බිඳුණු පල්ලිය හැදුවා වගේමඅපේ හිතත් දැන් හැදිලා
ජයසිරි පේදුරුආරච්චි
නටාෂා සෙව්වන්දි මීගමුව සාන්ත පීතර විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහසය හැවිරිදි දියණියකි. තමාගේ දුකේදී සැපේදී දෙවි සමිඳුන්ගේ මැදහත්කම ප්‍රාර්ථනා කළ කටුවාපිටිය දේවස්ථානය යළි ගොඩනැඟී තිබීම නටාෂාගේ සිතට එක්කර ඇත්තේ මහා සතුටකි. දෙතොලග රැඳී ඇති සිහින් සිනාව ඇයගේ අනාගත බලාපොරොත්තු රැසක පෙරනිමිති පෙන්වයි.
“මුලින්ම දුකයි බයයි දෙකම ඇතිවුණා. දැන් ඉතින් ඒවා නෑ. අපේ කටුවාපිටිය පල්ලියත් දැන් හදලා ඉවරයි. ඒ ගැන ගොඩාක් සතුටුයි. අපේ ප්‍රදේශයේ මුස්ලිම් අය ඉන්නවා. සිදුවීම වූ මොහොතේ ලොකු වේදනාවක් ඇතිවුණත් සුළු පිරිසක් කරපු දේ නිසා හැමෝම එක්ක තරහක් ඇතිවුණේ නෑ. අපි අතර එදා තිබුණු හිතවත්කම් නැතිකරගත්තෙත් නෑ“
තවමත් දහසය හැවිරිදිවියේ පසුවන නටාෂා බලාපොරොත්තු පිරුණු සිතින් ගැඹුරු අදහසක් පැවසූවා ය.
අසිරිමත් දේවමාතා මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන පූජානි නිසංසලා (16) නටාෂාගේ මිතුරියකි. ඇය අපේ කතාබහට එක්වුයේ කටපුරා සිනාව රඳවා කා තුළත් ප්‍රබෝධයක් ඇතිකරමිනි. විටක ඇය ඈත ගුවන්තලය දෙස බලාගෙන කතාකරන්නී ය. තවත්විටක සිනාසෙමින් ඉවතබලා ගන්නී ය. තම නව යොවුන්වියේ කෙළිලොල් බව ප්‍රදර්ශනය කරන ඇයගේ හඬ නිරවුල් ය. අදහස් ද එසේමය.
“ප්‍රහාරයෙන් පස්සේ ප්‍රශ්න ඇතිවෙන්න ගියේ බීපු අයගෙන් තමයි. විටක කඩේකට පහරදෙන්න ඒ අය උත්සාහ කළා. අපේ ගමේ අය ඒකට ඉඩදුන්නේ නෑ. කට්ටියම එකතුවෙලා ඒක නැවැත්වූවා. ගමේ අය කීවේ හැමෝම මේ අපරාධයට සම්බන්ධ නෑ කියලා. මට මුස්ලිම් යාළුවෝ ඉන්නවා. අපි අතර යාළුකම් එදා වගෙම තාමත් තියෙනවා.‘
තවමත් ලෝකය හරිහැටි දැක නොමැති හා ලෝකය දකින්නට උත්සාහ කරන මේ නව යොවුන්විය සාමය හා සංහිඳියාව පිළිබඳ නිරවුල්ව දැකීම මහත් වාසනාවකි. එය මීගමුව වැනි මිශ්‍ර ජනකොටසක් ජීවත්වන ප්‍රදේශයකින් ඉස්මතුව පෙනීම ආගමික විනය මොනවට කියාපාන්නේ ය.
“අපි ආගම ජාතිය ගැන බැලුවේ නෑ. කෑමබීම ගැනීමේදී කඩවල බෙදීමක් තිබුණෙ නෑ. අපි එක වේලක් ගෙදරින් කෑවොත් අනෙක් වේල් දෙක කෑවේ කඩෙන්. ඒ මුස්ලිම් හෝ දෙමළ කඩේකින්. මුළු ටවුමම ගෙනිච්චෙ මුස්ලිම් හා දෙමළ අය. කිසිම භේදයක් තිබුනේ නෑ.‘
අතීතයේ සිට පැවත ආ මිගමුවේ සංහිඳියා සම්ප්‍රදාය පිළිබඳ මහ වීදියේ වෙසෙන හතළිස් පස් හැවිරිදි මාලනී පෙරේරා වක්කඩ කැඩූවාසේ කියාගෙන කියාගෙන ගියාය. ඇය විටක කතාව නතරකර නිකටට අතතියාගෙන මඳක් කල්පනා කරන්නීය. නිහඬබව බිඳිමින් එම ඉරියව්වෙන්ම සිටිමින් නැවත ඇය කතාකරයි
“හැම මුස්ලිම් මිනිහෙක්ම සහරාන්ගේ ගෝලයෙක් නොවෙයි. හැබැයි අපි අවධානය හා අවබෝධය තියාගන්න ඕන. අලුත් රාජ්‍යයක් පිහිටුවීම නොව සමගියෙන් සිටීමයි අපට වුවමනා. උත්ථානවීමේ මංගල්‍යය අපේ ඉහළම මංගල්‍යයයි. අපිට දැනුණු වේදනාව උපරිමයි. ඒ වුණාට අපි ගලක්වත් ගහන්න ගියේ නෑ. පොඩි වර්ජනයක් කළා එපමණයි. අපේ ආගමික සංවරය අපි පාලනය කළා‘ යි ඇය කියයි.
ආගමානුකූල පරිසරයක් තුළ හැදීවැඩී කුඩා කල සිට ඇති කර ගත් හික්මීම හා සංවරය, පෑරුණු සිත් සුවපත්කරන්නටත් සහෝදරත්වය වර්ධනයටත් කෙතරම් වටින්නේදැයි මාලනීගේ කතාව කියාදෙන්නේ මහා පාඩමකි.
මීගමුව මහාවීදියේ ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය සිංහල, දෙමළ හා මුස්ලිම් සාමජිකයින්ගෙන් සැදුම්ලත් සංවිධානයකි. 2001 වර්ෂයේ සිට ධීවර ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන මෙහි තරුණ තරුණියන් හා කාන්තාවන් තුන්සියයක් පමණ සාමාජිකත්වය දරති. එයට නායකත්වය දෙන පිරිස අතර කළමණාකරු වින්සන් ප්‍රනාන්දු ප්‍රදේශයේ ආගමික හා සාමාජයීය සංවර්ධනය වෙනුවෙන් මහ මෙහෙයක නිරත වෙයි. ඔහු පසුගිය අප්‍රේල් 21 වැනිදායින් පසු මීගමුවේ තත්ත්වය විස්තර කළේ මෙලෙසිනි.
“අපේ ජනතාවට ලොකුම බලපෑම ඇතිකළේ කටකතා හා මාධ්‍යයි. ඒ තුළින් බය හා හේදය ඇතිවුණා. මාධ්‍යයට මීට වඩා දෙයක් මේ වෙනුවෙන් කරන්න තිබුණා. එහෙමවුනේ නෑ.ආරක්ෂක අංශ ගෙනගිය ආරක්ෂක වැඩපිළිවෙළේදී මුස්ලිම් පල්ලි සම්බන්ධයෙන් මාධ්‍ය පළ කළ ප්‍රවෘත්ති ජනතාව තුළ ඇති කළේ බියජනක තත්වයක් හා තරහක්. මේවා මාධ්‍යකරුවන් හිතන්න ඕන දේවල් නේදැ?‘යි ඔහු පෙරළා විමසයි. වින්සන් කතාකරන්නේ වේදනාවෙනි. ඔහු මඳ වේලාවක් නිහඩව සීට දෙතොල් තදකර දෙවුර උඩට ඔසවා අංග චලනයෙන් අනතුරුව මෙලෙස කියයි.
“මීගමුව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් ජීවත්වන සර්වාගමික ප්‍රදේශයක්. අපි හිටියේ හරිම සහෝදරකමින්. තවමත් එම තත්ත්වය තිබෙනවා. පොඩි කාලයක් යම් පිරිසක් විසින් මුස්ලිම්වරුන්ගේ වෙළඳසල් වර්ජනය කළත් බහුතරයක් එහෙම වුණේ නෑ. මගේ ජීවිතයේ පාස්කු ඉරිදා දිව්‍ය පූජාව නැතිවූ පළමු වතාව මෙයයි. ඒත් දැන් ඒ සියල්ල ඉවරයි. විනාශ වූ පල්ලිය හැදුවා වගේම මිනිස්සුන්ගේ හිතත් දැන් හැදිලා තියෙන්නේ. අපි දැන් යළිත් පුංචි රෝමයේ සතුටින් ඉන්නවා‘යි වින්සන් සිනාමුසුව පැවසුවේය.
This article was originally published on the catamaran.com