උප්පැන්නයක් අහිමි වූ ශිවා ගේ කතාව ඉස්කෝල තියෙන්නෙ ළමයින්ට…!
ජයසිරි පේදුරුආරච්චි
උප්පැන්න සහතිකය අපට උපතේ පටන් ම විපත දක්වා ම අත්‍යවශ්‍ය සාධකයකි. උප්පැන්නයක් නොමැති වීම යනු දිවිය ම අහිමි වීමකට සමාන වන්නේ ඒදිනෙදා කුදුමහත් කටයුත්තක් සඳහා ම උප්පැන්න සහතිකය අපට වුවමනා කරන හෙයිනි. උප්පැන්නයක් නොමැති කෙනකුට මේ පසුබිම හමුවේ අත්වන ඉරණම කෙබඳුදැයි යන්න කෙනකුට අමුතුවෙන් වටහා දිය යුතු නොවේ. උප්පැන්නයක් අහිමිවීමේ සාපයට ගොදුරු නොවී නිදංගල ශිවාට සිය ඉදිරි දිවිය ආලෝකවත් කරලන්නට මඟ තැනුණු හැටි මේ.
එදින බදාදා දිනයකි. නිදංගල කනිෂ්ඨ විදයාලයේ විදුහල්පති විමලසිරි මහතා උදෑසන රැස්වීම නිම වීමෙන් පසු ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්තිකාමරවලට යනතෙක් කාර්යාලය ඉදිරිපිටට වී බලා සිටියේය. ඔහුගේ නෙත ගැටුනේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළට ආ පියෙකු හා දරුවෙකු පාසල තුළට එන ආකාරයයි. විමලසිරි මහතාට එක වර මතකයට ආවේ මීට දින දෙකකට පෙර කොටවිල විදුහල්පතිතුමා එවනවා කී දරුවා මොහු විය හැකි බවයි. මඳ වේලාවක් ඒ දෙස බලා සිටි විමලසිරි මහතාට පෙනී ගියේ දරුවා කොරගසමින් පැමිණෙන ආකාරයයි.
“මොකක්හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් වගෙයි.”කියමින් විදුහල්පතිවරයා කාර්යාලය තුළට ගියේය.
කොට කලිසමක් හා අත් කොට කමිසයකින් සැරසී පැමිණි පියා පැළඳ සිටි ගෙවීගිය රබර් සෙරෙප්පුදෙක දූවිලි වැදී මඬ ඇලී තිබුණේය.කලිසම හා කමිසය ද බොහෝ දුර්වර්ණ ගැන්වී තිබුණේය.
කාර්යාලයේ තම පුටුවට බර දුන් විමලසිරි මහතා අසල සිටි සේවකයාට කීවේ ඒ දෙදෙනාට ඇතුළට කතාකරන ලෙසයි. බොහෝ යටහත්පහත් ලෙස හැසිරෙමින් දරුවා සමඟ විමලසිරි මහතා අසලට පැමිණි පියාගේ ක්‍රියාකලාපයෙන් විමලසිරි මහතාට ඇතිවූයේ මඳ කෝපයකි.
“මේක ඉස්කෝලයක්බව දන්නව නේද? ඇඳන්එන්න සරමක් තිබුණෙම නැද්ද? ඔය සෙරෙප්පුදෙකේ තියෙන මඬ මේ හැමතැනම ගෑවෙනව නේද?” යි ඔහු සිතින් දොස් නැඟුවේ ය.
විමලසිරි මහතාගෙන් චෝදනාත්මකබැල්ම බැල්ම එල්ල වූ ක්ෂණයකින් එළියට දිවගිය පියා සෙරෙප්පු දෙක එළියේ තබා යළි විමලසිරි මහතා වෙතට එද්දී දරුවා සිටියේ හොඳටම බියපත්වෙලාය.
“සර්, මේ ඇඳුම තමා තියෙනවා. වැඩට යන ගමන් ආවෙ. වත්තෙතමා වැඩ කරනවා.”
නිවුණු ස්වරයෙන් පියා කියද්දී විමලසිරි මහතාගේ හදවත කඩාවැටුනා සේ දැනුණි. වචන උච්චාරණයෙන් තමා ඉදිරියේ සිටින්නේ ද්‍රවිඩ ජාතිකයෙකු බවත් විමලසිරි මහතාට වැටහිණි. තමා මේ අසරණ පුද්ගලයා පිළිගත් ආකාරය, ඔහුට කතා කළ ආකාරය පිළිබඳ විමලසිරි මහතාගේ හිත තුළ රැවු පිළිරැවු දුන්නේය. නළලට වමත තබාගත් විමලසිරි මහතා දෑස් පියාගෙන මඳ වේලාවක් නිහඬව සිටියේය. දෑස් විවර කළ විමලසිරි මහතා දිගු සුසුමක් හෙලා දරුවාගේ පියාදෙස බැලුවේය.
“සමාවෙන්න, වාඩිවෙන්න මහත්තයා.”
“නෑ සර් මෙහෙම හොඳා.”
“වාඩිවෙන්න. වාඩිවෙන්න” විමලසිරි මහතා යළිත් කීවේය.
“අද මොකද මේපැත්තෙ ආවෙ, දරුවා කීයෙ පන්තියට දාගන්නද ඕන”
“එකේ පන්තියට සර්.”
“එකේ පන්තියට. මේ ළමය?” පියා දුන් උත්තරයෙන් පුදුමයටපත් වූ විමලසිරි මහතා ක්ෂණයකින් විමසුවේය. පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට වඩා වැඩීගිය පෙනුමකින් යුතු දරුවා දෙස විමලසිරි මහතා යළිත් හැරී බැලුවේය.
“ඔව්, සර් මෙයා ලොකුවට පෙනුනට තාම කවදාවත් ඉස්කෝලෙ ගිහින් නෑ. ඉස්කෝලෙට ගත්තෙ නෑ.”
විමලසිරි මහතාගේ ඇස් උඩගියේය. නළල රැලි වැටුනේය. මඳ වේලාවක් කල්පනා කල විමලසිරි මහතා සියළු වැඩ අතහැර දරුවා මෙතෙක්කල් පාසල් නොගිය හේතුව ඇතුළු සියළු කරුණු කාරණා පියාගෙන් අසා දැනගත්තේය. මේ දරුවාට පාසල් යාමට නොහැකිවූ තිබූ ප්‍රධානතම කරුණ උප්පැන්න සහතිකයක් නොමැති වීමයි. උප්පැන්නයක් ලබා ගැනීමට නොහැකි වීමට හේතුව දෙමාපියන් විවාහ නොවීමයි. මෙම පවුලේ පාසල් යා යුතු වයසේ තවත් දරුවන් ඇත. ඒ සියළුදෙනාටම පාසල් අධ්‍යාපනය අහිමි වීමට ප්‍රධානම හේතුව උප්පැන්න සහතික නොමැති වීමය. එකින් එක කරුණු පියාගෙන් අසා දැනගත් විමලසිරි මහතා එකවර කියා සිටියේ
“ඉස්කෝල තියෙන්නෙ ළමයින්ට. මම මේ දරුවා අපේ ඉස්කෝලෙට ගන්නවා. අනෙක් ළමයින් ගැන පස්සෙ බලමු. දැන් දරුවට මෙහෙම ඉන්න දීල ඔයා වැඩට යන්න. ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඇවිත් දරුව එක්කගෙන යන්න.”
පියා පිටත්ව ගිය පසු දරුවාගෙන් තොරතුරු විමසූ විමලසිරි මහතා ඔහුගේ නම සරවනමුත්තු ශිවකුමාර් ලෙසත් වයස අවුරුදු හයක් ලෙසත් දැනගත්තේය. වැඩිදුර කරුණු සොයා බැලීමේදී මව හා පියාද පාසල් නොගිය අය බවටත්, ශිවා කොරගසමින් පැමිණියේ ආබාධිත තත්වයක් නිසා නොව ජීවිතයේ පළමුවතාවට සපත්තු දැම්මේ එදින නිසා කකුල්වලට නුහුරු හෙයින් කොරගසමින් පැමිණඇති බවත් දැනගත් විමලසිරි මහතාට ඇතිවූයේ දුකකි. දෑසින් කඳුළු කඩාවැටීමට උත්සාහ කළ ද විමලසිරි මහතා ඔය දැඩි ආයාසයකින් රඳවා ගත්තේය.
තම විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ දරුවන්ට ඉගැන්වීම්කටයුතු සිදුකරන කෝට්ටගේ ගුරුතුමිය කැඳවූ විමලසිරි මහතා ශිවා පිළිබඳ සියළු තොරතුරු දන්වා මෙම දරුවා කෙසේහෝ අනෙක් දරුවන් හා සමව අකුරු කරන තත්වයට පත් කර දෙන ලෙස දැන්වීය.
ශිවාගේ තත්වය පිළිබඳ සිතා මෙම අභියෝගය කෙසේනම් ජය ගන්නේදැයි සිතූ කෝට්ටගේ ගුරුතුමිය මුල් අවස්ථාවේ යම් ඡකිතයකින් පසුවුව ද වැඩකිරීම ආරම්භ කර දින කිහියක් ගතවද්දී ශිවාගේ වේගවත් ක්‍රියාකාරිත්වය හමුවේ ලබනා ප්‍රගතිය දැක අසීමිත සතුටක් ලැබුවාය.
“ශිවා දැන් ඉන්නෙ තුනේ පන්තියෙ. ඒ දරුව මට භාරදුන්නේ 2018 ජනවාරි මාසයේ දවසක. එදා ඉඳල ඒ දරුව මා එක්කමයි ඉස්කොලේ හිටියෙ. මුල ඉඳලම පුදුම උනන්දුවක් තිබුනෙ. ශිවාට හැම වෙලාවෙම මොකක්හරි වැඩක් කරන්න ඕන. චිත්‍ර අඳින්න හරි කැමතියි. මගේ වටේ දැවටි දැවටි වැඩකරන්න ඉල්ලනවා. කරදරයක් කියා නොසිතා මම ඉගැන්වූවා. එයා පුදුම වේගයෙන් වැඩටික ඉගෙනගත්තා. හැමදාම ගෙදර වැඩත් ඉල්ලගෙන යනවා. අහිංසකයා කොහොමහරි පුදුමාකාර විදියට අනෙක් ළමයින්ට වඩා හොඳට වැඩ කරන්න පටන්ගත්තා.” කෝට්ටගේ ගුරුතුමියගේ මුවින් පිටවූයේ එපමණකි. ඇයගේ දෑසින් කඳුළු කඩාවැටෙන්නට වූවාය. වමතින් කඳුළු පිසදාගත් කෝට්ටගේ ගුරුතුමිය නැවත කතාකළාය.
“මං පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්. භූගෝල විද්‍යාව තමයි කලින් ඉගැන්වූයේ. ඒත් මේ පන්තියට ඇවිත් මේ අහිංසක දරුපැටවුන්ට උගන්වන්න ලැබීම මා ලබපු ලොකුම භාග්‍යය. ශිවා එහි ප්‍රධානම දරුවෙක්.” කෝට්ටගේ ගුරුතුමියගේ දෑසින් යළි කඳුළු හැලෙන්නට පටන්ගත්තාය.
කිසිඳු දිනක පෙරපාසල් නොගිය ශිවා අවුරුදු දෙකක් පෙරපාසල් ගොස් සිටි සිසුන් සමඟ හරිහරියට අකුරු කිරීම ඔහුගේ කැපවීමේ ප්‍රතිඵලයකි. පාසලෙන් අකුරු හා චිත්‍ර ඉගෙන ගන්නා ශිවා ගෙදර ගොස් නංගිලා දෙදෙනාට එය කියාදෙයි. අකුරු ලියන්නට හුරු කරවයි. දැන් ශිවා එක ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් පෙර පාසල් ගුරුවරයෙක් බවට පත්වෙමින් කරනා දේ දකිනා මාපියන්ට ඉන් අසීමිත සතුටක් වින්දේ ය.
“අපි සුල්තානාගොඩ, ඉහළ දෙනියවත්තට පදිංචියට ඇවිත් අවුරුදු පහක් වෙනව. දරුවන් හතරදෙනෙක් ඉන්නවා. ලොකු පුතාට වයස අවුරුදු දහතුනයි. එයා ඉස්කෝලෙ යන්නෙ නෑ. ශිවාත් අවුරුදු පහෙන් ඉස්කෝලෙට දාගන්න බැරිවුණා. උප්පැන්නයක් නැතිනිසා. අවුරුදු හයක් ගියාට පස්සෙ තමයි නිදංගල ඉස්කෝලෙට දැම්මේ. ශිවා ඉස්කෝලෙ ගිහින් ඇවිත් මල්ලිටයි අල්ලපු ගෙදර නංගිලාටයි අකුරු කියා දෙනවා. එයා හරි දක්ෂයා.” ශිවාගේ මව වූ දේවරාජි. ඩී. ජේසුදා(28) මහත්මිය කඳුළු පිසිමින් කීවාය.
මල්ලීටත් අල්ලපු ගෙදර නංගිලාටත් අකුරු කියා දුන් ශිවා කෝට්ටගේ ගුරුතුමිය හා විදුහල්පති විමලසිරි මහතා සමඟ කතාකොට මල්ලී හා නංගිලා දෙදෙනා ද පාසලට ඇතුළත් කරගත්තේය.
සියලු කටයුතු පිළිබඳ අවධානයෙන් සිටි විමලසිරි මහතා නීත්‍යානුකූල ලිපි ලේඛන සූදානම් කර දී ශිවාගේ මවත් පියාත් නීත්‍යානුකූලව විවාහය ලියාපඳිංචි කළේය. පසුව ශිවාගේ උප්පැන්නය ද ලියාපදිංචි කර ඉන් පිටපත් රැගෙන ශිවාට අදාළ පාසලේ ලිපි ලේඛන ද නිවැරදි ආකාරයෙන් සැකසීමට ක්‍රියා කළේය.
“දැන් ශිවාගේ අනාගතයට කිසිම ප්‍රශ්නයක් නෑ. එයාට හොඳට ඉගෙනගන්නයි තියෙන්නේ. කෝට්ටගේ ගුරුතුමියට මම දුන් ඉලක්කය ඇය බොහොම හොඳින් ජය ගත්තා. මේ වසරේ පාසලේ හොඳම අත් අකුරු තරඟයෙන් 3ශ්‍රේණියේ හොඳම ශිෂ්‍යයා වුණේ ශිවා. එතනින් එහාට තව මොන දැනුම් ද.” එලෙස පැවසූ විමලසිරි මහතා තම අරමුණ ඉටුවීමේ ප්‍රිතියට කොක්හඬලා සිනාසුණේය.
“මම උදේ පාන්දර හතරට නැගිටිනවා. තේ බීලා ටිකක් ඉන්නවා. පසුව මුහුණ සෝදා ඇඳුම් ඇඳ බුදුන් වඳිනවා.උදේ හයට ඉස්කෝලෙ යන්න ගෙදරින් එනවා. මම ගොඩාක් සතුටින් ඉස්කෝලෙ ඉන්නෙ. අපේ සර් වගේ ප්‍රින්සිපල් කෙනෙක් වෙලා ළමයින්ට උදවු කකරන්න ආසයි. මම හොඳට ඉගෙනගන්නවා.” ශිවා සතුටින් පැවසුවේය.
ශිවාටත් බාල සහෝදර සහෝදරියන්ටත් අධ්‍යාපන වරම් ලබා දුන් විදුහල්පති විමලසිරි මහතාගේ ඊළඟ ඉලක්කය වූයේ ශිවාගේ වැඩිමල් සහෝදරයා ද පිරිවෙණකට යොමු කර අධ්‍යාපනය ලබාදීමයි. වරකපිටිය සිරි පඤ්ඤානන්ද පිරිවෙණෙහි පරිවේණාධිපති මීගස්වැව සුමනරතන හිමියන්ගේ සමග කතාකර උපදෙස් ලබාගත් විමලසිරි මහතා ශිවාගේ අයියා ද සිරි පඤ්ඤාන්ද පිරිවෙණට ඇතුලත්කර අධ්‍යාපන වරම් ලබාදුන්නේ හැබෑ ගුරුවරයෙකු මෙන්ම විදුහල්පති වරයෙකු ලෙස තමාගේ යුතුකම හා වගකීම මනා ලෙස ඉටු කරමිනි.
This article was originally published on the catamaran.com