක් මෙන්  නීල වර්ණ ජලකඳකින් සිය වත සරසා ගනිමිනි. එහෙත් යන්තමින් හිරු පායා එන විට ගං ඉවුරු ජනාකීර්ණ වේ. ඒ රෙදි සේදීමට, නෑමට සතුන් නෑවීමට එන ගැමියන්ගෙන් පමණක් නොවේ. ප්‍රදේශවාසීන්ගේ දෛනික අවශ්‍යතා කුළුණු සිතින් ඉවසන සීතාවක ගංගා තොමෝ නිහඬව ඔවුන්ට සේවය සලසති. අනතුරුව පාසලෙන් කට්ටි පනින කොලු ගැටයාගේ පටන් යන්තම් වාරු ඇති මහල්ලා දක්වා පිරිමි බොහොමයක් වේවැල් කුඩා හෝ අවම වශයෙන් ප්ලාස්ටික් පනිට්ටුවක් හෝ රැගෙන ගඟට බසිනුයේ ගං පතුලේ සැඟවුණු වටිනාකම් සොයාය.

ගඟ මරා ඉල්ලම් සෙවීම

කණ්ඩායම් වශයෙන් රැස් වන ඇතැමුන් මහා පරිමාණයෙන් කරනු ලබන මැණික් ගැරීම නිසා ගං දිය බොර පැහැ වීමට ගත වන්නේ සුළු කාලයකි. අනවසර පතල්කරුවන් විසින් මෙන්ම අවසරලත් පතල් කරුවන් විසින් ද බොර ජලය කෙළින්ම ගංගා ජලයට මුදා හරිනු ලැබේ. නීත්‍යානුකූල පතල් සඳහා අවසර ලබා ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පනවනු ලබන කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය කරන පතල්කරුවන්  අවිස්සාවේල්ල අවට පදිංචිකරුවන්ගේ පානීය  ජලයට රොන්මඩ නොඅඩුව මුසු කරති. මන්ද මෙම ප්‍රදේශවාසීන්ගේ ජල අවශ්‍යතා බොහොමයක් පිරිමැසෙන්නේ සීතාවක ගඟ ආශ්‍රිතව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් සිදුකෙරෙන ජල සම්පාදන ක්‍රමය තුළිනි. අවිස්සාවේල්ල ආශ්‍රිතව  පමණක් ජල සම්පාදන මණ්ඩලය මගින් ජල සැපයුම ලබන ලියාපදිංචි  පාරිභෝගිකයින් සංඛ්‍යාව 8500කි. අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල, දුම්රිය ස්ථානය, පොලිස් ස්ථානය  මෙන්ම ප්‍රදේශයේ පාසල්  සියල්ලක්ම  පානීය ජලය ලබාගන්නේ මෙම ජල සම්පාදන ක්‍රමය මගිනි. රෝහල්ගත රෝගීන්ට  මෙන්ම පාසල් දරුවන්ටද  බොර ජලය පානය කිරීමට සිදුව පැවතීම පිළිබදව  ඇතැම් ප්‍රදේශවාසීන් අදහස් ප්‍රකාශ කළේ දැඩි වේදනාවකිනි.

තැන තැන කපා ඇති පතල් වළවල් හා ගොඩ ගැසූ  වැලි කොට්ට සහිත පස් කඳු නිසා ජලය බැසයාම  අවහිර වී ඩෙංගු රෝගය බරපතළ ලෙස හිස ඔසවා තිබේ. එසේම ගං පතුලේ අඩි 10-15, සමහර විට ඊටත් යටට හෑරූ වළවල් මගින් ගඟ පරිහරණය කරන්නන්ට මාරක උගුල් අටවා ඇත. කඳුකරයේ සිට ගලා එන ජල ප්‍රවාහය සමග සේදී එන ඉල්ලම් සොයා මහා පරිමාණයෙන් මිනිස්සු කැලණි ගඟ හාරා විනාශ කරති. කුරුවින්ද පවුලට අයත් නිල් කැට, පුෂ්පරාග, ආරුනූල්, පද්මරාග හා රතු කැට රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල ආශ්‍රිත මෙම ප්‍රදේශවල බහුලව දැකිය හැක.

ගමනේ කෙළවර කොතැනද?

ස්වභාවධර්මය අපට ජීවත් වීම උදෙසා කොන්දේසි විරහිතව අසීමිත සම්පත් රැසක්  ලබා දී තිබේ. එයට වැඩි යමක් අප ස්වභාවධර්මයෙන් ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම් එය පරිසරයටත් අන්‍යයන්ටත් හානි නොවන ලෙස ලබා ගැනීම යුතුකමක් මෙන්ම වගකීමකි. මෙවන් අසීමාන්තික ක්‍රියාකාරකම්වලට විරෝධය දැක්වීමට ස්වභාවධර්මය තීරණය කරන විට මිනිසාට දේපොළින්, ධනයෙන් පමණක් නොව ජීවිතවලින්ද වන්දි ගෙවීමට සිදු වේ.  විටින් විට කැලණි ගං කොමළිය සිය කෝපාවිෂ්ට හැසිරීමෙන් අපට සිහිපත් කරනුයේ ඒ දහමයි.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts