නැගෙනහිර සාමයේ තීරණාත්මක සාධකයක් වන ඉඩම් අයිතිය (පලමු කොටස)
නෙවිල් උදිත වීරසිංහ
ලංකාවේ නැගෙනහිර ප්‍රදේශය යනු දෙමළ, මුස්ලිම් හා සිංහල යන ජනවර්ග තුනම විසිරී සිටින ජනවාර්ගික සංයුතිය අතින් සුවිශේෂ ප්‍රදේශයකි. මෙම ලිපිය තුළ කෙටියෙන් විමසා බැලීමට උත්සහ කරන්නේ නැගෙනහිර ප්‍රදේශය තුළ පවතින මෙම ජනවාර්ගික සංයුතිය අතීතයේ සිට වර්ථමානය දක්වා වාර්ගික ද්‍රැවීකරණයන්ට හා වාර්ගික ආතීත්ට බලපා ඇති ආකාරයයි.
බොහෝ විට පහළොස්වන සියවස තරම් ඉහතදී සහ නිසැකවම දහහත්වන සියවස වන විට මුස්ලිම් ගොවීන් විශාල සංඛ්‍යාවක් නැගෙනහිර වෙරළ තීරයේ – සමකාලීන මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දකුණු ප්‍රදේශවල ද දේශීය ද්‍රවිඩයන් සමඟ අන්තර් විවාහයන් සිදුකිරීම හරහා පොදු මාතෘ සමාජ ව්‍යුහයක් බෙදා ගත්තේය. නැගෙනහිර වෙරළ තීරයේ මුස්ලිම් ජනගහනය සංයුතිය අතින් බහුතරය වන අතර නැගෙනහිර අද ජනවාර්ගික ගැටුම් සම්බන්දයෙන් ඉතා වැදගත් කලාපයකි (McGilvray.2008). ප්‍රකට දෙමළ නායකයෙකු වන ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, 1885 දී ව්‍යවස්ථාදායක සභාවට උපාය මාර්ගික අරමුනක් සහිතව කළ කථාවකදී, ආගමට අමතරව, මුවර්ස් සහ දෙමළ ජනයා සියවස් ගනනාවක් පුරා සිදුවූ අනුවර්ථනයන් හා අන්තර්විවාහයන් හේතුවෙන් සංස්කෘතික හා භාෂාමය ගති ලක්ෂණ විශාල ප්‍රමාණයක් බෙදා ගත් බවට තර්ක කිරීම සඳහා භාෂාමය හා ජනවාර්ගික සාක්ෂි ඉදිරිපත් කළහ. වසර තුනකට පසු ඔහු එය ලංකාවේ රාජකීය ආසියාතික සංගමයේ ජර්නලයේ “ලංකාවේ මුවර්වරු ’පිළිබඳ ජනවර්ග විද්‍යාත්මක” රචනයක් ලෙස ප්‍රකාශයට පත් කළ විට රාමනාදන්ගේ අදහස් වඩාත් ශාස්ත්‍රීය නීත්‍යානුකූලභාවයක් ලබා ගත් බව පෙනී ගියේය (රාමනාදන් 1888). මේ මගින් රාමනාදන් තහවුරු කිරීමට උත්සහ කලේ මුස්ලිම් ජනයා වාර්ගික වශයෙන් දෙමළ බවයි. මේ අනූව පැහැදිලි වන්නේ දෙමළ ප්‍රභූ පංතියද ඉතිහාසයේ පටන්ම මුස්ලිම් ජනයා වෙනම ජනවාර්ගික අනන්‍යතාවයක් සහිත ප්‍රජාවක් වශයෙන් පිලිගැනීමට අකමැත්තක් දැක්වූ බවයි. මෙම සංදර්භය තුළ 19 සියවසේ අවසන් භාගය වන විට බටහිර වෙරලබඩ විසූ නාගරික මුස්ලිම් ප්‍රභූන් විසින් සවිඥානික ලෙසම ඔවුන්ගේ වාර්ගික අනන්‍යතාවය “ සිලෝන් මුවර්” වශයෙන් හදුන්වා ගැනීමට ආරම්භකර තිබුණි. මුස්ලිම් ප්‍රභූන් තමන් දෙමළ කතා කරන ප්‍රජාවක් වශයෙන් නොව මුවර් වරුන් වශයෙන් වෙනම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට උත්සහකර ඇතිබව බොහෝ ලේඛණ පෙන්වාදෙයි.
Muslim Perspectives on the Sri Lankan Conflict නම් වූ පර්යේෂනාත්මක වාර්ථාව පෙන්වා දෙන්නේ උතුරු නැගෙනහිර විසූ මුස්ලිම් ජනයා සහ එල් ටී ටී ඊ සංවිධානය අතර 80 දශකයේ මැදභාගය වනතෙක් සුහද සම්බන්දයක් පැවතියද, උතුරු නැගෙනහිර විසූ මුස්ලිම් ප්‍රජාව තම වාර්ගික අනන්‍යතාවය අතහැර දෙමළ භාෂාව කථා කරන ප්‍රජාවක් වශයෙන් එල් ටී ටී ඊ සංවිධානයට සහයෝගය නොදැක්වීම සම්බන්දයෙන් දරුණු ප්‍රතිවිපාකයන්ට ලක්වීමට සිදුවූ බවයි. මෙම වාර්ථාවට අනූව 1990 ඔක්තෝබර් මාසයේදී එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේ විසූ මුස්ලිම් ජනයාව තමන්ගේ ගම්බිම් වලින් බලහත්කාරයෙන් නෙරපා හැරීම හරහා උතුරේ මුස්ලිම් ප්‍රජාව මුහුන දුන් යථාර්තය වන්නේ ඔවුන් රජයට සහයෝගය දක්වනවාද නැතිනම් “දෙමළ කතා කරන ජනතාවගේ” සන්ධානයකට එක්වනවාද යන උභතෝකෝටික තෝරාගැනීමකට මුහුන දීමට සිදුවූ බවයි. නැගෙනහිර ප්‍රදේශය තුළ මුස්ලිම් ජනයාට එරෙහිව එල් ටී ටී ඊ සංවිධානයේ හිංසනය විවෘතවම ප්‍රකාශයට පත්වූ අවස්ථාවක් වශයෙන් 1990 අගෝස්තු 03 දින කට්ටන්කුඩි මුස්ලිම් පල්ලියේ යාඥා කරමින් සිටි මුස්ලිම් ජාතිකයින් 141දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම පෙන්වාදිය හැකිය. සෙයිඩ් අලවි ෂෙරිෆ්ඩීන් විසින් Colombo Telegraph වෙබ් අඩවියට ලියන ලිපියක සදහන් කරන්නේ මෙම සංහාරය හරහා එල් ටී ටී ඊ සංවිධානය විසින් මුදුන් පමුණුවා ගැනීමට උත්සහ කල අභිප්‍රාය වූයේ ඔවුන්ගේ කැමැත්තට මුස්ලිම් ප්‍රජාව නම්මවා ගැනීම මගින් එල් ටී ටී ඊ සංවිධානයට එරෙහි මෙම සුලුතර ප්‍රජාවේ හඩ නිහඩ කිරීම බවයි.