සමාජ

දේශපාලන බලවේග පාස්කු ප්‍රහාරය හරහා සමාජයට විස එන්නත් කළා

දයා නෙත්තසිංහ

රී ලංකා රජයේ සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්‍යාලයේ සම්පත් දායකයෙකු හා වැඩසටහන් සම්පාදකයෙකු වන විමුක්ති දුෂාන්ත රාවණසිංහ මෙරට සංහිඳියාව ගොඩනැඟීම සදහා ක්‍රියාත්මක “අහන්න” ජංගම වැඩසටහනට සහභාගී වෙමින් බොහෝ අත්දැකීම් ලැබූවෙකි. තිරසාර  සාමය හා සංහිඳියාව ගොඩනැඟීම  වෙනුවෙන් මෙරට තරුණ ක්‍රියාකාරිකයෙකු ගේ වගකීම කෙබඳුද යන්න පිළිබඳ අප ඔහු සමඟ කළ සංවාදයයි.

අහන්න වැඩසටහන කියන්නෙ මොකක්ද? කවුරුන්ද මේ වැඩසටහනට ඉලක්ක වුණේ..?

‘අහන්න, கேளுங்கள், Listen’ වැඩසටහන අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවතින සංහිඳියා යාන්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ එවකට (2018 අගෝස්තු) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව නිර්මාණය කළ වැඩසටහනක්. මෙම වැඩසටහනට සිවිල් පුරවැසි සංවිධාන ඇතුළු සිවිල් පුරවැසි නායකයන්ගේ සහය ලැබෙනවා. මේ වැඩසටහන සංහිඳියාව වෙනුවෙන් වූ ජංගම වැඩසටහනක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන් මේ වැඩසටහනේ මූලික ඉල්ලක්කය වුණේ ග්‍රාමීය මට්ටමේ සිවිල් ආරක්ෂක කමිටු සමඟ සංහිඳියාව පිළිබඳ කතා බහක් නිර්මාණය කර ගැනීම. මේ වන විට අපි ‘අහන්න’ වැඩසටහන පුළුල් කරලා තියනවා පාසල් ශිෂ්‍ය ප්‍රජාව සහ සාමාන්‍ය මහජනතාව දක්වා.

සමාජ ක්‍රියාකාරිකයෙක්, මාධ්‍යවේදියෙක් හා සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ ලේකම්  කාර්‍යාලයේ සම්පත් දායකයකු ලෙස ඔබ මෙම වැඩසටහන හරහා ලැබූ අත්දැකීම් මොනවාද..?

සංහිඳියාව කියන මාතෘකාව එක්ක හැසිරෙනකොට, ගනුදෙනු කරනකොටයි එහි තිබෙන අභියෝග හා ඒවායේ ප්‍රබලත්වය අපට වැටහෙන්නේ. විශේෂයෙන් අපි දන්නවා මිනිස්සු කියන්නේ ස්වභාවිකවම ප්‍රකෝපකාරී සත්ව කොට්ඨාශයක් බව. ඔවුන්ගේ හැඟීම් එක්කයි අපිට මේ ගනුදෙනුව කරන්න සිද්ද වෙලා තියෙන්නේ. ඔවුන් ඉතාම සංවේදී වන ජාතිකත්වය, වාර්ගිකත්වය, ආගමික නැඹුරුව කියන කාරණා එක්ක හැපෙනකොට, ඔවුන් සමඟ තර්ක කරනකොට ඊට අදාළ සංයමයකින් එය කිරීම අභියෝගයක්.

ජාතීන් අතර තිරසර සාමය හා සංහිඳියාව ගොඩනැඟීමට ලංකාවේ වත්මන් සමාජ මාධ්‍ය ජාලවල හැසිරීම ඔබට නිරීක්ෂණය වන්නේ කෙසේද ….?

බොහෝදෙනෙක් ඉන්නේ මේ කාරණාවේ බොහොම සෘණාත්මක අදහසක. අපී රටේ ජනාධිපතිවරයා පවා එහෙමයි. මා විශ්වාස කරනවා සහ මා අත්දැකලා තියනවා ජාතීන් අතර තිරසර සාමය හා සංහිඳියාව ගොඩනැගීමට ලංකාවේ වත්මන් සමාජ මාධ්‍ය ඉතාම හොඳින් භාවිත කළ හැකි බව. අප එය නොකරන තාක් ජාතීන් අතර තිරසර සාමය හා සංහිඳියාව බිඳදැමීමටයි මේ මාධ්‍ය යොදා ගැනෙන්නෙ. අපිට නිරීක්ෂණය වෙලා තියනවා ලංකාවේ පසුගාමී දේශපාලන බලවේග  මේ ජාතිවාදී, ආගම්වාදී මතවාද සමාජ ජාල යොදාගෙන ප්‍රචාරණය කරනවා. එය ඉතාම පහත්  විදිහට දේශපාලනිකව අවභාවිත  කරනවා.මේ තත්ත්වය වෙනස් කළ හැකියි.

 සාමය හා සංහිඳියාව වෙනුවෙන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව පසුගිය කාලයේ සාකච්ඡා වුණා. ඔබ සිතන පරිදි ඒ වෙනුවෙන් ඇතුළත් විය යුත්තේ කුමන කාරණාද?

මා හිතන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සාමය හා සංහිඳියාව එහෙම නැත්නම් ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ විසඳුමකට සීමා වන්නක් නොවිය යුතුයි. ඊට වඩා ලංකාවේ සමාජය මේ මොහොතේ අත්පත් කර ගත යුතුව පවතින ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සහතික කෙරුණු, ඉන්න හිතෙන සමාජ ආර්ථික පරිසරයක් උදා කර ගැනීමේ ඉලක්කයට යා හැකි එකක් විය යුතුයි.

මගේ මූලික ම අදහස තමා මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට සමාජ සුළුතරයට අයිති පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයකු තුළ ‘තමා සුළුතරයට අයත්ය’ යන හැඟීම ඇති නොවන අන්දමින් නිර්මාණය වීම අවශ්‍යයි කියන එක. ඒ වෙනුවෙන් තියන මගේ ප්‍රධානම යෝජනාව තමා ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් බවට පත් කළ යුතුයි කියන එක.

ශ‍්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ 09 වෙනි වගන්තියෙහි ‘බුද්ධාගම’ යන ශීර්ෂය දැක්වෙන ‘ශ‍්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14වන ව්‍යවස්ථාවෙහි (1වන අනු ව්‍යවස්ථාවෙහි (ඉ) ඡේදයෙන් සියලු ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්‍ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය’ යන කොටස පැහැදිලිව ම ඉවත් වීම අවශ්‍යයි.

ලංකාවේ සමාජය මේ මොහොතේ අත්පත් කර ගත යුතුව පවතින ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සහතික කෙරුණු, ඉන්න හිතෙන සමාජ ආර්ථික පරිසරයක් උදා කර ගැනීමේ ඉලක්කයට යා හැකි එකක් විය යුතුයි

මේ රටේ අන්‍ය ආගමික ලබ්ධිකයෙකුට හැඟෙන්න පුළුවන් මේ වගන්තියෙන්තමාට වෙනස් කොට සැලකීමක් සිදුවෙනවා කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ රටක එක කොටසකට වෙනස් කොට සලකන්න නිර්මාණය විය යුත්තක් නෙමෙයි. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියන මේ ගැටලුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් පැහැදිලිව වෙනස් වීම අවශ්‍යයි.

අනිත් කාරණාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිවු වෙනි පරිච්ඡේදයෙහි 18 වගන්තිය. මෙම වගන්තියේ සඳහන් වෙන්නේ ‘ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේය. දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේය’ කියලා. ඇයි මේක අපිට ලියන්න බැරි ‘සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා වන්නේය’ කියලා?

මේ කාරණා නිසා රාජ්‍යය අපක්ෂපාතී බේරුම්කරුවකු ලෙස හැසිරිය යුතුය සහ ක්‍රියාකළ යුතුය යන මූලධර්මය වගේම සමාන පුරවැසියන් හා සමාන ඉඩ ප්‍රස්තා යන මූලධර්මය පදනම් කරගෙන රට තුළ ජීවත් වන සියලුම පුරවැසියන්ට රාජ්‍යය එක හා සමානව සැලකිය යුතුය යන මූලධර්ම දෙකම බිඳ වැටෙනවා.

තරුණයෙක්,මාධ්‍යවේදියෙක් ,සමාජ ක්‍රියාකාරීකයෙක් විදියට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ඔබ අර්ථ කථනය කරන්නේ කොහොමද ..?

අධ්‍යාපනයේ මූලික අරමුණ ගුණාත්මක පුරවැසියෙක් බිහි කිරීම වුණත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ එම මූලික අරමුණ ඉටුවන බව මට පෙනෙන්නේ නැහැ. පාසල් අද වෙනකොට ශිෂ්‍ය ප්‍රජාවගේ අයහපත් ආකල්ප වර්ධනය කරන්න තෝතැන්නක් වෙලා තියන බව අපට පේන්න තියන කාරණයක්. වාර්ගික, ආගමික, ලිංගිකත්වය කියන කාරණා පමණක් නෙමෙයි තවත් බොහෝ බෙදුම් රේඛා නිර්මාණය වෙන විදිහට  වර්ග කරපු පාසල් පද්ධතියක් අපට තියෙන්නේ.

 තිරසර සාමය හා සංහිඳියාව වෙනුවෙන් අහන්න වැඩසටහනේ දායකත්වය කෙබඳුද …?

මෙරට තිරසර සාමය හා සංහිඳියාව වෙනුවෙන් වර්තමාන රජය විශාල සහයක් ලබා දීලා තියන බව මුලින් ම මතක් කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති නිර්මාණය කිරිම යාන්ත්‍රණ නිර්මාණය කිරිම සිද්ද වුණත් ඒ පිළිබඳව රටේ මහජනතාව අතරේ ප්‍රමාණවත් මට්ටමේ සාකච්ඡාවක් ගොඩනැගී තිබුණේ නැහැ.

මේ කාරණාව නිසා අපට ‘අහන්න’ වැඩසටහන හරහා අවශ්‍ය වුණේ ඒ සංවාදය නිර්මාණය කිරීමත්, එකී සංවාදය පුළුල් කිරිමත් කරන්නයි. අප කොයි තරම් ප්‍රතිපත්තිමය තීරණ ගත්තත්, යාන්ත්‍රණ නිර්මානය කළත් ජනතාව ඒ කෙරෙහි සංවේදී නැත්තම් එය සාර්ථක වන්නේ නැහැ. අහන්න හරහා අපි ඒ සාකච්ඡාව ආරම්භ කළා. මෙම වැඩසටහනින් අපේක්ෂිත මට්ටමින් ප්‍රතිඵල අත්කර ගන්න ලැබුණේ නැහැ යන්නයි මගේ පෞද්ගලික අදහස.

අපේ රටේ සමාජ දේහයේ ගැඹුරට කාවැදිලා තියෙන්නේ සාමය සංහිඳියාව නොවන බව පාස්කු ඉරිදා ප්‍රහාරය හරහා පැහැදිලි වුණා

පසුගියදා ඇතිවුණු පාස්කු ඉරිදා ප්‍රහාරය සංහිඳියා ක්‍රියාදාමයට එල්ල වූ මරුපහරක්. මෙවැනි සිදුවීම්වලින් සමාජ දේහයේ බිඳවැටීම වලක්වාගන්නේ කොහොමද …?

අපේ රටේ ජනතාව අතර එකිනෙකා කෙරෙහි විශ්වාසයක් තවමත් ගොඬ නැගිලා නැති බව පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි අමිහිරි සිදුවීම්වලින් වගේම ජනතාව ඒ කෙරෙහි දැක්වූ ප්‍රතිචාරවලින් මනාව පැහැදිලි වුණා. වෙනත් ආකාරයකට කියනවා නම්  අපේ රටේ සමාජ දේහයේ ගැඹුරට කාවැදිලා තියෙන්නේ සාමය සංහිඳියාව නොවන බව පාස්කු ඉරිදා ප්‍රහාරය හරහා පැහැදිලි වුණා. ඒ වෙනුවට වසර ගණනාවක් පුරාවට මේ රටේ දේශපාලන ක්‍රමය මගින් නඩත්තු කර පෝෂණය කරපු පුහු ඊනියා දේශප්‍රේමය සහ වර්ගවාදය ඉහළට මතුවෙනවා අපි දැක්කා. එහි ප්‍රතිඵල පාස්කු ප්‍රහාරයේ පසු කම්පන විදිහට මිනුවන්ගොඩ, කුරුණෑගල වගේ ප්‍රදේශවලි අපි දැක්කා. අපි අත් වින්දා. ඒ හින්දා තිස් අවුරුදු යුද්ධය උත්කර්ශයට නංවලා මේ රටේ සමාජ දේහයට එන්නත් කරපු විස වගේම බිහිසුණු එන්නතක් පසුගාමි දේශපාලන බලවේග පාස්කු ප්‍රහාරය ඔස්සේ මේ රටේ සමාජ දේහයට එන්නත් කළා.

අපේ රටේ පාසල් ජාතිකත්ව ,ආගමික පදනමින් පමණක් නෙවෙයි ස්ත්‍රී පුරුෂ ලෙස පවා බෙදා වෙන්කර තියෙන්නේ. මේ තත්ත්වය රටේ අනාගතයටබලපාන්නේ කොහොමද ..?

වාර්ගික, ආගමික, ලිංගිකත්වය කියන කාරණා පමණක් ම නෙමෙයි තවත් බොහෝ බෙදුම් රේඛා නිර්මාණය වෙන විදිහට වර්ග කරපු පාසල් පද්ධතියක් අපට තියෙන්නේ. මෙහි ප්‍රතිපල තමා අපි මේ මොහොත වන විටත් භුක්ති විඳිමින් සිටින්නේ. තරුණ පරපුර කොතරම් වර්ගවාදී, ආගම්වාදී නැඹුරුවකට ලක්වෙලා තියනවද කියන අත්දැකීම අපට තියනවා. පසුගිය සමයේ ඇතිවෙච්ච ඇතැම් සිදුවීම්වලට අත්ඩංගුවට පවා ලක් වුණේ පාසල් වයසේ දරුවෝ. ඒ  අනාගතය තමා මේ අපි අද අත්විඳින්නේ. එය වෙනස් කළ යුතුයි. මේ බෙදුණු පාසල් ක්‍රමය වෙනස් විය යුතුයි. මෙම බෙදුම් රේඛා හැකි ඉක්මනින් අධ්‍යාපනයෙන් මකා දැමුවේ නැත්තම් මීටත් වඩා භයානක අනෙක් වර්ගයා ගැන ආගමික ලබ්දිකයා ගැන සැකයෙන් බලන ඒ සැකය නිසා මිනී මරා ගන්න රටක් නිර්මාණය වේවී.

මිනිස්සුන්ගේ විශ්වාස පද්ධතියත් එක්ක බද්ධ වෙච්ච කාරණා ගැන තීරණයක් දෙන්න මට අයිතියක් නැහැ

බුර්කාව තහනම් කිරීම,මුස්ලිම් කඩ වර්ජනය, මුස්ලිම් විවාහ නීතිය, ආහාරවලට  වඳපෙති මුසු කිරීම වගේ සමාජය ගිනියම් කළ ප්‍රචාර ඔබ විග්‍රහ කරගන්නේ කොහොමද …?

ඒ ගැන ගැඹුරින් විග්‍රහ කරන්න දෙයක් නැහැ. ඒ සියලු ප්‍රචාර දේශපාලනිකයි. සැකයෙන් පිරුණු ජනතාවක් ඉන්න රටකට ඔය වගේ එක් මාතෘකාවක් පැළකරාම ඇති මිනිස් ජීවිත දහස් ගානක් බිලිගන්න වගේම තමන්ගේ දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරගන්නත්. අනික් අතට මිනිස්සුන්ගේ විශ්වාස පද්ධතියත් එක්ක බද්ධ වෙච්ච කාරණා ගැන තීරණයක් දෙන්න මට අයිතියක් නැහැ කියලයි මං හිතන්නේ. කාටහරි කොට සායක් ඇදන් යන කාන්තාවක් දැක්කාමයි, බුර්කාවක් දැක්කමායි මොකක් හරි කිචියක් හැදෙනවා නම් මට ඒකට කරන්න දෙයක් නැහැ.

 ආගම ඇදහීම ජාතීන් අතර සමගියට බාධාවක් ද…?

පැහැදිලිව ම නැහැ. ආගමක් අදහන එක අතිශය පුද්ගලිකයි. රට ආගමික රාජ්‍යක් බවට පත් කරාම එන අවශේෂ ප්‍රශ්නයක් විදිහට තමා මා ඔය ගැටලුව දකින්නේ.

මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස ඔබ වෛරී ප්‍රකාශ හා අසත්‍යය ප්‍රවෘත්තිවලින් සමාජයට වන හානිය නිරීක්ෂණය කරලා තියෙනව ද? ඒ හානි වලක්වා ගැනීමට අපේ රටේ සමාජ දේහයේ ඇතිකළ යුතු වෙනස් කම් මොනවාද …?

මේ සම්බන්ධයෙන් දෙන්න පුළුවන් උදාහරණ සහ සිදුවීම් ගණනාවක් තියනවා. මෑතක දී සිදුවෙච්ච දෙයක් තමා ලංකාවේ ප්‍රධාන පෙළේ  ජාතික පුවත්පතක  මුල් පිටුවේ මේ පිළිබද පළ වෙච්ච ‘සහරාන් කල්ලි පස් දෙනාගේ බැංකු ගිණුම්වල කෝටි 100ක්’ කියන පුවත.

මේ පුවත සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් පස් දෙනාගේ පවුල්වල සාමාජිකයන් ප්‍රකාශ කළේ බැංකු ගිණුම්වල කෝටි 100ක් තිබූ බවට චෝදනාවක් කිසිදු නීති අංශයකින් මේ වනතුරු ඔවුන්ට එල්ල කරලා නැති බව. ඒ වගේම මේ සාවද්‍ය පුවත නිසා ඔවුන් ‌බොහෝ සමාජීය අපහසුතා හා මානසික පීඩාවන්ට ලක් වුණු බව. මෙහි තිබෙන කනගාටුදායක ම කාරණය තමා භාෂා ගැටලුව. ඒ පිරිසට සිංහල මාධ්‍ය වෙත තොරතුරු හෙළි කරගන්න නොහැකිවෙලා අසරණ වෙච්ච එක. අනිත් සිදුවීම තමා දොස්තර සාෆි සම්බන්ධ සිදුවීම.බොහෝ දෙනෙක් වෛරී ප්‍රකාශ හා අසත්‍යය ප්‍රවෘත්තිවලට එරෙහිව නීති අවශ්‍ය බවට කාලයක් තිස්සේ යෝජනා කළා. ඊට රජය යහපත් ප්‍රතිචාරයක් දක්වලා තිබෙන බව පේනවා.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts