අනාවරණ ආර්ථික

බටපොල ඇන්ටෙනාවේ සෞන්දර්යාත්මක නිර්මාණකරුවා

ගොඩගේ සරත්

” මගේ නිර්මාණය කොපි කරලා ඇන්ටෙනා නිශ්පාදනය කරන අයට විරුද්ධව නිති මගින් කටයුතු කරන්න කියලා සමහරු මගෙන් ඉල්ලා සිටිනව මම නිසා බොහෝ දෙනෙක් ජිවත්වන බව හිතලා මම සතුටු වෙනවා”මෙසේ පවසනුයේ අන් කිසිවකු නොවේ.ශ්‍රී ලාංකික ජනතාව නම කියු පමණින් හදුනන බටපොල ඇන්ටෙනාවේ නිර්මාණ කරුවාය.හේ නමින් පත්මලාල් මලවිගේය.ගාල්ල බටපොල මහවත්තේ අද විශ්‍රාම සුවයෙන් පසුවන ඔහු වෘත්තියෙන් සෞන්දර්ය ගුරුවරයෙකි.     

   රූපවාහිනී ඇන්ටෙනා ගැන කතා කරන විට  බටපොළ  නගරය  දිවයින පුරා  ප්‍රසිද්ධියට  පත්ව  තිබේ.එම කතාන්දරය දැනට  දශක  හතරක්  පමණ  අතීතය ට මුසුවූවකි.බටපොල මහවත්ත නිවසේදි මා මුණගැසුන අවස්ථාවේ  පත්මානන්ද මලවිගේ මහතා  රූපවාහිනී ඇන්ටෙනා  ඉතිහාසය  ගැන කතා  කරමින්   මෙසේ දොඩමළු  විය.සහජයෙන්ම මට කලාත්මක  නිර්මාණ  කිරීමේ  හැකියාවක්  තිබුණා .ඒ නිසා  මට හොඳට අකුරු අඳින්නත් පුළුවන් .1971 කැරැල්ල අවධියේ දී එම පෝස්ටර් මම අදින්න ඇතියි කියලා සැකපිට  මාව  අත් අඩංගුවට  ගත්තා මට අවුරුද්දක් විතර  වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ  ඉන්නට සිදු වුනා . මා එහිදී  විවිධ  නිර්මාණ  ඉගෙන  ගත්තා .රිමාන්ඩ් එකේ ඉන්න  කාලෙ අපිට  බෙලෙක් තැටියට ලැබෙන  බත් ප්‍රමාණය  මදියි.මම වැඩිපුර  බත් ටිකක්  ගන්න  ක්‍රමයක්  කල්පනා කරා.වැඩියෙන් ඉල්ලුවට බත් දෙන්නෙත් නෑ.මම බෙලෙක්  තැටිය තලලා  පාත්තරයක් වගේ හැදුවා .ඒකට  තැටියට  වඩා බත් ප්‍රමාණයක්  අල්ලනවා.ඒ ප්‍රමාණය  මගේ බඩ පිරෙන්න  ඇති  වුනා.මගේ මුල්ම නිර්මාණය ඒකයි. බන්ධනාගාර යෙන් නිදහස් වෙලා  ආවට පස්සේ  හේවුඩ්  ආයතනය ට බැඳී සෞන්දර්ය  පාඨමාලාවක්  හැදෑරුවා .1976 සිට  ගුරුවරයෙකු  ලෙස සේවය  කළා.ඒ කාලෙ රූපවාහිනී  තිබුනෙ  නැහැ.රේඩියෝ විතරයි  තිබුනෙ .රේඩියෝ  වලටත්  ඒ කාලේ ඇන්ටෙනා සවි  කළයුතු  වුනා.මගේ අයියාත්  කාර්මික  වැඩවලට  දක්ෂයි.රේඩියෝ  ඇන්ටෙනා  සවිකරගන්න බොහෝ දෙනා අපිව හොයාගෙන  එනවා.ඒ නිසා  ඇන්ටෙනා  පිළිබඳව  යම් අවබෝධයක්  මට තිබුණා .රූපවාහිනී  ආවට පස්සේ  එම දර්ශන  නරඹන්න ඇන්ටෙනා  සවි කිරීමට  අවශ්‍ය  වුනා.මුල්  අවධියේ  එක ටී.වී. එකකට ඇන්ටෙනා  දෙකක්  සවි කිරීමට  අවශ්‍ය  වුනා.එයින්  එකක්  අඩි හතක් අටක්  දිගයි.අපි ඒ ඇන්ටෙනා  සවිකරන්න ගියාම  විවිධ දුෂ්කරතා වලට  පත් වුනා .සරල රූපවාහිනී ඇන්ටෙනා වක් නිර්මාණය කිරීමේ  අදහස මට ඇති  උනේ ඒ නිසයි.

           ඒ දවස්වල  මම  ගාල්ලේ අම්පෙගම මහා විද්‍යාලයේ  ඉගැන්නුවෙ . එම පාසලේ  විද්‍යා ගුරුවරයා වූ  නිහාල් ගුරුසිංහ මහතාගෙනුත්  මට මේ ඇන්ටෙනාව  නිපදවීම ට උපදෙස්  ලැබුණා .මම විද්‍යා දැනුම  ලබා ගත්තේ  ඒ මහතා ගෙන්.ඒ අනුව මම ඉතා  සරල විදියට  හදපු කූරු දෙකේ ඇන්ටෙනාව  මඟින්  බටපොළ  ප්‍රදේශය ට පැහැදිලිව  ටී වී දර්ශන  පෙනුනා.අනෙක්  ප්‍රදේශ  වලට  මේ ඇන්ටෙනාව  පෙනෙනවා ද කියලා  චෙක්  කරගන්න  ක්‍රමයක්  තිබුනෙ  නෑ.මට රට  වටේ යන්න  ආර්ථික  ශක්තියක් තිබුණෙත්  නෑ.ඉතින්  ඒ කාරිය  කර ගන්න මම පාසලේ  ළමයි  සමඟ  අධ්‍යාපන  චාරිකා  යොදා  ගත්තා .අධ්‍යාපන  කාර්‍යාලයෙන්  විශේෂ  අවසරයක්  ගත්තා  බස් එකේ  ටී. වී එකක්  සහ ඇන්ටෙනාව ක් සවි කර ගෙන යන්න .ඒ විදියට  දින  තුනේ  අධ්‍යාපන චාරිකා  තුනක් විතර  ගියා.ඒ යන අතර තුර අඟ තොටේදි මගේ ඇන්ටෙනාව  චෙක්  කරල අඩුපාඩු  හදා ගත්තා . ඒ වගේ  අධ්‍යාපන චාරිකා යොදා ගෙන  යාපනය  ඇරෙන්න  රට වටේම ගිහින්  මගේ ඇන්ටෙනාව  පේනවා ද කියලා  බලලා  අඩුපාඩු  හදා ගත්තා . මුළු දිවයිනටම  පෙනෙන විදියට  මේ ඇන්ටෙනාව  හදන්න මම  මහන්සි  උනේ එහෙමයි. නමුත්  මේ වන විට  බොහෝ  දෙනෙක්  මගේ සර්කිට් එක  කොපි කරලා විවිධ  නම්  වලින්  ඇන්ටෙනා  හදනවා.මම ඇන්ටෙනා  හදන්න  පටන් ගත් අවධියේ  ගෙදර  අයගෙන්  වත් උදව්  ලැබුනෙ නෑ. ඇන්ටෙනා  චෙක් කරන්න  මම ගෙදර  ඉඩමේ  තේක්ක  ගසක ඇන්ටෙනාව  සවි කරලා ආපහු  ගහෙන්  බැහැල ඇවිත්  රූපවාහිනී ය බලන්න  සිදු වුනා .එදා මට ඒකට  වත් කවුරුවත් උදව්  කරේ නෑ.තාත්තගෙ  පිස්සු  වැඩ කියලා  ඒ කාලෙ ළමයෙක්  වත් උදව්  කළේ නෑ.රූපවාහීනිය  බලල මම ආපහු  තේක්ක ගහට  නඟිනවා.දර්ශන  පැහැදිලි  වෙනකම්  ඇන්ටෙනාව  වෙනස් කරේ එහෙමයි.එහෙම  අත් හදා  බලමින්  මම මේ සර්කිට් එක  හැදුවේ .

            මගේ ඇන්ටෙනාව  ක්‍රමයෙන්  ජනප්‍රිය  වෙන්න  ගත්තම මේ ඇන්ටෙනාව  හොරු ගලවන්න  පටන් ගත්තා .ඒ තරම්  උසකින් මගේ ඇන්ටෙනාව  සවි කරන්න  අවශ්‍ය  නොවීම  ඊට  හේතුව  වුනා. ඒ නිසා  හොරුන්ට  ලේසියෙන්  ගලවන්න  පුළුවන්  උනා.එහෙම  යන කොට  එක් නිවෙස්  හිමියෙක්  හොරා අල්ලාගෙන  පොලීසිය  මඟින්  නඩු පැවරුවා.මටත්  උසාවි  යන්න  සිදු වුනා සාක්ෂි  කාරයෙක්  විදියට .ඒකේන් මට විශාල  ප්‍රචාරයක්  ලැබුණා .මගේ ඇන්ටෙනා  උසාවියෙ  නීතිඥ  මහත්වරුත් ගත්තා .අන්තිමට  නඩුකාර තුමාත් මගේ ඇන්ටෙනාව ක් මිලට  ගත්තා .ඊට පස්සෙ  ඇන්ටෙනා  හොරු ගැලෙව්වෙ නෑ.

         දැනට මම විශ්‍රාමික යෙක්.මට  දුවල දෙන්නෙක් හා පුතෙක්  ඉන්නවා .දැන්  ඒ හැමෝට ම ඇන්ටෙනා  හදන්න  පුළුවන් .ලොකු  දුව උපාධිය ක් තිබුණත් රැකියාවක්  කරන්නේ  නෑ.ඒ දුව  දැන්  මගේ ඇන්ටෙනා  නිපදවීම  ව්‍යාපාරය ක් හැටියට  කරනවා .

           මගේ නිර්මාණය ට පේටන්ට්  බලපත්‍රයක්  ගන්න  ගියත් බටපොළ  නගරයේ නමින්  බලපත්‍රය  දෙන්න  බෑ කියලා  ඒ ආයතනය  කීවා අවසානයේදී  මගේ ඇන්ටෙනාවෙ හැඩයට  පමණයි  බලපත්‍රය  ලැබුණෙ. ඒ නිසා  හැඩය  වෙනස් කරල වෙනත් අයත් ඒ සර්කිට්  එක කොපි කරල ඇන්ටෙනා  හැදුවා .මගේ ඇන්ටෙනා  ප්ලෙක්සි යන නමින්  තමයි  නිශ්පාදනය  කරන්නේ මග්වෙ සර්කිට්  එක කොපි කරල කවුරු මොන තරම්  ඇන්ටෙනා  හැදුවත් බටපොළ  ප්ලෙක්සි  ඇන්ටෙනා  වලට තවම ඉල්ලුම  අඩු වෙලා නෑ. මම මාසෙකෙට  ඇන්ටෙනා සීයක් විතර  දැනට හදනවා.මගේ දුව ඒ වගේ  දෙතුන්  ගුණයකින්  ඇන්ටෙනා  හදනවා.බටපොල ඇන්ටෙනා ව්‍යාපාරයේ පුරෝගාමියා අවසානයේ අප හා පැවසුවේ සතුටු සිනහවක් මුවග රදාවා ගනිමිනි.අප මේ ගෙවමින් සිටිනුයේ එවැනි නව නිපයුම් කරුවන් සියගනනක් රටට අවශ්‍ය මොහොතක නොවේ දැයි ඔහුට සමුදි එන අපට සිතින.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts