අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

පේටන්ට් බලපත්‍ර හා සම්බන්ධ බුද්ධිමය දේපළ අයිතිවාසිකම්

පවිත්‍රානි දිසානායක


බුද්ධිමය දේපල හෙවත් Intellectual property සම්බන්ද නීති තත්වය යනු වර්තමානය වන විට විශාල වශයෙන් වැදගත්කොට සැලකෙන නීති ක්ෂේත්‍රයකි. ඒ තුළින් මිනිස් මනසෙහි හටගන්නා නිර්මාණයන් සඳහා නෛතික අයිතිවාසිකමක්, ආර්ථිකමය වාසියක් මෙන්ම ඇගයීමක් හා සුරක්ෂිත භාවයක් ලබා දීමට උත්සාහ දැරේ . මේ වන විට මුළු ලොව පුරාම මෙන්ම මෙරට තුළද විශාල වශයෙන් කතාබහට ලක්වන නීතිමය විෂය මෙහි විශේෂිතම ලක්ෂණය වන්නේ ඒ තුලින් මිනිස් මනසෙහි හටගන්නා නිර්මාණයන් සඳහා නෛතික අයිතිවාසිකමක්, ආර්ථිකමය වාසියක් මෙන්ම ඇගයීමක් හා සුරක්ෂිත භාවයක් ලබා දීමට උත්සාහ දැරීමයි. දැනට සමස්ථ ලෝක ප්‍රාජාවම දැනුමට මුල් තැන දෙමින්, එකී දැනුම් පදනම් කරගත සංවර්ධිත ආර්ථිකයක් කරා යොමු වෙමින් පවතී .


එවැනි ආර්ථික රටාවක් තුල බුද්ධිමය දේපළ පිළිබද වර්ගීකරණයේ පේටන්ට් බලපත්‍රය සම්බන්ධයෙන් පවතින නීතිය ඉතා වැදගත් කොට සැලකිය හැකිය. කාර්මික අයිතිය යටතේ ලබාගත හැකි බලපත්‍රයක් මගින් රජය නව නිපැයුම් කරුවන්ට ඒකාධිකාරයක් පිරිනමයි. එනම් පේටන්ට් බලපත්‍රය මගින් එහි ලියාපදිංචිය සඳහා ඉල්ලුම්පත්‍රය ගොනු කළ දින සිට විසි අවුරුද්දක කාල සීමාවක් සඳහා එම නව නිපැයුම සෑදීමෙන් භාවිතා කිරීමෙන් සහ විකිණීමෙන් අන් අය බැහැර කිරීමේ අයිතිය එම හිමිකරු සතු වේ. පේටන්ට් හිමිකරුට එම පේටන්ට් බලපත්‍රය හිමි තාක්ෂණය භාවිතා කිරීමට, විකිණීමට හෝ බලපත්‍ර මඟින් පවරා දීමට හැකියාව ඇති අතර එමඟින් ආර්ථික ප්‍රතිලාභ අත්කරගත හැකිය.


පේටන්ට් බලපත්‍ර නව නිපැයුම් ආරක්ෂා කරන අතර නව නිපැයුම්කරුවන්ට නව නිපැයුම්වලින් ඇති වන ප්‍රතිලාභ සහතික කර එමගින් නිර්මාණකත්වය සඳහා දිරිගැන්වීම් ලබා දෙයි. ආයෝජන ප්‍රවර්ධනය කරයි. මෙය ආර්ථික සහ තාක්ෂණික සංවර්ධනයට අනුබල දෙයි. දැනටමත් ප්‍රදානය කර ඇති පේටන්ට් බලපත්‍ර ලේඛන අලුතින් සොයාගත් තාක්ෂණ විස්තර කරන අතර, විමර්ශනය සඳහා ඕනෑම අයෙකුට ඒවා ලබා ගත හැක.
නව සොයාගැනීම් පිළිබඳව දැනුවත් වීමට, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් ඉටු කිරීමට හා නව තාක්ෂණවේද භාවිතා කිරීමට අවශ්‍ය පර්යේෂකයන්ට, නව නිපැයුම්කරුවන්ට හා ව්‍යවසායකත්වයන්ට අවශ්‍ය වටිනා තොරතුරු ඒවායේ අන්තර්ගත වේ. එමගින් තවදුරටත් මහජන අයිතිවාසිකම් සහ නිර්මාණකරුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරන ආකාරය අපට පෙනී යයි.


පේටන්ට් බලපත්‍ර සම්බන්ධ ලංකාවේ නිතී තත්වය 2003 අංක 37 දරන බුද්ධිමය දේපල පනතේ පනතේ 62 සිට 100 දක්වා වන වගන්ති වල දක්වයි . සාමාන්‍යයෙන් වලංගු වන්නේ එය පිරිනමන ලද රටේදී පමණි. කාර්මික දේපළ ආරක්ෂා කිරීම සදහා වන පැරිස් සම්මුතියේ ශ්‍රි ලංකාව සාමාජිකයෙකු බැවින්, අදාළ රටේ ජාතික නීතිය යටතේ, පැරිස් සම්මුතියේ ඕනැම සාමාජික රටකදී තම නව නිපැයුම් සදහා ශ්‍රී ලාංකිකයන්ට පේටන්ට් බලපත්‍ර ලබා ගත හැක. ලෝකයේ සෑම රටක්ම පාහේ මෙම සම්මුතියේ සාමාජිකයෝ වෙති. තම සාමාජික රටවල එම සම්මුතියේ කාර්මික දේපළ ආරක්ෂා කිරීම සදහා වන පැරිස් සම්මුතිය යටතේ අයදුම්කරුට ප්‍රමුඛතාව සදහා හිමිකම් ඉල්ලා සිටීමට හැක.

ජිනීවාහි පිහිටි ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් පරිපාලනය කරනු ලබන පේටන්ට් සහයෝගිතා ගිවිසුම (ඡක්‍ඔ) යටතේ අයදුම් කිරීමට සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ ශ්‍රී ලාංකික පුරවැසියන්ට හැක. ලෝක බුද්ධිමය දේපළ සංවිධානයට තනි අයදුම්පත්‍රයක් ගොනු කිරීම මගින් රටවල් ගණනාවක (පේටන්ට් සහයෝගිතා ගිවිසුමේ සාමාජික රටවල) පේටන්ට් බලපත්‍ර සදහා අයදුම් කළ හැක. ජාතික අයදුම්පත්‍ර ගොනු කිරිමට අයදුම්කරු අදහස් කරන රටවල් පේටන්ට් සහයෝගිතා ගිවිසුම් අයදුම්පත්‍රයේ නම් කල යුතුය. පේටන්ට් සහයෝගිතා ගිවිසුම් අයදුම්පත්‍රය රටවල් ගණනාවක අයදුම්පත්‍ර කිහිපයක් ගොනු කරනවාට වඩා සරල පටිපාටියකි.


අනෙක් රටවල් සමග සැසඳීමේදී, ඔවුන්ට සාපේක්ෂව මෙරට තුල බුද්ධිමය දේපල නීති ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් දැකගත නොහැකිය. ඊට හේතුව නම් මෙම විෂය අප රටට අලුත් එකක් වීමයි. නීතිමය රාමුවේ නව්‍ය භාවය හේතුවෙන් මහජනතාව සතුව මෙම නීතින් පිලිබඳව පවතින දැනුමද ඉතා අල්ප බව පෙනීයයි. ඒ හේතුවෙන් තම නිර්මාණයන්ට හිමිවිය යුතු වටිනාකම ආර්ථිකමය හා සදාචාරාත්මක වශයෙන් ලබාගැනීමට ඔවුන්ට ඇති ඉඩ ප්‍රස්තාවන්ද මැකී යා හැකිය.


තවදුරටත් බුද්ධිමය දේපල නීතිය යනු අනෙක් නීතිමය විෂය ක්ෂේත්‍රයන්ගෙන් වියුක්ත වූවක් නොවන බවත් එය මිනිස් නිර්මාණයන් සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව මානව හිමිකම් නීතිය සමගින් නිසඟයෙන්ම බැඳී තිබෙන අතරම ආර්ථිකමය, සදාචාරාත්මක, සංස්කෘතිකමය මෙන්ම දේශපාලනික මුහුණුවරකින් මේ දෙස බැලීම ඉතා වැදගත් වන බවත් පෙනී යයි.


බුද්ධිමය දේපල අයිතීන් යනු Inevitable Rights වේ. එවැනි අයිතීන් මගහැරීයාම ඕනෑම නිර්මාපකයකු අධෛර්‍යමත් කිරීමට හේතු වන්නකි. එබැවින් නව නිර්මාණකරුවන් වඩ වඩාත් ධෛර්යමත් කිරීම සඳහා මෙන්ම ජනතාවට නව නිපැයුම් හා නිර්මාණ හඳුන්වා දෙමින් රටේ ආර්ථිකයද දියුණු කරගැනීමට ගත යුතු පියවර ගැනීමේ අවශ්‍යතාවය දිනෙන් දින ඉහළ යමින් ඇත.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts