Uncategorized

ජෛව විවිධත්වය මත යැපෙන ශ්‍රී ලාංකික කාන්තාවන් මුහුණ දෙන ආර්ථික අභියෝග

අරුල් කාර්කි   

ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රමිකයෝ ජාතික ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරති. වතුකරයේ, කෘෂිකර්මාන්තයේ, සේවා සහ කර්මාන්ත යන අංශවල කාන්තා ශ්‍රමිකයන්ගේ අනුපාතය වැඩිවෙමින් පවතී. විශේෂයෙන්ම පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ප්‍රමාණයක් කෘෂිකාර්මික හා වැවිලි අංශවල සේවය කරන අතර එම අංශවල පැවැත්ම පරිසරය සමඟ සමීපව බැඳී තිබේ.

මේ අනුව, කාන්තාවන්ගේ ආර්ථිකය පරිසරය සමඟ සහජීවනයෙන් යුතු සම්බන්ධතාවක් පවත්වාගනු ලැබේ. එය පාරිසරික  සහ දේශගුණික විපර්යාසවල බලපෑම්වලට සංවේදී වේ. එබැවින් කාන්තා ආර්ථිකය තිරසාර ලෙස ආරක්ෂා කර ගැනීම හදිසි අවශ්‍යතාවයකි.

චීනයේ මුලසුනෙන් යුතුව කැනඩාවේ මොන්ට්‍රියල්හි පවත්වන ලද ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවෙහිදී (COP 15) ද මෙම කරුණ අවධාරණය කරන ලදි. සමුළුවේදී 2030 වන විට සපුරාගත යුතු අරමුණු හතරක් සහ ඉලක්ක 23ක් සම්මත කර ගන්නා ලදි. මෙම ඓතිහාසික පැකේජය මගින් ගොඩබිම, සාගර, වෙරළබඩ ප්‍රදේශ සහ මිරිදිය සම්පත්වලින් සියයට 30ක් ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වේ. 2030 වසර වන විට ජෛව විවිධත්වයට හානි කරන සහනාධාර අවම වශයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 500කින් කපාහරින ලෙස ලොව පුරා රජයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. එසේම, ආහාර නාස්තිය අඩකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස ද නියම කර තිබේ.

 එහි 22 වන ඉලක්කය විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන නියෝජනයක් ලබාදීම සහ තීරණ ගැනීමේදී කාන්තාවන් සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. පාරිසරික සම්පත් සම්බන්ධයෙන් කාන්තාවන්ගේ, තරුණයින්ගේ සහ ප්‍රාදේශීය සහ ස්වදේශික ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ද එමගින් අවධාරණය කරනු ලැබේ.

පාරිසරික සම්පත් වෙත ප්‍රවේශ වීමේදී කාන්තාවන් මුහුණ දෙන සමාජ ආර්ථික හා සංස්කෘතික බාධක හේතුවෙන් මෙම ඉලක්කවල අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම ශ්‍රී ලංකාවට අභියෝගාත්මක කාර්යයකි. කෘෂිකර්මාන්තයට සම්බන්ධ අංශවල කාන්තාවන්ගේ ජීවනෝපාය ගොඩබිම, මිරිදිය ජලාශ්‍රිත සහ ඒ හා සමාන වෙනත් පාරිසරික සම්පත් සඳහා ඔවුන් සතු ප්‍රවේශය මත රඳා පවතී. එහෙත්, ඔවුන්ට මෙම සම්පත් සඳහා ඇත්තේ සීමිත අයිතියකි.

ශ්‍රී ලංකාවේ උඩරට වතුකරයේ තත්වයෙන් මෙය වඩාත් පැහැදිලි වේ. එහි බොහෝ මිනිස්සු තේ හෝ රබර් වතුවල වැඩ කරති. මෙම සේවකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් කාන්තාවෝය.

ඔවුන්ගේ ආර්ථික අහේනියට සහ පාරිසරික සම්පත් සඳහා ඔවුන්ට ඇති සීමිත ප්‍රවේශයට හේතු වන සාධක දෙකකි: ඒවා නම්, ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සුළුතර පීඩිත ප්‍රජාවක සාමාජිකයන් ලෙස ඔවුන්ගේ තත්ත්වයයි.

මෙම කාන්තාවන් සේවය කරන තේ, රබර් සහ පොල් වතු රජය සමඟ බදු ගිවිසුම් යටතේ පෞද්ගලික කළමනාකරණ සමාගම් විසින් පවත්වාගෙන යනු ලබන ඒවාය. ඉඩම් වෙනත් අය වෙත පැවරීම සඳහා සංකීර්ණ නීතිමය කටයුතු අවශ්‍යය. එබැවින්, මෙම කාන්තාවන්ට ඉඩම් පිළිබඳ පාලනයක් නැත. තිබුණත්, ඇත්තේ සුළු පාලනයකි.

ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයා COP15 සමුළුවට සහභාගී වූ අතර, එහිදී සම්මත කරගන්නා ලද කරුණු අතර කාන්තාවන් සහ සුළුතර කණ්ඩායම් සඳහා සාධාරණ සහ තිරසාර අන්දමින් සම්පත් වෙන් කිරීම සහතික කිරීම ඉලක්ක කරගත් අරමුණු හතරක් ද විය. COP15 රාමුවේ පාර්ශවකරුවෙකු ලෙස, 2030 වන විට එම රාමුවේ අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව පියවර ගත යුතුය.

කෘෂිකර්මාන්තය මත පදනම වූ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් තුළ, පාරිසරික හායනය හේතුවෙන් ඇතිවන පාරිසරික අසමතුලිතතාව නිසා දේශීය ප්‍රජාවන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන ආර්ථික අභියෝග උග්‍ර වී ඇත. කාන්තාවන්ට පාරිසරික සම්පත් වෙත ප්‍රවේශ වීමේ අයිතිය අහිමි වීමේදී පරිසර පද්ධතියට සිදුවන බාධා කිරීම් ද වැඩි බව වාර්තා වේ.

එසේ වුවද, තිරසාර සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීමේදී, පාරිසරික සම්පත් සම්බන්ධයෙන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් කෙරෙහි අවධානය යොමු කරනුයේ අල්ප වශයෙනි. විශේෂයෙන්ම වරප්‍රසාද අහිමි වූ සුළුතර ප්‍රජාවන්ගේ කාන්තාවෝ මෙම තත්ත්වයට මුහුණ දෙති.

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු-නැගෙනහිර කලාපයේ සුළුතර දෙමළ ප්‍රජාවේ කාන්තාවන්ගේ තත්ත්වය ද ඊට වෙනස් වන්නේ නැත. ඔවුන් සිටින්නේ යුද්ධයෙන් විනාශ වූ තම සමාජ ආර්ථික පදනම් යළි ගොඩනගාගැනීමේ අරගලයකය. කාන්තාවන් ගෘහමූලික වන පවුල් විශාල සංඛ්‍යාවක් මෙම කලාපයේ තිබෙන අතර එය ප්‍රධාන සමාජ ආර්ථික සාධකයකි. ඔවුන්ගේ හිමිකාරීත්වය සම්පූර්ණයෙන් තහවුරු වී නොමැති අතර, යුද්ධයේදී සිදු වූ පාරිසරික හානියෙන් ද ඔවුහු පීඩාවට පත්වෙති.

පරිසරය රැකගැනීමේ සහ භූමිය, ජලය සහ පිරිසිදු වාතය වැනි පාරිසරික සම්පත් මත යැපෙන කාන්තා ශ්‍රම බලකාය ආරක්ෂා කිරීමේ ද්විත්ව අරමුණු ඉටු කිරීම රජයේ සැලසුම්වල ඉලක්කය විය යුතු බව ක්‍රියාකාරිකයින්ගේ අදහස වේ.  එහිදී පීඩිත සුළුතර ප්‍රජාවන්ගේ කාන්තාවන් කෙරෙහි වැඩි අවධාරණයක් අවශ්‍යය. එවැනි සැලසුම් COP15 අරමුණු සහ ඉලක්කවලට අනුකූල වේ. එපමණක් නොව, එමගින් කාර්යක්ෂම අන්දමින් සම්පත් කළමනාකරණය ද සහතික කරනු ඇත.

COP15 හි එක් අරමුණක් වන්නේ වෙරළබඩ ප්‍රදේශ, සමුද්‍ර සම්පත්, ඒවායේ ජෛව විවිධත්වය සහ ඒවායින් යැපෙන ජනතාව ආරක්ෂා කිරීමයි. මුහුදෙන් වටවී ඇති ශ්‍රී ලංකාවේ සක්‍රිය සමුද්‍ර ධීවර කර්මාන්තයක් තිබේ. කාන්තා ශ්‍රමිකයෝ සැලකිය යුතු සංඛ්‍යාවක් එහි සේවයේ යෙදෙති. මෙම කාන්තාවන් සාගරයෙන් ජීවනෝපාය උපයා ගත්තද, ඒ ආශ්‍රිත සම්පත් කෙරෙහි ඔවුන්ට ඇත්තේ අල්ප අයිතිවාසිකමකි.

සම්පත් සම්බන්ධයෙන් පාලනය තිබෙන්නෙ ව්‍යාපාරිකයන්ටය. සමුද්‍ර පරිසර සංරක්‍ෂකයින් පවසන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අරමුණ උපරිම ලාභ ඉපැයීම පමණක් බව සහ ඔවුන් ජෛව විවිධත්වය හෝ කාන්තාවන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව අල්ප හෝ සැලකිල්ලක් නොදක්වන බවයි.

සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම COP15 විසින් යෝජනා කරන ලද අරමුණු 23න් එකකි. සම්මුතියේ පාර්ශ්වකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව 2030 වසර වන විට වෙරළ ආරක්ෂාව සහ සම්පත් සාධාරණ ලෙස බෙදාහැරීම සහතික කිරීමේ ජාතික වැඩසටහන කඩිනම් කළ යුතු අතර, එමඟින් ධීවර ප්‍රජාවන්හි කාන්තාවන් සවිබල ගැන්විය යුතුය.

ජාත්‍යන්තර උපදේශන කණ්ඩායමක් වන Women4Biodiversity හි අධ්‍යක්ෂිකා ම්‍රිනාලිනී රායි මෙසේ පවසයි: “පසුගිය වසරේ ජුනි මාසයේ නයිරෝබිහිදී පැවැත්වුණු සමුළුවේදී කාන්තාවන් පිළිබඳ කෙටුම්පත පිළිගත්තේ රටවල් කිහිපයක් පමණි. එහෙත් මෙවර මොන්ට්‍රියල් සමුළුවේදී සියලුම රටවල් 22වන ඉලක්කය පිළිගත්තා. මෙය ප්‍රගතිශීලී සංවර්ධනයක්.”

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන කාන්තාවන් සඳහා සම්පත් බෙදාදීම සහ සමාන අවස්ථා ලබාදීම සහතික කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.

COP15හි අභිමතාර්ථ 23 මත පදනම් වූ ජාතික ප්‍රතිපත්ති සැලැස්මකින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබෙනු ඇති බව ක්‍රියාකාරීහු පෙන්වා දෙති. පරිසර පද්ධතිය සුරැකීමේ ක්‍රියාමාර්ග තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම ඔස්සේ ආසියාවේ වැදගත් ජෛව විවිධත්ව මධ්‍යස්ථානයක් ලෙස බැබළීමට මෙය ශ්‍රී ලංකාවට වටිනා අවස්ථාවකි.


SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts