Uncategorized

පරාගවාහකයන් නැති වුණොත් අපට මොකද වෙන්නේ?

කමල් සිරිවර්ධන

ලෝකයේ ජනතාවගේ භාවිතය සඳහා නිපදවන බෝගවලින් අවම වශයෙන් තුනෙන් දෙකක්, පරාගනය සිදුකරන කෘමි විශේෂ මත මත රඳා පවතී. අපගේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ අපගේ පරිසරයේ සෞඛ්‍යය රඳා පවතින්නේ මෙසේ පරාගනය සිදු කරන කෘමීන් මතය.

අප ජීවත්වන මේ මිහිතලය මත ජීවී විශේෂ මිලියන 1.7 කට වැඩි ප්‍රමාණයක් ජීවත් වන අතර එම ජීවී විශේෂ කරදිය, මිරිදිය, වායුව හා භෞමික පරිසර පද්ධතිය වැනි පුළුල් පරාසයක පැතිර පවතින්නේය. 

මෙම ජීවීන් අතරින් පරාගවාහකයින් පරිසර පද්ධතියේ පැවැත්ම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වැදගත් වන ජීවී විශේෂයක් ලෙසින් හඳුනා ගත හැකිය. නිහඬ පරිසර සේවයක් සිදු කරන සත්ත්ව කාණ්ඩයක් වන මොවුන් කෘමීන්, පක්ෂීන් හා ක්ෂීරපායින් යන සත්ත්ව කාණ්ඩවලට අයත්ය. 

මොවුන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම ජෛව විවිධත්ව සම්මුතිය මගින්ද අවධාරණය කරනු ලැබ ඇත. පරාගවාහකයන් සංරක්ෂණය කිරීම සඳහා වර්ෂ 2012 දී පරිසර අමාත්‍යාංශය මගින්, පරාගවාහකයන් සංරක්ෂණය කිරීමේ විද්වත් කමිටුවේ මගපෙන්වීම මත, ශ්‍රී ලංකාවේ පරාගවාහකයන් සංරක්ෂණය කිරීමේ ක්‍රියාකාරී සැලැස්මක් ද එළිදක්වන ලදි. 

ඒ හරහා ඔවුන් විවිධ ක්‍රියාකාරකම් රැසක් සිදු කරමින් පවතින අතර පරාගවාහකයන්ගේ වැදගත්කම පිළිබදව ජනතාව දැනුවත් කිරීමද ඒ අතර වෙයි.‍

 

පරාගනය යනු කුමක්ද? 

පරාගනය යනු ශාක තම වර්ගයා බෝකිරීම ලෙස හැදින්වුවත් වරදක් නැත. බොහෝ ශාක පරාගනය සිදු කරන්නේ මල් හරහායි. පර පරාගනය, ස්ව පරාගනය ආදී වශයෙන් වර්ග කෙරෙන මෙම පරාගන ක්‍රියාවලිය හරහා නව ජීවී ශාක බිහිවීම සිදුවේ. 

ස්ව පරාගනයේදී මල තුළදීම පරාගනය සිදු වේ. ඒ සඳහා කිසිදු  බාහිර සාධකයක් අවශ්‍ය නොවන අතර පර පරාගනයේදී සුළඟ, ජලය, සතුන් වැනි බාහිර සාධකවල උදවු ලබා ගැනීමට සිදු වේ. මෙසේ බාහිර මාධ්‍යයක ආධාරයෙන් පරාගනය වීම මත හට ගන්නා නව ජනිතයන් නීරෝගී මෙන්ම නව මාදිලිවලට අයත් ගස්, වැල්, මල් හා ඵල ඇති වීමට එය ප්‍රබල ලෙස බලපානු ලබයි.

පරාගනය සිදු වීම සඳහා කිසියම් ශාක විශේෂයකින් හටගන්නා පුෂ්පයන්හි පුමාංගී කොටසේ පරාගධානිය මත ඇති වන පරාග එම විශේෂයේම ජායාංගී කොටසේ ඇති කලංකය වෙතට පරාගවාහකයෙකු, ජලය හෝ සුළඟ මගින් හෝ පැමිණිය යුතු වේ. ශාක පල දැරීමට නම් පරාගනය අත්‍යවශ්‍ය සාධකයකි. 

 

පරාගවාහකයන් යනු කවුද?

මල්වල පරාග ගෙන යෑමේ ක්‍රියාවලියට දායක වන ජී‍වී විශේෂයන්ට පරාගවාහකයන් යැයි කියනු ලැබේ. අපෘෂ්ඨවංශිකයින් වන බිඟුන් හා සමනලයින් වැනි විශේෂද  කුහුඹුවන්, කුරුමිණියන්, සලබයින්, බඹරුන්, මැස්සන් හා හෝහපුටුවන්ද පෘෂ්ඨවංශීන් වන වවුලන්, පක්ෂීන්, ලේනුන් හා උරුලෑවන්ද පරාග වාහකයන් ලෙසින් හදුනාගත හැකිය. 

ශ්‍රී ලංකාවේ වෙසෙන පරාගවාහකයන් අතුරින් පරාග ගෙන යෑම හා පුෂ්පයන් ආශ්‍රිතව හැසිරෙන ප්‍රධාන කණ්ඩායම වන්නේ ගෝත්‍ර 38කට හා කුල 4කට අයත් බිගුවන් විශේෂ 148කි.

 

පරාගවාහකයන් වැදගත් ඇයි?

නිවර්තන කලාපීය දේශගුණයකින් සමන්විත ඉහළම ජෛව විවිධත්වයක් පෙන්නුම් කරන සුවිශේෂී රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දිය හැකිය. නිවර්තන පරිසර පද්ධතිවල ශාක අතුරින් සියයට 98-99ක ප්‍රමාණයක් පරාගවාහකයන් මගින් පරාගනය කරන අතර මෙම ශාකවල ඉදිරි පැවැත්ම හා බෝග ඵලදාව පරාගවාහකයන් මත රඳා පවතී. 

මිහිතලයේ පැවැත්ම උදෙසා ශාක මගින් බීජ හට ගැනීම සිදුවිය යුතුය. ශාක හා සත්වයින් අතර සිදුවන අන්තර් ක්‍රියාදාමයක් වන ආහාර දාම හා ආහාර ජාල තුළින් ශක්තිය ගලා යෑම සිදු විය යුතුය. මෙම සංකීර්ණ ක්‍රියාදාමයේ ප්‍රාථමික නිශ්පාදකයා ශාක වේ. ශාකවල පැවැත්ම උදෙසා පරාගවාහකයන්ගේ පැවැත්ම වැදගත් වන බැවින් ඔවුන් පිළිබඳව අපට අවබෝධයක් තිබීම වැදගත් වේ. 

එමෙන්ම ලොව පුරා පරාගවාහකයන්ගේ විවිධත්වය හීන වී යෑමත්, ඔවුන් පිළිබඳ ලේඛනගත තොරතුරු ප්‍රමාණවත් ලෙස නොමැති වීමත් අභියෝගයකි. පරාගවාහකයින් හා පරාගවාහක ගෝචර ශාක සම්බන්ධව දැනුවත්භාවයක් තිබීම ඔවුන් සංරක්ෂණයට යම් පිටුබලයක් වනු ඇත.

පරාගවාහක විශේෂයන් මොනවාද?

 

මෙරට ක්‍රියාකාරී පරාගවාහකයන් රාශියක් ඇත. ශ්‍රී ලංකාව තුළ මධු බිඟුවන් සතර ආකාරයකින් හඳුනාගත හැකිය. ඔවුන් ගෙවතු බෝග වැඩි ප්‍රමාණයක් පරාගණය කිරීම සඳහා ඉහළ දායකත්වයක් ලබාදෙයි. බඹරා හෙවත් යෝධ බිඟුවා (Apisdorsata) මධු බිඟුවා (Apiscerena), දඩුවැල්ලා (Apis florae) හා කනෙයියා (TrigonnaIrridepennis) යන පරාගවාහකයින් අප ජීවත්වන පරිසරය අවට ඇති සීමිත සම්පත් මත පරිසර පද්ධතිය භුක්ති විදිමින් තාවකාලික කැදලි තනමින් ජීවත් වේ.

එසේ වුවත් අප එම සතුන්ගේ ඇති වැදගත්කම ගැන නිසි අවබෝධයක් නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ තාවකාලික වාසස්ථාන විනාශ කර පරිසර තුලිතබවද නැති කර ගනු ලබයි.

 

බඹරා හෙවත් යෝධ බිඟුවා (Apisdorsata)

බඹරාට තම කැදැල්ලේ සිට කිලෝමීටර ගණනාවක් දුරට පියාසර කළ හැකිය. වසරේ විවිධ කාල අනුව මධ්‍ය කඳුකරයේ වලාකුළු වනාන්තරවල සිට මුහුදු වෙරළ තීරය දක්වා ගමන් කරමින් දීපව්‍යාප්තව පවතින සියලු පරිසර පද්ධති ආවරණය කරමින් බොහෝ ශාක විශේෂ පරාගනයට ලක් කරයි.

මොවුන් කෘත්‍රිමව පාලන කිරීමට අපහසුය. එබැවින් මොවුන්ට ඇති ප්‍රධානතම තර්ජනයක් වන්නේ මොවුන්ගේ කැදලි සහිත වාසස්ථාන මිනිසුන් විසින් විනාශ කිරීමයි. එක් බඹර කැදල්ලක බඹරුන් 60,000ක් පමණ ජීවත්වන අතර මොවුන්ට සද එළියේ වුවත් ආහාර සොයායෑමේ විශේෂිත හැකියාවක් ඇත.

 

මධු බිඟුවා/මී මැස්සා (Apiscerena)

මී වද හදන මධු බිඟුවාට තම ජනපදයේ සිට මීටර 750ක පමණ දුරක් පියාසර කළ හැකිය. කැදැල්ලක මී මැස්සෝ 20,000 පමණ වාසය කරති. ගෙවතු වගාවන්හි පරාගන ක්‍රියාවලියට බහුලව දායකත්වය ලබා දෙයි. මධු බිඟුවා පරාගන ක්‍රියාවලියට අමතරව ව්‍යාපාරික මී මැසි පාලන ක්‍රියාවලියටද සක්‍රීය ලෙස දායක වේ. 

 

දඬුවැල් හෝ කුඩා මධු බිඟුවා (Apis florea)

කුඩා මධු බිඟුවා දිවයිනේ ශුෂ්ක කලාපීය ප්‍රදේශවල ජීවත් වේ. මීටර 500ක පියාසැරියක් පවත්වාගෙන යනු ලබන අතර ඉහළ උන්නතාංශයන් තුළ කැදලි නො සාදයි. පියාසර කළ හැකි උපරිම උස මීටර 12.5ක් පමණ වේ. කැදැල්ලක බිඟුහු 2500ක් පමණ වාසය කරති.

 

කනෙයියා (Tetragonula iridipennis)

ගෙවතු වගාවන් තුළ පරාගනයට ඉතා සුදුසු මොවුහු ගෙවතු බෝග පරාගනයට බෙහෙවින් ඵලදායී කාර්යයක් ඉටු කරති. කැදැල්ලක බිඟුහු 2000ක් පමණ වාසය කරති. මීටර් 250ක පමණ කෙටි දුර ප්‍රමාණයක් පමණක් පියාසර කළ හැක. 

 

අම්බලම් පාළුවා (Xylocopa ruficornis)

මොවුන් Xylocopa ගණයට අයත් වන අතර මෙයට අයත් විශේෂ 500ක් පමණ ලොවින් වාර්තා වේ. අම්බලම් පාළුවා සුලබව දැකගත නොහැකි නමුත් අනෙක් මී මැසි විශේෂයන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාලය. ඉංග්‍රීසි භාෂාවෙන් carpenter bee ලෙසින් හඳුන්වයි. හුදෙකලා ජීවී විශේෂයක් ලෙසින් සුලබව හමු වේ. දිරාපත් වූ දැව කොටස්, ලී කැබලි හා ශාක කොටස් තුළ තම කැදලි සාදාගනී. අම්බලම් පාළුවා ලී මත උමං වැනි ගුල් සාදමින් දැව දිරාපත් කරයි. කොට්ටෝරුවා, සබරිත්තා වැනි කුරුල්ලන් ස්වභාවික විලෝපිකයන් වේ.   

 

පරාගවාහකයන්ගේ පැවැත්ම සඳහා පවතින තර්ජන

  • ගෝලීය උණුසුම වැඩිවීම හා දේශගුණික වෙනස්වීම

කාර්මීකරණයත් සමඟ ම මිනිසාගේ සංකීර්ණ අවශ්‍යතා සඳහා වනාන්තර එළි කිරීම හා ඉන්ධන දහනය හේතුවෙන් පෙරට වඩා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා පරාගවාහකයන්ගේ ස්වභාවික ජීවන රටාව බිඳ වැටීම සිදු වී ඇත.

එමෙන්ම, ප්‍රජනන ක්‍රියාවලිය සාර්ථකව සිදු නොවීම මෙන්ම කඳුමුදුන් එළිපෙහෙළි කිරීම හා සන්නිවේදන කුලුණු ඉදිකිරීම හේතුවෙන් සමනලයින්ගේ වාසස්ථානවලට තර්ජන ඇති වීම සිදු වී ඇත. 

  • වාසස්ථාන කැබලි වී යෑම

වනාන්තර එළි කිරීම නිසා ස්වාභාවික වාසස්ථාන වන මී මැසි ගෝචර ශාක හා පරාගවාහකයන්ගේ ධාරක ශාක විනාශ වෙයි. 

  • කෘෂිකාර්මික කටයුතු

ජනගහනය වැඩි වීමත් සමඟින් ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා කෘෂි බෝග නිෂ්පාදනය වේගවත්ව සිදු කරනු දැකිය හැකිය. තවද වර්තමානයේදී අස්වනු වැඩි කර ගැනීම සඳහා භාවිත කරන රසායනික පොහොර පලිබෝධනාශක හා කෘෂි රසායනික ද්‍රව්‍යද පෙරට වඩා අධික ලෙසින් භාවිත කෙරේ. රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පරාගවාහක සතුන්ගේ සුහුඹුල් අවධිය විනාශ වන අතර විශේෂයෙන් සමනලයින්ගේ බිත්තර, පිලා අවස්ථා ආදිය ඍජුවම විනාශ වී යයි. 

  • මී පැණි ලබාගැනීම 

මිනිසා ආර්ථික ඉපයීම් මූලික කරගනිමින් අවිධිමත් ලෙස පැණි නිස්සාරණ කටයුතු සඳහා මී මැස්සන්ගේ ස්වභාවික ජනාවාස විනාශ කිරීම නිසා මී මැස්සන් වඳ වී යනු දැකිය හැකිය. 

  • පරපෝෂිතයන් හා රෝග

පරාගවාහකයන්ට පරපෝෂිත රෝග ලෙසින් බැක්ටීරියා රෝග, දිලීර රෝග හා වෛරස රෝග ඇති විය හැකිය. එමෙන්ම මීමැසි ජනාවාස තුළ පළිබෝධක රෝග ලෙසින් කුඩා ඉටි පණු රෝගය හා ලොකු ඉටි පණු රෝගය ඇති වනු දැකිය හැකිය. 

  • ආගන්තුක ආක්‍රමණකාරී විශේෂ

පරාගවාහකයන්ගේ පැවැත්මට වැදගත් වන්නාවූ ධාරක ශාක විශේෂයන්ට ආගන්තුක ආක්‍රමණික ජීවී විශේෂයන්ගේ වේගවත් ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑම් ඇති විය හැකිය.

 

පරාගවාහකයන් සංරක්ෂණය සඳහා යොදාගත හැකි ක්‍රමවේද

  • ජනතාව තුළ පරාගවාහකයන්ගේ වැදගත්කම පිළිබඳව දැනුවත්බව ඇති කිරීම. 
  • පාසල් විෂයමාලාව තුළට පරාගවාහකයන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීම. 
  • පරාගවාහකයන් පිළිබඳ පර්යේෂණ අධ්‍යයන සඳහා ප්‍රතිපාදන ලබාදීම. 
  • සමනල උයන්, මී මැසි පාලන වැඩසටහන් සඳහා ජනතාව යොමු කරවීම. 
  • පරාගවාහකයන්ගේ ධාරක, මී මැසි ගෝචර ශාක ගෙවතු සඳහා හඳුන්වා දීම.

 

ඩෙංගු වර්ධනයටද, ආහාර ඵලදාව අඩුවීමටද පරාගවාහකයන්ගේ විනාශය හේතුවකි. 

අප රටේ පොල් ඵලදාව අවම වීම, ස්වභාවික පලතුරු අස්වැන්න අඩු වීම, වනාන්තර ආශ්‍රිත ආවේණික මල්, ශාක, සත්ව කොටස් වඳ වී යාම, වසරින් වසර ඵල දරන විවිධ වර්ණ සංයෝජනය සහිත මල් නොපිපීම ආදියට ප්‍රබල හේතුව පරාගවාහකයින් වඳ වී යාමයි.

ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර රතු දත්ත පොතද කරුණු අනාවරණය කර තිබේ. එහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ වසර (2012) තෙක් වාසය කළ සමනල විශේෂ අතරින් විශේෂ 96ක් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව දැක්වේ. ඉන් සමනල විශේෂ 21ක් අප රටට ආවේණික විශේෂ වීම බරපතළ කරුණකි.

බිඟුන් අතරින් කනෙයියා, අම්බලන් පාළුවා ඇතුළු බිඟු විශේෂ 106ක් ද වඳ වීමේ තර්ජනයට ලක්ව තිබේ. ඉන් 16ක් ලංකාවට පමණක් ආවේණික වූවන්ය. හීන් තල වවුලා, දික්බා කැකුළුමා, රැවුල් දිග කැකුළුමා, රැවුල් කළු කැකුළුමා, මහ කැකුළුමා ඇතුළු වවුල් විශේෂ 16ක්ද වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති බව ජාත්‍යන්තර රතු දත්ත පොත අනාවරණය කර තිබේ.

එපමණක්ද නොව ගස් මැඩියන්, ජලජ ශාක ඇතුළු මේ සිරිලකට ආවේණික පරාගවාහකයින්  රැසක් තුරන් වී යන බව ජාත්‍යන්තර රතු දත්ත පොතේ ලියවී ඇත. 

මේ විනාශකාරී තත්වයේ අතුරු ප්‍රතිඵල අපි දැන් දැන්  බුක්ති විඳිමින් සිටින්නෙමු. ඒ නම් ඩෙංගු මදුරු මාරයා රට පුරා සැරිසරන්නේ පරාගවාහකයින්ගේ වඳ වී යාමත් සමඟයි. අතීතයේ මදුරු කීටයින් බොහෝ විට විවිධ කෘමීන්ගේ පෝෂ්‍යදායි ආහාරයක්ව තිබූ නමුත් දැන් මදුරු කීටයින් බොහෝ සුවසේ හැදී වැඩී අපට වින කරයි. 

මේ තත්ත්වය දැනවත් නිසි ලෙස අවබෝධ කරගෙන අප වාසය කරන පරිසරය සුරැකීමේ පළමු වගකීම අපම බාරගෙන ඒ සඳහා පරාගවාහකයින් ආරක්ෂා කිරීමට පෙරමුණ ගනිමු.  

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts