අලි මිනිස් ගැටුමෙන් වසන් වී ඇති අලි මිනිස් සබඳතාවය
ඉන්දු පෙරේරා
‘අලි මිනිස් ගැටුම’ යනු අද වන විට අපේ සමාජයේ පවතින ඉතාමත් ම ප්‍රකට වදනකි. නමුත් බොහෝ දෙනෙකු නොදන්නා නමුදු අලින් ගැවසෙන ඇතැම් ප්‍රදේශවල ජීවත් වන ගැමියන් සහ අලින් අතර ‘අලි – මිනිස් සබඳතාවයක්’ තිබේ. මෙවැනි ඇතැම් ප්‍රදේශවල ගැමියන් තමන්ගේ වගාවන් හානි කරන්නට පැමිණි අලින්ට රතිඤ්ඤා පත්තු කිරීම, අලි වෙඩි දැමීම වෙනුවට”පුතේ, දරුවෝ” යනුවෙන් පවා ආමන්ත්‍රණය කර ඔවුන් වගා බිම්වලින් පිටමං කිරීමට උත්සාහ කරන බවත්, බොහොමයක් අලින් ඊට අවනත වන බවත් බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.
මෙවැනි තොරතුරුවලට වඩා වන අලියෙකු මිනිසකු මරා දැමූ පුවතක් ඉක්මනින් සමාජ ගතවේ. බිහිසුණු පුවත් රසයට සහ කුණු රසයට ස්වභාවයෙන්ම මිනිසුන් තුළ ලැදියාවක් පවත්නා බවට ඇති විශ්වාසය නිසාම මේවා වාර්තා කරන පිරිස් ද අලි මිනිස් සබඳතාවයට වඩා අලි මිනිස් ගැටුම උලුප්පා දක්වන්නට උනන්දු වෙති.
මේ නිසාම වන අලි ප්‍රහාරය යන වදන ද අද වන විට බහුල ලෙස භාවිත වේ. බියපත් වූ අලියකු දුවන්නට සැරසීමේදී මිනිසෙකුගේ සිරුරේ ගැටීම නිසා ඒ මිනිසාට යම් හෝ හානියක් සිදු වුවහොත් මාධ්‍ය තුළ එය වාර්තා කරන්නේ ද වන අලියකු ගේ ප්‍රහාරයක් ලෙසිනි. මෑතකදී සිදු වූ රංගනවේදී ජැක්සන් ඇන්තනී මහතා රාත්‍රී කාලයේ සිය කැබ් රථය පදවා ගෙන එනවිට තලාව මොරගොඩ ප්‍රදේශයේදී පාර හරහා ගමන් කරමින් සිටි වන අලියකු ගේ සිරුරේ ගැටී අනතුරට ලක්වීම ද ඇතැම් මාධ්‍ය මගින් වන අලි ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී තිබිණි. ‘වන අලියෙකුගේ සිරුරේ ගැටීම’ යන්නට වඩා ‘වන අලි ප්‍රහාරයක්’ යන්නෙහි ප්‍රවෘත්තිමය වටිනාකම වැඩියැයි සිතීමද මෙයට හේතුවක් විය හැකිය.
ලෝකයේ මිනිසුන් නිසා අලින් මියයන එකම රට අපේ මේ ශ්‍රී ලංකාව බව වරක් පරිසරවේදීනී භාග්‍යා අබේරත්න මෙනෙවිය ප්‍රසිද්ධ දේශනයක දී පවසා සිටියාය.2011 වසරේ අපේ රටේ අලි ඇතුන් පිළිබඳව කරන ලද සංගණනයේ දී එවකට මෙරට සිටි අලි ඇතුන් සංඛ්‍යාව 5879 කි. 2011 න් පසු මේ දක්වා ම අලි ඇතුන් සංගණනයක් අපේ රටේ සිදුවී නැත. කෙසේ හෝ 2011 සිට පසුගිය වසර, එනම් 2022 අවසානය වනවිට අපේ රටේ වාර්තා වී ඇති අලි මරණ සංඛ්‍යාව 3983 කි. මේ අතරතුර කාලයේදී තවත් අලි පැටවුන් බිහි වී ඇති බව සැබෑ ය. නමුත් මෙහිදී අමතක නොකළ යුතු දෙයක් තිබේ. එනම් සුනඛ ගැහැනු සතකු පැටවුන් බිහි කරන අයුරින්, කෙනරක් පැටවුන් බිහි කිරීම සුලබ නැති බව ය.
අපේ රටේ වැඩිම අලි මරණ සංඛ්‍යාවක් අසන්නට ලැබුණේ 2022 වසරේදීය. ඒ 433 ක් වශයෙනි . 2025 වන විට පොළොන්නරුවේ අලි සම්පත වඳ වී යා හැකි බවට මෙරට සත්වවේදීන් මෙන්ම පරිසරවේදීහු ද පුරෝකථනය කරති.
අලින් විසින් මිනිසුන් මරා දැමීමත්, මිනිසුන් විසින් අලින් මරා දැමීමත් අපේ රටේ සිදුවන බව සැබෑ ය. වන අලින් සමග සහජීවනයෙන් දිවි ගෙවන්නට මිනිසුන්ට නොහැකිදැයි මම මෙහි දී තර්කයක් මතු නො කරමි. නමුත් එවැනි ගම් ද පවතින බව පමණක් සිහිපත් කරමි.
මේ කතා කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ගල්ගමුව ප්‍රදේශය ගැනයි. ගල්ගමුව මේ සහජීවනය සම්බන්ධයෙන් කදිම නිදර්ශනයක් සපයයි.
අපේ රටේ විවිධ ප්‍රදේශ විවිධ දේවල් සඳහා ප්‍රසිද්ධියක් උසුලන අයුරින් ගල්ගමුව අලි ඇතුන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ය. වන අලින් බහුල වීම නිසාම අලි මිනිස් ගැටුම නම් වන තත්ත්වය සම්බන්ධයෙන් ගල්ගමුවෙන් වැඩියෙන් තොරතුරු වාර්තාවීම ස්වභාවික ය.
අපේ රටේ අලි ඇතුන් විශාල වශයෙන්ම උපත ලබන ස්ථානයක් ලෙස සියඹලන්ගමුව හඳුන්වා දිය හැකිය . සියඹලන්ගමුව යනු ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි ගමකි. මිනිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා 2010 වසරේදී මරණයට පත්වූ සියඹලන්ගමුවේ ඇතා සියඹලන්ගමුවේ උපත ලබා තිබූ අතර 2018 දී ඝාතනය කරන ලද දළ පූට්ටුවා ද ගල්ගමුව ප්‍රදේශයේ උපන් දැවැන්ත ඇත් රජෙකි.
ලංකාවේ විශාලතම දළ යුගලකට හිමිකම් කී සියඹලන්ගමුවේ ඇතාගේ ඉදිරිපස පෙනුම ඉතාමත්ම තේජාන්විත ය. ගමන් කරන විට නිතරම හස්තීන් දෙදෙනෙකුද සියඹලන්ගමුවේ ඇතා ගේ දෙපසින් ගමන් කරන ස්වභාවයක් තිබිණි. ප්‍රදේශයේ සෙසු අලි ඇතුන් මෙම ඇතාට කිසියම් රාජකීයත්වයකින් සැලකූ බවට එය කදිම නිදසුනක් වේ.
මේ තත්ත්වය දළ පූට්ටුවාට ද එසේ ම විය. දළ දෙක එකට ගැටී පිහිටා තිබීම නිසා මෙම සද්දන්තයාට දළ පූට්ටුවා යන නම පට බඳින ලද්දේ ගල්ගමුවේ ජනතාව ම ය. දළ පූට්ටුවා සියඹලන්ගමුවේ ඇතාටත් වඩා උසින් යුතු විය.
මේ ඇතුන් දෙදෙනා වෙතින්ම කිසිදු මිනිස් ඝාතනයක් සිදු වී තිබුණේ නැත. ඔවුන් දෙදෙනාම ගල්ගමුවේ ජනතාව සමග මහත් සහජීවනයෙන් දිවි ගෙවා තිබිණි. මිනිස් ජීවිතවලට හානි කරන්නට ඕනෑ තරම් අවස්ථා ලැබී තිබුණු විටකදීත් ඔවුන් ඒවා මග හැර යාම විශේෂත්වයක් විය.
වරක් සියඹලන්ගමුව, උස්ගල තිස්ස මහා විද්‍යාලයේ දැරියක් උදේ සිය පා පැදියේ නැගී පාසල වෙත යමින් සිටියාය. මාර්ගයෙහි තමා ඉදිරිපසට එමින් සිටි සියඹලන්ගමුවේ ඇතා දුටු දැරිය මහත් භීතියෙන් ගල් ගැසී හිටි වනම නතර වූයේ සිය ජීවිතය තව මොහොතකින් තුරන් වේවි යන දැඩි අසරණ සිතිවිල්ලෙනි. ඇය ආසන්නයට පැමිණි ඇතා තම හොඬයෙන් ඇය තල්ලු කර නිහඬවම යන්නට ගියේය. දැරිය අසල තිබූ කාණුවකට ඇද වැටිණි. ඇතා පිටුපසින් අලි රංචුවක් ද පැමිණෙමින් සිටින බව දැරිය දුටුවේ පසුවය. කාණුවේ වැටී සිටි දැරිය අලින්ගේ නෙත නොගැටුණි. ඔවුහු ද ඇය පියමං කර ඇතා පසුපසින් යන්නට ගියහ. සියඹලන්ගමුවේ ඇතා ඇය එලෙස කාණුවට තල්ලු කර නොදමන්නට පිටුපසින් පැමිණි හස්තියකු අතින් එදා ඇය මරණයට පත්වන්නට ද ඉඩ තිබිණි. එදා ඒ දැරිය මරණයෙන් මුදවා ගත්තේ සියඹලන්ගමුවේ ඇතා ය.
මේ ඇතුන් මිනිසුන්ගේ වගාබිම්වලට පැන එහි කෙළවරක සිට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බඩ පුරවා ගැනීම මිස වගාබිම් වනසමින් ඒවාට හානි කළේ නැත. ඔවුන් මෙසේ පැමිණි විට මිනිසුන් රතිඤ්ඤා හෝ අලි වෙඩි දැමුවේ ඔවුන් බිය වද්දන්නට ය. නමුත් ඔවුහු ඉන් නොසැලුනහ.
” අනේ පුතේ ඔය කෑවා ඇතිනේ. අපිත් මේවා අමාරුවෙන් හදා වඩා ගන්නේ අපිටත් කන්න නේ. දැන් ඉතින් ගියා නම් හොඳයි නේද ? ” මිනිසුන් ගේ එවැනි කාරුණික වදනකදී මේ ඇත්තු තවත් එම වගාබිම්වල රැඳී නොසිට ඉන් පිටව ගියහ. මේ දෙදෙනාගේම ගතිගුණ බොහෝ විට එකම ආකාරයේ වූ නිසා දෙදෙනා ගැන එකට සඳහන් කළත්, දෙදෙනා රජවරුන් දෙදෙනෙක් මෙන් තම පිරිවර සමග වෙන වෙනම වාසය කළා මිස එකට ජීවත් වූ අය නොවේ. ඇතුන් දෙදෙනකු එකට ජීවත් වීමක් ද දක්නට නැත.
සියඹලන්ගමුවේ ඇතා මිය යන්නේ 2010 වසරේදී ය. මිය යාමට ආසන්න කාලයේ තරමක් චණ්ඩ ගති පළ කළත්, ඌ මිනිසුන්ට හානි කරන්නට පෙළඹුණේ නැත . මෙසේ චණ්ඩ ගති ඇති වීමට හේතුව චණ්ඩ අලියෙකු සමග ඒ කාලයේ එක්ව සිටීම බව ගල්ගමුවේ ගැමියෝ පවසති. නමුත් ඒ චණ්ඩ බව ගැමියන්ට කිසිසේත් හානිකර වූයේ නැත. අඩු තරමේ මද කිපෙන කාලයකදීවත් ප්‍රචණ්ඩ නොවන මේ ඇතාගෙන් තමන්ගේ ජීවිතවලට කිසිදු හානියක් සිදු නොවන බව ගම්මු දැන සිටියහ. සියඹලන්ගමුවේ ඇතාට ගැමියන් සැලකුවේ තමන්ගේම කෙනෙකු ලෙසිනි. එනිසාම මෙම ඇතා වෙනත් කලාපයකට රැගෙන යන්නට වනජීවී නිලධාරීන් පැමිණ රථයට පටවා ගනිද්දී ගැමියන් ඊට දැඩිසේ විරෝධය පළ කර සිටියේ මේ නෑදෑයා තම භූමියෙන් රැගෙන යාම වළක්වාලන්නට ය. නමුත් එම නිලධාරීන් ගැමියන්ට අවනත වූයේ නැත. මෙලෙස ප්‍රවාහනය කිරීමේදී ඇතා මිය ගිය බව අසා ගැමියන් විලාප දී කෑගසා හැඬුවේ වනජීවී නිලධාරීන්ට දෙස් දෙවොල් තබමිනි.
දළ පූට්ටුවා ද මෙවැනිම උසස් ගතිගුණවලින් හෙබි ඇත් රජෙකි. ගල්ගමුවේ ජනතාව දළ පූට්ටුවා සමගද සහජීවනයෙන් දිවි ගෙවූහ. මීටර් දහයක, පහළොවක දුරින් හිඳ මෙම ඇතා දෙස බලා සිටින්නට ගැමියන් බියවූයේ නැත. එපමණකට ගැමියන් සහ දළ පූට්ටුවා අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩනැගී තිබිණි. වැව් ආශ්‍රිතව ගල්ගමුවේ ගැමියන් විසින් සිදු කරනු ලබන කිරි ඉතිරවීමේ මංගල්‍යවලදී ඈතට වී ඒ දෙස බලා සිටීමේ පුරුද්දක් ද දළ පූට්ටුවා තුළ තිබිණි. ඇතැම් විට මිනිසුන් විසින් සිදු කරනු ලබන මේ ක්‍රියාව දෙස ළං වී බලා සිටින්නට මේ ඇත් රජාට කැමැත්තක් තිබෙන්නටත් ඇත. නමුත් තමාගේ ළංවීම මිනිසුන්ගේ දුරස් වීමක් බව දැන සිටි නිසාදෝ මේ අහිංසකයා එය දුර සිට බලා රස වින්දා විය හැකිය.
දළ පූට්ටුවා ගැන ගල්ගමුව ජනතාව නිතර විමසිල්ලෙන් පසුවූ නිසා ඒ අවට කුමන වන කලාපයක ඌ සැරි සරන්නේ ද යන්න ගැමියන්ට රහසක් නොවිණි. ගැමියන් නිතර වනජීවී නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ නිසාම දළ පූට්ටුවා ගේ පාදයක තිබූ විසල් තුවාලයකට බෙහෙත් දමා එය සුව කරන්නට වනජීවී නිලධාරීන්ට පහසු විය. 2018 වසරේදී කහල්ල පල්ලෙකැලේ රක්ෂිතය තුළ කිසියම් පිරිසක් විසින් දළ පූට්ටුවා ඝාතනය කර තිබියදී හමුවූ අවස්ථාවේ හඳුනා ගන්නට හැකි වූයේ ද පාදයේ තිබූ මේ තුවාල කැළල නිසා ය. දළ පූට්ටුවා ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇතමුන් ගල්ගමුව ජනතාවට ඇඟිල්ල දිගු කළ ද තමන්ගේම නෑදෑයකු , දරුවකු බඳු වූ මෙම ඇත් රාජයාව සියඹලන්ගමුවේ ඇතා ව මෙන් ම ආරක්ෂා කර ගන්නට ගැමියන් විඳි වෙහෙස දන්නේ ඔවුන් ම පමණි.
2018 වසරේ දෙසැම්බර් 8 වෙනි දින ගල්ගමුව සියඹලන්ගමුවේ ක්‍රිශාන්ත ප්‍රසාද් නන්දසේන මහතා ගේ මූලිකත්වයෙන්, ගම්මුන් සියලු දෙනාගේම සහභාගිත්වයෙන් සියඹලන්ගමුව ශ්‍රී ආනන්ද බෝධිරාජාරාම විහාරස්ථානයේ දී මතක බණක් සහ පසු දින සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද සංවිධානය කරනු ලැබිණි. ඒ දළ පූට්ටුවාටත්, සියඹලන්ගමුවේ ඇතාටත්, මිනිස් අලි ගැටුම හේතුවෙන් මියගිය සියලු මිනිස් සහ අලි ඇත් ප්‍රජාවටත් පින් අනුමෝදන් කරවනු පිණිස ය. එදින මෙම පින්කමට සහභාගීවූවන්ට දළ පූට්ටුවාගේ වර්ණ සේයාරුව සහිත පත්‍රිකාවක් මුද්‍රණය කරවා බෙදා දී තිබූ අතර ලොකු කුඩා වයස් භේදයක් නැතිව එම වර්ණ සේයාරුව ළමැදට තුරුළු කරගෙන පැමිණ සිටි පිරිස එකාවන්ව හඬා වැටී ඇත්තේ තම නෑදෑයාගේ වියෝව පිළිබඳ ව අතිමහත් වේදනාවකිනි.
එබැවින් අලි මිනිස් ගැටුම ගැන පමණක් කතානොකොට අප අලි මිනිස් සබඳතාවය පිළිබඳවද වචන කිහිපයකින් හෝ කතා කරන්නට තරම් මානුෂීය විය යුතුය.
කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව සෙනරත්ගම පුලංචිය වැව අද්දර, ගල්ගමුව ප්‍රාදේශීය සභාව සතු ගිමන්හල පරිසර උද්‍යානයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ඉදි කර එය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම පිණිස ගල්ගමුව ප්‍රාදේශීය සභාව වෙත පැවරීමේ නිල උත්සවය පසුගිය වසරේ, එනම් 2022 ඔක්තෝබර් 9 දා පැවැත්විණි. ඒ ඔක්තෝබර් 4 දාට යෙදුණු ලෝක සත්ව දිනය ද පදනම් වූ කර ගනිමිනි.
අහිංසා ශ්‍රී ලංකා සත්ව සුබසාධන සංවිධානයේ ප්‍රජා එකමුතුව විසින් ඉදි කරනු ලැබූ සියඹලන්ගමුව ඇතා ගේ සහ දළ පූට්ටුවා ගේ සජීවී හැඩතල සහ ප්‍රමාණයෙන් යුතු මෙම ස්මාරකයත්, එහි පසුබිමින් ඇති ක්ෂීරපායි, පක්ෂි, උරග, මත්ස්‍ය, සමනල යන සමස්ත සත්ව ප්‍රජාව නිරූපණය කරන බිතු කැටයමත් සඳහා සියලු බරපැන දරා තිබුණේ හෘද රෝග විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ විසිනි.
‘මේ මිහිතලය මිනිසුන්ගේත් සතුන්ගේත් සම උරුමයක්ය’ යන සොබාදහමේ සනාතන යුක්ති ධර්මය පදනම් කරගනිමින්, ගල්ගමුවේම පදිංචි දක්ෂ මූර්ති ශිල්පියකු වන එස්. ජේ. රත්නායක විසින් නිර්මාණය කරන ලද මෙම ස්මාරකය අපට නිහඬව කියාපාන්නේ අලි මිනිස් ගැටුම යටින් ඇති නොකියවුණු කතාව වන අලි මිනිස් සබඳතාවය පිළිබඳව නොවේද ?