අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට පෙරවදනක්

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවට ජාතික ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දීම පිළිබඳ මේ වන විට සාකච්චාවට බඳුන් වෙමින් පවතී. ඇත්තෙන්ම  ඕනෑම ක්ෂේස්ත්‍රයකට අදාලව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම වැදගත් කාලීන අවශ්‍ය තාවයකි. එවන් ප්‍රතිපත්ති මාලාවක් අප රටේ තිබුනේනම් බොහෝ ක්ෂේස්ත්‍රයන්ගේ මතුව තිබෙනා අර්බුද වලකා ගැනීමට හැකියාව තිබුනි. උදාහරණයක් ලෙස ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් අපට තිබුනේ නම් ජනාධිපති වරයාට හිතු මනාපේ රසායනික පොහොර තනමක් පනවා මෙරට කෘෂිකර්මය වනසා දමන්නට ලැබෙන්නේ නැත. මේ තත්ත්වය ඕනැම ක්ෂේස්ත්‍රයකට පොදුය. එහෙයින් සෑම ක්ෂේස්ත්‍රයකට අදාලව  ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදීම කාලෝචිතය.

ශ්‍රී ලංකාවේ මේ වන විට බරපතලම අර්බුදයට ලක්වෙමින් තිබෙනා ක්ෂේස්ත්‍ර ගණනාවකි.රටේ අනාගතය තීන්දු කෙරෙන අධ්‍යාපනයද  ඉන් එකකි. මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය අංශ ගණනාවකින් ගැටළු සහ අර්බුද වලට මුහුණදෙමින් සිටී.ාඅධ්‍යපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය දිරග කාලින එකක් වුවත් වත්මනෙහි මුහුණ දෙන ගැටලු ආරම්භවනුයේ 2019 පාස්කු ප්‍රහාරයත් සමගිනි. අන්තවාදී ප්‍රහාරයක් පාසල් වලට එල්ලවන බවට පැතිර ගිය කටකතා නිසා මස ගනනාවක් සිසුන්ගේ පාසැල් කටයුතු බිඳ වැටුනි. ඉන් පසු උදාවූ කොරෝනා වසංගතය නිසා නැවත වරක් පාසැල් අධ්‍යපන කටයුතු අඩපන විය . ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, සහ උසස් පෙළ විභාග කල් යන ලද අතර සරසවි ප්‍රවේශය සහ කනිෂ්ට සිසුනගෙ ද්විතිය අධ්‍යාපන අවස්ථාද  කල් යන ලදි. අවසානයේ මාර්ග ගත ක්‍රමයට අධ්‍යාපනය අරබන්නට යයි කීවද ඊට කිසිදු යටිතළ පහසුකමක් රටතුළ තිබුනේ නැත. 

එක රැයකින් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය අරබන්නට කීවාට ඊට අවශ්‍ය උපකරන සිසුන් අත පමණක් නොව ඇතැම් ගුරුවරුන් අත තිබුනේද නැත. ඊට අමතරව ලංකාවේ ජංගම දුර කථන සේවා ආශ්‍රිත සියළුම පැකේජ පාහේ සැකසී තිබුනේ පෞදගලික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙනි. වැඩිපුරම ඩේටා දෙන්නේ යක්කු ගස් යන ජාමයේය. අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් දුරකථන සමාගම් තුළ සූදානමක් නොතිනුන බවට එය හොඳම උදාහරණයකි. දුරකථන සමාගම් සේම දෙමාපියන් තුළද එවැනි සූදානමක් තිබුනේ නැත. සිසුනට මාර්ග ගත අධ්‍යාපනයට එක් විය හැකි සරළම ක්‍රමය වූයේ ජංගම දුර කථන භාවිතයය. එහෙත් ලංකාවේ පාසැල් තුළට ජංගම දුරකථන ගෙන යාම තහනම් ක්‍රියාවක් නිසා බොහෝ සිසුන් දුර කථන සොයන්නට ගත්තේ මාර්ග ගත අධ්‍යාපනය ඇරබුන පසුවය. අධ්‍යාපනය නූතන කරණය වීමේදී සාමාන්‍ය පන්ති කාමරය සුහුරු පන්තියක් කිරීමත්, කරගසාගෙන යා නොහැකි තරමට බර පොත් මල්ල වෙනුවට ටැබ් එකක් හෝ ලැප්ටොප් එකක් සිසුනට ලබා දීම අනිවාර්ය වෙයි. එබැවින් එවැනි උපකරණ දේශීයව එකළස් කිරිමට හෝ ඒවායේ තීරු ගාස්තු අඩුකර මිල පහළ හෙළීම කළ යුතුවෙයි. මෙවැනි සේවා ආශ්‍රිත කරුණුද  අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කරන දාට අමතක නොකළ යුතුය. එමෙන්ම දෙළොවටම නැති විභාග ඉලක්ක කරගත් නූතන විශයමාලාවද හෙට ලෝකයේ රැකියා වෙළඳපොළ ඉලක්ක කර වෙනස්විය යුතුය .අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් ඒ සියල්ලද ආවරණය විය යුතුය.මෙම ප්‍රතිසංස්කරණ ඇතිකිරිම සදහා සාම්ප්‍රදායික ආචාර්‍ය මාහාචාර්‍ය්වරුන් නොව ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රමාණික උගතුන් දායක කරගත යුතුය. 

අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් නොතිබුන නිසා කිසිම දිනක දුරස්ත අධ්‍යාපනය හෝ මාර්ග ගත අධ්‍යපන පිළිබඳා රටේ සාකච්චාවක් ඇතිවී තිබුනේ නැත. එවන් ප්‍රතිපත්තියක් ක්‍රියත්මක වූයේනම් රටම අවරණය වන සංඥා පද්ධතියක් ගොඩ නැගීමට පෞද්ගලික අංශයේ සේවා දායකයන් සම්බන්ධ කර ගැනීමට තිබුනි. පාසැල් දරුවන් අධ්‍යාපනය ලබන්නට වයිෆයි තාක්ෂණය යොදාගන්නා තැනට පත්වූයේ නම් එම තාක්ෂණය තරග කාරී මට්ටමින් සමාජ ගත කරන්නට දුරකථන සමාගම් පෙළඹීමට ඉඩ තිබුනි. එහෙත් ලංකාවේ අධ්‍යපන ප්‍රතිපත්තිය සාම්ප්‍රදායක පන්ති කාමරයකට සිරවුනු අසුන් ගත රාමුවෙන් මිදීමට අපොහොසත්විම නිසා අදටත් රටම ආවරණය කිරීමට සමත් සංඥා පද්ධතියක් අධ්‍යාපනය වෙනුවෙන් ගොඩ නැගීමේ  අවශ්‍යතාවය බොහෝ දෙනෙක් ජාතික අවශ්‍ය තාවයක් සේ පිළිගන්නේ නැත.  ගස් ගල් උඩ නගිමින් ” සිග්නල්” සොයන දූ දරුවන් පසුගිය කාලයේ රට හැමතැනම හමුවූයේ ඒ නිසාය.

අදවන විට කොරෝනා වසංගතය යම් තරමකට පාලනය වි තිබේ. එහෙත් ඒ වාසිය අධ්‍යාපනයට තවමන්ත් සෘජුව හිමිව නැත. ඊට හේතුව ඉන්ධන අර්බුදය සහ ප්‍රවාහන වියදම් ඉහළ යාමෙන් යළිත් වරක් ලංකාවේ අධ්‍යාපනය ගැටළුවකට මුහුණ දෙමින් සිටීමය. එම ගැටළුවටද හොඳම විසඳුම මාර්ග ගත අධ්‍යාපනය වෙගයෙන් ප්‍රචලිත කිරීමය.  එහෙයින් මාර්ග ගත සහ දුරස්ථ අධ්‍යාපනය ඉගැන්වීමේ ප්‍රධාන ක්‍රමය ලෙස පිළිගන්නා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් බිහි කිරීම අද වන විට කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත්තේය. එකී ක්‍රමයට අධ්‍යාපනය ප්‍රතිව්‍යුහ ගත කරන්නේනම් සිසුනට සහ ගුරුවරුනට දෛනිකව පාසැල් යාමට අවශ්‍ය වන්නේ නැත . නිවසේ සිට ඉගැන්වීමෙන් සහ අධ්‍යාපනය ලැබීමෙන් ගුරු සිසු  දෙපාර්ශවයටම වාසි බොහෝ හිමිවෙයි. කාලය ඉතිරි වීම එක ප්‍රධාන වාසියකි. ඉතිරිවන කාලය සිසුනට විනෝද සහ ක්‍රීඩා කටයුතු සඳහා යොදාගත හැක. ගුරුවරුනටද අමතර අධ්‍යන කටයුතු හෝ වෙනත් ආදායම් ලැබීමේ කටයුතු සඳහා ඉතිරි වන කාලය යෙදිය හැක.  මාර්ග ගත අධ්‍යාපනය, ඉගැන්වීමේ ප්‍රධාන ක්‍රමය බවට පත්විමෙන් සිසුන් දෛනිකව පසල් පැමිණීම අත්‍යාවශ්‍ය නොවේ. එමගින් විශාල මාර්ග තදබදයක් වලකා ගත හැකි අතර එමනින් ඉන්ධන සහ මිනිස් පැය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිවනු ඇත. ලෙඩ දුක් ,වසංගත, කැරළි කෝළහල ආදිය නිසා පාසැල් වසා දමා සිසුනගේ අධ්‍යාපනය ලැබීමට බාධා පැමිනවීමට සිදුවන්නේද නැත.

ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ නිතරම අරගල කරනා සරසවි සිසුන් ප්‍රමුඛ පාර්ශව නිතර ගෙන එන සටන් පාඨය වනුයේ අධ්‍යාපනයට වෙන් කරනා මුදල ප්‍රමානවත් නැත යන්නය. එහෙත් ඊට සාපේක්ෂව ඔවුහු අධ්‍යාපනයේ ගුණාත්මක පරිවර්තනයන් පිළිබඳ අවධානය යොමු නොකරන තරම් ය. එහෙයින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසා අධ්‍යාපනයේ වැඩි බර මාර්ග ගත ක්‍රමයට තැබීම නිදහස් අධ්‍යාපනය උල්ලංඝණය කිරීකමක් ලෙස ඕවුහු අර්ථ දැක්විමට ඉඩ තිබේ. සිසුන් පාසැල් පැමිනෙන දින ගනන අඩු කිරීම හෝ විෂය මාලාව ශංශෝදනය අධ්‍යාපනයේ ගුණාත්මක බව පහත හෙළීමක් ලෙස අර්ථ දැක්වීමටද ඉඩ තිබේ. එහෙයින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියවට නැංවීමට පෙර අධ්‍යාපනයට සම්බන්ධ සියළු පාර්ශව සමග පලදායි සංවාදයක් ගොඩ නගා ගැනිම අත්‍යාවශ්‍ය වන අතර එය කඩිනම් ක්‍රියා දාමයක් ද වියයුතුව තිබේ. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts