ත්‍රිමලේ දෙමළ ස්පා විරෝධය සහ සිංහල වෙළද ආධිපත්‍ය
නෙවිල් උදිත
2009 වර්ශයේ ලංකාව තුළ පැවති සිවිල් යුද්ධය අවසන් වීමත් සමග ත්‍රිකුණාමලයේ උප්පුවේලි මුහුදු තීරයට සංචාරක අවධානය විශාල වශයෙන් යොමුවන්නට විය. උප්පුවේලී මුහුදු තීරය වෙතට විදේශීය සංචාරකයින්ගේ අවධානය වැඩිවීමත් සමග උප්පුවේලි ප්‍රදේශයේ පිහිටි ඇලස් වත්ත ප්‍රදේශය තුළ පහුගිය වසර කිහිපය තුළ විදේශීය සංචාරකයන් සදහා නවාතැන් පහසුකම් සැපයීමට නිවාඩු නිකේතන හා හෝටල් විශාල වශයෙන් ඉදිවන්නට විය.
උප්පුවේලියේදී අපට හමුවූ දිළිදු පීඩිත ගැහැණුන් බොහොමයකගේ ජීවිත යනු බොහෝ දුක්ඛ දෝමනස්නයන් සහ ඛේදවාචකයන් පිරි, පිරිමින්ගේ අඩන්තේට්ම්ද විදගනිමින් පැහැදිලි අරමුණකින් තොරව දරුමල්ලන්ද සමග දවසේ ජීවිතය යාන්තමින් ගැටගසා ගනිමින් ඇදීයන දුක්ඛිත පීඩිත ජීවිතයකි. උප්පුවේලියේ ජීවත්වන සමහරක් ගැහැණුන් කිලෝ මීටර 265ක පමණ දුරින් පිහිටා ඇති කොළඹ නගරය දැක ඇත්තේ රූපවාහිණියෙන් පමණි. මෙවන් ගැහැණුන් ජීවත් වන උප්පුවේලි ප්‍රදේශයට හිටි අඩියේ වසර කිහිපයක සිට දකුණේ ඈත සිංහල ගම්මාන වලින් තරුණ කාන්තාවන් කඩාපාත්වන්නට වූයේ ඇලස් වත්තේ හතු පිපෙන්නාක් සේ ස්පා (Spa) ආරම්භවීමත් සමගය. දෙමළ ජනයාට ආධුනික වූ සංස්කෘතියක් ඇලස් වත්ත ආශ්‍රිතව වර්ධනය වන්නට වූයේ දකුණේ සිංහල ගම්මානවලින් පැමිණි තරුණ කාන්තාවන් ඇලස් වත්තේ හතු පිපෙන්නාක් සේ ආරම්භ වූ ස්පා හි සේවයට පැමිණිමත් සමගයි. ඇලස්වත්තේ මෙම ‘ නව ස්පා සංස්කෘතියේ’ , නිර්මාතෘන් වූයේ ත්‍රිකුණාමලය නගරයෙන් සහ දකුණේ සමහර ප්‍රදේශවලින් පැමිණි සිංහල ව්‍යාපාරිකයන්ය. උප්පුවේලි ප්‍රදේශය තුළ සංචාරක කර්මාන්තය වර්ධනය වීමට සමගාමීව ස්පා සදහා අවකාශයක් විවර වීම අනිවාර්ය සාදකයකි. ආයුර්වේද ක්‍රමවේදයන් සහිත ස්පා සදහා විදේශීය සංචාරකයන් තුල විශාල ඉල්ලුමක් ඇත. දේශීය ආයුර්වේද ක්‍රමවේදයන් සහිත ස්පා යනු මේ වන විට ලංකාවේ සංචාරක කර්මාන්තයට අදාලව විශාල වශයෙන් වර්ධනය වෙමින් පවතින Wellness Tourism හි අඩංගුවන එක් වෙළදපොල අංගයකි. Wellness Tourism (සුවතා සංචාරක ව්‍යාපාරය) හි Wellness (සුවතාවය) යනු හුදු ස්පා වලින් ඔබ්බට විහිදී යන පුලුල් වපසරියකි. දේශීය ආයුර්වේදය යනු ඖෂධ සදහා වන සාකල්‍යය ප්‍රවේශයක් සහිත වෛද්‍ය සම්ප්‍රධායකි. එය ශාරීරික පමණක් නොව මානසික චිකිත්සාවන් සහිත ක්‍රමවේදයකි. ආයුර්වේදයේ වන මෙම සාකල්‍යය ප්‍රවේශය මත පදනම්ව වර්ධනය වී ඇති ‘සුවතා සංචාරක ව්‍යාපාරය’ විදේශීය සංචාරකයන්ගේ විශාල අවධානයක් හිමිකර ගනිමින් සිටින ක්ශෙත්‍රයකි. ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ ප්‍රමිතිගත ආයුර්වේද ස්පා ශේත්‍රය ස්ථානගතවන්නේ සුවතා සංචාරක කර්මාන්තය නැමති මෙම පුළුල් සංධර්භය තුලයි.
ආයුර්වේද කොමසාරිස් රමනී ගුණවර්ධන වරක් Daily Mirror පුවත්පතට ප්‍රකා ශකර සිටියේ දැනට ලංකාව තුළ බලපත්‍ර සහිත ආයුර්වේද මධ්‍යස්ථාන 15ක් පවතින අතර ඉන් 5ක් කොළඹ ක්‍රියාත්මක වන අතර අනෙක් බලපත්‍ර සහිත මධ්‍යස්ථාන 10 කොළඹින් පිටත ක්‍රියාත්මක වන බවයි. බොහොමයක් මධ්‍යස්ථාන නීත්‍යානුකූල නොවන මධ්‍යස්තාන බවත් මෙයින් ආයුර්වේද මධ්‍යස්ථාන 50ක් බලපත්‍ර සදහා ඉදිරිපත්කර ප්‍රතික්ශේප වූ ඒවා බවයි. කොමසාරිස් තුමිය තවදුරටත් ප්‍රකාශකරසිටියේ නීත්‍යානුකූල නොවන ස්පා සමහරක් බලපෑම් සහගත පුද්ගලයින්ගේ සහ දේශපාලකයන්ගේ සහයෝගය යටතේ ක්‍රියාත්මකවන බවයි.
ඇලස් වත්තේ පසුගිය වසර කිහිපය පුරා හතු පිපෙන්නාක් සේ ආයුර්වේද ස්පා නමින් බෝඩ් එල්ලාගෙන ආරම්භ වූ ස්පා බහුතරයක්ද නිසි අනුමැතියකින් හෝ කිසිදු ප්‍රමිතියකින් තොරව ප්‍රදේශයේ ‘බලවතුන්ගේ’ සහයෝගය සහිතව පවත්වාගෙන ගිය නමට පමණක් වූ ආයුර්වේද ස්පා විය. මේවා බොහෝමයක් සැබෑ වශයෙන් ක්‍රියාත්මක වූයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් භේදයකින් හෝ වයස්බේදයකින් තොරව ත්‍රිකුණාමලයේ සහ ත්‍රිකුණාමලයට පිටතින් පැමිනෙන පිරිමින්ට ලිංගික සේවාවන් සැපයූ මධ්‍යස්ථාන වශයෙනි.
ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ තත්වය පිළිබඳව කාන්තා හා මාධ්‍යය සාමූහකයේ අධ්‍යක්ෂිකා ආචාර්්‍ය සේපාලි කෝට්ටේගොඩ මහත්මිය මෙසේ පැහැදිලි කරයි.
“ තමන්ට රැකියා අවස්ථා නොමැති තත්වයක් යටතේ තමන්ගේ කැමැත්තකින් තොරව හෝ පුර්ව දැනුවත් භාවයකින් තොරව තරුණියක් ලිංගික සේවාවන් සැපයීමට යොමුවීමට සිදුවන්නේනම් එය කූටනයට ලක්වීමක් (trafficking). මේ සදහා විසදුමක් වශයෙන් සිදුවිය යුතු දේ තමයි මෙම තරුණියන් කැමති රැකියා අවස්ථාවන් හා අවකාශයන් නිර්මාණය කිරීම. අවුරුදු 18ට වැඩි කාන්තාවක් තමන්ගේ කැමැත්තෙන්ම ලිංගික ශ්‍රමය සැපයීමට තීරණයක් අරගෙන තියෙනවනම් ඒ තත්වය වෙනස්. ත්‍රිකුණාමලයේ ස්පා වල සේවයට පැමිනි බහුතරයක් තරුණියන් මම හිතන්නෙ නම් කූටනයට ලක්වූවන් කියල.වෙන රැකියාවකට කියල ගෙනල්ල ලිංගික සේවාවන් සැපයීම සදහා යෙදවීම කියන්නෙ මම හිතන විදියට ‘සාපරාධී ක්‍රියාවක්’. අනෙක් පැත්තෙන් ලිංගික ශ්‍රමිකයන් සදහා අයිතීන් තියෙන්න ඕනෙ. කවුරුහරි කෙනෙක්ව ලිංගික ශ්‍රමය සදහා විකුනන කෙනා සහ ලිංගික ශ්‍රමය සොයාගෙන යන කෙනා වැරදි වුවත් ලිංගික ශ්‍රමය කියනදේ අපරාධයන් නෙවෙයි කියල පැහැදිලි කිරීමක් තියෙනව. මට තේරෙන හැටියට ත්‍රිකුණාමලයේ වෙලා තියෙන්නෙනම් කෙලින්ම කූටනය නිසා මේ ළමයින්ව විකුනගෙන කන එකක්”
ඇලස්වත්තේ සහ ඒ අවට ජීවත්වූ දෙමළ ජනයා තුළ මෙම ‘නව ස්පා සංස්කෘතියට’ එරෙහිව වර්ධනය වෙමින් තිබූ විරෝධය 2019 ජනවාරි 30 වන දින සංවිධානගත උද්ඝෝෂණ ව්‍යාපාරයක් හරහා පුපුරා ගියේය. මෙම උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් කිසිදු නීත්‍යානුකූල පදනමක් රහිත පිලිගත් ප්‍රමිතියකට අනුකූල නොවන ලෙස පවත්වාගෙන ගිය සියලුම ‘ආයුර්වේද ස්පා’ වසා දැමීමට බලධාරීන්ට සිදුවිය.
නම හෙලිකිරීමට අකමැතිවූ දමිළ තරුණයෙකු ප්‍රකාශ කලේ “ ස්පාර් කියල නම දාගෙන මෙහෙ කරගෙන ගියේ තනිකරම වෙනින් දෙයක්. ඒව අපේ සංස්කෘතියට හොද නැති දේවල්. අපි උද්ඝෝෂණය කරාට පස්සෙ ප්‍රාදේශීය සභාව සහ පොලීසිය මෙම ස්පා හැම එකක්ම වහන්න කියල නියෝග කරා. මොකද තැන් දෙකකට ඇරෙන්න අනිත් කිසිම තැනකට අවශ්‍යය කරන නීතිමය බලපත්‍ර තිබුනෙ නැහැ. අවශ්‍ය කරන නීතිමය බලපත්‍ර නොතිබූ ස්ථාන පවත්වාගෙන ගියේ එක එක අයට පගාව වශයෙන් සල්ලි දීල”
බලධාරීන් විසින් බලපත් රහිත සියලුම ස්පා වසා දැමීමට කටයුතු කිරීමෙන් පසුව මෙම ස්පා හිමි සිංහල ව්‍යාපාරිකයන්ගෙන් බළදාරීන් වෙත ඉදිරිපත් කෙරුන පැමිනිල්ල වූයේ, සංචාරක කර්මාන්තය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් සිංහල ව්‍යාපාරිකයන් මැදිහත්වීම සම්බන්ධයෙන් ඇලස් වත්තේ දෙමළ ජනයා තුළ වන අකමැත්ත සහ ඊර්ෂ්‍යාව මෙම විරෝධය හරහා ප්‍රකාශ වූ බවයි.
නම හෙලිකිරීමට අකමැති දමිළ තරුණයා ප්‍රකාශකර සිටියේ “ අපිට මෙහෙ ව්‍යාපාර කරන සිංහල ව්‍යාපාරිකයන් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇලස් වත්තෙ අවන්හල්, සංචාරක නිකේතන හා හෝටල් පවත්වාගෙන යන සිංහල ව්‍යාපාරිකයො ඉන්නව අපට ඒ අයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ”
සැබෑ තත්වය වූයේ ඇලස් වත්ත තුළ වර්ධනය වෙමින් පැවති සංචාරක කර්මාන්තය හා පැවති ස්පා අතර කිසිදු සම්භන්දයක් නොමැතිවීමයි. ඇත්ත වශයෙන්ම සිදුවූයේ සංචාරක කර්මාන්තය මුවාවෙන් කිසිදු ජාතිභේදයකින් සහ වයස් භේදයකින් තොරව සිංහල, දෙමළ සහ මුස්ලිම් පිරිමින්ගේ ලිංගික අවශ්‍යතා සදහා වූ ස්ත්‍රි ලිංගික ශ්‍රමිකයන්ගේ සේවාවන් සැපයීමේ මධ්‍යස්ථාන ‘ආයුර්වේද ස්පා’ නමින් සිංහල ව්‍යාපාරිකයින් පිරිසක් විසින් පවත්වාගෙන යාමයි .
කිසියම් වෙලද ආධිපත්‍යක් තහවුරු කරගැනීම සදහා වාර්ගික ද්‍රැවීකරණයන් භාවිතාකිරීමට උත්සහ කරන අයුරු මෙම සිදුවීම හරහා අපට නිරීක්ෂනය කල හැකිය. මෙම සිදුවීම හරහා තල කීපයක ප්‍රශ්න කිහිපයක් එකිනෙ වෙත අභිමුඛ වෙයි. එක් අතකින් ලිංගික ශ්‍රමය සදහා වන අයිතිය, නීත්‍යානුකූල භාවය සහ ප්‍රජා මානසිකත්ය යන එකිනෙකට අභිමුඛවන සාධක රාශියක් මේ සිදුවීම හරහා අප ඉදිරියට කැදවයි. ලාංකීය සමාජය තුළ සාමය හා සංහිදියව සදහා වන ගැඹුරු පරිවර්ථනයක් පිළිබදව සිතීමේදී සැළකිලිමත් විය යුතු කරුණු රාශියක් මෙම සිදුවීම හරහා ප්‍රකාශයට පත්වන්නේයැයි සිතමි.
திருகோணமலையில் முன்னெடுக்கப்பட்ட ஸ்பா எதிர்ப்பு ஆர்ப்பாட்டங்கள் மற்றும் சிங்கள வர்த்தக ஆதிக்கம்
Anti-Spa Protests And Sinhala Trade Dominance In Trincomalee