සමාජ

අන්තවාදය නිසැකවම පරාජය කළ හැකි අවියජාතික එකමුතුවයි

උපුල් තම්මිට

ජාතික එකමුතුව, අන්තවාදය නිසැකවම පරාජය කළ හැකි අවිය බව ඔහු ගේ දැක්මයි. ඒ උදෙසා වන වගකීම වටහා ගැනීම සියලු ජාතීන් වෙත ම පැවරෙන යුගයේ වගකීම වන බව අල්හාජ් මොහොමඩ් සකාබ් මොහොමඩ් ෆවුසි පවසයි.

බේරුවල දර්ගා නගරයේ උත්පත්තිය ලැබුව ද දඟකාරකම් මට්ටුකිරීමට තම ව්‍යාපාරික පියා ජීවත්වූ අනුරාධපුරයට එන්නට ඔහුට සිදු විය. එහිදී සිංහල විදුහල්වලින් අධ්‍යාපනය හදාරා පසුකාලීන වාමවාදී දේශපාලන කඳවුරක පූර්ණකාලීන සාමාජිකයකුව ද කටයුතු කළේ ය. අනුරාධපුර ජුම්මා ප්‍රධාන මුස්ලිම් පල්ලියේ සභාපතිවරයා වශයෙන් අඛන්ඩව වසර විසිහයක සිය ආගමික සේවාවන් ඉටු කළ ඔහු මේවනවිට විශ්‍රාම සුවයෙන් පසු වෙයි. අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම විවිධ සමිති සමාගම් රැසක සාමාජිකයෙකු වන අල්හාජ් මොහොමඩ් සකාබ් මොහොමඩ් ෆවුසි (68) එදා මෙදා තුර මෙරට සමාජ දේශපාලන කතිකාවතෙහි ප්‍රධාන පුරුකකි. ඔහු පවසන්නේ ජාතික එකමුතුවෙන් අන්තවාදය නිසැකවම පරාජය කළ හැකි බව ය.

පාස්කු ඉරිදා ඛේදවාචකයත් සමඟ අද වනවිට රටේ ඇතිවී තිබෙන තත්ත්වය ඔබ දකින්නේ කවර ආකාරයෙන්ද?

අද වනවිට සුව නොවුණු විශාල තුවාලයක් දරාගෙන සිටින මුස්ලිම් පිරිසක් මේ රටේ ඉන්නේ. මේ තුවාලය ඇතිවෙන්නට ඔවුන් කිසිම වරදක් කරල නැහැ. සැකය නම් වූ විෂබීජයක් තමයි මේ රෝගයට මුල්වෙලා තියෙන්නේ.මේ විෂබීජය විනාශ කරන්න දීර්ඝ කාලීනව ප්‍රතිකාරයක් ඒ කියන්නේ දැවැන්ත ප්‍රතිකාර ක්‍රමවේදයක් අවශ්‍යයි.

මුස්ලිම් ජනතාවගෙන් සියයට දශම ගණක්වත් නැතුව ඇති මේ ත්‍රස්තවාදයට උදව් දීපු අය. අද වෙනකොට සමස්ත මුස්ලිම් ජනතාවටම මේ තත්වය නිසා විවිධ අපහසුතාවන්ට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මා දකින විදිහට මේකට ප්‍රධාන හේතුව තමයි රටේ ප්‍රධාන සිංහල සංස්කෘතියට ගරු නොකිරීම වගේම අනෙක් ආගම් කෙරේ අවබෝධයක් නොමැතිවීම. පළාත් මට්ටමින් නගර මට්ටමින් වගේම ගම්මට්ටමින් වෙන වෙනම ජීවත්වීමත්, එක් එක් ජනවර්ග වෙන් වෙන්ව හැඳින්වීමත් මේ ගැටලුව වර්ධනය කරන්න විශාල හේතුවක් වෙලා. කාන්තන්කුඩිය ගත්තොත් තනිකරම මුස්ලිම් ජනතාවක් ජීවත්වෙන්නේ. යාපනය ගත්තොත් සම්පූර්ණයෙන්ම ද්‍රවිඩ ජනතාව ජීවත්වෙනනෙ. මෙහෙම වුණාම ඒ ජනතාවගේ කැමැත්තෙන් තොරව විෂබීජ ඇතුළු කරන්න අන්තවාදීන්ට ලොකු ඉඩක් ලැබෙනවා. නැගෙනහිර  මේ වගේ තත්වයක් ඇතිවෙයි කියල ඩී.එස්.සේනානායක මහත්තයවත් හිතන්න නැතුව ඇති.

මිශ්‍ර සමාජයක්, මිශ්‍ර විවාහ මඟින් මේ තත්වය නැතිකරන්න පුළුවන්. මං මහ පල්ලියේ සභාපතිවෙලා ඉන්නකොට පුරවැසි කමිටුව හරහා සෑම ජාතියකටම සෑම ආගමකටම පල්ලිය විවෘත කළා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩම කළා. ඒ වගේම අපේ අයත් විවිධ ආගමික උත්සව අවස්ථාවලට යොමු කළා. මේ නිසා අපිට පුළුවන් වුණා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවට අනෙක් ආගම් පිළිබඳ යම් අවබෝධයක් ලබන්න. කුරානය අයිති ඉස්ලාම් දහම අදහන අයට විතරක් නෙවෙයි එය මුලු ලෝකයටම අයිතියි. ඕනම කෙනෙකුට කුරානය කියවල තේරුම් ගන්න පුළුවන්. කැමතිනම් ආගමට බැඳෙන්න පුළුවන්. බලෙන් බඳවාගැනීමක් නැහැ. ඕනම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න පුළුවන්. හැබැයි කාටවත් බැහැ කිසිම අන්‍යාගමියෙකුට හිංසාවක් සිදුකරන්න. ඉස්ලාම් දහමේ අර්ථය ඒකයි. ඉස්ලාම් ආගමේ නැහැ හිංසාවාදී ක්‍රියා. අනුරාධපුරේත් තව්හිත් ජමාත් පල්ලියක් හැදුවා. එයට මං සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. ඒ නිසා මටත් කරදර වුණා.

අපේ රටට ගැළපෙන විදිහට සෑම ජාතිකයෙක්ම හැඩගැහෙන්න පුරුදුවෙන්න ඕනෑ. නැත්නම් ඇතිවෙන්නෙ ගැටුම් නිර්මාණය වීමයි.

අදවෙනකොට මුස්ලිම් කාන්තාවන්ටත් ඔවුන්ගේ ඇඳුම පිළිබඳ ගැටලු මතුවෙලා තියෙනවා. ඔබ මේ තත්වය විමසන්නේ කොහොමද?

ඒක විලාසිතාවක්. මෑත කාලය වෙනකොට මැදපෙරදිග රටවල්වලට ගිහිල්ල ආපු අය විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන් අබාය වැනි ඇදුම්වලින් සැරසිල වෙනස් රූපයක් පෙන්නුවා. අපේ අම්මල හොඳ මුස්ලිම් කාන්තාවන් වුනත් ඒ අයගේ ඇඳුම පැළඳුම බොහෝම සරලයි. ඉන්දිරා ගාන්ධි මැතිනිය වගේ පොඩි රෙදි කෑල්ලක් තමයි ඔළුවට පටලව ගත්තේ. සමාජයේ හැසිරෙද්දි මේකේ විශේෂත්වයක් නැහැ. මැදපෙරදිග රටවල තියෙන අධික උෂ්ණය වගේම ඔටුවන්ගෙ පිටේ යනකොට කාන්තාර දූවිල්ලෙන් බේරෙන්න ඕන නිසයි ඒ රටවල කාන්තාවන් ඒවිදිහට සැරසිල ඉන්නේ. මෙහේ කොහේද ඔටුවෝ පිටේ දුවිල්ලේ ගමන් යන්න තියෙන්නෙ. අපේ රටට ගැළපෙන විදිහට සෑම ජාතිකයෙක්ම හැඩගැහෙන්න පුරුදුවෙන්න ඕනෑ. නැත්නම් ඇතිවෙන්නෙ ගැටුම් නිර්මාණය වීමයි.

යළිත් මෙවන් තත්වයක් සිදු නොවී සියලු ජනවර්ග අතර සහජීවනය ඇතිකරන්න නම් ඔබේ යෝජනා මොනවාද?

නිදහස ලැබිල අවුරුදු හැත්තෑවක් ගතවුණත් අපිට රටට මොනවද ලැබුණෙ. දැං බලන්න ඉන්දියාව දිහා. මහත්මා ගාන්ධි, ශ්‍රී නේරු, මොහොමඩ් අලි ජින්නා විශාල මහන්සියක් කැපකිරීමක් කරල තමයි නිදහස ලබාගත්තෙ. අපේ රටේ එහෙම දෙයක් නොවුණු නිසයි විවිධ විෂබීජ අපේ රටට ඇතුළුවෙන්නේ. මේ අවුරුදු හැත්තෑව තුළ දේශපාලකයන්ගෙන් රටට වෙන්න ඕන සේවය සිදුවුණේ නැහැ. මිශ්‍ර පාසල් අත්‍යවශ්‍යයි. දෙමළ, මුස්ලිම් අය සිංහල ඉගෙන ගතයුතුමයි. ඒ වගේම සිංහල අය දෙමළ භාෂාව අනිවාර්යයෙන්ම ඉගෙනගන්න ඕන. භාෂාව කියන්නේ සංහිඳියාවේ ප්‍රධානතම අවියක්. මේ අවියෙන් අපි සන්නද්ධ වුණොත් මේ රටේ ප්‍රශ්න නැහැ. එකිනෙකා තේරුම් ගන්න පුළුවන්. මේ තත්ත්වය ඇතිකරන්න රජය පූර්ණ පහසුකම් සලසාදෙන්න ඕන. ඒ වගේම ඒ ගැන පසුවිපරම් කරන්නත් ඕන.

අදවෙනකොට සෑම සංහිඳියා ව්‍යාපෘතියක්ම ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන නගර කේන්ද්‍රකරගෙන. මෙහි ප්‍රතිපල අඩුයි. නගරෙන් ඈත එපිට විවිධ ආගම් ජාතීන් ඉලක්කකොට සංහිඳියා වැඩසටහන් පවත්වන්න ඕන. අන්තවාදීන් ගම්වලට තමයි මුලින් ම ජාතිවාදී විෂබීජ ඇතුළු කරන්නේ. බොහෝ ගම්වාසීන් නගරවාසීන්ගෙන් වෙන්වෙලා ජීවත්වෙන්නේ. ඔවුන්ට නිවැරදි තොරතුරු ලැබෙන්නේ හරිම අඩුවෙන්.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු මීට වඩා ගැඹුරින් සිදුකරන්න අවශ්‍යයි. ඒ යළිත් මෙවන් තත්වයක් ඇති නොවන්නයි. මුස්ලිම් – සිංහල කියන්නේ දීර්ඝ කාලීන මිත්‍රත්වයක් තියෙන ජන කොඨ්ඨාශ දෙකක්. අන්තවාදීන්ගේ කටයුතු නිසා මේ මිත්‍රත්වය පළුදුවෙන්න ඉඩදෙන්න බැහැ. අලුත් පරම්පරාව වගේම සමස්ත මුස්ලිම් ජනතාවට මේ පිළිබඳ විශාල වගකීමක් තියෙනවා ඉෂ්ඨ කරන්න. ඔවුන් එය ඉෂ්ඨ කරන බව මට විශ්වාසයි. ඊට නිසි නායකත්වයක්  ලබාදීම නායකයන්ගේ යුතුකමක්. ඒකට තමයි නියම නිදහස කියන්නේ.  ජාතික එකමුතුවෙන් අන්තවාදය නිසැකවම පරාජය කරන්න පුළුවන්.

This article was originally published on the catamaran.com

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts